හිරු අනාවරණ කළ හෝටල් නිරෝධායන ජාවාරම අවසන් – ගුවන් මගීන්ට පැය 3 ක් තුලදී පී.සී.ආර්. වාර්තා

හිරු අනාවරණ කළ හෝටල් නිරෝධායන ජාවාරම අවසන් – ගුවන් මගීන්ට පැය 3 ක් තුලදී පී.සී.ආර්. වාර්තා

*********************************************

හිරු අනාවරණ කළ හෝටල් නිරෝධායන ජාවාරම අවසන් – ගුවන් මගීන්ට පැය 3 ක් තුලදී පී.සී.ආර්. වාර්තා

(23.09.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ, විදෙස්ගතව සිට පැමිණෙන පිරිස නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරම අනිද්දා (25) අවසන් වනවා.

ඒ, පැය 3 ක් ඇතුළත වාර්තා ලබාගත හැකි පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ අද (23) ස්ථාපිත කිරීමත් සමගයි.

කටුනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකරමින් සිදුකළ මහා පරිමාණ මුදල් ගසාකෑම පිළිබඳ අප අවස්ථා කිහිපයකදි රට හමුවේ අනාවරණය කළා.

එහි ප්‍රතිපලයක් ලෙස නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට තිත තබමින් කටුනායක ගුවන් තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් අද (23) විවෘත කෙරුණා.

මෙහි පැයකට පුද්ගලයින් 500 දෙනෙකු වශයෙන් දිනකට පුද්ගලයින් 7000 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ හැකියි.

මේ යටතේ පුර්ණ එන්නත්කරණයට ලක්වු විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණීමේදි ඩොලර් 40 ක මුදලක් හෙවත් රුපියල් 8000 කට ආසන්න මුදලක් ගෙවා මෙම පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටිය හැකි වනවා.

දැනට පවතින ක්‍රමවේදයට අනුව පුර්ණ එන්නත්කරණයට ලක්වු විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමට පෙර මුදල් ගෙවා පළමුව නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කර ගත යුතුයි.

දෙවනුව පී.සී.ආර්. පරීක්ෂාවකට සහ රක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් 52 ක් පමණ ගෙවිය යුතුව තිබුණා.

ඒ අනුව විදේශිකයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමේදී පළමු පෙළ හෝටලයකට අවම වශයෙන් සියලු‍ ගාස්තු සඳහා ඩොලර් 200 ක් පමණ වැයවනවා.

එය රුපියල් වලින් 40,000 පමණ මුදලක්.

එහිදී, පි.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු හෝටලයේ රැඳී සිටිය යුතු අතර, පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලය ප්‍රමාද වන අවස්ථාවලදී අමතර මුදල් ගෙවිය යුතුව තිබුණා.

සංචාරකයින් නිරෝධායනයට ලක්වූ හෝටලයෙන් පිටව ගිය පසු සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටලයකට යායුතු අතර ඉන් පසුව ඔවුන්ට රට තුළ සංචරණයට අවසර හිමිවනවා.

කෙසේ වෙතත්, සෙනසුරාදායින් (25) පසු ඇරඹෙන නව ක්‍රම වේදය මඟින් ඕනෑම විදේශ සංචාරකයෙකුට ඩොලර් 40 ක් සහ රක්ෂණ ගාස්තු පමණක් ගෙවා ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තමන් කැමති නිශ්චිත හෝටලයකට යාහැකියි.

එතුළින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් හෝටල් නිරෝධායනය යටතේ මුදල් ගසාකෑම වළක්වාගත හැකියි.

කෙසේ වෙතත්, මෙම නව පහසුකම විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදිමට අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ යුතු වනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදි පුර්ණ එන්නත්කරණයට ලක් වු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මුදල් ගෙවා ගැනිමට නොහැකි නම් සිදු කරන පී.සී.ආර්. පරික්ෂණය සඳහා රජය මගින් ඩොලර් 40 මුදල ගෙවන බවට තිරණයකට එළඹුණු බවයි කම්කරු අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම, විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකසා එම පහසුකම් ජනතාවට ලබාදෙන තෙක් හිරු ප්‍රවෘත්ති තවදුරටත් අවධානයෙන්.

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 450 ක්

(23.09.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 450 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝන ආසාදිතයින් ගණන 5,10,040 ක් ෴

++++++++++++++++++++

පාසල් දරුවන් එන්නත්කරණය අද (24) ඇරඹේ

(24.09.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදු කිරිම අද (24) ආරම්භ වනවා.

ඒ අනුව පළමුව එන්නත්කරණය සිදු කරනු ලබන්නේ අවුරුදු 12 ත්, 19 ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන්.

දරුවන් සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන වයස් කාණ්ඩ 03 ක් යටතේ සිදුකිරීමට නියමිතයි.

එහි පළමු අදියර ලෙස අවුරුදු 12 ත්, 19 ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදෙන අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල්වල දී අද මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වනු ඇති.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 1,368 දෙනෙකු ඊයේ (23) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,10,040 දක්වා ඉහළ ගියා.

පසුගිය 22 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 72 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) තහවුරු කළා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,448 ක් ලෙසයි ෴

අවුරුදු 12 ත්, 19ත් අතර දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන සහ විශේෂ ආබාධ සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) උදෑසන ආරම්භ කෙරුණා ෴

++++++++++++++++

පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්

(24.09.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ඔක්තෝම්බර් පළමු (01) වැනි දා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සලකා ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරී සභාපතිවරුන්ගේ සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා ඊයේ (23) දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000 කට වැඩි සහන පැකේජයක් ලබා දීමට ද රජය විසින් සැලසුම් කර ඇති බවයි.

සාමාන්‍ය තත්ත්වයන් තුළ දිවයින පුරා ශ්‍රී ලංගම බස් රථ 5,500 ධාවනයේ යෙදෙන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනය වන බස් රථ ප්‍රමාණය 3,250 ක්.

පළාත් ප්‍රවාහන පද්ධතිය තුළ ධාවනය වන බස් රථ සංඛ්‍යාව 18,500 ක් පමණ වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

(23.09.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 4,23,746 ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 1,98,606 ක්.

විභාග මධ්‍යස්ථාන 4513 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542 ක් ස්ථාපිත කර තිබුණා.

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 23.09.2021 දින රාත්‍රියේ නිකුත් කෙරුණා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ නො පැවැත්වුණු බැවින් එම විෂයන් හැර අනෙකුත් විෂයන්වල ප්‍රතිඵලයි එලෙස නිකුත් කෙරුණේ.

පාසල් විවෘත කිරීමෙන් පසු එම සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නැවත එම සිසුන් වෙත ප්‍රතිඵල ලේඛන නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයිනේ සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛණ ඉදිරි දින 2 තුළ දී නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැඳවීම ඉදිරියේ දී දැනුම් දීමට නියමිත අතර සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන්හි ප්‍රතිඵල තීරණය කර නො මැති සිසුන් සඳහා උසස් පෙළ පන්තිවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම් සහිත විශේෂිත චක්‍රලේඛය ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ඇති ෴

2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොමැතිව සිසුන් 236,053 ක් උසස්පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා ෴

******************************************

සාගලට ඇමති ආරක්ෂාවක් කොහෙන්ද ? වඩිවේල් අසද්දී රනිල් වියරු වැටෙයි

(23.09.2021 – 20:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) පාර්ලිමේන්තුව තුළදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් තමන්ට ජීවිත තර්ජන ඇති බව සඳහන් කළා.

තමන් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් 2021.09.08 දින අංක 60 රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත පිහිටි තම කාර්යාලයේ ඉබි යතුරු බලහත්කාරයෙන් කඩා දමා කාර්යාලය තුළට මැර පිරිසක් පැමිණි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.

යකඩ කූරු සහ පොලු රැගෙන පැමිණි මෙම පිරිස් අතර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක සහ රුවන් විජේවර්ධන ද සිටි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.

මොවුන් මෙලෙස ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් ද සමග බලහත්කාරයෙන් සිය කාර්යාලයට ඇතුළු වූයේ කාගේ හයියක් බලයක් ඇතිව ද යන්න තමන්ට ගැටලුවක් බව ඔහු පැවසුවේ.

තමන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන බවත්, මෙලෙස බලහත්කාරයෙන් ඇතුළු වූ කිසිදු පුද්ගලයෙකු මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර නොදරන බවත්, ඔවුන් සාමාන්‍ය පුරවැසියන් වන බවත් අවධාරණය කළ වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ මන්ත්‍රී ධූර අහිමි වූ පසුවත් සාගල රත්නායක, නවීන් දිසානායක, රුවන් විජේවර්ධන ආදීන්ට ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද යන්නයි.

මෙලෙස ආයුධ සන්නද්ධව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ද ආරක්ෂාව ඇතිව සිය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීම සහ පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් ඔහු මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම සිදුවීම් මාලාව හරහා මහජන නියෝජිතයකු වන තමන්හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලිව අවබෝධ වන බවයි ඔහු අවධාරණය කළේ.

මෙම පිරිස් අදාළ සිදුවීම වූ දිනයේ සිය කාර්යාලයට පැමිණ තමන්ගේ රාජකාරියට බාධා කරමින් තමන්ට අපහාස වන අයුරින් සහ බිය දැනෙන අයුරින් කටයුතු කරන්නට වූ බවත් ඔහු කියා සිටියා.

එදින ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විසින් වැලිකඩ පොලීසියේ පැමිණිල්ලක් ගොනු කළ ද මේ දක්වා එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද කිසිදු විමර්ශනයක් සිදු නොකල බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේ.

ඉහත සිදුවීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට තමන් සිතන බැවින් මෙම කාරණය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකර සාධාරණ පියවරක් ගැනීමට කටයුතු කරන ලෙස ඔහු කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව නැගී සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිදුවීමට අදාලළ කාරණාය මේ වන විට උසාවියේ විභාග වන බැවින් එය නීත්‍යානුකූලව විසඳෙන තුරු සිටිය යුතු බවට යෝජනා කළා.

කෙසේ වෙතත් මෙහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකළ බාධා කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකෝපකාරී ව හැසිරෙමින් කතානායකවරයාට කියා සිටියේ ‘මෙම පිස්සාට වාඩි වන ලෙසට දැනුම් දෙන’ ලෙසයි.

මෙලෙස අවස්ථා දෙකකදී (2) එක්සත් ජාතික පක්ෂ නායකයා මෙම පිස්සා හට වාඩි වන ලෙස දැනුම් දෙන්නයි කථානායකවරයාට කියා සිටියා.

මෙම සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ගේ චෝදනාව වූයේ තමන් මතුකළ කාරණයට එක්සත් ජාතික පක්ෂ නායකයාට උත්තර බැඳීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවයි.

******************************************

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න – ඩිලාන් පෙරේරා

(23.09.2021 – 23:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩකඩක් පවතින බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

සහල්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් ගැන අවසන් තීරණය හෙට (24)

(23.09.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව හෙට (24) පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදී අවසන් විසඳුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (23) ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ජිවන වියදම් කමිටුව හෙට (24) පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතයි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 800 ක් පමණ මේ වනවිට නිශ්කාශනය කර ගැනීමට නොහැකිව කොළඹ වරාය තුල පවතින බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික සේවා අධිකාරි සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ (22) දිනයේම අත්සන් තිබූ අතර එය මේ වනවිට බලාත්මකයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි සංශෝධන පනත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඊට අදාළ ගැසට්ටුව නිකුත් කර ඇති බව වාර්තා වෙනවා ෴

******************************************

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ නිවසේ සිටි දුර්ලභ ගනයේ බකමූණන් තිදෙනා (3) වනජීවියට

(24.09.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ නිවසේ සිටි දුර්ලභ ගනයේ බකමූණන් තිදෙනෙකු වනජීවිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් විසින් කළ දැනුම්දීමකට අනුවයි මෙම බකමූණන් සොයාගෙන ඇත්තේ.

මන්ත්‍රීවරයාගේ නිවසේ වහලය මත සිටි Barn Owl නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දුර්ලභ ගනයේ බකමූණන් තිදෙනා (3) ගේ ඡායාරූප පහතින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *