දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම

*********************************************

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම

(08.09.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපනය කරන ලද National Streaming Hub හෙවත් ‘ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයේ’ කටයුතු ඊයේ (07) ආරම්භ වුණා.

නවීන තාක්ෂණික පහසුකම් සමගින් සහ අධීවේගී අන්තර්ජාල සබඳතා වලින් සන්නද්ධව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපනය කර ඇති මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිෂ්පාදනය කරන සියලුම විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි වඩාත් ගුණාත්මකව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා ව‍ෙත සම්ප්‍ර්ෂණය කිරීම සිදු කෙරෙනවා.

එමෙන්ම එම වැඩසටහන් වල ගුණාත්මක භාවය, සහ පෙළ ගැස්ම විෂය අධ්‍යක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණය මෙම මධ්‍යස්ථානය තුළ සිදුවන අතර තාක්ෂණික දෝෂ ආදියද මෙහිදී නිරාකරණය කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුල මාර්ගගත (online) අධ්‍යාපනය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගන්නා ලද දැවැන්ත පියවරක් වනවා.

වසංගත තත්වය අවසන් වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙමගින් අන්තර්ජාල පහසුකම් ‍නොමැති දරුවන්ට ද රූපවාහිනිය මගින් අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට අවස්ථාව ලැබෙනවා.

මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී වඩාත් පුලුල් කිරීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම් සැපයීමටත් ඒ සඳහා විශාල සම්පත් දායකයින් පිරිසක් සහභාගී කරගැනීමටත් නියමිතයි ෴

+++++++++++++++++

(08.09.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන PCR සහ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි බවයි.

රෝග ලක්‍ෂණ සහිත වූවන් සහ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ද ඔහු පැවසුවා.

ඒ අනුව පරීක්ෂණ සිදු කරන්නේ ඉතා සීමිත පිරිසක් සඳහා පමණක් බවත් පවසන සභාපතිවරයා එමඟින් වාර්තා වන ආසාදිතයන් මෙන් කිහිප ගුණයක් සාමාන්‍ය සමාජයේ ආසාදිතයන් සිටිය හැකි බවද කියා සිටියා.

ඒ අනුව නිල සංඛ්‍යා ලේඛන මඟින් පමණක් කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගත නොහැකි බවද ඔහු පැවසුවා ෴

++++++++++++++++

(08.09.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2,964 දෙනෙකු ඊයේ (07) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,71,863 දක්වා ඉහළ ගියා.

ඊයේ (07) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය අගෝස්තු මස 10 වැනිදායින් පසු මෙරටින් වාර්තා වූ අඩුම ආසාදිතයින් සංඛ්‍යාවද වනවා.

ඊයේ (07) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,964 දෙනා අතරින් 2,960 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 04 දෙනෙකුද ඊයේ (07) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම පසුගිය 06 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 184 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළා.

ඊට පිරිමි පුද්ගලයන් 97 ක් සහ කාන්තාවන් 87 ක් ඇතුළත්. මියගිය පිරිස අතර, 134 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමි පුද්ගලයින් 68 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 20 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 අඩු පුද්ගලයන් 04 දෙනෙකු ද කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,504 ක් ලෙසින්.

මේ අතර, කොරෝනා ව්‍යසනය ආරම්භයේ සිට ඇති වූ වසංගත රැලි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් ඉවහල් වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ 2 වන සැසියට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

විශේෂයෙන් හදිසි තත්ත්වයන් මත පෙර සූදානම් වීම සහ මනා කළමණාකරණයක් හා ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොවිඩ් ව්‍යසනය පරාජය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වෛරසය සමඟ ජනතාව ජීවත් කිරිමට සුදානම් කර විය යුතු බවයි රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(08.09.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදුකළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

ඉකුත් වසරේ හලාවත ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 67 කට ආසන්න ප්‍රමාණයක් වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම ප්‍රතිශෝධන පෙත්සම තුළින් ඉල්ලා තිබුණේ රට පුරා වර්තමානයේ පැතිරී යන කොවිඩ් වසංගත තත්ත්වය සුවිශේෂී හේතුවක් වශයෙන් සැලකිල්ලට ගෙන මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසයි.

කොරෝනා වසංගත තත්ත්වය සෑම සිරකරුවෙකුටම පොදු කරුණක් යැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එය සුවිශේෂි කරුණක් ලෙස සැලකිය නොහැකි බව තීන්දු කර තිබෙනවා ෴

++++++++++++++++++

(08.09.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාප්ත වන කොරෝනා වයිරස් ප්‍රභේදයන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරයන්ගෙන් වැළකී සිටින ලෙස සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළා.

එහි සංචාරකයින් සඳහා වන යාවත්කාලීන කළ කොරෝනාවෙන් වැළකී සිටීමේ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෲනායි 04 වන මට්ටමේ එනම් ඉහළ අවදානම් ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ සංචාරය අත්‍යවශ්‍ය නම් ඊට පෙර පූර්ණ එන්නත්කරණය ලබා සිටිය යුතු බවට ද අමෙරිකානු රෝග පාලන මධ්‍යස්ථානය උපදෙස් දෙනවා.

දැන් පවතින වාතාවරණය අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට පවා කොරෝනා ප්‍රභේදයන් ආසාදනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, මුව ආවරණ පැළඳීම සහ අඩි හයක සමාජ දුරස්ථභාවයක් පවත්වා ගැනීම ඇතුළු මෙරට සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිබඳව ද දැනුවත් ව සිටින ලෙස එමඟින් අමෙරිකානුවන්ට උපදෙස් දී තිබෙනවා ෴

+++++++++++++++

(08.09.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් 6 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තය හරහා ‘ඔක්සිමීටර්’ තොගයක් නීති විරෝධී ලෙස ගෙන ඒමේ උත්සාහයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් වළක්වනු ලැබුවා.

නිෂ්කාශන නියෝජිතයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලියවිල්ලක් ශ්‍රී ලන්කන් කාගෝ ආයතනයේ නිලධාරීන්ට ඉදිරිපත් කර මෙම ඔක්සිමීටර් තොගය නිදහස් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් පිටවීමේ දොරටුවේ දී මෙම භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේ දී ඒ සම්බන්ධයෙන් රේගු සටහන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර නොමැති බවත් ඊට අදාළ ආනයන බදු ගෙවා නොමැති බවත් සොයාගෙන තිබෙනවා.

අදාළ භාණ්ඩ තොගය පරික්ෂා කිරීමේ දී එහි තිබී පෙට්ටි 21 ක අසුරන ලද ඔක්සිමීටර් 4200 ක තොගයක් සොයා ගත් බවයි වාර්තා වුණේ.

මෙම ඔක්සිමීටර් තොගයේ වටිනාකම රු. 23,44,642 ක්.

සැකකරු 2021 සැප්තැම්බර් 07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ගරු මහේස්ත්‍රාත් තුමා විසින් එම සැකකරු 2021 සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ඇති.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(08.09.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (07) යලි රැස් වුණා.

එහිදී එක්සත් ජාතික පක්ෂය කාරක සභාව හමුවේ, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා තවදුරටත් පැහැදිලි කළා.

පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පත්කර තිබූ ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාවේ යෝජනා පිළිබඳවද කමිටු සාමාජිකයන් ඊයේ (07) තවදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා එම කමිටුවේ සාමාජිකයන් වන කමිටු සභාපති ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, කාරක සභාව හමුවට පැමිණ සිටි බව සඳහන්. නව පළාත් පාලන ඡන්ද ක්‍රමය, පසුගිය පළාත් පාලන ඡන්දයේදී ක්‍රියාත්මක වීමේදී ප්‍රයෝගිකව සිදුවූ අඩුපාඩු වළක්වා ගැනීම සඳහා විකල්ප ක්‍රමවේද කිහිපයක් පිළිබඳව මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා එහිදී පැහැදිලි කර තිබෙනවා.

යළිත් මෙම විශේෂ කාරක සභාව සැප්තැම්බර් 13 හා 14 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.

එම දින දෙක තුළ ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගය, අපේ ජන බල පක්ෂය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, සමාජවාදී ජනතා පෙරමුණ, එක්සත් සමාජවාදී පෙරමුණ කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා ෴

******************************************

(08.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ගුරු ගැටළු විසඳීමට අදාළ එකඟතා ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ලැබෙන තුරු සිය වෘත්තීය අරගලය ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

වැටුප් විෂමතා මුල් කරගෙන ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වෙමින් ඔවුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (08) දින 59 ක්.

මේ අතර, කොළඹ ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මේ මස සිට වැටුපට එක් කරනු ඇති බවයි ෴

******************************************

(08.09.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ව ඊයේ (07) සිදු ව ඇත්තේ, ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සිදු වූ භූ කම්පනයක් නො වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එය සුමාත්‍රා දූපත් අසල සිදු වූ භූ කම්පනයක දැනීමක් බවයි.

ඊයේ (07) පෙරවරුවේ අදාළ ප්‍රදේශයේ රික්ටර් මාපක 02.04 ක සුළු භූ චලනයක් සිදු ව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා.

පල්ලෙකැලේ, මහකනදරාව හා හක්මන යන භූ විද්‍යා සටහන් මාපකවල ද එය සටහන් වී තිබෙනවා.

පසුගිය මස 24 වැනිදා ද ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ව සුළු භූ චලනයක් සිදු වූ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ෴

******************************************

(08.09.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ලෝක සාක්ෂරතා දිනය අදට (08) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකාව සාක්ෂරතාවයෙන් ඉහළ රටක් ලෙස ලෝකය සලකන අතර ඒ වෙනුවෙන් අතීතයේ සිට ශ්‍රී ලංකාව තුළ පැවති අධ්‍යාපන ක්‍රමවේදයන් සහ ඊට අදාල දායකත්වයන් වැදගත් මෙහෙයක් ඉටු කළා.

යුනෙස්කෝ සංවිධානය ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ප්‍රකාශයට පත් කළේ 1966 වසරේ සිටයි.

සාක්ෂරතාව එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන ඉලක්ක වලද වැදගත් සාධකයක් බවට පත්ව තිබෙනවා.

ජගත් සංවිධානයේ වාර්තාවන්ට අනුව ලොව වැඩිහිටියන් සහ තරුණයන් මිලියන 773 කට මූලික සාක්ෂරතා කුසලතා නැහැ.

කියවීමේ සහ අවම ප්‍රවීණතා මට්ටම් නොමැති ළමයින් සහ යොවුන් වියේ දරුවන් සංඛ්‍යාව මිලියන 617 ක්.

ශ්‍රී ලංකාව මෙම පිරිස අඩු රටක් වන්නේ, මෙරට විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන ක්‍රමවේදයන්ගේ දායකත්වය තුල ළමා සහ යොවුන් පරපුර ලද ශක්තීන් නිසාවෙන්.

ලොව සිසු සිසුවියන්ගෙන් සියයට 62.3 ක් කොරෝනා තත්වය නිසා අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වී සිටින අතර ශ්‍රී ලංකාවේ දරුවන්ද ඊට අයත්.

මානසිකව මෙන්ම කායිකවද දරුවන් පීඩාවට පත්ව සිටින මොහොතක මොන යම් ක්‍රමයකින් හෝ ඔවුන්ට අධ්‍යාපනයේ සැනසුම ලබා දීම දෙමව්පියන්, බලධාරීන් මෙන්ම ගුරු දෙවිවරුන්ගේද යුතුකම බව සිහිපත් කළ යුතුයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *