විදුලිය – තෙල් – වරාය එකවර වර්ජනයකට සැරසෙයි ! රටම හිරවෙයිද ?

විදුලිය – තෙල් – වරාය එකවර වර්ජනයකට සැරසෙයි ! රටම හිරවෙයිද ?

*********************************************

විදුලිය – තෙල් – වරාය එකවර වර්ජනයකට සැරසෙයි ! රටම හිරවෙයිද ?

(24.09.2021 – 09:42 +0530 – lankaleadnews.com)

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ස්වාභාවික වායු බලාගාර සංකීර්ණය සම්බන්ධයෙන් රජය ඇමෙරිකානු සමාගමක් සමග ගැසූ ගිවිසුම කෙසේ හෝ හකුළා නොගතහොත් දැඩි වෘත්තීය සමිති වර්ජනයකට සූදානම් වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා අනතුරු හඟවයි.

මෙම ගිවිසුම කුමන තත්ත්වයක් යටතේ හෝ රජය විසින් හකුළා ගත යුතු බවත් එලෙස හකුළා නොගන්නේ නම් විදුලිය බෙදාහැරීම්, තෙල් බෙදාහැරීම්, වරායේ භාණ්ඩ බෑම-පැටවීම ආදිය සිදු නොකරන බවද හෙතෙම කියා සිටියේය.

මීට අදාළව තම සමිතිවලට යාමට ඇත්තේ වර්ජනයකට පමණක් බව ද ජයලාල් මහතා පැවසීය.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් මෙරට සමග අවසන් ගිවිසුමකට එළඹුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම නිවේදනය කිරීමෙන් පසු ඔහු මෙම වෘත්තීය සමිති මාධ්‍ය හමුව කැඳවා තිබිණ ෴

++++++++++++

කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට විකිණීම ගැන හිටපු ඇමති ඩලස් බොරු කියයි

(24.09.2021 – 05:40 +0530 – lankaleadnews.com)

කැබිනට් මාධ්‍යය ප්‍රකාශක අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍යයට අදහස් දැක්වීමේදී කෙරවලපිටිය LNG බලාගාරය සහ LNG ගෑස් සැපයුම NFF සමාගමට ලබා දීමට එකඟතාවයක් නොමැති බවට ප්‍රකාශයක් සිදු කළ බව වාර්තාවේ. ඔහුට අනුව දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් ඇතිවී ඇත.

තතු දත් ආරංචි මාර්ග වලට අනුව කැබිනට් මාධ්‍යය ප්‍රකාශක ලෙස ඔහුට තමා දීර්ඝ කාලයක් තිස්සේ උපයාගත් මහජන ගෞරවය උගසට තැබීමට සිදුවීම කණගාටුවට කරුණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඔවුන්ට අනුව ආණ්ඩුව වෙනුවෙන් භාන්ඩාගාර ලේකම්වරයා විසින් රජයට අයත් සමාගමේ කොටස් විකිණීම සහ විදුලිය මිලදී ගැනීමට අදාල ගිවිසුම පසුගිය පසුගිය 17 වැනි සිකුරාදා රාත්‍රී 12:00 ට අත්සන් තබා ඇත.

එය බැඳීම් සහිත ගිවිසුමක් මිස හුදු සංකල්පීය එකඟතාවයක් නොවන බව ඔවුහු සඳහන් කරති. සංකල්පීය එකඟතාවයට අමාත්‍යය මණ්ඩලය අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි 05 වැනිදා පැවති අමාත්‍යය මණ්ඩල රැස්වීමේදී බව සහ එම රැස්වීමටත් පූර්වගාමීව අදාළ පත්‍රිකාව සහ ගිවිසුම ඉදිරිපත් නොකර රැස්වීම අවස්ථාවේදී කළබලයකින් ඉදිරිපත් කර සම්මත කළ බව ඔවුහු පවසති ෴

++++++++++++

යුගදනවි ගිවිසුම, තවත් හෙජින් ගිවිසුමක් වීමේ අවධානමක. ද්විත්ව පුරවැසියා ගැන අපි කලින්ම කිවුවේ මේ නිසයි – වෘත්තිකයෝ තදින් පහර දෙති

(23.09.2021 – 15:10 +0530 – lankaleadnews.com)

හදිසියේත්, හොර රහසේත්, නියමිත ක්‍රමවේදයෙන් තෙරවත් අත්සන් කර ඇති යුගදනවි ගිවිසුම අනාගතයේ දිනක හෙජින් ගිවිසුම වැනි විශාල අලාභයක් රටට ලබාදෙන ගිවිසුමක් විය හැකි බවට අනුමාන කරන බවත්, කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයකු නොවන මුදල් ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වශයෙන් තම න්‍යායපත්‍රයට අනුව කටයුතු කරමින් සිටින බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. තමන් විසිවන සංශෝධනයට එදා එරෙහි වූයේ මේ ද්විත්ව පුරවැසි භූමිකාවන්ගේ අවධානම කල් ඇතිව දුටු නිසා බවත්, විසි වන සංශෝධනයට සහට දැක්වූ දේශමාමක මන්ත්‍රීවරුන් මෙ බව ඉක්මනින් වටහා ගත යුතුව ඇති බවත් එම පෙරමුණ අවධාරණය කරයි.

අදාල මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය :

රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව ජාතික සම්පත් සමගම පාවාදීම වලකනු!

රටේ බලශක්තිය පාලනය කිරීමේ අයිතිය ජාත්‍යන්තර සමාගම් සහ අනෙකුත් විදේශීය බලවේගයන්ගේ අතට පත් කිරීමේ ප්‍රයත්නයක පවතින රජය මේ වන විට යෙදී සිටියි. ජාත්‍යන්තර බල තුලනයේ තීරක සාධකයක් වන ‘බලශක්තිය’ සහ ඒ හා සබැඳි ජාත්‍යන්තර තත්වයන් සහ බලපෑම් අප වැනි රටකට පාලනය කිරීමට ඉතාම අපහසුය. මේ නිසාවෙන්ම රටේ බලශක්තිය සැපයුම සම්බන්ධව රටක් ලෙස අප සතු අධිකාරී බලය එලෙසින් පවත්වා ගැනීම රටේ ඉදිරිගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයකි.

මෙහිදී මතුව ආ අලුත්ම මාතෘකාව වනුයේ, ඇමෙරිකානු New Fortress Energy සමාගම සමග ඇතිකරගන්නා ගිවිසුමයි. ශ්‍රීලංකාවේ විදුලි බලාගාර හා ඒ සඳහා ඉන්ධන සැපයුම ලබාදෙන රජයේ ව්‍යුහය ශ්‍රී ලංකා රජයේ අධිකාරියෙන් ඉවතට පැවරීම අතිශයින්ම හානිකරය. තවද, මේ ක්‍රියාවලිය රටේ ස්වෛරීත්වයට මරු පහරකි. පවතින අවධානම එතැනින් තවත් ඔබ්බට ගෙනයනුයේ ඉහත ගිවිසුම ශ්‍රී ලංකා නීතියට යටත් නොවෙන පරිදි සකස් කිරීමට ගෙන ඇති අදුරදර්ශී තීරණයයි. මේ ගිවිසුමෙහි පැහැදිළිවම සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකා නීතියට කිසිලෙසකින් යටත් නොවන ජාත්‍යන්තර බේරුම්කරණය (International Arbitration) වෙත මෙමගින් අදාළ බලය පැවරෙන බැවිනි. මෙලෙස රටේ බලාගාර සහ ඉන්ධන සැපයුම් මාර්ග ශ්‍රී ලංකාවේ නෛතික රාමුව යටතේ පාලනය නොවන තත්වයට පත්කරයි. කිසිදු හදිසි අවස්ථාවක්, ත්‍රස්තවාදී හෝ වෙනත් තර්ජනයක් ඇතිවූ අවස්ථාවකදී මෙරට විධායකයේ, ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේ බලය බලනොපැවැත්වෙන තරමේ අරාජික තත්වයක් මෙමගින් රට තුළ පැන නගී.

මෙහිදී ඉන්ධන සැපයුම පිළිබඳව පමණක් සැළකිල්ලට භාජනය කළද, මෙයින් සිදුවිය හැකි අලාභය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට, මීට පෙර යුගයකදී අත්සන් කරනු ලැබූ ‘හෙජින් ගිවිසුම’ තුලින් පමණක්ම මෙරටට සිදුකළ අලාභය සඳහන් කළ හැක. එමෙන්ම මෙමගින් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවීමට නියමිතය. අද ශ්‍රී ලංකාව වැටී ඇති ණය උගුල සහ විදේශ විනිමය අර්බුදය සැලකූ විට රජයේ මේ ප්‍රයත්නය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් පමණක් නොව මහත් අමන ක්‍රියාවකි.

සුවිශේෂී කාරණයක් ලෙස මෙහිදී තවදුරටත් ඉස්මතුව පෙනෙනුයේ, මෙම ගිවිසුම සඳහා මහත් උනන්දුවෙන් කටයුතු කරන වත්මන් මුදල් අමාත්‍යවරයා සැබවින්ම ‘ද්විත්ව පුරවැසියෙකු’ වීම යන කාරණයයි. ඔහු ‘පත්කළ මන්ත්‍රීවරයෙකු’ වන බැවින් කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයෙක්ද නොවේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර ලබාදීමට රජය කටයුතු කළ අවස්ථාවේදී එයට විරුද්ධව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස අප තදින්ම පෙනී සිටි හේතුවේ යථාර්ථය අද මෙලෙස විදේශීය පුරවැසියකු විසින් ඔප්පුකොට තිබේ. සත්‍යය වශයෙන්ම ද්විත්ව පුරවැසියා ඔහුගේ විදේශීය න්‍යායපත්‍රය මැනවින් ඉටු කරමින් සිටී.

මේ අනුව රටේ ජනාධිපතිවරයා ඇතුළු රජය ජාතික ආරක්ෂාව මෙන්ම ස්වෛරීත්වය තවදුරටත් තහවුරු කිරීමට අසමත්ව ඇති අතර ඒ වෙනුවට රට පාවා දීමේ පවිටු ව්‍යායාමයක කොටස් කරුවන් බවට පත්ව තිබේ. එමෙන්ම 20 සංශෝධනයට සහය දැක්වූ, විශේෂයෙන්ම ජාතිමාමක යැයි කියාගන්නා මන්ත්‍රීවරු ඔවුන් විසින් රටට සිදු කළ විනාශය දැන් හෝ වටහා ගත යුතුව ඇත. ජනතාව විසින් ඔබට සමාව දීම හෝ නොදීම තීරණය වන්නේ අද දින මේ නිර්ලජ්ජිත පාවා දීම් හමුවේ කටයුතු කරනු ලබන ආකාරය අනුවය. හීන් කෙඳිරියකට හෝ අවසානයේ පාවාදෙන සටනකට හෝ පාවාදෙමින් මැති ඇමති පුටු රැකගෙන යන ගමනකින් හෝ එම සමාව කිසිවිටෙකත් හිමි නොවනබව නම් අදාළ මන්ත්‍රීවරුන් ඉක්මණින් වටහා ගත යුතුව ඇත.

ජනතාව ලෙස අප අවබෝධකොට ගතයුත්තේ අද අපේ රට අප විසින් ගලවා ගතයුතු දිනය එළඹ ඇති බවයි. මේ පාවාදීම වැලකීමට ඔබෙත්, අපේත් හඬ දැඩිව අවදි කළ යුතුව ඇත. වෘත්තිකයිනි, ඔබව නොමග යැවීමට ලබාදී ඇති සිල්ලර මාතෘකා හඳුනාගෙන ඒවායෙන් ඉවත්ව මේ මහා ව්‍යයසනය හා ඉදිරියේ එන මහා පාවාදීම් වැලකීමට පෙළ ගැසිය යුතුව තිබේ. කොවිඩ්-19 වසංගතය පැතිරීමට ඉඩ හැර ඉතා සූක්ෂමව සැලසුම්සහගත ලෙස සිදුකරනු ලබන මේ මහා පාවාදීමට එරෙහි වීම, මේ මාතෘ භූමීයේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ වගකීමක් ලෙස සළකා කටයුතු කරමු.

අවසන් වශයෙන් කිවයුත්තේ අප, ‘වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ’ ලෙස රජයේ මේ ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින බවත් එය වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට අප නොපැකිළෙන බවත්ය.

මෙයට,

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෙනුවෙන්,
ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්

++++++++++++

******************************************

සුරා සැල් විවෘත කිරීම පිළිබඳ ඇමති ඩලස් ඇත්ත කියයි – අමාත්‍යය මණ්ඩල තීරණයක් නොවේ – ඇමති බැසිල්ගේ තීන්දුවක්

(23.09.2021 – 09:23 +0530 – lankaleadnews.com)

නිරෝධයන ඇඳිරි නීතිය කාලය තුළ හදිසියේම සුරා සැල් විවෘත කිරීම නිසා රට පුරා සෑම සුරාසැලක්ම කෝවිඩ් බෙදා හරින මධ්‍යයස්ථානයන් බවට පත්වූ බවට සමාජයෙන් බරපතල චෝදනා එල්ල විය. යම් පිරිස් අමද්‍යප න්‍යාය අනුව ඊට විරුද්ධවූ අතර යම් පිරිස් මංගල උත්සව වලට ඉඩ දීමට වඩා භයානක ලෙස 17 වැනි සිකුරාදා රට පුරා මත්පැන් සමඟ කෝවිඩ් බෙදා දීමට රජය කටයුතු කළ බවට චෝදනා එල්ල කළහ.

අමාත්‍යය මණ්ඩල ප්‍රකාශකයා ලෙස ඩලස් අලහප්පෙරුම අමාත්‍යයවරයා සඳහන් කළේ එම තීන්දුව අමාත්‍යය මණ්ඩලය විසින් ගත් තීන්දුවක් නොවන බවයි.

සමාජයේ පැතිර යන කතා අනුව අමාත්‍යයවරයා සඳහන් කරන්නේ සත්‍යයක් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ‘ලංකා ලීඩ්’ වෙත තහවුරු කරණු ලැබීය.

ඔහුට ලැබී ඇති තොරතුරු අනුව සුරාසැල් කෙසේ හෝ විවෘත කළ යුතු බවට අමාත්‍යය මණ්ඩලයේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇතත් ජනාධිපති තුමා ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත.

ඒ අනුව සුරා බදු කොමසාරිස්වරයාට ලැබුණු පුද්ගලික නියෝගයක් මත එය සිදුවී ඇති බව ඔහු පවසයි ෴

******************************************

රජිත් කීර්ති තෙන්නකෝන් (දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර) (23.09.2021)

******************************************

මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ් වාදයේ අනුගාමිකයන්, මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය ශ්‍රී ලංකාව බවට පත් කරමින් ඉන්නවා – යහියා මවුලවි තුමා

(23.09.2021 – 13:36 +0530 – lankaleadnews.com)

ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා යහියා මවුලවීතුමාය. මවුලවි කෙනෙක් යනු ආගමික ගුරුවරයෙකි. එසේත් නැතිනම් ෂේක්වරයෙකි. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද, එතුමා නිතිපතා ධර්මය දේශනා කරයි. තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් හා පැහැර ගැනීම් අවසානයේ දිවි ගලවාගෙන නමුත් තවමත් ඔවුන්ගේ බලවත්ම විවේචකයා වී සිටි යහියා මවුලවීතුමා කිසිවකුගේත් ආරක්ෂාවක් නැතිව හුදකලාව දිවි ගෙවමින් මෙසේ කියයි :

ඉහත සේයාරුවේ වම් පස පෙනෙන්නේ කැපුම් පාරයි

“මගේ ආරක්ෂාවට අල්ලාගෙ හෙවත් දෙවියන්ගේ මිත්‍රයින් සිටිනවා. ඉතින් මට වෙන කාගේවත් ආරක්ෂාවක් ඕන නෑ.

මේ වහාබ් අන්තවාදය පැතිරීමේ ප්‍රධාන ලකුණු දෙකක් තියෙනවා. එකක් මුහුණත් එක්ක මුළු ශරීරයම වසා දමන බුර්කාව. අනික මේ අන්තවාදය පසුපසින් එන කුඩු ජාවාරම. මේ දෙකම වහාබ්වාදයත් එක්කයි එන්නෙ. පළමුවෙන්ම ආණ්ඩුව බුර්කාව තහනම් කළ යුතුයි. මේ ඇඳුම අඳින්නට නබීතුමාවත්, කුරාණනයවත් අපට උගන්වල නෑ. නබිතුමාට බිසෝවරු හයදෙනෙක් (6) හිටියා. මේ හයදෙනා (6) පාරෙ යනකොට මිනිස්සු නොයෙකුත් කතා කියන්න ගත්තා. ඊට පස්සෙ තමයි නබිතුමා තමන්ගේ බිසෝවරුන්ට බුර්කා ඇන්දුවෙ, කාගේ කවුද, කොයි කෙනාද කියලා සොයා ගන්න බැරිවෙන්න. ඉතින් මේ අන්තවාදී මෝඩ රැල තමන්ගෙ ගෑනිටයි, දූලටයි බුර්කා අන්දලා නබිතුමාගෙ පවුල වාගේ හැසිරෙන්න හදනවා. මේක පිස්සුවක්. ආණ්ඩුව වහාම මේ ඇඳුම තහනම් කළ යුතුයි. එය මේ වහාබ් අන්තවාදය විනාශ කිරීමේ වැදගත් පියවරක්.

මීට අවුරුදු විස්සකට තිහකට (20-30) කලින් මේව අපේ රටේ තිබුණේ නෑ. මේ ඔක්කොම වහාබ් වාදයේ සල්ලිත් එක්ක ආපු විකාර. දැන් බෙහෙත් දෙන දොස්තරට ලෙඩා පේන්නෙ නෑ. බෙහෙත් දෙන ෆාමසියට බෙහෙත් ගන්න එකා පේන්නේ නෑ. බඩු විකුණන වෙළෙන්දට පාරිභෝගිකයා පේන්නේ නෑ. ඉතින් මේ බුර්කාව තහනම් නොකර කොහොමද?

මේවා කියන නිසා මුලින් මට වෙඩි තිබ්බා. ඊට පස්සෙ මාව පැහැරගෙන ගිහින් දවස් තුනක් (3) තිස්සෙ වධදීලා කිව්ව කට වහගෙන ඉඳපන් කියලා. මම ඒත් ඉස්ලාම් ධර්මය විකෘති කරනවට විරුද්ධව දේශනා පැවැත්තුවා. ඊළඟට මම මක්කම ගියාම මගේ කටේ දකුණු පැත්ත කැපුවා. අලවි මවුලානා ආණ්ඩුකාරතුමා දැක්ක මගේ කට කපනවා. එතුමා ඇහුව උඹල මක්කම ආවේ ඒ මිනිහගෙ කට කපන්න ද කියලා. සෞදි පොලිසියත් උන්ගෙ පැත්තෙ. ලංකාවෙ දි මාව පැහැර ගෙන වධ හිංසා කළාම පොලිසියට ගියා. ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා. එතුමන්ලා පරීක්ෂණ කරලා සති දෙකක් (2) මට ආරක්ෂාව දීලා කිව්ව මුන් එක්ක හැප්පෙන්නේ නැතිව ඉන්න කියලා. ඒ වුණාට මට නිශ්ශබ්ද වෙන්න බෑ.

දැන් හැම පල්ලියකම බලය මේ අන්තවාදීන් අතට පත් වෙමින් තියෙන්නේ. මේ රටේම දැන් උගන්වන්නේ ඉස්ලාම් අන්තවාදය. ඉතින් කොල්ලො මරාගෙන මැරෙන්න යනවා. ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය උගන්වන ආගමක් නෙවෙයි, වහාබ්වාදයයි ප්‍රචණ්ඩත්වය උගන්වන්නේ. ඒ වෙනුවෙන් මැදපෙරදිගින් සල්ලි පොම්ප කරනවා. ඉතින් මොවුන් කල්ලි ගැහි ගැහි සල්ලිවලට රොක් වෙනවා.

ඉස්ලාමය කියන්නේ ‘අන් කිසිවක් නෑ; ඇත්තේ අල්ලා දෙවියන්’ පමණයි කියලා. ඉතින් බුදු දහම, කිතුදහම, හින්දු දහම මේ සියල්ල දෙවියන් මැවූ දේවල්. හැම රටක්ම දෙවියන් මැවූ රටවල්. හැම සතෙක්ම හැම ගහ කොළක්ම දෙවියන් මැව්වෙ. ඉතින් ඒ හැම දේකටම තමන්ගේ පැවැත්මක් තියෙනවා. අපි ජීවත් වෙන රටේ නීතියට යටත්විය යුතුයි. අපි සියල්ලන්ටම පොදු නීතියක් තිබිය යුතුයි.

මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුළුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්නුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ් වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් වගේ ඇමැතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිණිලි කළාට කිසිම දෙයක් වෙන්නේ නෑ. රටේ මිනිස්සු හිතන්නෙ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.

මේව එක දවසෙන් වෙච්ච දේවල් නෙවෙයි. අවුරුදු විස්සක තිහකට පෙර වපුරපු බීජවල අස්වනු අපි මේ නෙළමින් ඉන්නේ. මේ ලංකාවට කුඩු ගෙන්වන ජාත්‍යන්තර සබඳතා හැදෙන්නේ ‘තබ්ලීක් තව්හීඩ්’ හා ‘ජමාද් අල් ඉස්ලාම්’ ගනුදෙනු හරහා. මොවුන් තමයි මේ රට ජාත්‍යන්තර කුඩු මූලස්ථානය කළේ. දැන් මොවුන් ලෝකයේ ආගමික අන්තවාදයේ මූලස්ථානය කරමින් ඉන්නවා. රටේ වගකිව යුත්තන් මේ සංවිධාන හා ඔවුන්ගේ මේ විකාර පැවැත්ම වහාම නතර කළ යුතුයි. මුස්ලිම්වරු කියන්නේ මේ රටේ ඉන්න තවත් අවංක අහිංසක ජන කණ්ඩායමක්. මොවුන් මේ ජන කණ්ඩායම විනාශ කරමින් ඉන්නේ.”

******************************************

ජිනිවා චෝදනා වලට උත්තර දෙන්න. ස්වභාවික යුක්තිය ඉල්ලා සිටින්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර (22.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *