ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි

ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි

*********************************************

ජගත් මානව හිමිකම් කවුන්සිල 48 වැනි සැසිවාරය හෙට (13) ජිනීවා හිදී ඇරඹෙයි

(12.09.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය හෙට (13) ජිනිවා හිදී ආරම්භ වනවා.

පළමු දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය හෙට (13) සිට ඔක්තෝබර් 08 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදී පැවැත්වෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාවල වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණා.

එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැෂලේ විසින් හෙට (13) ඇරඹෙන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පිළිබඳ සාමාජික රටවල විවාදය අඟහරුවාදා (14) පැවැත්වෙනවා.

මේ අතර පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සම්බන්ධයෙන් අදහස් පළකළා.

******************************************

ශ්‍රී ලංකාවට ගිනිකොණ මුහුදේ භූ කම්පනයක්

(12.09.2021 – 18:14 +0530 – lankadeepa.lk)

හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත.

මෙම භූ කම්පනය රික්ටර් මාපක 4.1 ක ප්‍රභලත්වයකින් යුතු බව භූ ව්ද්‍යා හා පතල් කාර්‍යංශය පවසයි.

එයින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ද එම කාර්‍යාංශය සඳහන් කරයි ෴

******************************************

(12.09.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

අලි කොරිඩෝවක් සඳහා වෙන්කළ අක්කර 200 ක පමණ ඉඩම් දේශපාලන පක්ෂවල අධාරකරුවන් අත්පත් කර ගැනීම හේතුවෙන් වන අලි ගම්වදින බවට මහියංගනය – සොරබොර ගම්වැසියන් චෝදනා කරනවා.

වනඅලි 50 ක පමණ රංචුවක් ගම්වැදීම හේතුවෙන් ගම්වාසීන් මේ දිනවල පසුවන්නේ මහත් භීතියකින්.

මේ මහියංගනය, සොරබොර ගුරුමඩ නැමැති සුන්දර ගම්මානයේ මිනිසුන්ගේ අසුන්දර කතාවයි.

වනඅලි 50 කට වැඩි රංචුවක් දිගින් දිගටම ගම්වැදීම හේතුවෙන් මෙම ගම්මානයේ සහ අවට ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට සහ භීතියට පත්ව සිටිනවා.

අඳුර වැටෙත්ම ගමට කඩා වදින වනඅලි ප්‍රහාර වලින් සිය නෑසියන් ද දේපළද අහිමිව මෙම ජනතාව අනවරත ජීවන අරගලයක නිරත වන්නේ ජීවිත අවදානම දරාගනිමින්.

හදිසි අවස්තාවක හෝ තමන්ට වනජිවී නිලධාරීන්ගේ පිළිසරණක් නොලැබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ප්‍රදේශයේ වනඅලි කොරිඩෝවක් සඳහා වෙන් කර තිබූ අක්කර 200 ක පමණ වූ භූමි ප්‍රමාණය මේ වනවිට දේශපාලන මැදිහත්වීම් මත විවිධ දේශපාලන පක්ෂවල අධාරකරුවන් සතු කරගෙන ඇති බව ගම්වාසින් චෝදනා කරනවා.

තම ගම්මානවලට වන අලි කඩා වදින්නේ ඒ නිසා බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

පවතින සෑම මැතිවරණයකදීම දේශපාලන වේදිකාවේ මාතෘකාවක් වූ වනඅලි ගැටළුවට මෙතෙක් නිසි විසඳුමක් නොමැති වීමෙන් මේ ජනතාවට සිදුව ඇත්තේ සිය ජීවිතවලින් වන්දි ගෙවීමටයි.

කෘෂිකර්මාන්තයෙන් තම දිවි සරි කරගන්නා මේ මිනිසුන්ගේ ජීවිත අවදානම ගැන බලධාරීන්ගේ නිසි පරිමාණ අවධානය යොමු වන තෙක්, හිරු ප්‍රවෘත්ති අවධානයෙන්.

******************************************

අධිවේගයේ ප්‍රධාන මුදල් අයකැමියෙක් ලක්ෂ 14 ක් සමග අතුරුදහන්

(12.09.2021 – 11:33 +0530 – lankadeepa.lk)

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

එම මුදල් භාරව කටයුතු කළ ප්‍රධාන මුදල් අයකැමි වරයෙක්ද ඒ සමග අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි

සේවාමුරය භාරව පැමිණි ප්‍රධාන මුදල් අයකැමිවරයකු සිදු කළ මුදල් ගණනය කිරීමේදී රුපියල් 14,18,000 ක මුදලක් අඩු බවට අනාවරණය වීමෙන් අනතුරුව අදාළ බලධාරීන්ට සිදු කළ දැනුම්දීමක් අනුව එම බලධාරීන්ගේ උපදෙස් මත ප්‍රධාන ඉංජිනේරුවරියක් විසින් එම පැමිණිල්ල සිදුකළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

මුදල් අයකැමිවරුන්ගේ සේප්පු වෙන් සහ දෛනික ආදායම තැන්පත් කරන සේප්පුවෙන් මුදල් සොරාගෙන ඇති බවට අභ්‍යන්තරව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ වන විට අතුරුදන්ව ඇති ප්‍රධාන මුදල් අයකැමිවරයා තදින් සූදුවට ඇබ්බැහිව සිටින පුද්ගලයකු බවත් ඒ හේතුවෙන් මොහු අධික ලෙස ණය තුරුස් වී ඇති බවද සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ඔහුගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත ව ඇති අතර බුලත්සිංහල පදිංචි නිවසින් ද අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි ෴

******************************************

අලි සබ්රි සහ තිස්ස අත්තනායක දෙබෑයන් ගෙනා රාජ්‍ය නොවන සංවිධාන පනත අපි පරාජය කරා – වෛද්‍ය වසන්ත බණ්ඩාර (12.09.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(12.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවුණු නිරෝධායන ඇඳිරිනීතියත් සමඟ ඌව පළාතේ කිතුල් පැණි හා කිතුල් හකුරු කර්මාන්තයේ නියැලෙන පිරිස් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම නිෂ්පාදන අලෙවියට වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසයි.

බදුල්ල පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පලාවත්තලගඩාදෙහිගොල්ල, ඉබ්බන්ඇල්ල, කොලොංගස්පිටිය, දඹකොටේ, ඌරුමීතැන්න ආදී ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කිතුල් පැණි හා කිතුල් හකුරු කර්මාන්තයයි.

ඔවුන් තම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සහ කෙසෙල් අලෙවි කළේ කහටරුප්ප සතිපොලේදී අතර පවතින කොවිඩ් වසංගතය හා නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයේ සතිපොළ වැසීයාමත් සමඟ මෙම කර්මාන්තකරුවන් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි.

ඔවුන් පවසන්නේ මෙම කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරගත නොහැකිවීම නිසා ඇතැම් කර්මාන්තකරුවන් කිතුල් මැදීමද නතර කර ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පිට පළාත්වලින් පැමිණෙන වෙළෙඳුන්ගේද අඩුවක් පවතින බවයි.

මේ අතර පාලාවත්ත බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ටිබෙට් ජාතික එස්. අමරජෝති හිමියන් අවධාරණය කරන්නේ තම විහාරස්ථානය අවට ගම්මාන වල වෙසෙන මෙම ගම්වැසියන්ගේ නිෂ්පදාන සාධාරණ මිලකට අලෙවිකරගැනීම සඳහා රජය හා නිලධාරීන් වහාම වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

+++++++++++++++++

(12.09.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළඳි මිය යන පුද්ගලයන්ගේ ආදාහන කටයුතු සිදු කිරිමේදි පළාත් පළාන අමාත්‍යංශයේ ආදාහනාගාර සඳහා වැය වන මුදල් ලබා දිමට විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය අගෝස්තු 31 වනදා දක්වා සිදු කළ කොරෝනා මරණ 2417 ක් සඳහා එක් මරණයක ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 බැගින්, ප්‍රථම අදියරේදි රුපියල් එක් කෝටි විසි ලක්ෂ අසූ පන්දහසක (1,20,85,000) මුදලක් වෙන් කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

පළාත් පළාන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබෙනවා ෴

++++++++++++++++

(12.09.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 2022 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 4,85,296 ක් වනවා ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 144 ක් අද (12) දිනයේ වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++

වැඩි වියදමින් කොවිඩ් පරීක්ෂණ කල කාලය අවසන් – අඩු වියදම් කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් ලංකාවෙන්

(12.09.2021 – 09:29 +0530 – lankaleadnews.com)

කොවිඞ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්‍ෂණවලට සමාන පරීක්‍ෂණ ක්‍රමවේදයක් කළ හැකි පරීක්‍ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සහ එම උපකරණය නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචික ප‍්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම නිර්මාණය හඳුන්වාදෙනු ලැබීය. කඩිනමින් හා අඩු පිරිවැයකින් ආසාදිතයන් හඳුනාගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

ඒ අනුව රුපියල් 1500 ක පමණ මුදලකින් අදාළ පරීක්‍ෂණය කළ හැකි බව එහි නිර්මාණකරු පවසයි. මේ වන විට මෙයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්‍ෂණික කමිටු අනුමැතිය ලැබී ඇති අතර එහි ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටී. මේ අතර විශේෂිත පරීක්‍ෂණ කට්ටලය ‘RT LAMP (Reverse Transcription Loop Mediated lsothermal Amplification)’ ජාතික හා ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍රය සඳහා අයැදුම් කර ඇත.

‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව දේශීය නිපැයුම් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත් විශේෂයෙන් කොවිඩ් ව්‍යසනය හමුවේ මෙවැනි නිපැයුම් ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කිරීම අතිශය වැදගත් බවත් සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන ව්‍යාපාර හා සම්බන්ධ කිරීමේ ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය දර්ශන යාපා යන මහත්වරු සහභාගි වූහ ෴

+++++++++++++++

දැන් මට සුවයි – මං රටටම ඇත්ත කියනවා – සිසිර පෙරේරා තම අත්දැකීම ප්‍රථම වතාවට මාධ්‍යයට හෙළි කරයි (12.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *