ඖෂධ අධිකාරියේ දත්ත මැකූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාගම් නිලධාරියාට ඇප

ඖෂධ අධිකාරියේ දත්ත මැකූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාගම් නිලධාරියාට ඇප

*********************************************

ඖෂධ අධිකාරියේ දත්ත මැකූ සිද්ධියට අත්අඩංගුවට ගත් සමාගම් නිලධාරියාට ඇප

(09.09.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජි’ සමාගමේ (Epic Lanka Technologies (Pvt) Ltd) ප්‍රධාන විධායක නිලධාරීයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් තරීන්ද්‍ර කල්පගේ නමැති මෙම සැකකරු අද (09) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළා.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටද සැකකරු වෙත තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

පැමිණිල්ල නැවත ලබන 13 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින තෙක් විනාශයට ලක් වූ බව කියන දත්ත අඩංගු පරිගණක ගබඩාව යාවත්කාලීන කිරිමෙන් වළකින ලෙසත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ ජනරාල්වරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වමින් නොතීසි නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා විවිධ සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් වලට අදාල ආධාරක ලේඛන ගබඩා කර තබන පරිගණක දත්ත ගබඩාව විනාශ වීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළා.

දත්ත ගබඩාවේ අන්තර්ගත දත්තවල වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති බව පෙන්වා දුන් ඔවුන් අදාළ දත්ත මැකී යාම හේතුවෙන් ඖෂධ ලියාපදිංචි කිරීමේ කටයුතු වලට බාධා සිදුවී ඇතැයි පෙන්වා දුන්නා.

මෙම පරිගණක දත්ත පවත්වාගෙන යාමේ වගකීම ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙම සැකකරු ප්‍රධානත්වය දරණ සමාගම වෙත පවරා තිබූ බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම වගකීම ඉටු කිරීමට අදාළ සමාගම අසමත් වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කළා.

දත්ත ගබඩාවට ඇතුලත්වීමේ මුරපදය මෙම සමාගමේ පුද්ගලයින් හතර දෙනෙකු (4) අත තිබී ඇතැයි පෙන්වාදුන් එම නිලධාරීන් මෙය සංකීර්ණ පරීක්ෂණ කටයුත්තක් බවත් විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.

එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම දත්ත ගබඩාව මැකී යාමේ සිද්ධිය පිළිබඳව තම සේවාදායකයා සමාගම තුළ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වූ බව පැවසුවා.

එම අභ්‍යන්තර පරීක්ෂණයේදී මෙම දත්ත ගබඩාව විනාශ වීමේ යාම පිළිබඳ වගකීම අදාල සමාගමේ සේවය කළ ‘ප්‍රමෝද්’ නැමැති ඉංජිනේරුවරයෙකු විසින් භාරගෙන තිබූ බවත්, ඔහුට එරෙහිව ආයතනික මට්ටමෙන් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තම සේවාදායකයා විසින් මේ බව ඉකුත් ජූලි මස 31 වනදා ලිඛිතව දන්වා තිබුණද, ප්‍රමෝද් නැමැති ඉංජිනේරුවරයා ගෙන් මේ දක්වා ප්‍රකාශයක් වත් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර නැතැයිද ඔහු චෝදනා කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම දත්ත ගබඩාවට ප්‍රවේශ වීමේ මුරපදය මෙම සැකකරු සන්තකයේ තිබී ඇත් දැයි ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ එවැන්නක් පිළිබඳව විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවයි.

වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රශ්නගත දත්ත ගබඩාව විනාශ කිරීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවට සෘජු සාක්ෂි අනාවරණය වී තිබේ දැයි විමසුවා.

ඊට ද ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ අදාළ දත්ත ගබඩාව විනාශ කිරීමට මෙම සැකකරු සම්බන්ධ බවට මෙතෙක් සෘජු සාක්ෂි අනාවරණය වී නොමැති බවයි.

එහෙත් එම දත්ත ගබඩාව ආරක්ෂා කිරීමේ වගකීම මෙම සැකකරු වෙත පැවරී ඇති බවත් එම වගකීමෙන් ඔහුට බැහැර විය නොහැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු දත්ත ගබඩාව විනාශ වූ පසු ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කරුණු අනාවරණය කර ගැනීමට කටයුතු කිරීම සහ දත්ත ගබඩාව විනාශ කිරීමේ කාර්යයට ඔහු සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති වීම හේතුවෙන් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව නියෝග කළා ෴

Thareendra Kalpage
Chief Executive Officer
Epic Lanka Technologies (Pvt) Ltd

******************************************

(09.09.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, වත්මන් දේශපාලන තත්ත්වය හා කාදිනල් හිමිපාණන් ඊයේ (08) පළකළ අදහස් පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම මහා සංඝරත්නය පළකළ අදහස් කිහිපයක් දැන්.

******************************************

(09.09.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 1172 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) අළුයම වයඹ නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි මෙම කහ තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී උර 18 ක අසුරන ලද වියළි කහ කිලෝ 679 ක් සොයාගෙන තිබෙනවා.

අනතුරුව අදාළ වෙරළ තීරයේ තවදුරටත් සිදු කළ සෝදිසියකදී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ අත්හැර දමා ගිය බවට සැක කෙරෙන තවත් උර 13 ක අසුරා තිබූ වියළි කහ කිලෝ 493 ක් සොයා ගැණුනා.

අවුරුදු 24 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිසියට භාරදී තිබෙනවා ෴

******************************************

කළුතර, ප්‍රදේශ කිහිපයකට හෙට (10) පැය 18 ක් ජලය කැපේ

(09.09.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (10) පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කලුතර උතුර හා දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ මෙන්ම බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

මීට අමතරව පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය, අලුත්ගම, පිලමිනාවත්ත, කලුවාමෝදර හා මොරගල්ල යන ප්‍රදේශ වලටද හෙට (10) පෙරවරු 8 සිට අනිද්දා (11) අලුයම 2 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇති ෴

******************************************

(09.09.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (09) කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කල අතර සමස්ථ මිල දර්ශකය ඒකක 222.19 කින් එනම් සියයට 2.54 කින් ඉහළ ගියා.

ඒ අනුව අද (09) ගණුදෙණු අවසානයේ සමස්ථ දර්ශකය සටහන් වූයේ 8,986.40 ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකයද ඒකක 66.81 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සටහන් වූයේ 3379.83 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ අද (09) දිනයේ මුලු පිරි වැටුම රුපියල් බිලියන 5.7 ක් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(09.09.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 18,147 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගියා. සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,08,116 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 4,74,780 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 55,975 ක්.

මෙරටින් කොරෝනා මරණ 10,689 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

(09.09.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලැබු කොරෝනා ආසාදිත 27 හැවිරිදි ගැබිණි මවක් තුන් (3) නිවුන් බිළිඳියන් ප්‍රසූත කර තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුලි විජේමාන්න මහත්මිය හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මව සහ එම බිළිඳියන් 3 දෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි ෴

++++++++++++++++++

(09.09.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 1946 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,76,726 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවී ඇති කොරෝනා වයිරස් ආසාදිතයන්ගෙන් 55,975 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,08,116 ක්.

එමෙන්ම මෙරටින් කොරෝනා මරණ 10,689 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

එන්නත් ලබාගත් බවට කාඩ්පත පමණක් ලකුණු කරවාගෙන පිටව යාමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට

(09.09.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබාගත් බවට කාඩ්පතේ සලකුණු කරවාගෙන එන්නත ලබා නොගෙන පිටව යාමට උත්සාහ කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ඇතිලිගොඩ සහ කෝන්ගහ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණ කාඩ්පත පමණක් ලකුණු කරවාගෙන පිටව යමින් සිටියදී එහි සිටි සෞඛ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට දන්වා තිබෙනවා.

අනතුරුවයි පොලිසිය ඔවුන් රඳවාගෙන පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අන්තරාදායක රෝගයක් පැතිරවීමට හැකි අයුරින් නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන 21 වනදා මෙම පිරිසට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

+++++++++++++++++

අවුරුදු 12 ත් 18 ත් අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය

(09.09.2021 – 18:35 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ත් 18 ත් අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක (1½) පමණ කාලයක සිට විටින් විට පාසල් වසා දැමීමට සිදුව ඇති අතර හැකි එක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මේවන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ළමුන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේවන විට ගුරුවරුන් ඇතුලු පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමග පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම වැඩපිළිවෙල යටතේ දරුවන් ලක්ෂ 20 ක පමණ ප්‍රමාණයක් එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

එමෙන්ම අවුරුදු 20 ත් 29 ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ට මේවන විට එන්නත්කරණයේ පළමු මාත්‍රාව 34% ක් ද දෙවන (2) මාත්‍රාව 12% ක් ද වශයෙන් ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

මේ අතර වයස අවුරුදු 12-18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් එන්නත්කරණය සඳහා Pfizer-BioNtech එන්නත යොදාගැනීමත්, වයස අවුරුදු 18-30 ත් අතර වයස් කාණ්ඩය සඳහා Sinopharm එන්නත හෝ වෙනත් සුලභව ලබා ගත හැකි එන්නතක් භාවිතා කිරීමත් සදහා තම සංගමය ඉදිරිපත් කළ යෝජනාවට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාවය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ඇමරිකා එක්සත් ජනපදයේ FDA ආයතනය (FDA USA), එක්සත් රාජධානියේ NHS ආයතනය (NHS UK) මෙන්ම, එන්නත් නිෂ්පාදකයින්ගේ නිර්දේශයන් ද යොදාගනිමින් වයස අවුරුදු 12-18 ත් අතර දරුවන්ට Pfizer-BioNtech එන්නත් ලබාදීම පිළිබඳ සිදුකරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

මෙරටට ලැබීමට නියමිත Pfizer-BioNtech එන්නත් මාත්‍රා මිලියන හතර (4) මගින් වයස අවුරුදු 12-18 ත් අතර වයස් කාණ්ඩය සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ විද්‍යාත්මක දත්ත උපයෝගී කරගනිමින් වයස අවුරුදු 18–30 ත් අතර වයස් කාණ්ඩයට Pfizer-BioNtech එන්නත මගින් එන්නත්කරණය නතර කර, එය වයස අවුරුදු 12-18 ත් අතර පාසල් ළමුන් සඳහා ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

දරුවන් එන්නත්කරණය සඳහා ඉතා හොඳ පුහුණුවක් ඇති සෞඛ්‍ය සේවකයන් සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල්වල ළමා වාට්ටු හරහා එම එන්නත්කරණය ආරක්ෂිතව සිදු කර ගත හැකි ආකාරය ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

දරුවන්ට එන්නත්ලබාදීම මගින්, දරුවන්ගේ මරණ අඩු කර ගැනීමටත්, ආසාදිතයින් ප්‍රමාණය සහ COVID-19 නිසා ඇතිවන සංකූලතා අඩුකර ගැනීමටත්, වසර එකහමාරකට (1½) අධික කාලයක් වසා තැබුණු පාසල් නැවත විවෘත කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කල හැකි බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම පාසල් දරුවන් එන්නත්කරණ ක්‍රියාවලිය තුලින් දෙමාපියන්ට දරුවන් පාසල් වෙත එවීම සඳහා විශ්වාසයක් ගොඩනැගෙන අතර සියලු පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය මේ වන විට දෙවන (2) එන්නත් මාත්‍රාවත් ලබා දීමේ අවසන් අදියරයේ පසුවන නිසා පාසල් ආශ්‍රීතව වසංගත ව්‍යාප්තිය අවම කර ගත හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාවලිය හෙට (10) දින පැවැත්වීමට නියමිත COVID-19 මර්දනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අවදානයට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *