රටවිරුවන්ගේ ගුවන්තොටුපොළ PCR සඳහා වැය වන මුදල්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

රටවිරුවන්ගේ ගුවන්තොටුපොළ PCR සඳහා වැය වන මුදල්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

*********************************************

රටවිරුවන්ගේ ගුවන්තොටුපොළ PCR සඳහා වැය වන මුදල්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

(24.09.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවන්හි නිරත ව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මේ සම්බන්ධ ව අද (24) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපොළ සේවා සමාගම, යුද හමුදාව, විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතනවල නිලධාරින් ද මෙම සාකච්ඡාවට එක් වී තිබෙනවා.

මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, විදේශගත ව රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාළ PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිත බවයි.

මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට තීරණය කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළා.

මෙහි දී අදහස් දැක් වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ, මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් (3) වැනි කෙටි කාලයක් තුළ මඟීන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ වෙන බවයි.

සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේ දී ආසාදිත නො වන්නේ නම්, ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

මැදපෙරදිග හා කොරියාවේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් පතිරණ මහතා, විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වුණා ෴

කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++

ව්‍යාජ ඔක්සිමීටර තොගයක් සමඟ පුද්ගලයෙක් අනුරාධපුරයේ දී අත්අඩංගුවට

(24.09.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (23) සවස ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් සහ විශේෂ කාර්‍ය බලකාය එක්ව අනුරාධපුර නව බස්නැවතුම් පොල අසලදී වැටලීමක් සිදු කළා.

එහි දී අලෙවිය තහනම් කර ඇති ව්‍යාජ ‘ඔක්සිමීටර්’ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සවස හතරට (4) පමණ සිදු කළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගැනුණේ, වයස අවුරුදු හතළිහක් (40) පමණ වන කොට්ටාව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඖෂධ නියාමන අධිකාරියේ සහ වෛද්‍ය උපකරණ බෙදා හැරීමේ නීත්‍යනුකානුකූල බලපත්‍රයක් නොමැතිව ඔහු සන්තකයේ තබාගත් pulse වර්ගයේ ‘ඔක්සිමීටර’ 250 ක් අත්අඩංගුවට ගැනුණා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නො මැති අදාළ ‘ඔක්සිමීටර’ තොගය සහ පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් වෙත භාර දී තිබෙනවා.

++++++++++++++++

ශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යන්ගේ කැමැත්ත ඉහළට

(24.09.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු මෙරට සංචාරයන් සඳහා බ්‍රිතාන්‍යවාසීන්ගේ ඉහළ උද්‍යෝගයක් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කර ඇති පරිදි පසුගිය වසරට වඩා මේ වසරේ දී මෙරට සංචාරය සඳහා බ්‍රිතාන්‍යවාසීන්ගේ කැමැත්ත 20% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එක්ස්පීඩියා මාධ්‍ය සමූහය මඟින් මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ බ්‍රිතාන්‍යවාසීන් වැඩි ම කැමැත්තක් දක්වන සංචාරක ගමනාන්තයන් පිළිබඳ ව විමසමින්.

එහි දී 70% ක ඉහළ ම තේරීම වී ඇත්තේ මෙක්සිකෝවයි.

මාලදිවයිනට 30% ක ආකර්ශනයක් හිමි වී තිබෙනවා ෴

+++++++++++++++++

මෙරට සමස්ත ජනගහනයෙන් 51.6% කට එන්නත් මාත්‍රා දෙකම (2) ලබා දී අවසන්

(24.09.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේ දී රට යළි විවෘත කළහොත් ඊට අදාළ නිර්ණායක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා ඇතුළු පාර්ශවයන්ට ඉදිරියේ දී දැනුම්දීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ අද (24) පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් අනතුරු ව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින්.

මෙරට එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය ද එහි දී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් 51.6% කට එන්නත් මාත්‍රා දෙකම (2) ලබා දී අවසන් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තු වී දෙදෙනෙක් (2) මරුට

(24.09.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

තිරප්පන පොලිස් වසමේ මුරියාකල්ල වැව් පිටියේ දී සතුන්ට බඳින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයින් දෙදෙනා (2) තවත් පුද්ගලයෙක් (1) සමඟ වැව් පිටිය අසලින් ගමන් කරන විටයි මෙම අනතුරට මුහුන පා තිබෙන්නේ.

සිද්ධිය වූ අවස්ථාවේ දී මිය ගිය පුද්ගලයින් දෙදෙනා (2) සමඟ සිටි අනෙක් පුද්ගලයා, නැවත ගම්මානයට ගොස් ගම්වැසියන් කැඳවාගෙන ඒමට පිටත් වී ඇති අතර, ඔහු ගම්වාසින් සමඟ වෙනත් මාර්ගයකින් අදාළ ස්ථානයට එද් දී වෙනත් බඳින ලද තුවක්කුවක් පත්තු වී තිබෙනවා.

ඔහු ද මේ වෙනවිට රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

තුවක්කුව බඳින ලද පුද්ගලයා යැ යි සැකපිට අයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී සැක සහිත භාණ්ඩ කිහිපයක් ම පොලිසිය සොයා ගත්තා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරමියන්කුලම – උට්ටිමඩුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි තවත් දඩයක්කරුවෙක්.

සිදුවීම සම්බන්ධ මරණ පරීක්ෂණය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පොලිස් අපරාධ ඒකකය හා තිරප්පනේ පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.

******************************************

ආනයන සීමා පනවා ඇති එනසාල්, කහ රැගෙන එන අලුත් මඟක්

(24.09.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට කෙටි සංචාරට යන මඟීන් හරහා මෙරට ආනයන සීමා පනවා ඇති කහ සහ එනසාල් රැගෙන ඒමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (23) සවස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 126 නැමැති ගුවන් යානයෙන් පැමිණි මඟීන් පරික්ෂා කිරීමේදී යි.

මෙහි දී නැවත පැමිණෙන මඟීන්ගේ ගමන් මලුවල සඟවා තිබූ ආනයන සීමාවන් පනවා ඇති කහ සහ එනසාල් විශාල ප්‍රමාණයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ට හැකි වුණා.

මෙම වැටලීමේ දී කහ කිලෝ ග්‍රෑම් 472 ක්, එනසාල් කිලෝ ග්‍රෑම් 352 ක් සහ ඖෂධ විශාල ප්‍රමාණයක් ද සොයා ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩවල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ හතළිහකට (40) ආසන්න බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරින් විසින් සිදු කරනු ලබයි ෴

******************************************

නීති විරෝධීව රැගෙන එන ලද කහ තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

(24.09.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

ඉලුප්පුකඩවායි පොලිස් වසමේ අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශය දී නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වා කැලෑබද ප්‍රදේශයේ සූක්ෂම ලෙස සඟවා තබන ලද කහ කිලෝග්‍රෑම් 251 ක් අද (24) දින අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්‍ය බලකාය සමත් වී තිබෙනවා.

කහ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

විශේෂ කාර්ය බලකාය මෙම වසර තුළ මේ දක්වා වැටලීම් 08 ක් සිදුකර සැකකරුවන් 11 ක් සමඟ රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට (2,60,00,000) අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 5228 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් ෴

******************************************

ශ්‍රි ලංකා – ඔස්ට්‍රේලියා ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වේ

(24.09.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස්, අතිගරු ඇමැන්ඩා ජෙවෙල් අද (23) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු වුණා.

කලාපීය ආරක්‍ෂාව ශක්තිමත් ව ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අන්තර් රාජ්‍ය සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රවේශයන් ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්, වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

සාම්ප්‍රදායික නොවන ආරක්‍ෂක තර්ජන මැඩපැවැත්වීම සහ අන්තවාදය තුරන් කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා වූ අතර, ඒ සඳහා කලාපීය හා කලාපීය නො වන සෑම රටකට ම ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ජෙනරල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු තවදුරටත් තහවුරු කළේ, මධ්‍යස්ථ රාජ්‍යයක් වශයෙන් ශ්‍රි ලංකාව කලාපයේ යහපත උදෙසා නිහඩ කාර්යභාරයක් ඉටු කරන අප රටේ, උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වීම සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නො තබන බවයි.

රටේ නාවික හමුදාව සහ අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දායකත්වයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ගත් සියලු උත්සාහයන් ඕස්ට්‍රේලියානු නියෝජිතවරියගේ පැසසුමට ලක් වී ඇති අතර, එවැනි උත්සාහයන් තුළින් කලාපීය වශයෙන් ලැබෙන ජයග්‍රහණය පිළිබඳව ද ජෙනරල් ගුණරත්න මහතා මෙම සැසියේ දී තවදුරටත් අවධාරණය කළ බවයි වාර්තා වෙන්නේ.

අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ආරම්භ කළ ක්‍රියාමාර්ග සහ මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගන්නා ලද උත්සාහයන් ද පැමිණ සිටි ඉහළ පෙළේ නිලධාරීන්ගේ පැසසුමට ලක් වුණා.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුව පැවැත්වුණු අතර, මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකා නිලධාරීබ්‍රෙට් සෙන්ඩර් ද සහභාගී වී තිබෙනවා ෴

******************************************

බඩුමිල වැඩි වන්නේ ‘අද නොවේ හෙට’

(24.09.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

අද (24) උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ ජීවන වියදම් කමිටුවේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මුදල් ඇමති ඇතුලු මැති ඇමතිවරුන් ගණනාවක් එක්ව සිටී මෙම සාකච්ඡාවේදී කිරිපිටි, ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩයන්හි වෙළෙඳපොළ හිගය මඟ හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ නිර්දේශ ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඒවාට කැබිනට් අනුමැතිය ලබාගැනීමට තීරණය වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ආනයනකරුවන් කිරිපිටි ඇතුලු භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරීම හේතුවෙන් සති කිහිපයක සිට වෙළෙඳපොළේ මතුව තිබෙන කිරිපිටි සහ ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පිළිබද අප පසුගිය දින කිහිපයේදීම හිරු ප්‍රවෘත්ති ඔස්සේ අණාවරණ කළා.

පාරිභෝගිකයින් චෝදනා කළේ කිරිපිටිවලට අමතරව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක්ම වෙළෙඳපොළේ මිලදී ගැනීමට නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

******************************************

අනවසරයෙන් පුවක් කැඩීමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

(24.09.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මොරවක – කොඩිකාරගොඩ ප්‍රදේශයේ දී තරුණයෙකු අනවසරයෙන් පුවක් කැඩීමට ගොස් එම ගස කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රි මෙම පුද්ගලයා වෙනත් ඉඩමක පුවක් කැඩීමට ගිය අවස්ථාවේ දී එම ගස කඩා වැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

පසුව, මොරවක රෝහලට ඇතුළත් කළ 33 හැවිරිදි මෙම තරුණයා ජිවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

එල්.එන්.ජී. ගිවිසුම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(24.09.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ම අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *