ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත්

ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත්

*********************************************

ඊයේත් (15) පුද්ගලයින් 113,013 කට එන්නත්

(16.09.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (15) පුද්ගලයින් එක් ලක්ෂ දහ තුන්දහස් දහතුන්දෙනෙකුට (1,13,013) එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 41,387 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 66,094 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම ඊයේ (15) ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 635 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 219 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 2209 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 11 දෙනෙකුටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 1,978 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 480 ක්.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාවද ලබාදී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි අටලක්ෂ දහ හතර දහස් දෙසීය (1,08,14,200) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2021-09-15 – Progress Report of COVID-19 Immunization (pdf)

+++++++++++++++

(16.09.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

යාපනය ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදු කළ මවක් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය – අලවෙට්ටි ප්‍රදේශයේ 42 හැවිරිදි මවක්.

දරු ප්‍රසූතිය ආසන්නයේ දී ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කළ පරීක්ෂාවක දී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, දරු ප්‍රසූතියෙන් පසුව ඇයට රෝග තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇය විසින් බිහිකළ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ ෴

++++++++++++++++

(16.09.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් 06 වැනි දා සිට 14 වැනි දා දක්වා කාලය තුළ දින දෙකක් (2) හැර අන් සියලු ම දිනයන්හි මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,000 ඉක්මවා තිබෙනවා.

ඒ, අදාළ දිනවල තහවුරු කිරීම ප්‍රමාද වූ ආසාදිතයින් 3,152 දෙනෙකු වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ඊයේ (15) දිනයේ දී මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාවට එකතු කිරීමත් සමඟයි.

අලුතින් එක් කරන ලද ආසාදිතයින් 3,152 සැප්තැම්බර් හය (06) වැනි දා සිට 14 වැනි දා දක්වා දින අට (8) අතර සාමාන්‍ය ආකාරයට බෙදී ගියේ නම්, එම දිනවල දෛනිකව වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට නව ආසාදිත‍යින් 394 දෙනෙකු පමණ එක්විය යුතුයි.

ඒ අනුව ගත් විට අදාළ දිනවල, දින දෙකක් (2) හැර සෙසු සියලු ම දිනයන්හි වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා යනු ඇති.

මෙම පසුබිම තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව ප්‍රකාශ කළ හැකි ද යන්න ගැටලු සහගතයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සහ ඉන් ජනතාවට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් ඌරුවරිගේ වන්නිලැත්තන් සිය බිරිඳගේ මරණයෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.

+++++++++++++++++

(16.09.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් සිදු කෙරෙන මුදල් ගසාකෑම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ අනාවරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා රසායනාගාර වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේ දී මෙම තත්ත්වය වෙනස් කිරීම පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පළ වූ බවයි ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(16.09.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගෙන ඒවා ගෙවතු වගාවල රෝපණය සඳහා නොමිලේ බෙදාහැරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 10 ක වියදමින් තවාන්කරුවන් වෙතින් පැල මිලදී ගැනීමටයි තීරණය කර ඇත්තේ.

පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් පැල අලෙවි කරගැනීමට නොහැකි තවාන්කරුවන් සඳහා සහන සැපයුම මෙහි අරමුණ වී තිබෙනවා.

ඊට අමතරව තවාන්කරුවන් 300 ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහාද රුපියල් මිලියන 50 ක් වැය කර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම දිවයින පුරා පැල තවාන් 650 ක් අලුතින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, තවාන්කරුවෙකුට ලක්ෂ 3 ක ආධාර මුදලක්ද ලබාදෙනු ඇති ෴

******************************************

(16.09.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත්බෝම්බය තබා ඇත්තේ පොලිසියට ඒ සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට අත්අඩංගුවේ පසු වෙන සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුට අත්බෝම්බය ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.

ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු මීට සතියකට පමණ පෙර කොළඹට පැමිණ ඇත්තේ අදාළ රෝහලේ ආරම්භ කර ඇති ඉදිකිරීම් කටයුතු සඳහා එක් වීමේ අරමුණින්.

දැනට සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ඔහු අධික ලෙස ණය බරකින් පෙළෙන පුද්ගලයෙකු බවටයි.

******************************************

(16.09.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලබන 27 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අද (16) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කියා සිටියේ, දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු පාර්ශව රැසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙරටට ලබා දී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කරුණු සෙවීම, ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇති අතර, එම පනත සංශෝධනය කිරීම සඳහා රජය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

ඒ සඳහා දැනටමත් අමාත්‍ය අනුකමිටුවක් ද පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ ෴

******************************************

(16.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

වී සදහා පාලන මිලක් පැනවීමට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වී ගෝනි ද රැගෙන අද (16) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අප වාර්තාකරු සදහන් කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගොවීන් ලෙස සැරසී මෙලෙස වී ගෝනි ද රැගෙන විරෝධතාවයේ නිරත වූ බවයි.

පසුව එලෙසින්ම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට ද මොවුන් සහභාගි වී තිබෙනවා.

විරෝධතාවේ නිරත වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ, පාලන මිල හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්නට නිසි මිලක් නොලැබීම හරහා ගොවිජනතාව අපහහසුතාවට පත්ව ඇති බවයි.

මේ අතර, අනුරාධපුර – පරසන්ගස්වැව – පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ පිහිටි ලියාපදිංචි නොවූ ගබඩාවක සඟවා තිබූ වී කිලෝ ලක්ෂ දෙක හමාරකට (2,50,000) ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය යටතට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒවා ලොරි රථ යොදාගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ නාඩු, සම්බා, කීරි සම්බා සහ කැකුළු වී තොග මෙම ගබඩාවේ තිබුණු බව සඳහන් වෙනවා.

******************************************

(16.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දෙවන (2) කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 12.3 දක්වා ඉහළ ගොස් ඇති බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මේ වසරේ පළමු (1) කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පැවතියේ සියයට 8 ක මට්ටමකයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගත අභියෝගය මැද ආර්ථික වර්ධන වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම රජයේ අරමුණ බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියා ෴

******************************************

(16.09.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහනේදී ‘බොදුබල සේනා සංවිධානයේ’ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ අගරදගුරු මැදුරේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා මෙලෙස අදහස් පලකලා.

******************************************

(16.09.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ජයසිරිපුර ගම හරහා බකමූණ දක්වා දිවෙන කිලෝ මීටර් 7.5ක දුරකින් යුතු මෙම මාර්ගය මීට වසර 5කට පෙර ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත්තේ වසර 50කට පමණ පසුව බව වාර්තා වෙනවා.

නමුත් එහි වැඩ මෙතෙක් අවසන් වී නැහැ.

මාර්ගයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුටම අවස්ථා කිහිපයක දී බාර දී ඇතත් ඔවුන් සියලුදෙනා එය අතරමග නවතා දමා ගොස් තිබෙන බවයි ගම්වාසින් පවසන්නේ.

අවසන් වරට මෙහි ඉදිකිරීම් භාරගත් කොන්ත්‍රාත්කරුද මේ වන විට වැඩ කටයුතු අතරමඟ නවතා දමා ඇති අතර ඔහු ප්‍රමිතියකින් තොරව පස් සහ ගල් මාර්ගයේ අතුරා තිබෙනවා.

ප්‍රදේශයේ ගොවි පවුල් 2000 ක පමණ පිරිසක් දෛනිකව භාවිත කරන මෙම මාර්ගය අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඔවුන් විදින දුක් ගැහැට සුළු පටු නැහැ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙලෙස ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය භාවිත කරමින් මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව දී බලධාරීන් මුනිවත රකින බවයි.

******************************************

(16.09.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

අවිධිමත් ලෙස ඉදිකෙරෙන ඇවිදින මංතීරුවක් නිසා මොණරාගල ප්‍රදේශයේ ඉපැරණි වැවක් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් සිය වගා කටයුතු වලටද බලපෑම් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වැව මොනරාගල – නෙළුම්වැව, මඩුල්ල නගරාසන්නයේ පිහිටා ඇති වසර 60 ක් පමණ පැරණි වැවක්.

එම වැව් ජලයෙන් කුඹුරු අක්කර 800 ක් පමණ වගා කෙරෙනවා.

මෙම වැව වටා ‘ඇවිදින මංතීරුවක්’ ඉදි කෙරෙන ආකාරය මේ දිනවල දැක ගත හැකියි.

ගොවි ජනතාව පවසන්නේ මෙම අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වැව ගොඩවීමේ අවදානමක් මතුව ඇති බවයි.

වැව් රක්ෂිතයේ පිහිටි ඉපැරණි පරිසර පද්ධතියක්ද විනාශ කර දමා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

******************************************

(16.09.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

මේ අතර කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් හයක් (6) අනිවාර්යයෙන් මිලදී ගත යුතු බවට ඇතැම් වෙළදුන්, පාරිභෝගිකයින්ට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

වෙළදපළේ කිරිපිටි හිඟවීමත් සමග එම කිරිපිටි සමාගම් විසින් නව ක්‍රමවේදයක් ලෙස මෙය හදුන්වා දී ඇති බවටයි පාරිභෝගිකයින් එම අධිකාරියට පැමිණිලි කර ඇත්තේ.

පසුගිය 13 වන දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ සම්බන්ධයෙන් අනාවරණ කළා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමු වීමෙන් පසු මෙලෙස භාණ්ඩ අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර අද (16) දිනයේ දියතලාව නගරයේ එවැනි වෙළදසැලක් එම අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.

එම වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයෙකුට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් 6 ක් අනිවාර්යෙන් මිලදී ගත යුතු බවට බලපෑම් කර ඇති අතර එම වෙළදසැල් හිමියාට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් වෙළෙන්දෙකු විසින් භාණ්ඩයක මිල ගෙවීම හැර වෙනත් කිසිදු කොන්දේසියක් ගැනුම්කරුවෙකුට පැනවීම වරදක් බව දක්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *