නව ආසාදිතයින් 2,856 ක් – සමස්ත මරණ 10,800 ඉක්මවයි

නව ආසාදිතයින් 2,856 ක් – සමස්ත මරණ 10,800 ඉක්මවයි

*********************************************

නව ආසාදිතයින් 2,856 ක් – සමස්ත මරණ 10,800 ඉක්මවයි

(10.09.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2,856 දෙනෙකු ඊයේ (09) හමුවීමත් සමඟ, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,77,636 දක්වා ඉහළ ගියා.

පසුගිය 08 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 175 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කළා.

ඊට පිරිමින් 96 ක් සහ කාන්තාවන් 79 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 139 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමින් 77 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 16 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,864 ක් ලෙසින්.

මේ අතර, පසුගිය සති කිහිපයට සාපේක්ෂ ව මෙරට රෝහල්වල ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය කොවිඩ් රැස්වීමට සූම් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (09) එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර දිනවල දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140 ක පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගිය බවයි.

එසේම, වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමයි සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එක හමාරක (1½) පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදු ව තිබෙන බැවින්, කඩිනමින් පාසල් විවෘත කිරිම සඳහා ළමයින්ගේ එන්නත්කරණය කිරීම ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ.

මේ වනවිට ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමයින්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ දරුවන් ලක්ෂ විස්සක් (20) පමණ එන්නත් කිරීමට හැකිවනු ඇති අතර, අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩවලට මේ වනවිට පළමු මාත්‍රාව සියයට 34 කට සහ දෙවන මාත්‍රාව සියයට 12 කට ලබා දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++++

(10.09.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා තිබෙනවා.

ඒ අනුව කොරෝනා එන්නත් දෙක (2) ම ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,02,11,537 ක්.

ඊයේ (08) දිනයේ දී පුද්ගලයින් 3,52,008 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් දෙලක්ෂ 2,01,834 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 1,11,870 ක්.

ඊට අමතර ව මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 13,040 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 669 දෙනෙකුට ලබා දී තිබෙනවා.

2021-09-09 – Progress Report of COVID-19 Immunization

++++++++++++++++

(10.09.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනිතීය ඉවත් කර රට යළි විවෘත කරන්නේ ද නැති ද යන්න පිළිබඳ තීරණය අද (10) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට යළි විවෘත කළ ද එය සීමාවන්ට යටත් ව සිදු වෙන බවයි.

එසේම, හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීම රජයේ තීරණයක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි දී ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දරුවන් සඳහා එන්නත් ලබාදීමේ සැලසුම සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු (1) පියවර ලෙස ඔවුන් දක්වා ඇත්තේ සැප්තැම්බර් මාසය තුළ දී අවුරුදු 12 ට වැඩි විවිධ සංකූලතා ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමයි.

එවැනි දරුවන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එම සංගමය පෙන්වා දෙනවා.

අදාළ සැලසුමේ දෙවැනි (2) පියවර වන්නේ ඔක්තෝබර් මාසය ආරම්භයේ දී සාමාන්‍ය පෙළ හදාරන 6,46,000 ක් සහ උසස් පෙළ හදාරන 4,21,000 ක් වූ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමයි.

එම සැලසුමට අනුව ඔක්තෝබර් මාසය අග දී අවුරුදු 12 ට වැඩි සෙසු දරුවන් සඳහා එන්නත් කිරීම සිදුවෙනවා.

මෙම යෝජනා මාලාව පිළිබඳව අද (10) පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ දී පුළුල් ලෙස සාකච්ඡාවට නියමිත බවයි වාර්තා වෙන්නේ ෴

දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන සහ පැලියගොඩ මැනිං වෙළඳ සංකිර්ණය තොග වෙළඳ කටයුතු සඳහා අද (10) දිනයේදිත් විවෘත ව තැබෙනවා. නිරෝධායන ඇඳිරි නිතීය හේතුවෙන් ඒවා ඊයේ (09) දිනයේදිත් විවෘත කිරිමට යි පියවර ගැනුණේ ෴

+++++++++++++++++

(10.09.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

කෙරෝනා රෝගය ආසාදනය වූවත්, එන්නත් මගින් මරණය නිසැකව ම වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් ද තහවුරු වී තිබෙනවා.

ඉන්දීය රජයේ කොරෝනා මර්දන තාක්ෂණ බලකාය මඟින් සිදුකළ මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඊයේ (09) ප්‍රකාශයට පත් කෙරුණා.

ඔවුන් විශ්ලේෂණය කර ඇත්තේ, පසුගිය අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදන සහ මරණ පිළිබඳ දත්තයි.

ඒ අනුව අනාවරණ වී ඇත්තේ එක් කොරෝනා එන්නත් මාත්‍රාවක් මඟින් ආසාදිත රෝගියෙකුගේ මරණය සියයට 96.6 කින් වළක්වන බවයි.

එමෙන්ම, එන්නත් මාත්‍රා දෙක (2) ම ලැබූ රෝගියෙකුගේ මරණය එමඟින් සියයට 97.5 කින් වළක්වන බව හෙළි වී තිබෙනවා.

මේ නිසා එන්නත්කරණය කොරෝනා වයිරසයට එරෙහි ව වඩාත් ම වැදගත් වෙන ආවරණ පලිහ බවයි ඉන්දීය රජයේ කොරෝනා මර්දන බලකා ප්‍රධානී වෛද්‍ය ‘විනෝද් කුමාර් පෝල්’ සඳහන් කළේ.

මේ නිසා තමන්ට ලැබෙන කොරෝනා එන්නත ලබාගන්නා ලෙසත්, එමඟින් කොරෝනා වයිරසයෙන් සිදුවිය හැකි මරණ වළක්වා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එන්නත්කරණයෙන් මරණය වළක්වනවා මෙන්ම, ආසාදිත රෝගීන් රෝහල්ගත කරන තරමට අසාධ්‍ය වීම ද වැළකෙන බව වෛද්‍ය පෝල් පෙන්වා දෙනවා ෴

++++++++++++++++++

ඩෙල්ටා රට ආක්‍රමණය කරයි

(10.09.2021 – 10:49 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84% ත් 100% ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.

මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලදී පරීක්ෂණයන්ට භාජන කරන ලද සාම්පල 130 න් 130 ම ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ.

මීට අමතරව කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට, වවුනියාව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පරීක්ෂාවට බඳුන් කළ සාම්පල සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව හඳුනාගෙන ඇත.

ඇල්ෆා ප්‍රභේදය වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 6 ක සාම්පල 25 කින් පමණි.

“අපි හඳුනාගත් ඩෙල්ටා රෝගීන් බස්නාහිර පළාතේ 100% ක්, සබරගමු පළාතේ සාම්පල 81 (?) ක්, ඌව පළාතේ සාම්පල 3 න් තුනම (3) කොවිඩ් ආසාදිතයින්. උතුරු මැද පළාතේ සාම්පල 60 න් 59 ක් ඩෙල්ටා රෝගීන්. වයඹ පළාතේ සාම්පල 22 න් 22 කම ඩෙල්ටා රෝගීන්. නැගෙරහිර පළාතේ සාම්පල 100 න් 94 ක් ඩෙල්ටා රෝගීන්. උතුරු පළාතේ සාම්පල 123 න් 118 ක්. දකුණු පළාතේ සාම්පල 64 න් 63 ක්. මධ්‍යම පළාතේ සාම්පල 29 න් 27 ක්. මේකෙන් කියන්නේ මේ සියලුම පළාත්වල දැන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙලා තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය,” යනුවෙන් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයින් 2,856 ක් ඊයේ (09) මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 4,77,636 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල දැක්වේ.

ඉන් 4,08,116 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන රෝගීන් සංඛ්‍යාව 58,656 කි.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(10.09.2021 – 09:57 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

එසේම, සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඔහු මේ වෙනවිට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(10.09.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ නුවරදී පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වර්තාවක් ද පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ දිනේෂ් ප්‍රියන්තට නව නිවසක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියකින් අදාල නිවස කඩිනමින් ලබාදීමට කටයුතුකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ ෴

******************************************

(10.09.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

රට යළි විවෘත කිරීමෙන් පසු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

ඒ, එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි යි.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම මෙහි දී සිදු වෙන බව සඳහන්.

ඒ අනුව මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර හා ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල පවතින ගැටලු සාකච්ඡා කර ඇති අතර හෙට (11) දිනයේ දී තවත් දිස්ත්‍රික් කිහිපයක නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත යි.

මේ අතර, රට තුළ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280 ක් හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000 ක් ක්‍රියාත්මක වන බව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවයින පුරා සිදුවෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු ඊයේ (09) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් ෴

******************************************

(10.09.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ අනවසර වැලි කැනීම් සිදු වෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආන්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

එම පරීක්ෂණ ඉතා කඩිනමින් සිදුකර ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලෙසට යි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීම සඳහා මෙරට වැලි පැටවීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඊට සහය ලබා දෙන බවට රාසමානික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නැගෙනහිර පළාතේ වැලි කැනීම් සම්බන්ධව රජයටත්, රජයේ මැති ඇමතිවරුන්ටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින්ටත් පුද්ගලික ව තමන්ටත් අදාළ මන්ත්‍රීවරයා චෝදනා කරන බවයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරන එම චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම චෝදනා ඔප්පු කරන්නේ නම් තමා සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නො ව මන්ත්‍රීධූරයෙන් පවා ඉවත් වීමට සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ප්‍රකාශ කර සිටියා ෴

******************************************

(10.09.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරයක් සඳහා අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඒ, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන්. අග්‍රාමාත්‍යවරයා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිස මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස ඉතාලියේ සංචාරයක නිරත වන්නේ එරට සුප්‍රකට බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට එක්වීම සඳහායී.

******************************************

(10.09.2021 – 09:34 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩීමට ගොස් අතුරුදන් ව සිටි තරුණිය දින 05 කට පසු හමු වී තිබෙනවා.

ඇය සිය මව සමඟ එම රක්ෂිතයේ දර කැඩීමට ගිය අවස්ථාවේ දී එහි අතරමං වී ඇති අතර, පසු ව ඒ සම්බන්ධයෙන් මව පොලිසිය දැනුවත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව යි නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින්, පොලිසිය සහ ගම්වාසීන් එක් ව අතරමං වූ මෙම 26 හැවිරිදි තරුණිය සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.

රක්ෂිතය අසල පිහිටි ශාන්තිපුර ගම්මානයේ වැසියන් මෙම තරුණිය රක්ෂිතය තුළ කෑගසමින් සිටිය දී සොයාගෙන තිබෙනවා.

දින කිහිපයක් නිරාහාර ව සිටි එම තරුණියට ආහාර ලබාදීමෙන් පසු නුවරඑළිය යුද හමුදා නිලධාරීන්ට තරුණිය භාරදුන් බවයි වාර්තා වෙන්නේ.

******************************************

(10.09.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාත තුළ සිදුවෙන නීතිවිරෝධී කලපු ගොඩ කිරීම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ නැගෙනහිර පළාතේ කලපු ගොඩ කිරීම, ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ මැදිහත් වීම මත සිදුවෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමඟින් විශාල පරිසර හානියක් සිදු වෙන බව නිරීක්ෂණය වී ඇති අතර, මේ පිළිබඳ ව සොයා බලා කඩිනම් වාර්තාවක් සපයන ලෙසයි පරිසර අමාත්‍යවරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට නියෝග කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *