හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි

හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි

*********************************************

හිරු පුවතට ජනපතිගේ අවධානය – නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි

(16.09.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම් තත්ත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සිදුකළ හෙළිදරව්වත් සමඟ රජය එම තත්ත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේ දී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමකින් තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

මෙම පුවත කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව අවශ්‍ය නම් නිවෙස් නිරෝධායනය සඳහා මුදාහරින ලෙසයි.

ඒ අනුව පැය කිහිපයක් තුළ දී කොරෝනා පරීක්ෂණ ගුවන් තොටුපොළේදී ම සිදු කොට ශ්‍රී ලාංකික ගුවන් මඟීන් ඉන් මුදාහැරීමටයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (16) පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රසායන වෘත්තියවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඒ අනුව හිරු අනාවරණය ඵල දරමින් අතරමැදි තැරැව්කරුවන් හරහා හෝටල් නිරෝධායනයට ජනතාව යොමු කර මුදල් ගසා කෑම අවසන් වනු ඇති.

කටුනායක – බණ්ඩාරනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදුකළ මහ පරිමාණ මුදල් ජාවාරම පිළිබඳව අප රටට හෙළි කළේ පසුගිය 12 වන දිනයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ මෙය සංවිධානාත්මක ලෙස මුදල් ගසාකෑමක් බවයි.

ඉකුත් දින කිහිපය පුරා අප මෙලෙස තොරතුරු වාර්තා කළ අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පසුගිය සඳුදා (13) මෙම ජාවාරම පිළිබදව අනාවරණයක් සිදුකළා.

අප හෙළිකළ මෙම ජාවාරම ගැන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අවධානය යොමුව තිබූ අතර, ඔහු ඒ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුවත් කළ බව ඊයේ (15) ප්‍රකාශ කළා.

ඒ අනුව දින ගණනාවක් තිස්සේ අප සිදුකළ අනාවරණයෙන් පසුව ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදුකළ මුදල් ගසාකෑමේ ජාවාරම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නතර කර දැමීමට අද (16) තීරණය කර තිබුණා.

ඒ අනුව ඉදිරි සති දෙක (2) තුළදී නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර, එන්නත් දෙකම (2) ලබා ඇත්නම් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රසායනාගාරය මගින් සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව ආසාදිතයින් නොවන්නේ නම් ගුවන් මගීන්ට සිය නිවෙස් කරා යාමට හැකි බව ද අමාත්‍යවරයා සදහන් කළා.

අප කළ අනාවරණයෙන් පසුව මෙම ජාවාරම නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අදහස් පළ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් අදෘශ්‍යමාන හස්තයන්ගේ බලපෑමෙන් කලක් පුරා මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාව පත් කළ පීඩාවට, නිරෝධායන හෝටල්වල මුදල් කොල්ලය හෙළි කළා සේම ජනතා ගැටළු වෙනුවෙන් ඉදිරියේදීත් අපි නොබියව පෙනී සිටීමට සූදානම්.

(16.09.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16) පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමටයි මෙමගින් අපේක්ෂා කෙරෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත් වුනු අතර සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ගුවන් තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ද ඊට එක්ව තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඉදිරි සති දෙක (2) තුළදී අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ සථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමටද පියවර ගනු ඇති.

එන්නත් දෙකම (2) ලබා ගෙන ඇත්නම් සහ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින්ද ආසාදිතයෙකු නොවන්නේනම් ඔවුනට කඩිනමින් නිවෙස් කරා යාමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක් සිදුවන්නේ නැහැ.

මේ අතර පැය තුනක (3) පමණ කාලයක් තුළ එවැනි පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි අතර එම කාලය තුළ පුද්ගලයින් 600 ක් පමණ පරීක්ෂණයන්ට ලක් කළ හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් විශ්ලේෂණය කරමින් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන් සඳහා යම් යම් ලිහිල් වීම් සිදුවිය යුතු බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

ලෝක ප්‍රවණතාවය මෙන්ම මෙරට ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම අත්‍යවශ්‍ය වන බැවින් ඊට සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති වලට අනුගත වෙමින් ක්‍රියාත්මක කළ හැකි උපරිම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

රටේ ආසාදිතයින් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, ඔක්සිජන් භාවිතය යන කරුණුවලට සාපේක්ෂව යම් යම් ලිහිල් කිරීම් සිදු කිරීමට මෙමගින් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ජනතාවට අපහසුකම් අවම වන පරිදි එහෙත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි අයුරින්ම ක්‍රියාත්මක වන ලෙසින් කොවිඩ් පාලනය සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ කොවිඩ් පාලනය කරමින් ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීමට තරඟකාරීව මුහුණ දී සිටින බවයි.

එම තරඟකාරීත්වයට එක් වීමට නම් රටක් ලෙස සංචාරක ක්ෂෙත්‍රයට අවශ්‍ය තවත් පහසුකම් එක් කළ යුතු වන බවද ඔහු පෙන්වා දුන්නා.

මාලදිවයින , තුර්කිය වැනි රටවල් මේ වන විටත් සංචාරක ආකර්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇති අතර, අප එම ක්‍රමවේද හඳුනාගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සඳහා කටයුතු කළ යුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

සංචාරක කර්මාන්තයට අදාළව දැනට ත්‍රියාත්මක කරන බොහෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ එන්නත්කරණ වැඩපිළිවෙල මෙරටට හඳුන්වා දීමට පෙර ක්‍රියාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වන අතර එම මාර්ගෝපදේශ පිළිබඳව යළි සලකා බලන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

ගුවන්තොටුපළෙහි මේ වන විට පවතින ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මෙහිදී ප්‍රකාශ කළා.

ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කටයුතු සඳහා උපරිම පහසුකම් සැලසීමට පියවර ගන්නා අතර විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අවහිරතාවයකින්, අපහසුතාවයකින් තොරව නිවෙස් කරා යාමට අවශ්‍ය වැඩපිළිවෙල එමගින් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියසිටියා.

මේ අතර සංචාරක , ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍රයන්හි ඇතිවන ගැටලු පිළිබඳව හා ඇතිවන තත්ත්වයනට සාපේක්ෂව සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව සෞඛ්‍ය අංශ හා එක්ව සති දෙකකට (2) වරක් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියාසිටියේ.

මෙම සාකච්ඡාවට සඳහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර) වෛද්‍ය සුදත් ධර්මරත්න , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන ‍සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්.එම්.ආර්නල්ඩ් යන මහත්වරු ද සහභාගි වී තිබෙනවා ෴

++++++++++++++++

(16.09.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1366 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,28,590 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 4,96,423 ක් හමුවී ඇති අතර ඉන් 56,134 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් කොරෝනා මරණ 11,699 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++

(16.09.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල පොලිස් ස්ථානයේ සේවය කොට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (16) මෙලෙස මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය – තේ වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙලී තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නව නිර්මාණයක් තහනම් කළ බවට තොරතුරු පළවීම හේතුවෙන් සරසවි සිසුවියක් අපහසුතාවට

(16.09.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 22 හැවිරිදි සිසුවියක් වන තරුෂි විධූෂිකා රාජපක්ෂ මෙනවිය මේ වෙනවිට නව නිර්මාණ 20 කට අධික සංඛ්‍යාවක් මෙරටට දායාද කර තිබෙනවා.

ඒ අතුරින් ඇය නිෂ්පාදනය කළ ‘පරිසර හිතකාමී කෑම ඔතන කොළය සහිත අසුරනය’ට වැඩි අවධානයක් යොමු වූයේ, මේ වෙනවිට දිරාපත් නොවන ‘කෑම ඔතන කොළ’ හෙවත් ‘ලන්ච් ෂීට්’ තහනම් කර ඇති පසුබිමකයි.

එය අවස්ථා 60 ක දී යළි සෝදා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව හේතුවෙන් රජයේ අවධානය ද ඒ වෙත යොමුව තිබුණා.

******************************************

(16.09.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ඩෙවෝන් ඔයේ පාවෙමින් තිබූ අතුරුදන්ව සිටි නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) දහවල් සොයාගෙන තිබෙනවා.

පතන නගරයට ආසන්නයේ ඩෙවෝන් ඔයේ තිබියදියි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

සොයා ගන්නා ලද මළ සිරුර හඳුනාගත නොහැකි අන්දමට නරක් වී තිබෙනවා.

******************************************

(16.09.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (16) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට එක්වෙමිනුයි විදේශ ලේකම්වරයා මෙම අදහස් පළකලේ.

‘ජීනිවා චෝදනා, එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය’ අද (16) මාධ්‍ය හමුවේ තේමාව වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මෙවර සැසිවාරයේ දී මහ කොමසාරිස් මිෂෙල් බැචලේ වාචිකව කරුණු ඉදිරිපත් කරමින් අතුරුදන්වූවන්ට වන්දි ගෙවීම, එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත මර්දන පනත සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ශ්‍රී ලංකා රජය ගත් පියවර ඇගයීමට ලක් කිරීම සුබවාදී ලකුණක් බවයි විදේශ ලේකම්වරයා සඳහන් කළේ.

මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීම හෙළා දකිමින් චීනය, රුසියාව, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉරාකය, වෙනිසියුලාව ඇතුළු රටවල් 15 ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටිනවා.

මානව හිමිකම් සුරැකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම යන කරුණු පිළිබඳ රජයේ වගවීම ඔවුන්ගේ විශේෂ ප්‍රසාදයට ලක්ව තිබෙන බවයි ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ.

කලාපයේ අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව සාමකාමී රටක්.

ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය සේම රටේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර පසුගිය වසර දෙක (2) තුළ සක්‍රීයවම ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙත බව ද පෙන්වා දෙන විදේශ ලේකම්වරයා කියාසිටියේ එම පිළිවෙතට අනුව යමින් බල අරගලයන්ට මැදි නොවී ඉදිරියට යාම ශ්‍රී ලංකාවේ අරමුණ බවයි.

එහිදී මෙරට භූගෝලීය පිහිටීම පිළිබද දැඩි අවධානයෙන් යුතුව රජය කටයුතු කරන බව ද පෙන්වා දුන්නා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මුහුණදීමට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ රජයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිළි වන අතර ඒ පිළිබඳව ලෝකයේ රටවල් පසුගිය මාස කිහිපය පුරා විවිධ වාර්තා මගින් දැනුවත් කර ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ බව විදේශ ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම සියලු රාජ්‍ය නායකයන්ගේ දේශනයන්හි අන්තර්ගතය ‘කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය සහ ඉදිරි සැලසුම්’ බව මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළා.

සිය රටවල ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ එකඟතාවන්ට එළැඹෙමින් පශ්චාත් කොරෝනා සමයේ අභියෝග ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාදයන් නිවැරදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළු අවස්ථාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවහල් කර ගනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *