මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට

*********************************************

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස නොවැම්බරයේ ජනතා අයිතියට

(11.09.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වෙන කොටස ලබන නොවැම්බර් 15 වැනි දා වෙනවිට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා දෙවන (2) අදියරේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනට අද (11) පෙරවරුවේ එක්වෙමිනු යි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

******************************************

(11.09.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට යොදාගත් වෑන් රථයේ හිමිකරු සහ එහි රියදුරා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඝාතකයින්ට රුපියල් ලක්ෂ 08 ක මුදලකට වෑන් රථය ලබා දී ඇති බවට යි අනාවරණ වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙන ‘අමිල හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ පසුගිය දා මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී කොටවිල – වරකපිටිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වුණා.

පසු ව ඝාතනයට යොදාගත් මෝටර් රථය පොලිසිය මගින් සොයා ගැනුණේ තිහගොඩ – බණ්ඩත්තර ප්‍රදේශයේ අතහැර ගොස් දමා තිබියදි යි.

මෙම ඝාතනයට අනුබල දීමේ චෝදනාව මත අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙන ‘රුවන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ සමීපතමයෙකු වෙන ‘ගනේෂ්’ නැමැත්තා මීට පෙර අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සහ සී.සී.ටී.වී. දර්ශන පිරික්සීමේ දී හෙළි වූ තොරතුරුවලට අනුව යි වෑන් රථයේ හිමිකරු සහ රියදුරු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

******************************************

(11.09.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා නො දෙන්නේ නම් ජාත්‍යන්තරය හරහා හෝ ඒ සඳහා සාධාරණයක් ඉල්ලා සිටිමේ කිසිදු වරදක් නොමැති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ප්‍රවෘත්ති සකාච්ජාවකට එක්වෙමිනු යි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

******************************************

(11.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 4 කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සංචරණ සීමා කාලය තුල කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (10) කිරිබත්ගොඩ ගෝණවල සහ කඩුවෙල ප්‍රදේශවල කළ වැටලීම්වලිනුයි මෙම කේරළ ගංජා සොයාගෙන ඇත්තේ.

මෙහිදී කේරළ ගංජා කිලෝ 261 යි ග්‍රෑම් 830 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගේ වයස අවුරුදු 28, 44 සහ 55 ක් වනවා.

ඔවුන් සමග කේරළ ගංජා අලෙවි කිරීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක්, කැබ් රථයක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන පැමිණ ඇති බවටයි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අණාවරනය කරගෙන ඇත්තේ.

කේරළ ගංජාවල දල වටිනාකම රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුක්ත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

******************************************

(11.09.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.

හදිසි නීති රෙගුලාසි පණවමින් වී / සහල් / සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළ ගණන් පාලනය කිරීමේ මෙහෙයුම් රජය විසින් ආරම්භ කලේද ජනාධිපතිවරයාගේ එම දැක්ම යටතේ ගත් තීරණ වල ප්‍රතිඵල අනූව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ පවතින වර්තමාන තත්වය සමග ජනතාවාදී ආණ්ඩුවක නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සදහා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මේ බව සඳහන් කර සිටියා.

******************************************

ඇමතිවරු කියන්නේ බොරු කිසිදු භාණ්ඩයක් ආනයනය නවත්වා නැහැ. බලවත් ආනයනයකරුවන්ට ඕනම දෙයක් ආනයනය කළ හැකියි – ජාතික සංවිධාන

(11.09.2021 – 18:53 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ සහ විපක්ෂයේ පිරිස් දෙපසට බෙදී හිස් වාද විවාද සහ හිස් ප්‍රලාප දෙඩ වුවද ආණ්ඩුව විසින් කිසිදු භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් කර නැති බව ජාතික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. එහි මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට අනුව දැන් සිදුවී ඇත්තේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී එහි මුළු වටිනාකම මුදල් ලෙස තැන්පත් කිරීමට කොදේසියක් පැනවීම පමණයි.

ඒ අනුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ විවිධ අන්තවාදී සංවිධාන වලින් ආයෝජන සඳහා මුල්‍යය සහය ලැබෙන ව්‍යාපාරිකයන්ට කිසිදු ගැටළුවකින් තොරව ණයවර ලිපි නිකුත් කර, සීමා කළා යැයි කියන භාණ්ඩ ආනයනය කළ හැකි බව ඔහු පවසයි.

එහිදී වෙළෙඳ තරඟය සීමා වන බැවින් මිල ඉහළ දැමීමටද හැකියාව ලැබෙන නමුත් ආණ්ඩුවට කිසිදු ආදායමක් නොලැබෙන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවේ මෙම තීන්දුව මගින් පාරිභෝගිකයාට සහ රජයට පමණක් නොව සුළු ව්‍යාපාරිකයාටද බරපතල අවාසියක් සිදු වන අතර ඩොලර් ඉතිරි වීමක්ද සිදු නොවන බව වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතාට අනුව ආණ්ඩුවේ පණ්ඩිතයින්ට මොළේ කළඳක් ඇත්නම් කළ යුත්තේ ආනයන බදු ඉහළ දැමීම මගින් පරිභෝජනය සීමා කිරීමයි. එවිට ආණ්ඩුවට බදු ආදායම ලැබෙන අතර ලොකු කුඩා සියළු ව්‍යාපාරිකයන්ට තරඟ කිරීමේ අවස්ථාවද ලැබෙන බවද වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි ෴

******************************************

(11.09.2021 – 17:09 +0530 – lankaleadnews.com)

ගොවියා පෙන්නල මහා මෝල් හිමියන් ශක්තිමත් කිරීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘ලංකා ලීඩ්’ අඩවිය වෙත අදහස් දැක්වූයේය.

එහිදී අනුරාධ තෙන්නකෝන් මහතා, “එතුමා මොනවා කිව්වත් ඇත්තටම කරන්නේ මාධ්‍යයට කියන දේට සම්පූර්ණ විරුද්ධ පැත්ත. එතුමයි වෙළෙඳ ඇමති තුමයි එකට එකතු වෙලා ක්‍රියාත්මක කරණ වැඩ පිලිවෙළින් මහා වී මෝල් හිමියන්ට කිසිදෙයක් වෙන්නේ නැහැ. මහා මෝල් හිමියන්ට ‘පීඩන’ දරාගන්න පුළුවන්. ඊට අමතරව මහා සහල් මෝල් හිමියන් හසුරුවන්නේ රටේ සහල් වෙළෙඳ පොලෙන් 25% ක් විතර කොටසක් පමණයි. ඉතිරි 75% වෙළෙඳ පොල කොටස හසුරුවන්නේ කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියන්. ඔවුන්ට සාධාරණ ලාභයක් නොමැතිව ව්‍යාපාරය කරගෙන යන්න බැහැ. ගොවියාට සාධාරණ මිලක් වී වලට ලැබෙන්නේ නැතිනම් ගොවියා වී ගොවිතැන අතහරිනවා.

වී අස්වැන්න ගන්නේ පොලොව හාරලා නම් හදිසි නීතියෙන් හෝ හමුදාව යොදවල ගොඩ දාන්න පුළුවන්. වී වවන්නේ ගොවියෝ. ඔවුන්ව දුකට පත් කරල වී වගාව හෝ සහල් වෙළෙඳාම නගා සිටුවන්න බැහැ. දැන් මොන නීති දැම්මත් ගොවියාට වී කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 50 ක් ගෙවලයි සහල් වෙළෙන්දා පාරිභෝගිකයාට රුපියල් 120 ට සහල් විකුණන්නේ. ඉතින් ඕන මෝඩයෙකුට තේරෙනවා ගොවි පවුල් ලක්ෂ 15 ක ඡන්ද ලක්ෂ 30 ක් සතුටු කරලා වී වලට රුපියල් 60 ක් ගෙවල නාඩු 115 කළාම ප්‍රශ්නය ඉවරයි කියල.” යනුවෙන් පැවසුවේය ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(11.09.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (10) දිනයේ දී පුද්ගලයින් 2,90,615 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 1,69,591 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබා දී ඇති පිරිස 85,784 ක්.

එසේම, ඊයේ (10) ෆයිසර් එන්නත් මාත්‍රා 14,205 ක් මොඩර්නා එන්නත් මාත්‍රා 14,098 ක් සහ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 6,937 ක් ද ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

2021-09-10 – Progress Report of COVID-19 Immunization (pdf)

කොවිඩ් ආසාදනය වී රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ රෝගින් 1,605 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා වැළඳී සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 4,11,233 දක්වා ඉහළ යනු ඇති ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1882 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ සමග ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,82,360 ක් බවට පත්වුණා ෴

+++++++++++++++++

(11.09.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින් කොරෝනා ආසාදනයෙන් මිය යෑමේ අවස්ථාව එන්නත්කරණය නො ලැබූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් අඩු බව ඇමරිකානු පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

සී.ඩී.සී. හෙවත් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය ලැබූවන් කොරෝනා ආසාදිත ව රෝහල්ගත කිරීමේ අවස්ථාව ද දස (10) ගුණයකින් අඩු බවයි.

සී.ඩී.සී. ආයතනය මඟින් ඊට අදාළ විද්‍යාත්මක ලේඛණ 03 ක් ඉදිරිපත් කර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හමුවේ වූව ද මෙලෙස එන්නත්කරණයෙන් මරණය බොහෝ දුරට වළකන බව තහවුරු වී තිබෙනවා.

රෝහල්ගත කිරීමට සහ මරණයට එරෙහි ව එන්නත්කරණයෙන් ලැබෙන රැකවරණය බොහෝ දුරට ස්ථාවර වන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූවන්ගේ යම් තරමකින් දුර්වල වීමක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඔවුන් වෙත 03 වැනි මාත්‍රාවක් නැතිනම් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීමට යි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර ඇත්තේ ෴

+++++++++++++++++++

(11.09.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිශක්තීකරණය අඩු නිදන්ගත රෝග සහ විවිධ සංකූලතා ඇති පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නතේ තෙවැනි (3) මාත්‍රාවකුත් ලබා දීම සුදුසු බවට වෛද්‍ය විශේෂඥයින් මත පළ කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *