තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

*********************************************

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

(08.09.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නොමැති බව තමන්ට හැඟී යාම නිසා බවයි අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා කියා සිටියේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර මහාචාර්ය නීලිකා මලවිගේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්වූ අතර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.

++++++++++++++++++

(08.09.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (07) දිනයේ දී පුද්ගලයින් 4,29,515 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ඊයේ (07) දිනයේ දී පුද්ගලයින් 2,78,788 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා දී ඇති බවයි.

එහි පළමු (1) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,26,272 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 834 දෙනෙකුට ඊයේ (07) ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 19,956 දෙනෙකුට ලබා දී තිබෙනවා.

එසේම, මේ වනවිට මෙරට තුළ කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව විසිනව 1,29,52,755 ක්.

දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 97,14,857 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

+++++++++++++++

(08.09.2021 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ගෝලීය කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් එම අවධානමෙන් මුදවා ගැනිම සදහා පළමු (1) මාත්‍රාව ලබා ගත් රැදවියන් හට සයිනෝෆාම් වයිරස් ප්‍රතිශක්තීකරණ එන්නතේ දෙවන (2) මාත්‍රාව දිවයින පුරා විසිර ඇති බන්ධනාගාරවල රදවා සිටින රැදවියන්ට ලබා දීමට, බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි මුලික අදියර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 2067 ක් කාන්තා අංශ රැදවියන් 396 දෙනෙකු සදහා අද (08) දින එන්නත් කිරිමට සඳහා ක්‍රියාත්මක යි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 964 දෙනෙකුටත්, නව මැගසින් බන්ධනාගාරයේ රැදවියන් 694 කටත් අද (08) දින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව එන්නතුකරණය සිදු කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴

++++++++++++++++++

(08.09.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

සාමාන්‍යයෙන් කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100–140ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවද, දෛනිකව කොළඹින් 15 ක් පමණ වාර්තා වුණු මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇතැයිද ඔහු පැවසුවා.

කොළඹ නගරය තුළ අවුරුදු 30 ට වඩා වැඩි පිරිසෙන් 86% ක් අවම වශයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද, මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගෙන් 55% ක් පමණ මෙම වයස් කාණ්ඩයේ අය බවද කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළා.

මෙම මාරාන්තික රෝගයෙන් වැළකීමට සහ ඔබේ ආදරණීයයන් ඉන් වළක්වාගැනීමට නම් එන්නත් ලබාගැනීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකරන ලෙස රුවන් විජයමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

+++++++++++++++++

(08.09.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට නිවේදනය කර තිබෙනවා.

නව කොරෝනා ආසාදිතයින් 2,964 දෙනෙකු ඊයේ (07) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,71,863 දක්වා ඉහළ ගියා.

ඊයේ (07) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය අගෝස්තු මස 10 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාවයි.

එසේම පසුගිය 06 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 184 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළා.

මේ අතර ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි සංචාරකයින් සඳහා වන යාවත්කාලීන කළ කොරෝනාවෙන් වැළකී සිටීමේ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෲනායි 04 වන මට්ටමේ එනම් ඉහළ අවදානම් ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය නම් ඊට පෙර පූර්ණ එන්නත්කරණය ලබා සිටිය යුතු බවටද අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය උපදෙස් දෙනවා.

දැන් පවතින වාතාවරණය අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට පවා කොරෝනා ප්‍රභේදයන් ආසාදනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, මුව ආවරණ පැළඳීම සහ අඩි හයක (6) සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම ඇතුළු මෙරට සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිබඳවද දැනුවත්ව සිටින ලෙස එමඟින් අමෙරිකානුවන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් සහ සමීප ආශ්‍රිතයින් කොරෝනා පරීක්ෂණයකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කිරීමට අදාළව නිකුත් කළ නව චක්‍ර ලේඛය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (08) මෙලෙස අදහස් පල කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(08.09.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

වාරි මාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘වාරි සෞභාග්‍යා’ ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ගෙවී ගිය මාස 7 ක් ඇතුළත ග්‍රාමීය වැව් සහ අමුණු 1,400 ක ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබෙනවා.

වාරි මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අතරට ග්‍රාමීය වැව් අමුණු 1,200 ක් සහ වාරි ඇළ මාර්ග 200 ක් ඇතුළත් බවයි.

වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය සඳහා වැව් අමුණු සහ වාරි ඇල මාර්ග 5,000 ක් තෝරා ගැනෙනවා.

දැනට ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති වැව් අමුණුවලට අමතර ව ඉදිරි වසර 3 තුල දී යෝජිත 5,000 ඉලක්කය සපුරාලීමට යි වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන පසුගිය පෙබරවාරි 05 වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ෴

******************************************

(08.09.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට නාමය ජාත්‍යන්තරයේදී බැබලවූ ශ්‍රී ලාංකිකයන් ඕනෑතරම්.

මේ තවත් එවැන්නෙකු පිළිබඳවයි.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වෑන් කූවර් හි ජීවත් වන ‘ධර්මසේන යකන්දාවල මහතා’ 2021 කැනේඩියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන මැතිවරණයට NDP හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඔහු තරග වදින්නේ කැනඩාවේ ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශය නියෝජනය කරමින්.

2006 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල මහතා වෘත්තියෙන් නීතිඥවරයෙක් මෙන්ම හිටපු විනිසුරුවරයෙක් ද වනවා.

******************************************

(08.09.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක සුරතලේට ඇති කළ සුනඛයකු සොරකම් කරගෙන රුපියල් 7,500 ට උකස් කළ පුද්ගලයන් දෙදෙනකු ඊයේ (07 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු ලැබ්‍රෙඩෝ වර්ගයට අයත් මෙම සුනඛයා සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (07 වැනිදා) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

(08.09.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (07) දින රිදීගම පොලිස් වසමේ රම්බඩගල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් වාලම්පූරි 2 ක්, ගජමුතු 1 ක් සහ ඇත් දළවලින් ක්ළ කැටයම් 2 ක් සන්තකයෙ තබාගත් සැකකරුවෙක් අත් අඩංගුවට පත් වී තිබෙනවා.

විශේෂ කාර්‍ය බලකා කුරුණෑගල කඳවුරේ නිලධාරින් විසින් සිදු කළ මෙම වැටලීමෙන් අත් අඩංගුවට පත් වී ඇත්තේ රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.

මේ අතර මොරවැව පොලිස් වසමේ පංකුලම පුල්ලෙයාර් කෝවිල අසල පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ද පොලිසියේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 20 හා 30 වයස්වල පසුවන පංකුලම හා බක්මීගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(08.09.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ඒ-9 මාර්ගයේ වව්නියාව – කනගරායන්කුලම් ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී අද (08) පෙරවරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, වව්නියාවේ සිට මාන්කුලම් දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ලා ගැටී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 42 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් (2) ෴

******************************************

(08.09.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

සීනි තොග අයථා ලෙස සඟවාගෙන සිටි පෑලියගොඩ නුගේ පාර ‘ඥානම් ඉම්පෝර්ට්ස්’ ගබඩාව අද (08) පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබුවා.

එම ආයතනය රජයේ ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම හේතුවෙනු යි පාරිභෝගික අධිකාරිය විසින් එම සීනි තොගයට ගබඩාව මුද්‍රා තබනු ලැබුවේ.

එම ගබඩාව තුළ අයථා ලෙස තබාගෙන සිටි සීනි තොගය මෙට්‍රික් ටොන් 1800 ක් බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ .

එම සීනි තොගය සතොසට ලබාදීම සඳහා කටයුතු කරන බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(08.09.2021 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ වැඩබිමක් හේතුවෙන් හාලිඇල ප්‍රදේශයේ ගොවි ජනතාව මේ වන විට දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ ප්‍රදේශයේ ඇල මාර්ගවලට සිමෙන්ති මිශ්‍ර ජලය එක්වීමනිසා තම වගාවන්ට භාවිත කරන ජලයද අපවිත්‍රවී ඇති බවයි.

වසර ගණනාවක සිට ගොවිතැන් කටයුතු සිදු කරන හාලිඇල ගම්මානයයි මේ.

නමුත් හාලිඇල කන්දෙගෙදර මාර්ගයේ ඇල මාර්ගවලට සිමෙන්ති මිශ්‍ර ජලය එක්වීමත් සමඟ ප්‍රදේශයේ වගාබිම් සඳහා භාවිත කරන ජලයද අපවිත්‍ර වී ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.

වෙල්යායට ඉහළින් ඇති මෙම කොන්ක්‍රීට් මිශ්‍ර කිරීමේ වැඩබිමෙන් සිමෙන්ති මිශ්‍ර ජලය ගලාවිත් වගාබිම් හා ප්‍රදේශයේ ඇල මාර්ග අපවිත්‍ර වී ඇති ආකාරයයි මේ.

ගොවීන් පැවසුවේ මෙම තත්ත්වය මින් ඉදිරියටත් පැවතියහොත් ඉදිරියේදී වගාවන් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

එමනිසා ඔවුන් බලධාරීන්ගේන් ඉල්ලා සිටින්නේ සිය ගොවිතැන විනාශ මුඛයට ඇද වැටීමට ඉඩ නොදී කඩිනමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

******************************************

(08.09.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට දෙවන (2) වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිව තිබෙනවා.

ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නියාමනය සහ කළමනාකරණය කිරීම වෙනුවෙන් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙනු ඇති.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120 ක් ක්‍රියාත්මක කළ හැකි බවත්, එහි ඇති තෙල්වලින් සපුගස්කන්ද පිරිපහදුව වසර 143 ක් ක්‍රියාත්මක කළ හැකි බවත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (07) මෙම උපදේශක කාරක සභාවේදී සඳහන් කළා.

ඔහු කියා සිටියේ අමෙරිකානු ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් මන්නාරම් ද්‍රෝණියේ සැඟ වී තිබෙන බවයි. රටේ සමස්ත ණය මෙන් තුන් (3) ගුණයක ආදායමක් එමඟින් ඉපයිය හැකි බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

කැණීම් සිදුකරන ආයෝජකයින්ට 50% ක් ලබාදුන්නද රජයට අමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ කැණිම් කළ ඛනිජ තෙල් ළිං හතරෙන් (4) තුනක්ම (3) සාර්ථක වූ බවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *