තවමත් නො නැවතුණු නිරෝධායන ගසාකෑම

තවමත් නො නැවතුණු නිරෝධායන ගසාකෑම

*********************************************

තවමත් නො නැවතුණු නිරෝධායන ගසාකෑම

(20.09.2021 – 22:34 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට මෙරටට පැමිණීමේදී කොවිඩ් ගෝලීය වසංගතය දඩමීමා කර ගනිමින් අතරමැදි තැරැව්කරුවන් හරහා හෝටල් නිරෝධායනයට ජනතාව යොමු කර මුදල් ගසාකෑමේ ජාවාරමට මෙතෙක් නිසි විසඳුම් ලැබී නොමැති බව වාර්තා වනවා.

මෙරටට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රීලාංකික ශ්‍රමිකයන් ගුවන් තොටුපලේදීම කොවිඩ් පරීක්ෂණවලට ලක්කර පැය කිහියක් තුල මුදාහැරීමට බලධාරීන් ලබා දුන් පොරෙන්දු මෙතෙක් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක්.

+++++++++++++++

මධ්‍යසාර සමාජ ගතකිරිමේ වගකීම්විරහිත ක්‍රියාව හෙළාදකිනවා – වෛද්‍ය සමාධි රාජපක්ෂ

(20.09.2021 – 17:32 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් බෝවීම සිඝ්‍ර කරවීමට හේතුවන මධ්‍යසාර සමාජ ගතකිරීමේ වගකීම්විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයයේ මත්පැන් හල් විවෘත කර මත්පැන් පොලීම් නිර්මාණය කිරීම අනුවණ ක්‍රියාවක් බව සභාපතිවරයා පෙන්වාදෙයි.

එය සමස්ත ප්‍රජාවගේම ජිවිත අනතුරේ හෙළීමක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, අචාර්යය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

එම ක්‍රියාව කොවිඩ් මර්දන වැඩපිළිවෙළට විශාල බාධාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++

(21.09.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 1,518 දෙනෙකු ඊයේ (20) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,06,009 දක්වා ඉහළ ගියා.

පසුගිය 19 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 93 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කළා.

ඊට පිරිමින් 45 ක් සහ කාන්තාවන් 48 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 68 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමින් 32 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 12 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 ට අඩු එක් (1) පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,218 ක් ලෙසින්.

මේ අතර, කොරෝනා ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ රෝගීන් 80,116 ක් ප්‍රතිකාර සඳහා භාරගෙන ඉන් 67,504 ක් සුවය ලබා තිබෙනවා.

එසේම, පශ්චාත් කොරෝනා සමයේ දී මානසික පීඩා, හන්දි වේදනා සහ හෝමෝන ගැටලු ඇතුළු විවිධ සංකුලතා ඇතිවිය හැකි බවයි ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය ඊයේ (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

හෙට (22) දිනයේ දී රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුතගානන්ද හිමියන් පවසනවා.

රුපියල් 7500 ක කොවිඩ් විශේෂ දීමනාව යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් එය සිදු කරන බවයි උන්වහන්සේ කියා සිටියේ.

මේ අතර, හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 13 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරු ව රෝහල් පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කළේ, රෝහලේ වෛද්‍යවරයකු විසින් පිටතින් ගෙන එන ලෙසට ලබාදුන් රුපියල් 21,000 ක වටිනාකමකින් යුත් එන්නතක් ලබාදීමෙන් පසු 55 හැවිරිදි අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි.

අදාළ මරණය සම්බන්ධයෙන් ඥාතින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මේ අතර, කොරෝනා ආසාදිත ව නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි කෑගල්ල – කොටියාකුඹුර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නිවසෙන් ගංජා මිල දී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයින් 06 දෙනෙකු පින්දෙණිය පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී කෑගල්ල මහේස්ත්‍රාත්වරිය වන වාසනා නවරත්න නියෝග කළේ, අදාළ පුද්ගලයින් ද ගංජා අලෙවි කළ කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ නිවසේ ම නිරෝධායනයට ලක් කරන ලෙසයි.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද මැදිහත් වීමෙන් අදාළ පුද්ගලයින් 06 දෙනා එම නිවසේදී ම නිරෝධායනයට යොමු කෙරුණා.

කොරෝනා ආසාදිත ව නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමු වී සිටි වැලිගම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු සිය මවට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් ව තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ මව විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වැලිගම පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින තත්ත්වය මත සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නො මැති වූවත්, අධිකරණයට ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(21.09.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ‘ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා’ අතර හමුවක් පසුගිය 19 වන දා පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදුව තිබෙනවා.

දෙරට අතර පනස් වසරක (50) සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපල එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙම හමුවේ දී සඳහන් කර සිටියා.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ද එහි දී ඉල්ලීමක් කර සිටියා.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නා.

වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ අතර, ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථාබහට ලක් වුණා.

******************************************

රත්වත්තේ ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්නැයි ඉල්ලීමක්

(20.09.2021 – 19:16 +0530 – sinhala.adaderana.lk)

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුගේ විනය විරෝධී ක්‍රියා කලාපය නිසි සමාලෝචනයට ලක් කරන ලෙස ‘මාර්තු 12 ව්‍යාපාරය’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කරයි.

‘මාර්තු 12 ව්‍යාපාරයේ’ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ සිද්ධියට අදාළ පාර්ශවකරුවෙකු වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන පරීක්ෂණය කෙරෙහි මහජන විශ්වාසයක් ඇති නොවන බවය.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඇඳහිය නොහැකි නිහඬ බව මෙවැනි අප්‍රසන්න හා අපිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණයට වීමට ප්‍රබල සාධකයක් වූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන ආකාරයේ හැසිරීමක් පළ කරන යම් පුද්ගලයෙකු වේ නම් එකී පුද්ගලයා පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍ය නායකයින්ගේ හා පක්ෂ නායකත්වයේ පරම වගකීම විය යුතු බව ‘මාර්තු 12 ව්‍යාපාරයේ’ කැඳවුම්කරු වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධ පරීක්ෂණවලදී , සැබවින්ම සිදුවූ දේ වෙනුවට වෙනස් සාක්ෂි ලබාදෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් එල්ලවෙමින් පවතින බවට තොරතුරු ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී කලහකාරී ලෙස හැසිරුණු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඊයේ (19) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිදුවීම වූ අවස්ථාවේ සේවයේ නිරතව සිටි නිලධාරීන් හමුවිය.

එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් සමග පැය 04 ක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වූ අතර සිදුවීම සිදුවූ අවස්ථාවේ සේවයේ නියුතු නිලධාරීන්ද හමුවී තිබේ ෴

******************************************

පොලිස් නිලධාරියා තම දිවි පරදුවට තබා සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම

(20.09.2021 – 19:00 +0530 – sinhala.adaderana.lk)

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි.

ඇතැම් අවස්ථාවල එම මෙහෙයුම්වලදී ඔවුන් සිය ජීවිත පවා අවදානමේ හෙළනු ඇත.

ඒ බව මනාව තහවුරු වන සිදුවීමක් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයෙන් අද (20) වාර්තා වුණි.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද (20) රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මත්කුඩු වැටලීමකට යන්නේ ලද හෝඩුවාවකට අනුවය.

එලෙස ගමන් කරන අතරවායේදී ඔබේසේකරපුර මංසන්දියට නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක්, අසල නවතා තිබු මෝටර් රථයකට යම්කිසි පාර්සලයක් ලබා දෙන බවට නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

එම පාර්සලය තුළ මත්කුඩු තිබේදැයි මතුවූ සැකය මත වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් ත්‍රිරෝද රථය අසලට ගොස් එහි සිටි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනු ලබයි.

පසුව ත්‍රිරෝද රථයේ යතුර සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ගමන් කරන්නේ මෝටර් රථය අසලටය.

එහිදී නිලධාරීන් මෝටර් රථය අසලට ගමන් කිරීමත් සමඟ සැණින් ක්‍රියාත්මක වන රියදුරු මෝටර් රථය ධාවන කරන්නට පටන් ගනී.

එහිදී එක් නිලධාරියෙකු මෙලෙස රථය නතර කිරීමට උත්සාහ කරන්නේ මෝටර් රථයේ ‘බොනටය’ මත එල්ලී තම ජීවිතය පවා පරදුවට තබමිනි.

ඒ අතර වාරයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයෙකු පළා යන අයුරු ඒ අසල වු CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි.

මීටර 500 ක් පමණ දුර මෝටර් රථය වේගයෙන් ධාවනය කළ සැකකරු පසුව සැණෙකින් තිරිංග ක්‍රියාත්මක කිරීමත් සමඟ පොලිස් නිලධාරියා බිම ඇද වැටී තිබුණි.

එහිදී නිලධාරියාගේ හිසට හා පාදයට තුවාල සිදු වී ඇති අතර හිසට මැහුම් 4 ක් යොදා ඇති බව වාර්තා වේ.

එම ත්‍රාසජනක සිදුවීමට මුහුණ දුන් පොලිස් සැරයන් වසන්ත මීට පෙරද වැටලීම් රැසක් සිදුකර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දුන් දක්ෂ නිලධාරියෙක් බව පොලීසිය පවසයි.

නිලධාරීන් මෝටර් රථය හඹා යන අතරතුරදී පාර්සලය රැගෙන ආ ත්‍රිරෝද රථයේ රියදුරු රථය රැගෙන පළාගොස් ඇති අතර රථයේ යතුර පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ නිසා ඔහු ත්‍රිරෝද රථය පණගන්වා තිබුණේ වෙනත් ක්‍රමයකිනි.

පළාගිය මෝටර් රථය CBK-3981 අංක තහඩු සහිත ටොයෝටා විට්ස් වර්ගයේ අළු පැහැති රථයක් බව පොලීසිය පවසයි.

එය සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

එමෙන්ම වැඩිදුර විමර්ශන සඳහා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත නිලධාරී කණ්ඩායම් දෙකක් පත්කර තිබේ.

https://www.youtube.com/watch?v=nBJR-l_fc04#t=5

******************************************

(21.09.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි මිල වැඩි කිරිම සම්බන්ධයෙන් අනිද්දා (23) රැස් වෙන ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා කිරිමට නියමිත ව තිබෙනවා.

එහි දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂ ව ඩොලරයේ අගය ඉහළ යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගට ම ඉල්ලීම් කළා.

එහෙත් මිල වැඩි කිරීමට රජය ඊට අවසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් පසු ව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදුවන මූල්‍ය අලාභය සැලකිල්ලට ගනිමින්.

මේ වනවිට වෙළඳපොළ තුළ කිරිපිටි නො මැති තත්වයක් ද උද්ගත ව ඇති අතර, එවන් පසුබිමක් තුළයි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර පෙරේදා (19) දිනයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ.

එහි දී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවට යි.

කෙසේ වෙතත්, පසු ව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොළ තත්ත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව යි රුපියල් 200 ක මිල වැඩි වීමකට ආනයනකරුවන් එකඟ වී ඇත්තේ.

ඒ අනුව ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ ලබන බ්‍රහස්පතිදා (23) දිනයේ රැස් වන ජීවන වියදම් කමිටුවේදි යි. එහි දී දීර්ඝ වශයෙන් මේ පිළිබඳ ව සාකච්ඡා කර තිරණයක් ගැනිමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 7,000 ත් අතර අගයක පවතින අතර, දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක් ෴

******************************************

පාරිභෝගික අයිතින් වෙනුවෙන් කටයුතු කරල මට ලැබුනේ මරණ තර්ජන – රැකියාවෙන් ඉවත් වෙන්න බලපෑම් (18.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *