කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක

කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක

*********************************************

කොන්ත්‍රාත්තුවක් නිසා පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ඉල්ලා අස්වීමේ තීරණයක

(19.09.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත ලබන අගහරුවාදා (21) භාරදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

භාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමකට අත්සන් කිරීමට බලපෑම් කිරීම, අක්‍රමිකතාවලට විරුද්ධ වීම සහ සුදුලූණු කන්ටේනර් දෙකක් (2) නීතිවිරෝධී ලෙස පිට කිරීමේ සිද්ධිය ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් තමන් වෙත බලපෑම් පැමිණි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

සීනි, උදු පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ රැසක් මෙසේ වංචාසහගත ලෙස වෙනත් මාර්ගවලින් පිටතට යන බවත් සුදුලූණු සිද්ධියේදී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුලූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යළි සතොසට මිලදී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළා.

දේශපාලන පත්වීමක් වුවත් තමා හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් ඇතැම් දේශපාලනඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් ඵලක් නොවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ෴

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ බලපෑම් එල්ල වන බව පවසමින්.

අද (19) ‘හාඩ් ටෝක්’ තුළින් ඍජුව ප්‍රශ්න කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

******************************************

(19.09.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.

එරට වේලාවෙන් 18 වනදා ප.ව. 02:30 ට නිව්යෝර්ක්හි ජෝන් එෆ්. කෙනඩි අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

‘කොවිඩ්-19 වයිරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම’ යන්න තේමා කරගනිමින් 21 වන අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වනවා.

මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට (20) පෙරවරුවේ ආරම්භ වන අතර, සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිනවා.

රාජ්‍ය නායක සමුළුවේ දෙවන (2) දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය සිදු කරන අතර, 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට ද අපේක්ෂාවෙන් පසුවනවා.

සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතවයි.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද ජනාධිපතිවරයා සමග සංචාරයට එක්ව සිටිනවා.

******************************************

(19.09.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

තිස්සමාහාරාම මුතියම්මාගම ප්‍රදේශයේදී සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ඊයේ (18) සවස තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත්තේ ලොරියක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙන්.

බෙරලිහෙල සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථය එක්වරම මාර්ගයේ දකුණුපසට හැරවීමේදී බෙරලිහෙල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටී ඇදී ගොස් අසල තිබූ ගේට්ටු කණුවක ද ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් ත්‍රී රෝද රථය පැදවූ 23 හැවිරිදි තරුණයා සහ එහි ගමන් කළ 53 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වුනා.

ඔවුන් බෙරලිහෙල සහ මුතියම්මාගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෘත ශරීර දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුරට අදාළව ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස්සමහාරාම පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

මියගිය අයගේ ඥාතීන් පවසන්නේ ලොරි රථය පැද වූ පුද්ගලයා තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරිනියකගේ ස්වාමිපුරුෂයා බවයි.

අනතුරෙන් පසුව ප්‍රදේශවාසීන් පොලිස් ස්ථානය ඉදිරිපිටට සහ රෝහල් භූමියට පැමිණ චෝදනා කරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අප තිස්සමහාරාම පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බීමතින් සිටියේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර ගාල්ල – ගිංතොට පියදිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ බැම්මක ගැටී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා ෴

******************************************

(19.09.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

විවිධ අපරාධ රැසකට අවශ්‍යකර සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය රාගම සහ ජුලම්පිටිය ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් දෙදෙනෙකු (2) ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

ඊයේ (18) එම නිලධාරීන් විසින් ජුලම්පිටිය හංදියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8 ක් සොයා ගැණුනා.

ඒ අනුව 35 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු ජුලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ ඔහු රන්මාල කොල්ලකෑම් සහ ගෙවල් බිඳුම් රැසකට අවශ්‍ය කරන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවයි.

එම පුද්ගලයාගේ ප්‍රකාශ මත ඔහු විසින් සිදු කළ අපරාධ ගණනාවකට සම්බන්ධ තවත් අයෙක් ඊයේ (18) උදෑසන ගල්පොත්තයාය හංදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි එම සැකකරු ද ජුලම්පිටිය ප්‍රදේශයේම පදිංචි අයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා (2) වලස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල හා ඇඹිලිපිටිය යන පොලිස් වසම්වල සිදුවූ අපරාධ ගණනාවකට සම්බන්ධ බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා (2) වලස්මුල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර එම පොලිසිය විසින් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මේ අතර රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩයාමක් විසින් වැලිපිල්ලෑව ප්‍රදේශයේදී ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ වරදට සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු (2) ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) ඉඹුල්ගොඩ සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රාගම පොලිස් වසමේ දිවා කාලයේදි සිදුවූ ගෙවල් බිඳුම් කිහිපයකට මෙම සැකකරුවන් දෙදෙනා (2) සම්බන්ධ බවටයි.

ඔවුන් විසින් සොරකම් කළ රන් භාණ්ඩ ජංගම දුරකථන ඇතුලු දේපළ ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා (2) අද (19) වැලිසර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(19.09.2021 – 06:09 +0530 – hirunews.lk/sinhala)

ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සදහා එම එන්නත් මාත්‍රා 120,000 ක අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.

කිලෝග්‍රෑම් 1450 ක බරින් යුත් එන්නත් තොගය පෙට්ටි කිහිපයක අසුරා තිබූ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර අද (19) අලුයම දිවයිනට රැගෙන ආ ස්පුට්නික් එන්නත් 120,000 මහනුවර ජනතාවට දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදීම අනිද්දා (21) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ස්පුට්නික් එන්නතේ පළමු (1) මාත්‍රාව ලැබූ සියළු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මහනුවර දිස්ත්‍රික්කයේ 1,50,000 ක පිරිසකට ස්පුට්නික් එන්නත ලබාදී ඇති අතර අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා අවස්ථා දෙකක (2) දී එහි දෙවන (2) මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30,000 ක එන්නත් ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.

මේ අතර දින 51 කට පසු ඊයේ (18) මෙරට දෛනික ආසාදිත සංඛ්‍යාව දෙදහසකට අඩුවෙන් වාර්තාවුණා. ඒ, 1,986 ක් ලෙසයි.

ඊයේ (18) මෙරටින් හඳුනා ගත් නව ආසාදිතයින් 1986 දෙනාත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,00,758 ක් ලෙසයි.

නව ආසාදිතයන්ගෙන් 1983 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 3 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 59,700 ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,31,036 ක්.

මෙරටින් දෛනිකව ආසාදිතයින් 2,000 ට අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තාවුණේ පසුගිය ජූලි මස 28 වනදායි. එම සංඛ්‍යාව 1,940 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (17) සිදුවූ බවට ඊයේ (18) තහවුරු කරන ලද නව මරණ 84 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,022 ක් ලෙසයි.

මෙලෙස මෙරට දෛනික මරණ 100 සීමාවට අඩුවෙන් වාර්තා වූයේ දින 41 කට පසුවයි.

පසුගිය අගෝස්තු 08 වන දා තහවුරු කළ මරණ 98 න් පසුව දිගින් දිගටම මෙරට මරණ සංඛ්‍යාව 100 යේ සීමාව ඉක්මවා ගියා.

මේ අතර පසුගිය සතියේ කොරෝනා සතිපතා වාර්තාවට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මරණ සංඛ්‍යාව කොළඹ අභිබවා ගොස් තිබෙනවා.

සැප්තැම්බර් 04 වනදා සිට 10 වනදා තෙක් කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ මරණ සංඛ්‍යාව සියයට 18.9 සිට සියයට 23.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදුන් කොරෝනා විශේෂ දීමනාව කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බවට චෝදනා කළා.

තම ඉල්ලීම් මුල් කරගනිමින් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවුනද ලබන 22 වනදා දහවල් 12 ට සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සහභාගීත්වයෙන් විරෝධතාවක් සංවිධාන කර ඇති බවයි අදාළ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ මහතා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ.

++++++++++++++++

(19.09.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුල සැකකරුවන් 551 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

එම කාලය තුල පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 37 ක්.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 75,058 ක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටුවා ඇති මාර්ග බාධක 13 ක් මගින් ඊයේ (18) දිනය තුල වාහන 1684 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර පරීක්ෂාවට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 2568 ක්.

ඊයේ (18) දිනය තුල මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් 292 ක් ආපසු හරවා යවා ඇති අතර ඒ වාහන 164 ක් ද සමගින්.

+++++++++++++++++++++

(19.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6 කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට (20) සිට ඉවත් කර තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන්නන්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම රටවලින් ජපානයට පැමිණෙන්නන්ට ගුවන් තොටුපළේදී සිදුකරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව එරට රජය නිර්දේශ කරන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් විය යුතු වනවා.

දින 3 කට පසුව යළිත් කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ආසාදිත නොවන බව තහවුරු වන්නේ නම්, එරටට ඇතුළුවීමට අවසර හිමි වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

++++++++++++++++++

(19.09.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෙරටට පැමිණි පසුගිය වසර ආරම්භයේ නව නිපැයුම් සිදුකිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත්වූ නමුත්, අද වනවිට ඒ සම්බන්ධයෙන් කථාබහක්වත් සිදු නොවන තරම්.

රට තුළ සීග්‍ර කොරෝනා ව්‍යාප්තිය ඊට හේතු වියහැකි නමුත් සැබවින්ම එලෙස නිපදවූ නව නිර්මාණවලට කුමක් සිදුවූයේද?

කොරෝනා වෛරසයට මුහුණදීම සඳහා නව නිපැයුම් බොහොමයක් සම්බන්ධයෙන් පසුගිය වසරේදී පුවත් වාර්තාවුවද ඉන් බොහොමයක් ප්‍රතිනිර්මාණයන් බවයි අප කළ සොයාබැලීමකදී තහවුරු වුණේ.

කෙසේ වෙතත් එම කාලය තුළ නිෂ්පාදනය කළ නව නිපැයුම් පහකට (5) මේ වනවිට පේටන්ට් අයිතිය හිමිවී තිබෙනවා.

එම නිපැයුම් පහම (5) කොරෝනා වෛරසයට මුහුණදිය හැකි නව නිර්මාණ බවයි නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු මහතා කියා සිටියේ.

මෙම කාලයේ නිපදවූ කෘත්‍රිම ස්වසන ආධාරක හෙවත් වෙන්ටිලේටර් යන්ත්‍ර සඳහා භාවිත කළ හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විෂබීජහරණ උපකරණයකට ද පේටන්ට් අයිතිය හිමිව තිබෙනවා.

එය නිෂ්පාදනය කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය ශෂික ආරියරත්න මහතා යි.

දේශීය ඖෂධ විසි හයක් (26) උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කළ මුව ආවරණයක්ද මෙම කාලසීමාවේදී නිර්මාණය කෙරුණු අතර, අද වනවිට ඊටද පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබෙනවා.

විෂබීජහරණය කෙරෙන එම දේශීය ශාඛසාර අඩංගු මුවආවරණය නිෂ්පාදනය කර ඇත්තේ දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතා විසින්.

කෙසේ වෙතත් තම නිර්මාණය ලොවටම නව නිපැයුමක් වුවත් අනෙක් මුව ආවරණ සමඟ තරඟ කිරීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කොරෝනා වෛරසයෙන් බේරීමට බොහෝ දෙනෙකු නිවෙස් තුළට වී කාලය ගත කරද්දී නව නිර්මාණයක් බිහිකර කොරෝනාවට අභියෝග කළ මෙවැනි මිනිසුන්ට උපකාර කිරීම අප සැමගේම යුතුකමක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *