මහ බැංකු අධිපති ධූරයෙන් කබ්රාල් ඉවත් කරන්න – මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ බැංකු අධිපති ධූරයෙන් කබ්රාල් ඉවත් කරන්න – මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

*********************************************

මහ බැංකු අධිපති ධූරයෙන් කබ්රාල් ඉවත් කරන්න – මනුෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(23.09.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ඔහු මහබැංකු අධිපතිධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වගඋත්තරකරුවන් බවට පත් කර තිබුණා.

මහ බැංකුවේ චිරාත් කාලයක් පවතින ආචාර ධර්ම පද්ධතියට අනුව දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙක් හට අධිපතිධූරයට පත්විය නොහැකි බවද, එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් දේශපාලනයට සෘජුව සම්බන්ධ පුද්ගලයෙක් බවද මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරමින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසයි.

ඔහු 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරි පත්වූ බවද 2004 වසරේදී අගමැති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙස පත්ව පසුව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ධූරයට ද පත්වූ බව මෙම පෙත්සමේ සදහන් වෙනවා.

2006 වසරේ ජූලි 01 වන දින 2015 ජනවාරි 09 දින දක්වා මහබැංකු අධිපති ධූරය දැරූ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ධූරයේ දිවුරුම් දුන් දිනයේදීම එම තනතුරින් ඉල්ලා අස්වූ බවද එමගින් ඔහුගේ දේශපාලන බැඳියාවන් පෙන්නුම කරන බවද පෙත්සමේ දැක්වෙනවා.

පොදුජන පෙරමුණ පිහිටුවන අවස්ථාවේ ආරම්භක සාමාජිකයෙක් වූ ඔහු එම පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍ය ධූරය දැරූ බවත්, එම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ දින රාත්‍රියේදී මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් මෙම පෙත්සමේ වැඩිදුරටත් සඳහන්.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වූ වෝහාරික විගණනවලදී අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් විමර්ශණ කර ඇති බවද, බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස ඔහුගේ සහෝදරියක් වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බවද මනුෂ නානායක්කාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ සත්කාරකත්වය මෙරටට ලබා ගැනීම සඳහා ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ සිටින සුබේර් නම් පුද්ගලයෙක්ට ඩොලර් මිලියන 6.5 ක මුදලක් ලබාදීම සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බවද එමගින් අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5 ක මුදලක් රටට අහිමි කර ඇති බවද මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමේ සදහන් වෙනවා.

මෙවැනි පුද්ගලයෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු විධායකය ගත් තීරණය මගින් තමන්ගේ මූලික අයිතිවාසකම් උල්ලංඝනය වන අතර එබැවින් අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන ලෙස මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴

******************************************

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකට එරෙහිව බන්දුලගෙන් පොලිසියට පැමිණිල්ලක්

(23.09.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනයේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටියදී අමාත්‍යවරුන් විසින් බලපෑම් කළ බවට පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු විසින් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (23) දින පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා කර ඇති ප්‍රකාශය අසත්‍යයක් බැවින් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි බන්දුල ගුණවර්ධන අද (23) මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කලේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

******************************************

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවෙයි

(23.09.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් හමුවූ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළා.

මෙයට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බැලීම, එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීම සහ ස්වාධීන ආයතන බල ගැන්වීම වැනි කරුණු පිළිබඳවද දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එහිදී මෙම ගැටලු විසඳීම සඳහා විදේශ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බව සඳහන් කළ විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2009 මැයි මාසයේ දී යුධ ගැටුම් අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති ගැටලු විසඳීම සඳහා ද රජය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

මෙම බොහෝ අංශවලින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත් එම ප්‍රයත්න අඛණ්ඩව සිදු වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉතා වැදගත් බව අවධාරනය කල ඉන්දීය විදේශ අමාත්‍යාංශය එස් ජයිශංකර් කියා සිටියේ ජනවාර්ගික ගැටලුවලින් පසු ඇති වන අවශේෂ ගැටලු පිළිබඳ සාධාරණ හා යුක්ති සහගත විසඳුමක් ළබා දීම දෙරටේම යහපත සඳහා හේතුවන බවයි.

අපගේ සබඳතා එක් ගැටලුවක් සඳහා පමණක් සීමා නොවිය යුතු බවත් සබඳතා වැඩිදියුණු කිරීමේ දී නවදිල්ලියට වැඩි විශ්වාසයක් ලබා දිය හැකි වන පරිදි, ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ව්‍යාපෘති සංඛ්‍යාව ප්‍රායෝගිකව අවසන් කිරීමේ අවශ්‍යතාවයත් ඔහු මෙහිදී අවධාරණය කළා.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුම් වෙත කඩිනමින් එළඹීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනාම සිය එකඟතාව පළ කළා.

******************************************

වැලිකඩ සහ අනුරාධපුර සිද්ධීන් පිළිබඳ සෙවීමට විශ්‍රාමලත් විනිසුරු කුසලා සරෝජිනී පත්කෙරේ

(23.09.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළට හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරු සුබසාධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමත්ව රාත්‍රී කාලයේ ගොස් හටගත් සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය වරයා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන පත්කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ දැනටමත් අදාල සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම ස්වාධීන පරීක්ෂණ දෙකක් (2) සිදු කරමින් පවතින බවයි.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන ගේ වාර්තාව ලබා ගැනෙන්නේ ඉහත කී පරීක්ෂණ වාර්ථතාවන්ට අතිරේකවයි ෴

******************************************

‘මැණිකේ මගේ හිතේ’ ඉන්දීය දේශපාලනයට

(23.09.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි දිලෝකා සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ දැවැන්ත දේශපාලන චරිතයක අනාගතය තීරණය කරන සාධකයක් බවට පත්ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහඇමතිනිය වන මම්තා බෙනර්ජිගේ අතුරු මැතිවරණ ව්‍යාපාරය සඳහා එම ගීතයේ අනුවර්තනයක් යොදා ගැනීම හේතුවෙන්.

පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී ට්‍රිනමූල් කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ ද එහි නායිකාව වූ මම්තා බෙනර්ජිට සිය අසුනෙන් අත්වූයේ පරාජයක්. ඇයට මහඇමති ධුරය තවදුරටත් පවත්වා ගැනීමට නම් ලබන 30 වනදා පැවැත්වෙන බබනිපූර් අතුරු මැතිවරණයෙන් ජය ගත යුතුයි.

මෙම තීරණාත්මක අතුරු මැතිවරණයේ ප්‍රචාර ව්‍යාපාර සඳහා ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ බෙංගාල අනුවර්තනයක් යොදා ගැනීමට මම්තා බෙනර්ජිගේ පක්ෂය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රාජේශ් චක්‍රබෝර්ති සහ ඇගේ දියණිය අපරාජිතා නිර්මාණය කළ එම ගීතය මේ වනවිට සමාජ මාධ්‍ය වලට එක් කර අවසන්.

මැණිගේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් වාර මිලියන 120 ඉක්මවා තිබෙනවා.

බොලිවුඩ් පුරයේ දැවැන්තයන් වන අමිතා බච්චන්, ටයිගර් ෂෙරොෆ්, මධුරි ඩික්සිත් ඇතුළු බොහෝදෙනාගේ ප්‍රසාදයට ලක් වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය දෙමළ, හින්දි මෙන්ම බෙංගාල බසින් ද ගායනා කර තිබෙනවා.

යොහානිට ඉන්දියාවේ සජිවී ප්‍රසංග දෙකක් (2) සඳහා ‘සී-එන්ටටේන්මන්ට්’ වෙතින් ඇරයුමක් ලැබුණේ ඉන් අනතුරුවයි.

බටහිර බෙංගාල මහඇමතිනි මම්තා බෙනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරයට ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යොදා ගෙන ඇත්තේ ඇයට සිදුකරන උපහාරයක් ලෙසින් එහි තනුවට නව වදන් පෙලක් යොදා ගෙනයි.

‘මැණිකේ මගේ හිතේ’ යන්න එහිදී වෙනස් කර ඇත්තේ ‘මා මති මනුෂ් හිතේ’ නැත්නම් ‘මව, මව්බිම සහ ජනතාව සිත්තුල ඇති’ බව සඳහන් කරමින් ෴

+++++++

******************************************

කෙරවලපිටියේ ගිවිසුම ගැන අගමැති – හවුල් පක්ෂ සාකච්ඡාව ඇරඹේ

(23.09.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග අත්සන් කර ඇතැයි පැවසෙන ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අද (23) පස්වරු 04:30 ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව ආරම්භ වුණා.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග පසුගිය 17 වනදා ගිවිසුමකට එළඹ ඇති බව මේ වනවිට ප්‍රකාශ වී තිබෙනවා.

මෙම ගිවිසුම එළඹ ඇත්තේ සංකල්පීය එකඟතාවකට පමණක් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (22) සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සිය නිල වෙබ් අඩවියට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් වූයේ කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 918 ක්

(23.09.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 918 ක් මෙරටින් හමුව තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,09,590 ක් වනු ඇති ෴

++++++++++++++++++++

වසන්තයේදී කොරෝනාව ප්‍රතිශ්‍යාවක් බවට පත්වේවි – වෛද්‍ය විශේෂඥයෙකුගෙන් මතයක්

(23.09.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා මිනිස් ජිවිත හතලිස් හත් ලක්ෂයකට (47,00,000) වැඩි සංඛ්‍යාවක් බිලිගත් විසිතුන් කෝටියක් (23,00,00,000) රෝගී කළ කොරෝනා වයිරස් ගෝලීය වසංගතය මීළඟ වසන්ත සමය උදා වනවිට සාමාන්‍යය ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ප්‍රකට වෛද්‍ය විද්‍යාඥයෙකු පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත නිපදවූ විද්‍යාඥ කණ්ඩායමේ මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් ප්‍රකාශ කළේ මෙම ශීත ඍතුව පසුවීමත් සමඟ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි.

මේ අතර, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500 ක් ඉදිරි වසරේදී පරිත්‍යාග කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිල වශයෙන් නිවේදනය කළා.

ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමීව පැවති කොරෝනා වෛරසය පිළිබඳ අතත්‍ය සමුළුවේදී ජනපති බයිඩ්න් ප්‍රකාශ කළේ එන්නත්කරණය මගින් වයිරසයට එරෙහිව සන්නද්ධ විය හැකි බවයි.

ගෝලීය ජනගහනයෙන් සියයට 70 ක් එන්නත්කරණයට ලක් කිරීමට නම් කොරෝනා එන්නත් මාත්‍රා බිලියන 11 ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

තවත් කොරෝනා මරණ 72 ක්

(23.09.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණ 72 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (22) දින තහවුරු කර ඇති එම මරණ 72 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448 ක්.

එම මරණ අතර කාන්තාවන් 30 ක් සහ පිරිමින් 42 ක් වනවා.

ඒ සමගම අද (23) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 918 ක් මෙරටින් හමුව තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,09,590 ක්.

අදාල නිවේදනය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *