උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අදින් (15) අවසන්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අදින් (15) අවසන්

*********************************************

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීම අදින් (15) අවසන්

(15.09.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම අදින් (15) අවසන් වුණා.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 2,49,841 දෙනෙකු අයදුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා 2,43,704 දෙනෙකු අයදුම්පත් යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ එක්දහස් හත්සිය හැත්තෑ එකක් (3,01,771) අයදුම් කර තිබූ අතර, පහ (5) ශ්‍රේණිය සඳහා අයදුම්කර තිබූ සිසු සිසුවියන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය හතළිස් එකක් (3,31,741).

වැටුප් විෂමතා ගැටළුව මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පතිවරුන් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරයි මෙවර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් කැඳවීම සිදුවූයේ.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති මීට පෙර කියා සිටියේ මෙවර අයදුම්පත් භාර ගැනීමේ ක්‍රියාවලිය සදහා තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය බාධාවක් විය හැකි බවයි ෴

******************************************

(15.09.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

තමාගේ ඉල්ලා අස්වීමට රාජකාරි ගැටළු ද බලපෑ බව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර තිබූ අතර, මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහ එම්.බී. රෝහණ පුෂ්පකුමාර මහතා ද එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා 2019 වසරේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ අතර, ඔහු වසර 20 කට අධික කාලයක් එම මණ්ඩලයේ සේවය කර තිබෙනවා.

හදිසියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදියි ඔහු මේ බව සඳහන් කළේ ෴

++++++++++

******************************************

(15.09.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව මතින් ඉදිකිරීමට සැළසුම් කර ඇති ඇවිදින මංතීරුවට විරෝධය පළ කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේ පිරිසක් අද (15) නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත සංදේශයක් භාරදුන්නා.

එහිදී මහා සංඝ රත්නය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙත මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිළි කළා.

එමෙන්ම මෙම මංතීරුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා අදාළ භික්ෂූන් වහන්සේ පිරිස අද (15) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද බැහැදුටුවා.

******************************************

(15.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩල කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ මත්කුඩු වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසකට අද (15) පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වුණා.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ මත් කුඩු වැටලීමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත්තේ අද (15) පස්වරු 3 ට පමණ.

එහිදී නිලධාරීන් පිරිස ඉලක්ක කර ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීමේදී මත්කුඩු ග්‍රෑම් 10 ක් සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ අතර රුපියල් මිලියන 14 කට ආසන්න කේරල ගංජා කිලෝ 47 කට අධික තොගයක් මන්නාරම – වංකාලේහි ප්‍රදේශයේදී අද (15) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

******************************************

(15.09.2021 – 22:25 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ ඔස්සේ ඔවුන් ‍ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙතින් තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හදිසි හමුවක් ඉල්ලා ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට (16) දහවල් කාලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා එම එල්.ටී.ටී.ඊ. රැඳවියන් හමුවීමට නියමිත බවයි.

පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි රඳවා සිටී එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙදෙනකු (2) තමන් ඉදිරියට කැඳවා ඔවුන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා තිබුණා.

මේ සමග මතුවූ දේශපාලන අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව මැදිහත් වීමට සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ අමතා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන්නා.

ඒ අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුබසාධන අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලා අස්වීම භාර ගෙන තිබුණා ෴

******************************************

(15.09.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදෙස් ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මාර්ගය මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ අද (15) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මන්නාරම් ද්‍රෝණියේ පිහිටා ඇති ඛනිජ තෙල් සහ ස්භාවික ගෑස් නිධි ගවේෂණ කටයුතු සඳහා මෙරට තුල තාක්ෂණය නොමැති වීමෙන් ඒ සඳහා ජාත්‍යන්තර අයෝජකයින්ගේ සහය ලබා ගැනීමටයි මේ වනවිට අවධානය යොමුව ඇත්තේ.

එම ආයෝජකයින්ට අවශ්‍ය දත්ත රැස්කිරීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘බෙල් ජියෝස්පේස්’ ආයතනය විසින්.

ඒ සඳහා වූ ගවේෂණ ගුවන්යානය සහ එම කණ්ඩායම කටුනායක ගුවන්තොටුපල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් අද (15) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

******************************************

(15.09.2021 – 23:10 +0530 – hirunews.lk/sinhala)

අද (15) ‘හාඩ් ටෝක්’ තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගෙන්.

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ වී මෝල් වැටලීම සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුනු අතර ඔහු කියාසිටියේ එය වැටලීමක් නොව රජයේ මැදිහත් වීමෙන් වී මිලදී ගැනීමක් බවයි.

එමෙන්ම පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට ගිය ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(15.09.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරසය ආසාදිත තවත් මරණ 132 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 66 ක් සහ පිරිමින් 66 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,699 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ එක් (1) පිරිමි අයෙකු මෙම මරණ අතරට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 28 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 18 ක් සහ කාන්තාවන් 10 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 101 ක් වනවා. ඒ කාන්තාවන් 54 ක් සහ පිරිමි 47 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වයිරස් ආසාදිතයන් 4,95,851 ක් හඳුනාගෙන ඇති අතර ඉන් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 57,030 ක්.

4,27,254 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++

(15.09.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 572 ක් හඳුනාගෙන තිබෙනවා.

අද (15) දිනයේ හමුවූ ආසාදිතයන් 2314 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 4,96,423 ක් හමුවී ඇති අතර ඉන් 57,030 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,27,254 ක්. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 11,567 ක් ෴

++++++++++++++++++

හෝටල් නිරෝධායන ජාවාරමට තිත තැබිය හැකි මග හෙළිවෙයි

(15.09.2021 – 21:17 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නේ නම් විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද කටුනායක ඉදිකෙරුණු නව පී.සී.ආර්. පරීක්ෂණාගාරය මගින් කඩිනමින් කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදිය හැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ව හෝටල් නිරෝධායනයට බව පවසමින් සිදුකරන මුදල් ගසාකෑම් පිළිබඳව ‘හිරු’ සිදුකළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කිරීම හරහා කලක පටන් සිදුකරන මුදල් ගසාකෑමේ ක්‍රමවේදය පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ හරහා අප පසුගිය දින කිහිපයේදීම දිගින් දිගටම අනාවරණය කළා.

මෙරටින් පිටව යන පුද්ගලයන්ට කටුනායක ගුවන් තොටුපලේදී කඩිනමින් කොවිඩ් පරීක්ෂණ සිදුකර මෙරටින් පිටත්කර යැවූවද, මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් දැඩි අසාධාරණයකට ලක් කරමින් නිකරුනේ හෝටල් නිරෝධායන සදහා යොමුකර ඒ සදහා අති විශාල මුදල් ගසාකෑමක් මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.

අප කළ සොයාබැලීමේදී හෙළිවුයේ ඇතැම් හෝටල් කාමර කොවිඩ් වසංගතයට පෙර කෑම බීම ඇතුළු සියළු පහසුකම් සහිතව ලබා දී අය කළ මිල ගණන් ද ඉක්මවා යමින් මේ වන විට ඉන් දෙතුන් ගුණයකට අධික මුදලක් අසාධාරණ ලෙස අයකර ගන්නා බවයි.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ව එලෙස ගසාකෑම්වලට ලක් කල ද සංචාරක අමාත්‍යාංශය හරහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට පැය තුනකදී (3) කොවිඩ් පරික්ෂණ සිදුකිරීමට නව ක්‍රමවේදයක් සකසා තිබෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉදිකර ඇති මෙම නව පරීක්ෂණාගාරය හරහායි.

එළඹෙන 20 වැනිදා විවෘත කිරීමට නියමිත මෙම පරීක්ෂණාගාරය තුලින් පැයකට පී.සී.ආර්. වාර්තා 500 ක් බැගින් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 7000 ක් පමණ සිදුකිරීමේ හැකියාව පවතිනවා.

සංචාරක අමාත්‍යාංශය විදෙස් සංචාරකයින්ට එවැනි පහසුකම් සපයා කඩිනමින් පී.සී.ආර්. වාර්තා ලබාදීමට පියවර ගෙන තිබියදී විදෙස් ශ්‍රමිකයන් හා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනීසිටිනා මෙරට වගකිව යුතු ආයතන ජනතාව ගසාකෑමට ඉඩ ලබාදෙනවා හැර අන්කිසිවක් කර තිබේ ද යන්න ගැටළුවක්.

තවමත් එම ආයතන සිදුකරමින් සිටින්නේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් කඩාවඩා ගැනීම උදෙසා තෝරාගත් හෝටල් හිමියන්ගේ මඩිය තර කිරීම පමණක් බව නොරහසක්.

කාලාන්තරයක් මුල්ල්ලේම සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට නොමද සහයක් ලබාදෙමින් ශ්‍රී ලාංකිකයන්ව හෝටල් නිරෝධායනයට පමණක්ම යොමුකරමින් මේ තෙක්ම කල් මැරීම විමතියට කරුණක්.

ඉන් මනාව පැහැදිලිවන්නේ හෝටල් නිරෝධායනයට ජනතාව යොමුකිරීම පිටුපස සිටිනා අදිසි හස්තයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය යට වී ඇති බව නොවේද ?

විදේශීය සංචාරකයන්ට පමණක් මෙම නව කොවිඩ් පරීක්ෂණාගාරය වෙන් කර තිබුන ද ඉල්ලීම් ලැබුන හොත් මෙම නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ සේවය මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ටත් ලබාදිය හැකි බවයි සංචාරක අමාත්‍යවරයා පවසන්නේ.

මේ වනවිට ඩොලරයක වටිනාකම රුපියල් 200 ක් ලෙස සැලකුවහොත් මෙම ක්‍රමවේදය හරහා කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීම මගින් මෙරට ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් පරීක්ෂණ සදහා වැයවන්නේ රුපියල් 8,000 ක පමණ මුදලක්.

කාලයද ඉතුරු කරමින් රුපියල් 8000 කින් පමණ පරීක්ෂණ කටයුතු නිමකර ගුවන්තොටුපලින්ම පිටව යාමට ශ්‍රී ලාංකිකයන්ටද හැකියාව පවතිද්දී හෝටල් නිරෝධායනයට පමණක්ම මෙරට වැසියන් යොමුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ කාගේ මඩිය තරකිරීම සදහා ද ?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *