අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත්

අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත්

*********************************************

අවුරුදු 12 ට වැඩි සංකූලතා සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත්

(12.09.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ට වැඩි දිගුකාලීන රෝග සහිත දරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා සිට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කළේ රජයේ රෝහල්වලදී දරුවන්ට අදාළ එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.

මෙතෙක් ගෝලීය වශයෙන් වයස අවුරුදු 12 ඉක්ම වූ වයස් කාණ්ඩය සඳහා ලබාදීමට නිර්දේශ කර ඇත්තේ ෆයිසර් එන්නත පමණයි.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 2,802 ක් ඊයේ (11) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,83,280 දක්වා ඉහළ ගියා.

පසුගිය 10 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 157 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11) තහවුරු කළා. ඊට පිරිමින් 70 ක් සහ කාන්තාවන් 87 ක් ඇතුළත්. මියගිය පිරිස අතර, 130 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමින් 63 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 17 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 අඩු පුද්ගල මරණ 4 වාර්තා වන අතර, ඉන් කාන්තාවන් 3 ක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,152 ක් ලෙසින්.

+++++++++++++++++

(12.09.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමට අදාළව ගතවූ පැය 24 ක කාලය තුල සැකකරුවන් 669 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

වාහන 38 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමා පැනවීම ආරම්භයේ සිට මේ දක්වා අදාළ නීති උල්ලංඝණයට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 69,957 ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත පොලිස් මාර්ග බාධකවලදී පුද්ගලයන් 1982 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර වාහන 1431 ක් ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණ නියමිත අවසර නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් 242 ක් සහ වාහන 318 ක් ආපසු හරවා යැවුනු බවයි පොලිසිය කියාසිටියේ.

++++++++++++++++

(12.09.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණීමේදී කොරෝනා පරික්ෂණ සිදුකළ පසු නිරෝධායනය සඳහා යොමු කරන ඇතැම් හෝටල්වලින් අධික ලෙස මුදල් අය කරන්නේ නම් , ඊට අදාළ මැදිහත්විම් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

විදෙස් ගතව සිට දිවයිනට කෙරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් රඳවා තැබෙන හෝටල්, එම කාලසීමාව සඳහා තමන්ගෙන් අධික මුදලක් අය කරන බවට සංචාරකයින්ගෙන් නිරන්තරයෙන් චෝදනා එල්ල වුණා.

පවතින සිමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයින් 2000 ක් පමණ දිනකට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් මේ දිනවල මෙරටට පැමිණෙනවා.

එසේ පැමිණෙන ශ්‍රි ලාංකිකයින් වූව ද පූර්ණ කොරෝනා මර්ධන එන්නත්කරණයට ලක්ව ඇතත් කොරෝනා පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගනු ලබන්නේ.

කෙසේ වෙතත්, එලෙස නිරෝධායනයට යොමු කෙරෙන පිරිස් චෝදනා කරන්නේ කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටින දවසකට නොවැඩි කාල සීමාව සඳහා ද අදාළ හෝටල් අධික මුදලක් අය කරනු බවයි.

ඒ අනුව අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ එක් තරු පන්තියේ හෝටලයක් දිනක් (1) සඳහා තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයකට ඩොලර් 170 ක් හෙවත් රුපියල් 34,000 ක පමණ මුදලක්ද, දෙදෙනෙකු (2) රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 210 ක් හෙවත් රුපියල් 42,000 ක පමණ මුදලක් අය කරනු බවයි.

ඊට අමතරව කොරෝනා පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක් ද එම හෝටලය මගින් අයකර ගනු ලබනවා.

තවත් හෝටලයක් තනි (1) පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 231 ක් හෙවත් රුපියල් 46,000 ක පමණ මුදලක්ද දෙදෙනෙකු (2) රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 265 ක් හෙවත් රුපියල් 53,000 ක පමණ මුදලක්ද අයකර ගන්නා බවට තොරතුරු හෙළිවුණා.

ඊට අමතරව එම හෝටලය ද කෙරෝනා පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක මුදලක් අය කරනු ලබනවා.

තවත් තරු පන්තියේ හෝටලයක් තනි (1) පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 235 ක් හෙවත් රුපියල් 47,000 ක පමණ මුදලක්ද දෙදෙනෙකු (2) රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 297ක් හෙවත් රුපියල් 60,000 ක පමණ මුදලක්ද ඇතුළුව තවත් පහසුකම් සඳහා මෙලෙස අධික මුදලක් අයකර ගන්නා බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයාබැලීමේදී අනාවරණය වුණේ.

මෙලෙස අධික මුදලක් වැය කරමින් කොරෝනා පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ‘රැපිඩ් – පී.සී.ආර්.’ පරීක්ෂණ පහසුකම් ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් කළ විමසීමකදී සඳහන් කළේ, සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහාද ගුවන් තොටුපොළ තුළදී ‘රැපිඩ් – පී.සී.ආර්.’ පරීක්ෂණ සිදුකිරීමට හැකියාවක් පවතින බවයි.

මෙරටට පැමිණීමේදී දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන මෙම අසාධාරණයට විසඳුම් ලැබෙන තෙක් හිරු ප්‍රවෘත්ති තවදුරටත් අවධානයෙන්.

මේ අතර, කොරෝනා ආසාදිත වු තම මව සහ පියා නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කර අවස්ථාවේ අසාධාරණ ලෙස මුදල් අය කර බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු චෝදනා කළා.

ඔහු කියා සිටියේ නිරෝධායනය වූ දින 07 ක කාලයක් සඳහා රුපියල් 10,15,000 ක මුදලක් අය කළ බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අලි නිදහස් කිරීමෙන් අලි රකින පිරිසක් ගැටලුවක

(12.09.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කරන ලද වනජීවි විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය සහ නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ නියෝග ප්‍රකාරව නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවේ සිටි ‘වන අලින්’ 13 දෙනෙකු නැවතත් හිමිකරුවන්ට භාරදීමට කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතා සංවේගයටත්, මවිතයටත් පත්ව සිටින බව වනජීවි වෘත්තිකයින් පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘වනජීවි අඩවි සහකාර වෘත්තීය සංගමය’ පෙන්වා දෙන්නේ අධිරාජ්‍යවාදී සමයේ සිදුකළ අලි සංහාරය මගින් 1500 දක්වා පහත වැටී තිබූ මෙරට අලි ගහනය 6000 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමට වනජීවි දෙපාර්තමේන්තුවට හැකි වූ බවයි.

එමෙන්ම, 1994 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් ඉපදීමක් සිදුව නොමැති බව පෙන්වා දෙන වනජීවි අඩවි සහකාරවරුන් තවදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයාගේ ගැසට් පත්‍රය මගින් වන අලි නිදහස් කිරීම සහ එහි නියෝග අනුව අලින්ට බලපත්‍ර ලබාදීමෙන් වනජීවි සංරක්ෂණයට බරපතල ගැටළුවක් එල්ල වන බවයි.

මෙම වන අලින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ‘බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගැනීම’ නිසා වන අතර, එම වන අලින් නීත්‍යානුකූල බලයක් හෝ අනුමැතියක් නොමැතිව අල්වා ගත් අලි ඇතුන් බවද වනජීවි අඩවි සහකාරවරුන් පෙන්වා දෙනවා.

හීලෑ අලියෙකුගේ දල කපාගත හැකිවූවද වන අලියෙකුගේ දලයක් කපා ගැනීම සිදුවන්නේ එම අලියා ඝාතනය කිරීමෙන් පසුවයි.

එවැනි ඝාතනයෙන් ලබාගන්නා දළවලටද රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ වගන්තිවලින් පිටිවහලක් ලැබෙන බවද වනජීවි අඩවි සහකාරවරුන් සඳහන් කළා.

අලි හිමිකරුවෙකුට එරෙහිව සිදුකරන පැමිණිලි පරීක්ෂණ කමිටුවකට පවරා ඇති අතර, එමඟින් වනජීවි නිලධාරීන්ට පැවරී ඇති බලයද හීනවන බවයි වනජීවි අඩවි සහකාර වෘත්තීය සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, අධිකරණ නියෝග මත රැඳවුම් භාරයේ සිටින අලි – ඇතුන් නිදහස් කිරීමත් සමග සිය රැකියා අහිමිවීමේ අවදානමක් හටගෙන ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවයේ නිරත ‘අලි රැකබලා ගන්නන්’ පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ව වනජීවි දෙපාර්තමේන්තුව යටතේ ඇති වෙනත් රැකියාවන් සඳහා අනියුක්ත කිරීමට අවධානය යොමු කරන ලෙසටයි.

******************************************

(12.09.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

‘අමිල ප්‍රසංග හෙට්ටිහේවා’ නොහොත් ‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට සැකකරුවන් පැමිණි වෑන් රථය නීති විරෝධීව එකළස් කරන ලද එකක් බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මෙම වෑන් රථය පසුගිය 4 වනදා මාතර නාදුගල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීයි සොයා ගැණුනේ.

එම වෑන් රථය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශණ සිදුකර එහි හිමිකරු පෙරේදා 10 වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 33 ක් වයසැති සැකකරු සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු කොටවිල පොලිසියට වැඩිදුර විමර්ශණ සඳහා ඉදිරිපත් කර ඇති අතර දීර්ඝ ලෙස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම වෑන් රථය නීති විරෝධීව එකළස් කරන ලද එකක් බවටයි.

පසුගිය අගෝස්තු මාසයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක් කටා’ යන අයගේ සමීපතමයෙකුට ලබාදී ඇතැයි ද සැකකරු අනාවරණ කර තිබෙනවා.

වෑන් රථයේ හිමිකරු වන සැකකරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙක් බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා ඊයේ (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 03 වනදා වැලිගම වරකපිටිය ප්‍රදේශයේදී ‘සන්ෂයින් සුද්දා’ ඝාතනය කෙරුණු අතර සිද්ධියට අදාළව කොටවිල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(12.09.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද පෙලෙන්ගහහේන හංදිය අසලදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කිරීම පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රී කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට සපුගස්කන්ද පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන් විසිනුයි මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇත්තේ.

රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු මාපොළ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

මේ පිළිබඳ පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ මිතුරෙක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හමුවේ මිතුරා විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවටයි.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

******************************************

(12.09.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණ වල පවතින ළමා අපයෝජන නඩු විභාග කිරීමට කල්ගත වීම අවම කිරීමට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිසම විසින් එය නිකුත් කර ඇත්තේ සියලු මහාධිකරණ විනිසුරුවරුන් වෙතටයි.

ළමා අපයෝජන නඩු විභාග පමා වීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කල ඉල්ලීමක් සලකා බලමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ළමා අපයෝජන නඩු වලට ප්‍රමුඛත්වය ලබාදීම මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන බවයි එහි දැක්වෙන්නේ ෴

******************************************

(12.09.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ‘ලාෆ් ගෑස් සමාගම’ පවසනවා.

පසුගියදා ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ් ගෑස් වෙළඳපොලේ යලි හිඟ වීමේ අර්බුදයක් පවතින බවට පාරිභෝගිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ගෙන් කළ විමසීමකදීයී, ඔහු මේ බව සඳහන් කලේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය හා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බවයි.

කෙසේ වෙතත්, පවතින ගෑස් හිඟයට හේතුව වාණිජ බැංකු වලින් ගෑස් තොග ලබා ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලුව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට තුල සියයට 20 ක් පමණ පාරිභෝගිකයන් පිරිසක් ලාෆ් ගෑස් භාවිතා කරනවා. පසුගිය මස මුලදීද වෙළඳපොළේ එම ගෑස්වල හිඟයත් නිර්මාණය වු අතර අර්බුදය පාලනය කිරීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර ලබාදීමටයි රජය කටයුතු කළේ.

ඒ අනුව එම වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 363 කින් සහ කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145 කින් මිල වැඩි කරනු ලැබූවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *