වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

*********************************************

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ

(15.09.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව සදහන්.

2019 වසරේ දී වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වසර 20 කට අධික කාලයක් වී අලෙවි මණ්ඩලයේ සේවය කර තිබෙනවා.

වර්තමානයේ පවතින තත්ත්වයත් සමඟ සිය ධුරයේ කටයුතු කිරීම අපහසු බවට දන්වමින් තමන් ඊයේ (14) දිනයේ දී ඉල්ලා අස් වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කළ බවයි ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත්, වී අලෙවි මණ්ඩලයේ එක්සත් සුබසාධක සමිතියේ සභාපති පසන් මලින්ද පීරිස් මහතා කියා සිටියේ ධුරයෙන් ඉල්ලා අස් වූ ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා තම වැටුපෙන් වී අලෙවි මණ්ඩලයේ සෙසු සේවකයන් සඳහා දිරි දීමනා ලබාදීමට ද කටයුතු කළ බවයි.

******************************************

(15.09.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු දාහතරයි (14) මාස නවයක් (09) වෙන බාල වයස්කාර දැරියක් සිය නිවසේදී ම බිළිඳෙකු ප්‍රසූත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු පූජාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක පදිංචිව සිටින මෙම බාල වයස්කාර දැරිය එම ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු සමඟ ඇති කර ගත් හිතවත්කමක් මත දැරිය දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරෙනවා.

මෙලෙස සිදුව ඇති අතවර හේතුවෙන් දැරිය ගැබ් ගෙන ඇති අතර, එය සියලු දෙනාගෙන් සඟවාගෙන සිට ඇති බව සඳහන්.

කෙසේ නමුත් දින කිහිපයකට පෙර මෙ දැරිය නිවසේ දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය වෙද්‍ය සහාය නොලැබීම නිසා අධික රුධිර වහනයට ලක් වූ දැරිය පසුව මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල මඟින් පූජාපිටිය පොලිසිය වෙත මෙම සිද්ධිය දැනුම් දීමත් සමඟ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම දැරිය අතවරයට ලක් කිරිම සම්බන්ධයෙන් සැක පිට ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බිළිදා සම්බන්ධයෙන් ඩී.එන්.ඒ . පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, සැකකරු අද (15) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පූජාපිටිය පොලිසිය මෙම සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇති ෴

******************************************

(15.09.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

දැනට පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් (3) ඇතුලත රාජ්‍ය ආයතනයන්හි සේවා සඳහා ස්ථානගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට එහි වගකීම පැවරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියා ෴

******************************************

(15.09.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

(15.09.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබුවා.

ඔහු අද (15) උදෑසන ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගැනීමෙන් අනතුරුවයි මහ බැංකු පරිශ්‍රයේදී මෙලෙස ධුරයේ වැඩභාරගනු ලැබුවේ.

******************************************

(15.09.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මේ වෙනවිට ලොව පුරා පැතිර ඇති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනෙකුට ඔක්සිජන් අත්‍යවශ්‍ය වී තිබෙනවා.

නමුත් මුළු ජීවිතය පුරා ම බාහිරින් ඔක්සිජන් ලබාගෙන දිවි රැක ගන්නා අය ගැන ඔබ අසා තිබෙනවා ද?

එවන් දුක්බර ජීවිතයක තොරතුරු අපහට වාර්තා වන්නේ බකමූණ ප්‍රදේශයෙන්.

සිය සැමියා සමඟ යහපත් විවාහ ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මෙළෙස ඇළහැර ප්‍රදේශයේ පදිංචියට එන වෛදීස් සෝමාවති දරුවන් දෙදෙනෙකු (2) ගේ මවක්.

සැමියාගේ ජීවන සටනට උරදෙන අතරතුර ඇය හදිසියේ රෝගී වීමත් සමඟ කුඩා කළ සිට ඇය පෙලුණු ආතරයිටීස් රෝගය ද උත්සන්න වන්නේ අවාසනාවන්ත ලෙසින්.

අවසානයේ වෛද්‍යවරුන් තීරණය කරන්නේ සෝමාවතිට සදාකාලිකව ම බාහිරින් ඔක්සිජන් ලබා දිය යුතු බවයි.

ඒ අනුව දැනට වසර ගණනාවක් තිස්සේ ඇයගේ පණ නළ රැකෙන්නේ මේ අයුරින්.

******************************************

(15.09.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කර සිටින බව යුරෝපා සංගමය පවසනවා.

යුරෝපා සංගමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමිනුයි ස්ලෝවේනියානු නියෝජිත අනීටා පිෆන් මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාව පසුගිය අර්බුද සම්බන්ධ ගැටළුවලට විසදුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සැලසුම් රාමුවට සහය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා.

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය සහ නැවත පදිංචි කිරීම් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාව තිරසාර සංහිදියාවකට ඇති කැමැත්ත පෙන්නුම් කර ඇතත් එම ආයතන ස්වාධීනව පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවයි ඇය එහිදී සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු සඳහා බාහිර අතපෙවීම්වලට විරුද්ධවන බව චීනය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීමට අදාළ විවාදයට ඊයේ (14) එක්වෙමිනුයි චීන නියෝජිතයා මේ බව සඳහන් කළේ.

******************************************

(15.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව මේ වන විට අයදුම්පත් ලැබී ඇත්තේ 2922 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අයදුම්පත් 6589 ක් ලැබී ඇති බවයි.

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වුණා.

පාසල් අයදුම්කරුවන් සිය අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබන්නේ විදුහල්පතිවරුන් හරහා යි.

කෙසේ වෙතත්, ගුරු වැටුප් විෂමතා ගැටලුව අවසන් වෙන තෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධයෙන් කටයුතු සිදු නො කිරීමටයි ගුරු විදුහල්පති වෘත්තිය සමිති පසුගිය දා තීරණය කළේ.

ඒ අනුව මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් යොමු කිරීම සැලකිය යුතු ලෙස මෙලෙස අඩු වී තිබෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කළු දිලීර රෝගය මෙරට පළමු වරට කොරෝනා රෝගීන් අතරිනුත් හමුවේ

(15.09.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා රෝගීන් අතර පළමු වරට ‘කළු දිලීර රෝගය’ පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

සාමාන්‍ය පුද්ගලයින් අතර පැතිර ගිය කළු දිලීර රෝගය ආසාදනය වූ කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අතර එය පැතිර යන බවයි.

මේ අතර කොරෝනා ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිජීවක ඖෂධ සහ හෝමෝන ප්‍රතිකාර ලබාගන්නා තත්වයක් පවතින බවත්, ඒවා භාවිත කළ ඇතැම් පුද්ගලයින්ගේ මරණය ඉක්මන් වී ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, මහනුවර අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ වනවිට කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ පවතින්නේ තවත් 2,000 ක් වැනි ප්‍රමාණයකට පමණක් බවයි.

එමෙන්ම කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණි චීවරධාරියෙකු එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමේ පුවතක් අප ඊයේ (14) වාර්තා කළ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා.

මේ අතර, ඉන්දියාවේ කාශ්මීරයේ වයස අවුරුදු 18 ට අඩු ළමයින්ගෙන් සියයට 78 කගේ සිරුරුවල කොරෝනා ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව හෙළි වී තිබෙනවා. ජුලි මාසය තුළ සමස්ත කාශ්මීරයම ආවරණය වන පරිදි සිදුකළ වෛද්‍ය සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, කාශ්මීරයේ ගර්භනී මව්වරුන්ගෙන් සියයට 64 කගේ සිරුරු තුළ ද කොරෝනා ප්‍රතිදේහ පවතින බව එහිදී අනාවරණ වී තිබෙනවා.

පාසල් වසා දමා ළමයින් සමාජයට පැමිණීම අවමව තිබියදී සහ 18 ට අඩු ළමයින් එන්නත්කරණයට ලක් නොකර තිබියදී මෙලෙස ප්‍රතිදේහ වර්ධනය වීම සුවිශේෂී තත්ත්වයක් බව කාශ්මීර සෞඛ්‍ය අංශ සදහන් කළා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (14) පුද්ගලයින් එක්ලක්ෂ විසි තුන්දහස් හාරසිය හතළිස් දෙනෙකුට (1,23,440) එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 72,235 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 47,409 ක්.

එමෙන්ම ඊයේ (14) ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 426 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 900 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 19 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාවද 25 දෙනෙකුටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (14) දිනයේ 977 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 1449 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාවද ලබාදී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හත්ලක්ෂ හතළිස් හත්දහස් දෙසිය තිස් හයක් (1,07,47,236).

++++++++

(15.09.2021 – 17:59 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 30 ට වැඩි එන්නත් එකක් (1) හෝ ලබානොගත් පුද්ගලයින්ට බණ්ඩාරවෙල නගරයට ඇතුලුවීම අද (15) දිනයේ වළක්වා තිබුණි.

පොලිස් මාර්ග බාධකවලදී පොලීසිය සහා ආරක්ෂක අංශ එක්වී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එවැනි පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

එන්නත් ලබාගත් බවට දැක්වෙන කාඩ්පත් සහිත පුද්ගලයින්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාව ලැබුණු අතර එසේ කඩ්පත් නොමැති පිරිස් හරවා යැවීම සිදුවිය.

බණ්ඩාරවෙල නගරයේ විශාල කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බැවින් එන්නත්කරණය සඳහා ජනතාව යොමු කිරීම වෙනුවෙන් එම පියවර අනුගමනය කරතිබූ බව වාර්තා වෙයි.

2021-09-14 – Progress Report of COVID-19 Immunization (pdf)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *