ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වේ

*********************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වේ

(10.09.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වැනිදා නිව්යෝක්හි දී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ 76 වැනිමහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැර ව විදේශ සමුළුවකට එක්වෙන පළමු අවස්ථාව මෙයයි.

සිය සංචාරය අතරතුර දී ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ව තිබෙනවා.

තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සංචාරය සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත් ව ගියා.

ඒ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන්.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මුලින් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමටයි නියමිත ව ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ඉතාලියේ සංචාරයක නිරත වන්නේ එරට සුප්‍රකට බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට එක්වීම සඳහායි.

******************************************

(10.09.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිපොල – මඩයින ප්‍රදේශයේ ශාන්තිකර්මයක් අතරතුර මිය ගිය තරුණියගේ මරණය, ස්වාභාවික රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිදු ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, කුලියාපිටිය මූලික රෝහලේ දී සිදු කළ මරණ පරීක්ෂණයේ වාර්තාවට අනුව යි.

වයිරස උණ තත්ත්වයක් උත්සන්න වී මොළයේ ස්නායු ඉදිමීම සහ පෙනහලු අක්‍රීය වීම හේතුවෙන් අදාළ තරුණියගේ මරණය සිදු ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

අදාළ තරුණියට දින කිහිපයක් පුරා පැවති හිසරදයක් සුව කිරීම සඳහා ඇගේ සැමියා, දෙමව්පියන් සහ ඥාතීන් විසින් හෙට්ටිපොළ – මඩයින ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගොස් ශාන්තිකර්මයක් සිදු කර තිබුණා.

එහි දී කට්ටඩියා විසින් තරුණියව පුටුවක අසුන්ගන්වා ශාන්තිකර්මය සිදු කරමින් සිටිය දී හදිසියේ සිහිසුන් ව ඇද වැටුණු ඇය හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කෙරුණා.

කෙසේ වෙතත් රෝහල වෙත රැගෙන එනවිටත් අදාළ තරුණිය මියගොස් තිබූ බව සඳහන් ෴

******************************************

(10.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයේ දී පුද්ගලයකු සිය බිරිඳ ඝාතනය කර, සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, බිරිඳගේ අනියම් සබඳතාවක් හේතුවෙන් සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැ යි අනාවරණය වී ඇති බවයි.

ඔවුන් පදිංචි නිවසේ දී අදාළ පුද්ගලයා බිරිඳ ව ඝාතනය කර සියදිවි හානි කරගෙන තිබුණේ ඊයේ (09) රාත්‍රියේදි යි.

ඒ අනුව මියගිය කාන්තාවගේ සිරුර නිදන කාමරයේ බිම දමා තිබූ මෙට්ටයක් මත තිබී හමු වී තිබුණා.

ඝාතනය සිදුකර දිවි හානිකරගත් සැමියා විසින් ලියන ලද බවට සැක කරන ලද ලිපියක් ද නිවසේ තිබී හමු වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැස්බෑව – බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි සැමියා සහ 28 හැවිරිදි බිරිඳයි.

******************************************

(10.09.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

බැංකු ක්‍රියාවලිය කඩිනම් වේ නම් මහ බැංකුව නිකුත් කළ නව රෙගුලාසි යටතේ ආනයන කටයුතු සඳහා ගැටලු මතු නො වෙන බව රෙදිපිලි ආනයනකරුවන් පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, අත්‍යවශ්‍ය හෝ හදිසි නො වෙන භාණ්ඩ 623 ක් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු මගින් ණයවර ලිපි සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි නිකුත් කිරීමේ දී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ව අප කළ විමසා බැලීමකදි යි.

අධික ආනයන අධෛර්යමත් කිරීම මඟින් විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව රැකගැනීම මෙම පියවර මගින් අරමුණු වෙන බව මහබැංකුව සඳහන් කළා.

මේ යටතේ ජංගම දුරකතන, විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදිපිලි හා උපාංග, වායු සමීකරණ, චොකලට්, ඇපල්, මිදි, දොඩම්, මෝල්ට්, චීස්, බටර් වැනි භාණ්ඩ 623 ක් අත්‍යවශ්‍ය හෝ හදිසි නො වෙන භාණ්ඩ ලෙස මහබැංකුව මඟින් දක්වා තිබෙනවා ෴

******************************************

(10.09.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හෝ අවි ආයුධ මුහුදු මාර්ග ඔස්සේ රට තුළට රැගෙන ඒම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැ යි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළ අතර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මෙහි දී අදහස් පල කළා.

******************************************

(10.09.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පාලිත මිලක් යටතේ සහල් ව්‍යාපාරිකයින්ගෙන් රජය සහල් තොග මිල දී ගැනීමත් සමඟ තම අස්වනු අලෙවි කරගත නො හැකි තත්ත්වයකට පත් ව ඇතැයි ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ, තම වී සඳහා නිසි මිලක් නො ලැබෙන්නේ නම් ඉදිරි කන්නයේ දී වී වගාව අත්හැරීමට සිදුවෙන බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන් මෙවර යල කන්නය යටතේ වගා කරන ලද වී වගාවේ අස්වනු නෙලා අවසන් වී ඇතත්, වී සඳහා නිසි මිලක් නො මැතිව මේ වෙනවිට දැඩි දුශ්කරතාවට පත් ව සිටිනවා.

රජය විසින් නාඩු වී කිලෝවක් සදහා රුපියල් 50 ක් හා සම්බා වී කිලෝවක් සදහා රුපියල් 52 ක් බැගින් උපරිම මිලක් නියම කිරීම ඊට හේතුව බව ගොවීන්ගේ චෝදනාවයි.

මේ අතර මහවැලි H කලාපයේ ගොවීන් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සහල් මෝල් වැටලීම සහ වී සඳහා උපරිම මිලක් පැනවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මේ අතර, වී, සහල් හා සීනී ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමෙන් සහ අධික මිලට අලෙවි කිරීමෙන් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳුන්ගේ අක්‍රමිකතා නැවැත්වීම සඳහා හදිසි නීතී රෙගුලාසි යටතේ කරන වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිදු කළ වැටලීම්වල දී කින්නියා – කච්චකොඩිතිව් ප්‍රදේශයේ ගබඩාවක් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 50 බැගින් වූ සීනි මිටි 140 ක් මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් කටයුතු කළා.

පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

******************************************

(10.09.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉටිතැම්පල ගම්මානය ඉතා සුන්දර පරිසරයකින් සමන්විත වෙනවා.

කෘෂි කර්මාන්තය සිය ජීවනෝපාය කර ගනිමින් මෙම සුන්දර ගම්මානයේ ජීවත් වෙන වැසියන්, තමන් පීඩාවට පත් වෙන කාරණයක් පිළිබඳ ව අදහස් පළ කළා.

තම දෛනික අවශතා සඳහා දිනපතා කිලෝමීටර් ගණන් පාගමනින් යාමට ඔවුන්ට සිදු වී තිබෙනවා.

මීට වසර 20 කට පමණ පෙර එම මාර්ගය ද සකස් කරගෙන ඇත්තේ ගම්වාසීන් විසින්ම යි.

ගම්මානයේ පවතින දුෂ්කරතා නිසා ගුරුවරුන් නො පැමීණීමෙන් ප්‍රදේශයේ පැවති පාසල ද මේ වන විට වැසී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් පාසල් ගොඩනැගිලි වල් පැළ ආක්‍රමණය කර තිබෙන ආකාරය සහ පාසලේ ගුරු නේවාසිකාගාරය ද විනාශ වෙමින් පවතින ආකාරය දැකගත හැකියි.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ගේ අනාගය ගැන සිතා හෝ තම ගම්මානයේ මාර්ගය සකසා දෙන ලෙසයි.

******************************************

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සිය ධුරයෙන් ඉවත් වෙයි

(10.09.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා නිවේදනය කරනවා.

අද (10) කොළඹ මහ බැංකු පරිශ්‍රයේදී සූම් තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වූ මහ බැංකුව අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කියා සිටියේ තමන් සිය අසූ වැනි ඡන්ම දිනය එළඹෙන විට මෙම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර සිටි බවයි.

කෙසේ වෙතත් එම තීරණයට සති හයකට පෙරාතුව ඔහු මහ බැංකු අධිපති ධූරය අත් හැර දැමීමට තීරණය කළේ එම ධූරය හරහා මතුවූ ආතතිය අධික වීම හේතුවෙන්.

මහ බැංකු අධිපති ධුරයට විශ්‍රාම දෙන මෙම ආර්ථික විශේෂඥයාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පුටුවක් වෙන් වී ඇති බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේය තමන් තවදුරටත් එවැනි තනතුරු දැරීමට අදහස් නොකරන බවයි.

2019 දෙසැම්බර් 24 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස් (15) වැනි මහ බැංකු අධිපති ලෙස තනතුර භාර ගත් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා දෙස් විදෙස් පතළ ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥයෙක්.

මේ අතර මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග ගතවූ දින කිහිපය තුළදීම වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා විසින් එය තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ දක්වා සිදුකර නැහැ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ එය නිල වශයෙන් ස්ථිර වී නොමැති බැවින් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

2006 වසරේ ජූලි මාසයේ සිට 2015 වසරේ ජනවාරි 09 දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර කටයුතු කරනු ලැබුවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තව මාස 4 යි ! වසංගතයෙන් බේරෙන්න ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් ලේසිම දේ – ICU ලෙඩ්ඩු සුව කරපු රහස් ක්‍රමය (10.09.2021)

https://www.youtube.com/watch?v=TttNZARMc_A

++++++++++++++++++

(10.09.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රා තොගයක් ලබන සතියේ දිවයිනට ලැබීමට නියමිත ව ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රුසියානු නිෂ්පාදන ආයතනය අදාළ එන්නත් තොගය මෙරටට ලබාදෙන බවට තහවුරු කර ඇති බවයි.

ඒ අනුව මේ වෙනවිට ස්පුට්නික් එන්නතෙහි පළමුවැනි (1) මාත්‍රාව ලබාගත් 1,20,000 කට මෙම දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත යි ෴

දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන පොහොය දිනවල හැර සෙසු සෑම දිනක ම විවෘත කර තැබෙන බව වාර්තා වෙනවා. යුධ හමුදාපතු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිකුත් කළ නිවේදනයක යි ඒ බව සඳහන් වුණේ ෴

කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර ලබාගත් ආසාදිතයින් 1,512 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගින් සංඛ්‍යාව 4,09,628 දක්වා ඉහළ යනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *