ජනපති ලේකම් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි

ජනපති ලේකම් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි

*********************************************

ජනපති ලේකම් ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි

(15.09.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සලසන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද චක්‍රලේඛ පෞද්ගලික බැංකු විසින් ක්‍රියාත්මක කිරීම පැහැර හරින බවට ඉදිපත් කරන ලද රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 11 වනදා කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය අද (15) නොතීසි නිකුත් කළා.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ ජනාධිපති ලේකම් ඇතුලු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා.

‘දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව’ සහ ‘සිටුවර ජයබර ව්‍යාපාරික සංවිධානය’ විසින් ගොනු කරන ලද මෙම රිට් පෙත්සම සලකා බැලූණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ප්‍රහාරය සහ කොරෝන වසංගතය හමුවේ පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතන වෙත චක්‍රලේඛ නිකුත් කර ඇති බව කියා සිටියා.

එහෙත් පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන විසින් හිතාමතාම මෙම චක්‍රලේඛ පැහැර හැර ඇති බවත් මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දැඩි ලෙස අගතියට පත්ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නඩුකරයේ බැලූ බැල්මටම නඩු නිමිත්තක් ඇතැයි තීන්දු කරමින් එය විභාග කිරීමට අවසර ලබාදුන්නා ෴

******************************************

වරද පිළිගත් ලොහාන් රත්වත්තේ ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

(15.09.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දීමෙන් පසුවයි.

ජනාධිපතිතුවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබෙනවා.

******************************************

(15.09.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට තරුණයින් දහසකට (1000) ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළවල රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟ වී තිබෙනවා.

ඒ සදහා වෙන අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

මෙම රැකියා අවස්ථා සදහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව ඇතුළු තාක්ෂණික පුහුණුවීම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා ෴

******************************************

(15.09.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමේ දී කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන් ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබෙනවා.

නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක මහත්මිය සදහන් කළේ, බදු ගෙවීමේ දී වරිපනම් බදු පමණක් ගෙවීම ප්‍රමාණවත් බවයි.

මීට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බව ඇය කියා සිටියා.

කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවීමට කොළඹ මහනගර සභාව විසින් ඉඩ සලසා දී තිබෙනවා.

මේ අතර, කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, කොටහේන සහ මාළිගාවත්ත තැපැල් කාර්යාල මඟින් අගෝස්තු මාසය සඳහා මහජන ආධාර ලබානොගත් අයට ලබන 21 වැනි දාට පෙර සිය මුදල් ලබා ගන්නා ලෙස ද නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙනවා ෴

******************************************

(15.09.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

පවුල් 100 කට වැඩි පිරිසක් ජීවත් වන හාලිඇල මාලිත්ත ග්‍රාම නිලධාරී වසමේ කොන්ඩගොල්ල ගම්මානය මූලික මිනිස් අවශ්‍යතාවක් වන ජලය නොමැති කමින් ගම්වැසියන් පීඩා විඳින්නේ වසර 40 කටත් අධික කාලයක සිටයි.

ජනතා සුබ සිද්ධිය උදෙසා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් කොන්ඩගොල්ල ගම්වැසියන් ජලය නොමැතිව විඳවන ආකාරය ගැන බලධාරීන්ගේ අවධානය තවමත් යොමු වී නැහැ.

ජලය සොයා කිලෝ මීටර් ගණන් යාමට සිදුව ඇති මෙම ගම්වාසීන් පවසන්නේ ගම්මානය ආසන්නයේ ගමන් ගන්නා ජල මාර්ගයෙන් එක් නිවසක අවශ්‍යතා වෙනුවෙන් ඉතා සීමිත ජලය ප්‍රමාණයක් පමණක් ලැබෙන බවයි.

******************************************

(15.09.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරු පිරිස විසින් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් අදාළ වාරණ නියෝගය නිකුත් කළා.

මෙහි වගඋත්තරකැවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර නම් කර තිබුණා ෴

******************************************

(15.09.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

නොපමාව ජල බිල්පත් ගෙවීමට කටයුතු කරන ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පාරිභෝගිකයන් ජල බිල්පත් ගෙවීම කළට වේලාවට සිදු නොකරන බවට නිරීක්ෂණය වී ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිලිණ එස් විජේතුංග මහතා කියා සිටියේ.

එසේම මෙම වසංගතය හා බැඳුණු නව සෞඛ්‍යාරක්ෂිත පුරුදු හේතුවෙන් දෛනික ජල පාරිභෝජනයද ඉහළ ගොස් ඇති බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා.

බිල්පත් ගෙවීම වෙනුවෙන් ජංගම යෙදවුම් සහ ඔන්ලයින් ක්‍රමවේද හඳුන්වා දී ඇති අතර, මූල්‍ය ආයතන සහ ජලසම්පාදන මණ්ඩලයේ අයකැමි කවුන්ටර් වෙතින්ද පහසුකම් සපයා ඇති බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ ෴

******************************************

පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

(15.09.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාලව පුද්ගලයින් තිදෙනෙකු (3) සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ තවත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බඳුනක තිබී මෙම අත්බෝම්බය සොයා ගත්තේ ඊයේ (14) දහවල් කාලයේදී.

රෝහල් ආරක්ෂක අංශ සිදු කළ දැනුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය අත්බෝම්බය රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගියා.

අත්බෝම්බය මදුරු දඟරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වීමට සකස් කර තිබී ඇති අතර මදුරු දඟරය දල්වා නොතිබූණු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන කටයුතු ආරම්භ කළ අතර පොලිසිය පැවසූවේ රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රෝහලට පැමිණි කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) පිළිබඳව විශේෂ අවධානය යොමුව ඇති බවද පොලිසිය සඳහන් කළා.

මීට අමතරව සැකකරුවන් සොයා රෝහලේ සී.සී.ටී.වී. දර්ශන තවදුරටත් පරීක්ෂා කෙරෙන බවත් වාර්තා වනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු කුමණ අරමුණිකින් මෙම බෝම්බ රෝහල් පරිශ්‍රයට රැගෙන ආවේ ද යන්න සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(15.09.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 11,605 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,27,254 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 4,94,109 ක් හමුවී ඇති අතර ඉන් 55,288 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් කොරෝනා මරණ 11,567 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

(15.09.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

දෙවන (2) මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා 1,20,000 ක ප්‍රමාණයක් ලබන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම එන්නත් ලබාදෙනු ඇති.

සඳුදා (20) මෙරටට ලැබෙන ස්පුට්නික් මාත්‍රා තොගය දින තුනක් (3) ඇතුළත ජනතාව වෙත ලබාදීම ආරම්භ කෙරෙන අතර, ඒ අනුව එළඹෙන සතිය අවසානය වනවිට එන්නත්කරණය අවසන් කිරීමට හැකිවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියා.

මහනුවර දිස්ත්‍රික්කයේ 1,50,000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදී ඇති අතර එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන (2) මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30,000 ක ස්පුට්නික් එන්නත් අවස්ථා 2 කදී ලබාදී තිබෙනවා.

ඖෂධ ආනයනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එලෙස මෙරටට ලැබීමට නියමිත ස්පුට්නික් මාත්‍රා තොගය දින 03 ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන අතර ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් අතර ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99% කට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් තැබීමට කටයුතු නොකරන අතර දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසු කර සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කරන බැවින් අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නිකරුණේ ඖෂධ තොග තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අත්‍යවශ්‍ය ඖෂධයන්හි පාවිච්චිය විශ්ලේෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු අතර අනවශ්‍ය ලෙස ඖෂධ තොග ගබඩාකර ගැනීමේ අවශ්‍යතාවක් එමගින් මතු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම යටතේ ඉදිරි වසර 04 අවසන් වන විට මෙරටට අවශ්‍ය සියලු ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බවයි ඔහු කියාසිටියේ.

ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා ෴

++++++++++++++

(15.09.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1742 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,95,851 ක් ලෙසටයි.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් 55,288 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,27,254 ක්.

මෙරටින් කොරෝනා මරණ 11,567 ක් ද වාර්තා වුණා ෴

+++++++++++++++++

(15.09.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු කිරීමටයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව තිබෙනවා.

මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200 ට අඩු පාසල් 5000 ක් පමණ වන අතර එම පාසල් කඩිනමින් ආරම්භ කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඒ අනුව පෙර පාසල් සහ 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ද මූලිකව ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

එලෙස පාසල් ආරම්භ කිරීමේ දින වකවානු තීරණය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදු කෙරෙන අතර ඒ අනුව ඉදිරි සති දෙක හෝ තුන (2-3) තුළදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ වන විට පාසල් ගුරුවරුන් අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා.

ඊට අමතරව මේවන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්වල නිරත සියලුදෙනා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *