කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට

කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට

*********************************************

කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට

(07.09.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 3,182 ක් හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 4,65,949 දක්වා ඉහළ ගියා.

ඊයේ (06) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනා අතරින් 3,173 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායන වන පුද්ගලයින් 09 දෙනෙකුද ඊයේ (06) හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම පසුගිය 05 වනදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 180 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06) තහවුරු කළා. ඊට පිරිමින් 97 ක් සහ කාන්තාවන් 83 ක් ඇතුළත්.

මිය ගිය පිරිස අතර, 133 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමි පුද්ගලයින් 68 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 40 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 16 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 අඩු පුද්ගලයන් 07 දෙනෙකුද කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,320 ක් ලෙසින්.

මේ අතර, දැනට පවතින ගිලන් රථ හිඟය සඳහා පිළියමක් ලෙස විවිධ තාක්ෂණික හේතූන් මත ධාවනයෙන් ඉවත් කර ඇති ගිලන් රථ කඩිනමින් අලු‍ත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබෙනවා.

එසේම, කොරෝනා වසංගතය හමුවේ ජීවිත රැක ගනිමින් රටේහි ජනගහනය ආරක්ෂා කිරිම රජයේ ඉහළම ප්‍රමුඛතාවය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වෙනි අග්නිදිග ආසියානු කලාපීය සමුළුව සූම් තාක්ෂණය ඔස්සේ අමතමින්.

එහිදී වැඩිදුරටත් සමුළුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇති හවුල්කාරිත්වය හා එහි තාක්ෂණික මඟ පෙන්වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාව ලබා ගත් බවයි.

මේ අතර, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතීෂ් විජේමාන්න කියා සිටියේ මේ දිනවල නිවෙස් ආශ්‍රිතව සිදු වන පිළිස්සුම් අනතුරු ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්විමට නියමිතව තිබු ගුරු විද්‍යාල අවසාන විභාගය කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා ෴

++++++++++++++

(07.09.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත රෝගීන් සහ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට, ද්වීතිය හෝ තෘතිය සත්කාර රෝහලකට ඇතුළත් කරන රෝගීන් සඳහා බලපවත්වන යාවත්කාලීන කළ චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කෙරුණු අතර, ඔවුන් නිරෝධායනයෙන් නිදහස් කෙරෙන්නේ ඊට අනුකූලවයි.

නිවෙස් නිරෝධායනයේ පසුවන සෞඛ්‍ය සේවාවන් හි හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවක නිරත කොරෝනා රෝගීන් ආසාදිත වී දින 10 කට පසු රෝග ලක්ෂණ හෝ ඖෂධයක් නොමැතිව උණ නොපෙන්වන්නේ නම් කොරෝනා පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකියි.

එම අංශවලට අයත් නොවන නිවෙස් නිරෝධායනයේ පසුවන අනෙක් සියලු පුද්ගලයින් ආසාදිත වී දින 14 කට පසු රෝග ලක්ෂණ හෝ ඖෂධයක් නොමැතිව උණ නොපෙන්වන්නේ නම් කොරෝනා පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

පූර්ණ එන්නත්කරණය ලැබූ සත්කාර සේවාවන් හි නිරත ආශ්‍රිතයින් වූ සෞඛ්‍ය සේවා අංශවල සේවකයින්ට 03 වන, 07 වන සහ 10 වන දිනවල සිදුකරන කොරෝනා පරීක්ෂාවන් මගින් අඛණ්ඩව සේවයේ නිරත විය හැකියි.

අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් හි නිරත පූර්ණ එන්නත්කරණය ලැබූ සමීප ආශ්‍රිතයින් දින 10 කින් සිදුකරන කොරෝනා පරීක්ෂාවකින් පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් නිරෝධායනයෙන් නිදහස් කළ හැකි වනවා.

එම කාණ්ඩවලට අයත් අනෙක් සියලු සමීප ආශ්‍රිතයින් දින 14 කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් කොරෝනා පරීක්ෂාවකින් තොරව නිරෝධායනයෙන් නිදහස් කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

මේ අතර, මෙම චක්‍රලේඛය මගින් කොරෝනා පරික්ෂණ සංඛ්‍යාව සීමා කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා ෴

+++++++++++++++++

(07.09.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ලොව ළදරුවන්ට කොරෝනා එන්නත් ලබාදෙන පළමු රට බවට පත්වෙමින් කියුබාව එරට වයස අවුරුදු දෙක (2) ඉක්ම වූ ළදරුවන්ට එන්නත් ලබාදීම ඊයේ (06) ආරම්භ කළා.

ඒ සඳහා යොදා ගැනෙන්නේ කියුබාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ‘අබ්ඩාලා’ සහ ‘සොබර්නා’ යන කොරෝනා එන්නත්.

එම එන්නත් කුඩා දරුවන් සඳහා අත්හදා බැලීමෙන් අනතුරුව යි මෙලෙස පුළුල් භාවිතයට යොදා ගැනෙන්නේ.

වයස අවුරුදු දොළහ (12) ඉක්ම වූවන්ට එම එන්නත් ලබාදීම මුලින් ආරම්භ කෙරුණා.

මෙම කියුබානු කොරෝනා එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැහැ.

කෙසේ නමුත්, වයස අවුරුදු දෙකෙන් (2) ඉහළ ළමයින්ට එන්නත් ලබා දී පාසල් කඩිනමින් විවෘත කිරීම කියුබානු රජයේ අපේක්ෂාව යි.

තවත් රටවල් කිහිපයක් මේ වනවිට වයස අවුරුදු 12 ඉක්ම වූ ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර ඇති අතර, චිලී දේශය වයස අවුරුදු හයේ (6) සිට දොළහ (12) දක්වා වූ ළමයින්ට සිනොවැක් චීන කොරෝනා එන්නත ලබාදීමට ඊයේ (06) අනුමැතිය ලබාදුන්නා.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනිසියුලාව ද කුඩා ළමයින්ට කොරෝනා එන්නත් ලබාදීමට සැලසුම් කළ ද එය මුලින් ම ආරම්භ කර ඇත්තේ කියුබාව යි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(07.09.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල පොලිස් වසමේ හීල් විදියේ ගණිකා නිවසක් වටලා එක් පුද්ගලයෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 23, 39 වන පානදුර, වැල්ලවත ප්‍රදේශ වල පදිංචි කාරියන් වනවා. අනෙක් සැකකාරියන් 5 දෙනා විදේශීය කාන්තාවන් වනවා ෴

******************************************

(07.09.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේදී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200 ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සොයා බැලීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවට අරලියගහ මන්දිරයේ දී එක්වෙමින්.

රුපියල් බිලියන 30 ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන අධිකාරියේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙහිදී සඳහන් කරනු ලැබුවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීමක් මේ මොහො‌තේ සිදු නොවන බැවින් රජයට බරක් නොවී විකල්ප මාර්ග ඔස්සේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ.

මේ අතර, බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමිය සහ බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ල, හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර තිබෙනවා.

ඒ හැරුණු කොට වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35 ක් වෙන් කර ඇති අතර, ආයෝජකයන් කිහිප දෙනෙකු මේ වනවිටත් එහි ව්‍යාපෘති සඳහා එකඟතාව පළකර ඇති බව සඳහන්.

ඒ අනුව දැනට එසේ කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද මෙහි ආයෝජන සඳහා ආරාධනා කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේ.

******************************************

(07.09.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා යටතට පත් කරන ලද සීනී තොග ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ තොග වෙළඳුන්ට නිකුත් කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රජයේ පාලන මිල යටතේ අලෙවි කිරිම සඳහා අදාළ සීනී තොග ප්‍රාදේශිය තොග වෙළඳුන් වෙත නිකුත් කරන බවයි වෙළඳ අමාතංශය නිවේදනය කළේ.

මෙහි දී සුදු සීනී කිලෝවක් රුපියල් 117 ක් සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 120 ක් බැගින් ඕනෑම ප්‍රමාණයක් ගබඩාවලින් නිතුක් කිරිමට කටයුතු යොදා තිබෙනවා.

මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011 368 1797 යන දුරකතන අංකයෙන් ලබා ගත හැකියි.

(07.09.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාර ව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමේ පූර්ණ බලතල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පවතින බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

වී, සහල්, සීනි ඇතුලු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා යි ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලය පවරා ඇත්තේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවට නිසැකව ම වග බලාගැනීමට මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව පත්කළ නිසි බලධරයන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබා දෙන විධානයන් පිළිපැදීම අවස්ථානෝචිත පරිදි සිදු කළ යුතු කාර්යයක් වන බව යි ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදිය නො හැකි බවට විපක්ෂය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශ වැරදි සහගත බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ යැ යි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණා.

මේ අතර, ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 40 ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, පෞද්ගලික මට්ටමින් සුළු වශයෙන් තොග ගබඩා පවත්වාගෙන යන පුද්ගලයින්ට කිසිදු අවහිරතාවක් ඇති නො වන පරිදි කටයුතු කරන්නැ යි ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

මේ අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල දැනට භාවිතයට නො ගන්නා ඉඩම් හා රජයට අයත් භාවිතයට නො ගන්නා වෙනත් ඉඩම්, නවීන කිරි ගොවිපොළ ලෙස සංවර්ධනය කිරීම සඳහා වසර 30 ක කාලයකට දීර්ඝ කාලීන බදු පදනම මත දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ලබා දීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා ෴

******************************************

(07.09.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ සහ ඡන්ද විමසිම් ව්‍යුහයේ හා නිතී රිතී වල ප්‍රතිසංස්කරණ හදුනා ගැනිමටත් ඒ, සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දේශපාලන පක්ෂ කිහිපයක් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, මහජන එක්සත් පෙරමුණ, ඊ.පී.ඩී.පී. සහ දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ විසින් අදාළ කාරක සභාව ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස් වූ අවස්ථාවේදී මෙලෙස කරුණු ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සඳහන් කළේ. සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයට ද ඊයේ (06) දිනයේ මෙම කාරක සභාව හමුවට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබු බවයි.

එහෙත්, එම පක්ෂ ඊයේ (06) දිනයේදි අදාළ කාරක සභාවට නොපැමිණි අතර අද (07) දිනයේ පැමිණ මෙරට ඡන්ද ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න කරුණු දැක්වීමට නියමිත වනවා.

ඊයේ (06) කරුණු දැක්වු මහජන එක්සත් පෙරමුණ ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මැතිවරණ නියමිත කාලයේ පැවැත්විම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවට ඔවුන් එහිදී යෝජනා කර තිබුණා ෴

******************************************

(07.09.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ගැටලුවක් වී ඇති බේරුවල ප්‍රදේශයේ කසල ඉවත් කරන රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා ප්‍රතිපාදන සැපයීමට අවශ්‍ය ලේඛණ නීත්‍යානුකූල ව තමන් වෙත ලැබී නොමැති බව බේරුවල නගර සභාවේ ලේකම්වරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අදාළ නගර සභාව සඳහා අද (07) සිට බලපැවැත්වෙන පරිදි නව ලේකම්වරයෙකු පත් කර ඇති බව යි.

බේරුවල නගර සභාවේ කසල ඉවත් කරන රථවලට අවශ්‍ය ඉන්ධන සඳහා මුදල් නිකුත් නො කිරිම හේතුවෙන් ප්‍රදේශයේ කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් බේරුවල නගර සභාවේ සභාපති මසාහිම් මොහොමඩ් ඊයේ (06) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ නගර සභාවේ ලේකම්වරිය ඉන්ධන සඳහා වන ප්‍රතිපාදන නිකුත් කිරීමට අනුමැතිය ලබා නො දීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය හටගෙන ඇති බව යි ෴

******************************************

(07.09.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පත්කර තිබෙන නව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩගේ අක්තපත්‍ර ඉන්දීය රජය විසින් භාර නො ගත් බවට පළ වෙන වාර්තාවන්හි සත්‍යතාවයක් නො මැති බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ, ඊට අදාළ ව පළ වෙන විවිධ වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ෴

******************************************

(07.09.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

මාතර පොලිස් වසමේ රස්සන්දෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් දෙකක් (2) සහ මිලි ග්‍රෑම් 800 ක් සමඟ කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතර දෙවිනුවර පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවක්.

සැකකාර කාන්තාව අද (07) මාද්තර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මාතර පොලිසිය විසින් සිදු කරනු ඇති.

මේ අතර දැදිගම, අයගම සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලින් ද හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු (3) අත් අඩංගුවට ගත් බව යි පොලිස් මාධ්‍ය එකකය වාර්තා කළේ ෴

******************************************

(07.09.2021 – 09:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මස 28 වනදා සිට මේ මස 03 වනදා දක්වා කාලය තුළ ශ්‍රි ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9.34 ක ආනයන බදු ආදායමක් උපයා තිබෙනවා.

මෙම කාලසීමාව තුළ රේගුව අනුමත කළ අපනයනවල වටිනාකම රුපියල් බිලියන 46.43 ක්.

දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රේගුවේ රාජකාරී සඳහා සැලකිය යුතු බලපෑමක් සිදුවූවද, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් දැඩිව අනුගමනය කරමින් රේගුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

******************************************

(07.09.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඔවුන් පස්වරු 05:10 ට කටුනායකට ළඟා වන අතර, එහි දී සිදුවන පිළිගැනීමේ කටයුතුවලින් අනතුරු ව විශේෂ ආරාධිත අමුත්තන්ගේ පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර, ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් කොඩිතුවක්කුට නවීනතම මෝටර් රථ දෙකක් (2) පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර, දිනේෂ් ප්‍රියන්තට සහ සමිත දුලාන් කොඩිතුවක්කුට මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන්ට එම ජයග්‍රහණ සඳහා මූල්‍ය ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *