ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ

ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ

*********************************************

ළමයින් 200 ට අඩු පාසල් ඔක්තෝබරයේ ආරම්භ කිරීමට නිර්දේශ

(11.09.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ළමුන් 200 කට අඩු පාසල් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට හැකි බවට පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ තාක්ෂණික කමිටුව නිර්දේශ ලබා දී තිබෙනවා.

එම කමිටුව අද (11) පෙරවරුවේ රැස්වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් පිහිටවූ තාක්ෂණික කමිටව අද (11) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස්වුණා.

ඊට අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය, වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥයින්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී වී තිබෙනවා.

මේ අතර, ගාල්ල මහ නගර සභාවට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට එන්නත්කරණය කළ බවට කාඩ්පත් ලබාදෙන බවට ලැබුණු තොරතුක් අනුව ගාල්ල පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සතුව තිබී සොයාගත් එන්නත් කාඩ්පත් සංඛ්‍යාව 45 ක්.

අද (11) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,882 ක් වාර්තා වී ඇති අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,82,360 ක් දක්වා ඉහළ ගියා.

දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳරි නීතිය ලබන 21 වැනි අඟහරුවාදා අලු‍යම 4 දක්වා ක්‍රියාත්මක යි.

+++++++++++++++++

(11.09.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සිවාජිලිංගම්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු මේ වන විට කෝපායි ගුරු විද්‍යාලයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරුව ඇති අතර, අනතුරුවයි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත්තේ ෴

++++++++++++++++

(11.09.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව අද (11) එකොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ අද (11) දිනයේ තවත් මරණ 157 ක් වාර්තා කිරීමත් සමගයි.

මේ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නෙ 11,152 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 87ක් සහ පිරිමින් 70 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 04 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමින් 01 ක් සහ කාන්තාවන් 03 ක් වශයෙන්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 23 ක් ඊයේ (10) තහවුරු කළ මරණ අතර වනවා.

ඒ කාන්තාවන් 17 ක් සහ පිරිමින් 06 ක් ලෙසටයි.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ මරණ 130 ක් වන අතර ඒ කාන්තාවන් 67 ක් සහ පිරිමින් 63 ක් වශයෙන් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 914 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. අද (11) දිනය තුල හමු වූ මුළු ආසාදිතයන් ගණන 2796 ක් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 4,83,274 ක් ෴

+++++++++++++++++

(11.09.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 15 ක් සඳහා පනවා තිබූ සංචාර තහනම හෙට (12) සිට ඉවත් කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළා.

ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කල කොරෝනා එන්නත් මාත්‍රා 2 ම ලබා තිබීම අනිවාර්යයි.

එක්සත් අරාබි එමීරයේ, එක් එමීරයක් වන ඩුබායිහිදී ලබන ඔක්තෝම්බර් පළමු වනදා සිට එක්ස්පෝ-2020 ජාත්‍යන්තර ප්‍රදර්ශනයට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් සඳහා බැංකොක් නුවර ලබන ඔක්තෝම්බර් මාසයේ සිට විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළා.

ඒ කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් අඩපන වූ එරට සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින්. ගෝලීය වසංගතයට පෙර තායිලන්තයේ ජාතික ආදායමෙන් 5 න් 1 ක් (20%) හිමිවූයේ සංචාරක කර්මාන්තයෙන් ෴

+++++++++++++++++++

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා එන්නත් කිරීම ලබන 21 වනදා සිට

(11.09.2021 – 22:06 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් කිරීමේ ප්‍රථම අදියර ලබන 21 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එහිදී නිදන්ගත රෝග සහිත දරුවන් සඳහා පළමුව එන්නත් ලබා දීමට නියමිතයි.

නිදන්ගත රෝග සහිත අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සාමාජික ළමා රෝග විශේෂඥවෛද්‍ය ආර්.එම්. සුරන්ත පෙරේරා මහතා පැවසුවේ ඒ යටතේ ෆයිසර් එන්නත ලබාදෙන බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නොවැම්බර් සිට දුරකථන මාදිලි 43 ක WhatsApp අවහිර වෙයි

(11.09.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

‘වට්ස්ඇප්’ යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43 ක් සඳහා ක්‍රියාකාරිත්වය අත්හිටුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව පුරා වැඩිම පිරිසක් භාවිතා කරන වට්ස්ඇප් යෙදවුම, පසුගිය මාස කිහිපය තුළ විශේෂාංග රැසක් හඳුන්වා දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, නොවැම්බර් මස 01 වැනිදා සිට ස්මාර්ට් දුරකතන මාදිලි විශාල සංඛ්‍යාවකට එහි ක්‍රියාකාරිත්වය ලබා නොදීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.

විශේෂයෙන්ම මෙය පැරණි ස්මාර්ට් ජංගම දුරකතන සඳහා බලපානු ඇති.

මේ වන විට ‘වට්ස්ඇප්’ යෙදවුම ෆේස්බුක් සමාගම යටතේ යි පවතින්නේ ෴

******************************************

ඉන්ධන හිඟයක් නැහැ – සංස්ථාවෙන් සහතිකයක්

(11.09.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් ඉන්ධන බෙදාහැරීමෙන් වැලකීම හමුවේ මෙරට තුල ඉන්ධන හිඟයක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බව ලංකා ඛණිජ තෙල් නිතී ගත සංස්ථාව පවසනවා.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සෙනසුරාදා දිනයේදී සිදු නොකිරීමට පාලන අධිකාරිය විසින් ගත් තීරණයකට විරෝධය පල කරමිනුයි සේවකයන් එලෙස ඉන්ධන බෙදා හැරීමෙන් වැලකී සිටියේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුනේ සෙනසුරාදා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කලත් සේවකයන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹෙන බවයි ෴

******************************************

(11.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගෙන් හිස් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නවක මන්ත්‍රීවරයෙකු දිවුරුම් දීම 21 වනදා සිට ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුල සිදුවීමට නියමිතයි.

ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයාට එම මන්ත්‍රීධූරය ලබා දීමට නියමිත බවයි පොදු ජන පෙරමුණු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මුලින් නම් කිහිපයක් යෝජනා වී තිබුණද මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පිලිබඳවයි.

කෙසේ වෙතත් අවසන් තීරණය පොදු ජන පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන සතිය තුලදීයි.

අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ඉඩකඩ සලසමින් පසුගියදා ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා සිය මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ ලිපිය එළඹෙන සඳුදා (13) දිනයේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ඇති.

තමන් දින දෙකකින් (2) සිය ධූරයෙන් ඉල්ලා අස් වන බව වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා හිරු ප්‍රවෘත්තී අංශය සිදුකල විමසීමකදී සඳහන් කලා.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන අඟහරුවාදා (14) දිනය වනවිට මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවනු ඇති.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි පත් කිරීමෙන් පසු එම තනතුරේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා ෴

******************************************

(11.09.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

නිසි මිලක් ලැබෙනතුරු තම වී අස්වනු රජයේ හෝ පෞද්ගලික අංශයේ කිසිදු ගබඩාවකට අලෙවි නොකරන බව පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

පාලන මිලක් යටතේ සහල් ව්‍යාපාරිකයින්ගෙන් රජය සහල් තොග මිලදී ගැනීමත් සමග තම අස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

රජය විසින් නාඩු වී කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 50 ක් හා සම්බා වී කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 52 ක් බැගින් උපරිම මිලක් නියම කිරීම ඊට හේතුව බවයි ගොවීන් පවසනවා.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන මහත්වරු අද (11) එක්වුණා.

******************************************

‘මැණිකේ මගේ හිතේ’ – යූටියුබ් නැරඹුම් වාර ගණන කෝටි 10 ඉක්මවයි

(11.09.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

තමන්ටම උරුම වූ ගායන හඬ පෞරුෂයකින් ලොවක් වසඟයට ගත් යොවුන් ගායිකාවක වන යොහානි ද සිල්වා ට අද (11) තවත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිවුණා.

ඒ, යොහානිගේ හඬින් හැඩවුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට යූටියුබ් සමාජ මාධ්‍යයේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමිකරගත් ශ්‍රී ලාංකේය නිර්මාණය බවට පත්වෙමින්.

එය ඉන්දියාවේ සුප්‍රකට සිනමා ශිල්පීන් අතරද මේ වනවිට උන්මාදයක් බවට පත්ව තිබෙනවා.

යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය අද (11) යූටියුබ් සමාජ මාධ්‍යයේ නැරඹුම් වාර මිලියන සියය (100) එනම් කෝටි 10 ඉක්මවා ගියා.

******************************************

(11.09.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ආනයන පාලනය සඳහා මහ බැංකුව ගත් නව තීන්දු හේතුවෙන් රට තුල කිසිදු ‘යට ඇඳුම්’ හිඟයක් හෝ ‘නිමි ඇඳුම්’ හිඟයක් ඇති නොවන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ප්‍රමාණවත් ඇඳුම් නිෂ්පාදන, දේශීය නිෂ්පාදකයන් සතුව පවතින බවයි.

මේ අතර එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ඇගලුම් සන්නාම සංගමයේ නියෝජිතයන්ද එක්ව සිටි අතර එහි සභාපති ලලන්ත වතුදොර මහතා සඳහන් කළේ, මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති දේශීය නිෂ්පාදකයන්ට හිතකර බවයි.

******************************************

(11.09.2021 – 23:00 +0530 – hirunews.lk/sinhala)

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ හෙට (12) පස්වරු 05:30 තෙක් වලංගු වන ආකාරයෙන්.

නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 ක් 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

කෙසේවෙතත් මෙය ගොඩබිමට පැමිණෙන රළවල උස නොවන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් ද පවතිනවා.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා ෴

******************************************

(11.09.2021 – 13:15 +0530 – lankaleadnews.com)

පශු සංවර්ධන මණ්ඩලයට අයත් පොල් ඉඩම් අක්කර 2000 කට වැඩි භූමි ප්‍රමාණයක් රජයට හිතවත් පුද්ගලික ආයෝජකයින් හතර දෙනෙකුට (4) වසර 30 ක කාලයක් සඳහා බද්දට ලබාදීමට අමාත්‍යය මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ආයතනයේ ඉහළ නිලධාරියෙකු ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ පනත මගින් ආයතනයට එම ඉඩම් පවරා දී ඇත්තේ කිරි ගව අභිජනන ව්‍යාපෘතියක් සඳහා බවය.

වගකිව යුත්තන්ට එය කළ නොහැකි නම් කළ යුත්තේ වග කිව යුත්තන් මාරු කිරීම මිස ඉඩම් බදු දීම නොවන බව ඔහු පවසා සිටියේය. ඊට අමතරව නම සඳහන් කිරීමට අකමැති වූ ඔහු සඳහන් කළේ එම ආයෝජකයින් තෝරා ගැනීමේදි ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළ බවය.

එසේම අවංකව ආයෝජකයින් සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් ඒ සඳහා මෙම ඉඩම් ලබා නොදී මහවැලි හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉඩම් ලබා දිය හැකිව තිබූ බවද ඔහු අවධාරණය කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *