කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා

*********************************************

(06.09.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ’ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වනවා.

තමන්ට එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊමේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇතැයි ද අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ එම කමිටුව විසින් ගනු ලබන ඇතැම් තීරණවලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමින් ඔහු ඉවත්වීම සිදුකර ඇති බවයි ෴

******************************************

(06.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත් ව ත්‍රීරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

ඒ, ත්‍රීරෝද රථ හිමියන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදි යි.

ඊට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද එක් ව සිටියා.

ත්‍රීරෝද රථ අලංකරණය සම්බන්ධයෙන් නීති කිහිපයක් සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 14 වැනිදා යි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ ත්‍රීරෝද රථ හිමියන් සමඟ මෙම සාකච්ඡාව පැවති අතර, එහි දී යම් නීතින් සංශෝධනය කිරීමට අවසර ලබා දුන් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

++++++++++++++++++

(06.09.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශ අගනුවර වන පැරිස් වෙත නැවතත් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.

අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවාව 2021 නොවැම්බර් 01 වන දින සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්ට ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපොළ වෙත සතියකට තුන් (3) වතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.

මෙම ගමනාන්තය සඳහා එයාර් බස් ඒ 330-300 ගුවන් යානා සමූහයක් උපයෝගී කරගන්නා අතර, සතියේ බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල, සතියකට තුන් (3) වතාවක් කොළඹින් රාත්‍රී 00:35 ට පිටත් වීමට නියමිත යි.

එය පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළට පැමිණෙන්නේ පසුදා උදෑසන 07:30 ට යි.

නැවතත් එම යානය එදින ම සවස 14:30 ට පැරීසියෙන් පිටත් වීමට නියමිත අතර, එය පසුදා අලුයම 05:20 ට කොළඹට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙනු ඇති.

ලබන නොවැම්බරයේ ආරම්භ වන මෙම නව ගමනාන්තය සඳහා ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහ ලාභදායී පන්තියේ ආසන 269 ක් වෙන් වී තිබෙනවා.

මෙම ගමනාන්තයන් සඳහා එයාර් බස් ඒ 330-300 ගුවන් යානයක් පැය 11 යි විනාඩි 25 ක පමණ කාලයක් ගන්නා බව යි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

මෙම නව ගමනාන්තය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, මෙම නව සේවාව නිසා සංචාරකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටත් අඩු කාලයක් තුළ තම ගමනාන්තය වෙත යාමට ඉඩ සැලසීම ලෝක සංචාරක වෙළඳාම සහ ආර්ථික පුනර්ජීවනය ඇති කරණ ක්‍රියාදාමයක් වන බව යි.

2016 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරීසියට සිය ගුවන් ගමන් නැවැත් වූ අතර, 2020 ජූලි සහ සැප්තැම්බර් මාසවල දී තාවකාලික මඟී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළා.

කෝවිඩ් ගෝලීය වසංගතය ආරම්භයේ සිට ම අනුගමනය කරන ලද අතිරේක ආරක්‍ෂක පියවර සහ පුළුල් සනීපාරක්‍ෂක ප්‍රමිතීන් සඳහා සම්මත වූ ‘ඇපෙක්ස් සහ සිම්ප්ලිෆ්ලයිං’ වෙතින් ‘දියමන්ති’ ශ්‍රේණිගත කිරීම ලබා ගත් දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ගුවන් සේවය වන්නේ ද ශ්‍රී ලංකන් ගුවන් සේවාව යි ෴

++++++++++++++++++

(06.09.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් 09 සහ 10 දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළඳපොල තොග වෙළඳාම සඳහා විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා ෴

කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 1,952 ක් සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 3,86,509 දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් වූ 2,245 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,65,012 ක් බවයි ෴

ඊයේ (05) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 180 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 10,320 ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++

(06.09.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ඔක්සිජන් මත රඳා පවතින කොරෝනා රෝගීන්ගේ සාපේක්ෂ අඩුවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

අද (06) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,245 දෙනෙකු වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,65,012 ක් දක්වා ඉහළ ගියා.

අද (06) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 1,952 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,86,509 ක්.

මේ අතර, කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් අයෙකුට වෛරසය ආසාදනය වූ අවස්ථාවකදී එම පුද්ගලයාට පසුකාලීනව සංකූලතා ඇතිවීමේ හැකියාව ඉහළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවට එක්වූ එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ වුණා.

ඒ යටතේ ලබාදෙන්නේ සයිනොෆාම් එන්නතයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදි එන්නත් ලබා දීම සිදුවනවා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලීන්ද හේරත් මහතා කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුවිය යුතු බවයි.

මේ අතර, කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආදිවාසී නායකයා ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ හීන් මැණිකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කළා.

ඒ, මහියංගන ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදීයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ආදීවාසී චාරිත්‍රද ඉටුකරමින් දේහය නෑ යකුන් වෙත බාර කිරීම සිදුවුණා.

මේ අතර දිවයිනේ සියලු‍ ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තොග වෙළඳ කටයුතු සඳහා පමණක් විවෘතව තැබීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළා.

තවත් කොරෝනා ආසාදිතයින් වූ 928 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද (06) දිනය තුළ හමු වූ මුළු කොරෝනා අසාදිතයින්ගේ ගණන 3173 ක් වනවා. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,65,940 ක් බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(06.09.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැති ව කන්දසාමි නගර් රජයේ රක්ෂිතයෙන් ‘චේන්සෝ’ මගින් කපන ලද සහ ඉරන ලද බුරුත කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 44 ක පුද්ගලයකු සමග කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්‍ය බලකා නිලධාරින් පිරිසක් සමත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය පුවරසන්කුලමි කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සි.අයි.එම්.එස්. පුෂ්පකුමාර සහ පොලිස් පරීක්ෂක ඊ.එම්.ඒ.කේ. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (06) දින ජංගම මුර සංචාරක රාජකාරියේ යෙදෙමින් සිටිය දී වව්නියාව මන්නාරම් මාර්ගයේ සෙල්වනගර් මංසන්ධියේ දී සැකකටයුතු කැබ් රථයක් හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදි යි, අදාළ සැකකරු ඇතුළු දැව තොගය සොයාගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද බුරුත දැව කඳන්වල දල වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්න වන බව යි වාර්තා වෙන්නේ.

අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී කලක පටන් මෙම රක්ෂිතයේ අනවසරයෙන් වටිනා දැව කපා ජාවාරමේ යෙදුණු බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා ෴

******************************************

(06.09.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 81 කින් සම්මත වෙයි. ඊට පක්ෂව ඡන්ද-132, විපක්ෂව ඡන්ද-51 ද ලැබුණා ෴

******************************************

(06.09.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) දිනට නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතයන් අනුව බ්‍රිතාන්‍ය පවුමක් සඳහා විකුණුම් මිල සටහන් වී තිබුණේ රුපියල් 317.47 ක් ලෙසින්.

මෙය මෙරට ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම විකුණුම් අගය ලෙසයි සටහන් වන්නේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය පවුමක මිල දී ගැනීමේ අගය දැක්වුනේ රුපියල් 307.13 ලෙසින්.

මේ මස මුල බ්‍රිතාන්‍ය පවුමක විකිනුම් මිල දැක්වුණේ රුපියල් 292.71 ක් ලෙසින්.

ඒ අනුව ඉතා කෙටි කලකදී ‍බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 30 කින් පමණ පහල වැටී තිබෙනවා.

මීට අමතරව ජපාන යෙන් මුදල් ඒකකයද ඉතිහාසයේ පළමුවරට රුපියල් දෙකේ (2) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (06) නිකුත් කළ නවතම විනිමය අනුපාතයන් අනුව ජපාන යෙන් එකක් (1) මිලදී ගැනීම් සඳහා රුපියල් 02.01 ක් වැය කිරීමට සිදුව තිබුණා.

එමෙන්ම ජපාන යෙන් එකක ගැනුම් මිළ දැක්වුනේ රුපියල් 02.09 ක අගයක් ලෙසින්.

මේ අතර ආර්ථික විශේෂඥයින් පවසන්නේ මෙලෙස ජපාන යෙන් මුදල් ඒකකයේ අගය නොසිතූ විරූ ලෙස ඉහළ යෑම මෙරටට ආනයනය කරන වාහන වල මිල ඉහළ යාමට දැඩි බලපෑමක් සිදුකරනු ඇති බවටයි.

මේ මස මුලදී රුපියල් 160.09 ක විකුණුම් අගයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු ඩොලරය අද (06) වන විට රුපියල් 171.14 ක් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මේ මස මුලදී ඔස්ට්‍රේලියානු ඩොලරයේ ගැනුම් මිල සටහන් වී තිබුණේ 153.35 ක් ලෙසින් නමුත් එය ද අද (06) වන විට රුපියල් 163.93 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් සැප්තැම්බර් මස පළවෙනි (01) දින රුපියල් 203.87 ක විකුණුම් මිලක් සටහන්ව තිබූ අමෙරිකානු ඩොලරයක අද (06) විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 203.00 ක් ලෙසයි.

එමෙන්ම මේ මස මුලදී රුපියල් 198.86 ක ගැනුම් මිල සටහන් ව තිබූ අමෙරිකානු ඩොලරයක අද (06) ගැනුම් මිල දැක්වුනේ රුපියල් 198.50 ක් ලෙසින්.

මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙනී යන කාරණය වන්නේ ඇමරිකානු ඩොලරය ස්ථාවර ව රඳවා ගනිද්දී ඊට සාපේක්ෂව ලොව අනෙකුත් ජාත්‍යන්තර මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියල බරපතල ලෙස බිඳ වැටෙන බවයි ෴

******************************************

(06.09.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී හිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිද සහ බිරිඳගේ පියා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

කෙසේ වෙතත්, දැරිය කොළඹට රැගෙන ආ තැරැව්කරුට සහ බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනාට ඇප නියම වුණා.

මෙම නඩුවේ පස්වන (5) සැකකරු ලෙස නම් කෙරුණු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය කළ නියෝගයකට අනුව, බන්ධනාගාරය මගින් අද (06) අධිකරණයට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) අදත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

එහිදී බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළා.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ දැරිය සම්බන්ධයෙන් 1990 ගිලන්රථයට තොරතුරු ලබා දී තිබූ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක අංශයේ සිටි පොලිස් කොස්තාපල්වරයා නිශ්චිත තොරතුරක් ලබාදී නොමැති බවයි.

දැරියගේ නම ඉෂානී ලෙසත්, වයස අවුරුදු 18 ක් ලෙසත් තමාගේ නම රුවන්පතිරණ ලෙසත් සඳහන් කර ඇති ඔහු ගෑස් ටැංකිය පුපුරා සිද්ධිය සිදුවූ බව සඳහන් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ රියදුරු ප්‍රකාශ කර ඇති පරිදි දැරියගේ ඥාතීන් පැමිණි අවස්ථාවේ අදාළ නිවසේ නීතිඥවරයකු සිටි බවත් මෙහිදී සඳහන් වුණා.

එසේම, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මන්ත්‍රීවරයා වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය මෙන්ම ජංගම දුරකතනයක් ළඟ තබාගත් සිද්ධිය පිළිබඳවද අධිකරණයේ අවධානය යොමු කරමින් කියා සිටියේ එය අධිකරණයට අපහාස කිරීමක් බවයි.

රාජ්‍ය බුද්ධි අංශය ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද ඔහු එහිදී අවධාරණය කළා.

අනතුරුව අනෙකුත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප අයදුම් ඉදිරිපත් කළද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා සම්බන්ධයෙන් අද ඇප ඉල්ලීමක් සිදු නොකරන බවයි.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය, සැකකරුවන් වන රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිද වන අයේෂා ආබ්දීන් සහ බිරිදගේ පියා වන මොහොමඩ් ෂියාබ්දීන් මේ මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි නියෝග කළා.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළේ, හිෂාලිනී දැරිය ඩයගම සිට කොළඹට රැගෙන ආ පොන්නයියා පණ්ඩාරම් නොහොත් ශංකර් නමැති තැරැව්කරු රුපියල් ලක්ෂ තුන (3) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සහ ෂියාබ්දීන් ඉස්මදීන් යන බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙසයි.

ඊට අමතරව ෂියාබ්දීන් ඉස්මදීන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා.

++++++

******************************************

(06.09.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් සීනී තොග සඟවා තිබෙන ස්ථාන අදත් වැටලූ අතර, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික් ටොන් 1500 ක් සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගබඩාවක් තිබී සීනී මෙට්‍රික් ටොන් 5,500 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (06) සිය භාරයට ගත්තා.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනී තොගයක් ගබඩා කර ඇති බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පාරිභෝගික අධිකාරිය එක්ව තවත් වැටලීමක් වත්තල ප්‍රදේශයේ අද සිදු කළා.

එහි ගබඩාවක තිබූ සීනීමෙට්‍රික් ටොන් 125 කට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු කරනු ලැබුවා.

මේ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ තබලගමුව සහ මුල්ලිපොත්තාව යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය වී ගබඩා තුනක් (3) ද වටලා වී කිලෝ එක් ලක්ෂ පනස් දහසක් (1,50,000) මුද්‍රා තැබීමට අද කටයුතු කර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *