ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්

*********************************************

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපියක්

(11.09.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු නො කරන්නේ නම්, ඒ පිළිබඳ වගකීම පෞද්ගලික ව භාර ගත යුතු බවට දන්වමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලිපියක් යොමු කර ඇති බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානය සඳහන් කළේ, වැටුප් විෂමතා ගැටලුවට එරෙහි ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ ඔවුන් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු නො කර සිටීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලධාරින් විසින් මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව වර්ජනයේ නිරත ගුරු සංගම් ප්‍රකාශ කළා.

ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද (11) 62 වැනි දිනටත් ක්‍රියාත්මක යි.

******************************************

(11.09.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත් ව ගිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඊයේ (10) පස්වරුවේ ඉතාලියේ බොලොඤ්ඤා වෙත ළඟා වුණා.

අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතයි.

හෙට (10) ඉතාලියේ බොලොඤ්ඤාහි දී ආරම්භ වෙන එම සමුළු‍ව තෙදිනක් (3) පුරා පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු‍ දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉතාලිය බලා පිටත් ව ගියේ ඊයේ (10) අලු‍යම යි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරය අතරතුර දී රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිත බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

******************************************

සතොසට වරායෙන් ලැබුණු සුදු ලූණු බහාලුම් දෙකක් (2) පිටතට විකිණීම ගැන පරීක්ෂණ

(11.09.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනය වෙත ලබාගත් සුදු ලූණු බහාලු‍ම් 02 ක් ඉහළ කළමනාකාරිත්වයේ කිසිදු අනුදැනුමකින් තොර ව තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින්ගේ සේවය අත්හිටුවන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ අමාත්‍යවරයා විසින් සතොස සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත එම නියෝගය ලබාදුන් බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විසින් සතොස සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරිවරයාට නියෝග කළ බව අදාළ නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලෙසයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස අලෙවිසැල් ජාලයට නිකුත්කිරීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සතොස ආයතනය වෙත ලබාදුන් සුදු ලූණු බහාලු‍ම් 02 ක් සතොස ඉහළ කළමනාකාරිත්වයේ අනුදැනුමකින් තොර ව තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවිකර තිබුණේ පසුගිය 09 වනදා යි.

මේ සම්න්ධයෙන් අප සතොස ආයතනයේ සභාපති ආනන්ද පීරිස් මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනවිටත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ඉදිරි කන්නයේ දී වී මිල වැඩි කිරීමට බලාපොරොත්තු වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (10) පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ,කෝටි ගණන් ලාභ ලබන වී මෝල් හිමියන් වෙනුවෙන් පෙනී නො සිටින ලෙසයි.

කෙසේ වෙතත්, පාලන මිලක් යටතේ සහල් ව්‍යාපාරිකයින්ගෙන් රජය සහල් තොග මිල දී ගැනීමත් සමඟ තම අස්වනු අලෙවි කරගත නො හැකි තත්ත්වයකට පත් ව ඇතැ යි ගොවීන් චෝදනා කරනවා.

රජය විසින් නාඩු වී කිලෝවක් සදහා රුපියල් 50 ක් හා සම්බා වී කිලෝවක් සදහා රුපියල් 52 ක් බැගින් උපරිම මිලක් නියම කිරීම ඊට හේතුව බවයි ගොවීන් පවසන්නේ ෴

******************************************

(11.09.2021 – 08:52 +0530 – hirunews.lk/sinhala)

වැලි බෙදාහැරීම ජාවාරම්කරුවන්ගෙන් මුදාගෙන සමුපකාර සමිති හරහා අඩු ආදායම්ලාභීන්ට ප්‍රතිලාභ ලැබෙන සේ වැලි බලපත්‍ර ලබාදීමේ විශේෂ වැඩපිළිවළක් සකස් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හා රාජ්‍ය නිලධාරීන් සමඟ ඊයේ (10) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසී යැ යි ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කළා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර 300 ක් සඳහා අවසර ලබා දී තිබිය දී පසුගිය වසරේ දී පමණක් බලපත්‍ර 1,300 ක් නිකුත් කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි දී හෙළි කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි කාලය තුළ දී එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ෴

******************************************

(11.09.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

21 වැනි සියවසේ ලෝක දේශපාලනය මෙන්ම ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය වෙනස් කළ සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට (11) විසි වසරක් (20) සපිරෙනවා.

ඒ නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සියලු අමෙරිකානුවන්ගෙන් එක්සත්කම පිළිඹිඹු කරන ලෙස ඉල්ලීමක් කළා.

එය අමෙරිකානුවන්ගේ ශක්තිය වනු ඇති බවයි ධවල මන්දිරයේ සිට නිකුත් කළ එම ප්‍රකාශයේ දැක්වෙන්නේ.

ජනපති බයිඩ්න් සහ ජිල් බයිඩ්න් ආර්යාව සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අනුස්මරණයන් සිදු කෙරෙන නිව්යෝක්, පෙන්ටගනය සහ පෙන්සිල්වේනියාවේ සංචාරය කරනු ඇති.

කෙසේ නමුත්, ඇෆ්ගනිස්ථානයෙන් කඩිනමින් හමුදා ඉවත් කර ගැනීම පිළිබඳව විවේචනයට ලක්වීම හේතුවෙන් ඔහු එහි දී අදහස් දැක්වීමක් සිදු නො කරනු ඇතැ යි සඳහන්.

එසේ ම සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සංවත්සරයට ලක් රජයෙනුත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, මෑතකාලීන ඉතිහාසයේ ඉතා වේදනාකාරී සිදුවීමක් සිහිපත් කෙරෙන මෙම අවස්ථාවේ ලක් රජය ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ රජය වෙත සහයෝගය පළ කරන බවයි.

එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවාගත් අය වෙත ශ්‍රී ලංකාව උපහාර දක්වන බව ද එහි සඳහන්.

දීර්ඝ කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදී අභියෝගය සාර්ථක ව ජයගත් රටක් ලෙස ශ්‍රී ලංකාව සෑම ආකාරයක ම ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව අවධාරණය කරන්නේ යැ යි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

******************************************

හෙරොයින් තොගයක් සමඟ විදේශිකයින් 09 දෙනෙකු දකුණු මුහුදු තීරයේ දී අත් අඩංගුවට

(11.09.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් තොගයක් සමඟ විදේශිකයින් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මඩකලපුව පොලිසිය සහ නාවික හමුදාව එක් ව දින කිහිපයක සිට සිදුකළ මෙහෙයුමකින් අනතුරුව යි.

එහි දී විදේශීය යාත්‍රාවක් මඟින් රැගෙන ආ හෙරොයින් කිලෝ 153 ක තොගයක් සමඟ මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබුවා.

******************************************

(11.09.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ තොගයක් සහ විදුලි උපාංග සමඟ සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය – තුඩාව වෙරළේ සහ මන්නාරම – ආරිප්පු වෙරළ තීරයේ සිදුකළ වැටලීම්වලදි යි මෙම සැකකරුවන් පස් දෙනා (5) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (10) රාත්‍රියේ කල්පිටිය – තුඩාව වෙරළ තීරයේ දී සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂා කර එහි තිබී වියළි කහ කිලෝ 1,134 ක තොගයක්, විදුලි උපාංග කිහිපයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු (3) නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

පසුව අද (11) අලුයම ද මන්නාරම – ආරිප්පු වෙරළ තීරයේ සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් දෙදෙනෙකු (2) සමඟ වියළි කහ කිලෝ 494 ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 26 සහ 45 අතර වයස්වල පසුවෙන කල්පිටිය සහ පේසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(11.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා තවත් දින දෙකකින් (2) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන අඟහරුවාදා (14) දිනය වෙනවිට මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවෙනු ඇති.

එළැඹෙන සඳුඳා (13) රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත යි.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි පත් කිරීමෙන් පසු එම තනතුරේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු ව ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

මේ අතර, අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ඉඩකඩ සලසමින් පසුගිය දා ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(11.09.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති රීති කඩකිරීමේ සිද්ධි සම්බන්ධ ව ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ පුද්ගලයින් 639 ක් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධ ව අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 69,288 ක්.

වාහන 40 ක් ද මේ සමඟ ම අත් අඩංගුවට පත් ව ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13 ක් තුළින් බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2239 ක් හා වාහන 1330 ක් පරීක්ෂා කර තිබෙනවා.

නිසි අවසරයකින් තොර ව මාර්ග බාධක හරහා පිටවීමට ගොස් නැවත හරවා යවන ලද වාහන ගණන 357 ක් ෴

++++++++++++++++

(11.09.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2,842 දෙනෙකු ඊයේ (10) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 480,478 දක්වා ඉහළ ගියා.

පසුගිය 09 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 131 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කළා.

ඊට පිරිමින් 73 ක් සහ කාන්තාවන් 58 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 110 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමින් 64 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 12 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 ට අඩු එක් (1) පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,995 ක් ලෙසින්.

කෙසේ, වෙතත් ඊයේ (10) තහවුරු කෙරුණු මරණ, 131 මාසයක කාලයකින් පසු වාර්තා වූ අවම මරණ සංඛ්‍යාව යි.

ගත වූ මසක කාලය තුළ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වූයේ අගෝස්තු 29 වනදා යි. එම සංඛ්‍යාව 216 ක්.

මේ අතර, පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මවක් සහ 37 හැවිරිදි දියණියක කොවිඩ් අසාදිත ව පසුගිය 06 වැනි දා ජීවිතක්ෂයට පත් වූ අතර, එම පවුලේ ගෘහ මූලිකයා ද පසුගිය 04 වැනි දා නිවසේ දී ජීවිතක්ෂයට පත් ව තිබුණා.

කෙසේ වෙතත්, ඔහුගේ දේහය සාමාන්‍ය පරිදි භූමදානය කර තිබූ අතර, ඊයේ (10) එම දේහය අධිකරණ නියෝගයකට අනුව යළි ගොඩගනු ලැබුවේ ඔහු ද කොවිඩ් අසාදිත ව මිය ගියේදැ යි මතු වූ සැකය මතයි.

පුත්තලම මූලික රෝහලේ දී දේහය සම්බන්ධයෙන් සිදු කළ කොවිඩ් පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ, ඔහුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි ෴

++++++++++++++++

(11.09.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනිතීය නො තකා අනවශ්‍ය ලෙස මහාමාර්ගයේ ගමන් ගන්නා පිරිස් පාලනය කිරිමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පොලිසියෙන් ඉල්ලිමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේ, දැනට දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතීය ලබන 21 වැනි අගහරුවාදා අලුයම 4 දක්වා යළි දිර්ඝ කිරිම පිළිබඳ ව අදහස් පළකරමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *