නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්…

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්…

*********************************************

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්…

(06.09.2021 – 10:40 +0530 – lankacnews.com)

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විවෘත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙහි දැක්වෙයි :

2021 සැප්තැම්බර් 06

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට යැවෙන විවෘත ලිපියයි.

“නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි”

සමගි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි කියලා මන්ත්‍රී කෙනෙක් එකපාරටම නින්දෙන් ඇහැරලා වගේ ඇවිල්ලා අපිට ඇඟිල්ල දිග් කරලා තියෙනවා. බොදු බල සේනා සංවිධානය මේ වගේ කුණු ගොඩවල් අවුස්සන්නේ නැති වුවත් බබ්බු වෙන්න හදන අප්පුහාමිලාට පිළිතුරු ලබා දිය යුතුයැයි හිතනවා.

අප්පුහාමි පලමුවෙනි කාරණය විදිහට කියනවා,

• අපි කියනවා ඥානසාර ස්වාමින් වහන්සේට පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් කියලා සැහැල්ලුවට ගන්න එපා.
• ඒක ජාතිවාදී විදිහට සලකන්න එපා.
• හැගීම්බර මිනිස්සු තමයි කියන්නේ ඒකට සාධාරණය ඉෂ්ඨ කරන්න කියලා.

යහපාලන ආණ්ඩුවේ බකන් නිලාගෙන හිටපු අප්පුහාමි මට කියලා දෙන්න එනවා පාස්කු ප්‍රහාරය පුංචි දෙයක් නෙවෙයි කියලා.

පුංචි දෙයක් නොවෙන නිසා තමයි අවුරුදු ගානක් තිස්සේ මෙහෙම විනාශයක් වෙන්න යනවා කියලා කෑ ගහලා ජාතියට කිවුවේ. අපි අපේ යුතුකම ඉෂ්ඨ කළා. අප්පුහමිලා ඒ කාලේ මොකද කලේ? අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පෝෂණය කරපු එක. ඔය කියන අන්තවාදී කල්ලි සේරම එකතු කරගෙන 2015 අවුරුද්දේ යහපාලන රජය හැදුවා. ඊට පස්සේ යහපාලන රජය ත්‍රස්තවාදීන්ට වැඩෙන්න උදව් කළා. අප්පුහමිලා ඒවාට විරුද්ධ වුනාද? දැන් එනවා කිඹුල් කඳුළු හලන්න. පාස්කු ත්‍රස්තවාදීන්ට හැදෙන්න වැඩෙන්න තඹ දුන්නේ කවුද? යහපාලන ඇමතිලා. ත්‍රස්තවාදීන්ට මුදල් පොම්ප කරපු ‘කටාර් ෆන්ඩ්’ කොළඹ කාර්යාලය විවෘත කලේ දැන් සමගි ජන බලවේගයේ අප්පුහාමිගේ නායකයා සජිත් ප්‍රේමදාස. ඒ දවස්වල ත්‍රස්තවාදීන්ට වැඩෙන්න පහසුකම් සපයලා දැන් එනවා මෙතන කිඹුල් කඳුළු හෙලන්න.

මේ ත්‍රස්තවාදීන්ට තිබුන ලොකුම බාධක ටික යහපාලකයින් ලවා නිහඩ කළා. හකීම්, බදුර්දීන්, අසාද් සාලි, මුජුබර් පොලීසිවලට ගිහිල්ලා ඉහල පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන තත්වයට ආරක්ෂක අංශවල කොඳු කැඩුවා. අපිව හිරේ දාලා ත්‍රස්තවාදීන්ට වැඩෙන්න අවස්ථාව ලබා දෙන්න වැඩ කලේ, දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්න සමගි ජන බලවේගයේ එවක ඇමතිලා.

අප්පුහාමි ඒ කාලේ ඒවාට විරුද්ධ වුනාද?

ඊළඟට මේ අප්පුහාමි කියනවා,

• ඥානසාර හිමි කතා කරනවා මේ තලේබාන් ගැන.
• උන්වහන්සේ කතා කරනවා මේ බටහිර හස්තයක් ගැන.
• ඔබවහන්සේ මේ රටට ආදරේ කියලා කියනවානම් වහාම ගිහිල්ලා කියන්න මේ කතාව CID එකට. ‘මේ ගොල්ලෝ තමයි නිර්මාතෘවරු මේ අය තමයි මේ දේ කලේ’ කියලා.

අප්පුහමිලාගේ පක්ෂයේ කට්ටියට ගමේ කියමනක් තියෙනවා ‘කනවැන්දුම් ගෑනු වගේ’ කියලා. අන්න ඒ වගේ තැන තැන කට කියව කියව ගිහින්, CID එකට ගෙන්නලා විස්තර ඉල්ලුවාහම හිවල් රැලක් වගේ බයෙන් රොත්ත පිටින් CID එකට ගිහිං ලජ්ජා නැතුව සමාවත් අරගෙන එලියට ඇවිල්ලා ගියපු හැටි අපි පහුගිය කාලයේ දැක්කා.

අප්පුහාමි දන්නේ නැත්නම් යහපාලන පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් අහගන්න. අපි සංවිධානයක් විදිහට ‘ISIS පන්නයේ ත්‍රස්තවාදී තර්ජන හා ISIS වැනි ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධ විය හැකි සංවිධාන ගැන පැමිණිලි කිරීම’ මැයෙන් 2016 ජුලි 05 වනදා එවකට යහපාලන පොලීසියට පැමිණිලි කරලා තිබෙනවා මේ තර්ජන ගැන. දෙයක් වුනාට පස්සේ හොටු පෙරාගෙන අඬන අප්පුහමිලා වගේ නොවෙයි. අපි දුර දිග බලලා අවශ්‍ය තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීලා තිබෙනවා. අප්පුහාමිලාගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඒ වගේ තත්වයක හිටියට අපි අපේ වචනයක් ගානේ වග කියනවා. අපි කතා කරන්නේ සාක්ෂි සාධක මතම පදනම් වී පමණයි.

මේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර නතර කරන ක්‍රමය ගැන අප්පුහාමි අබමල් රේණුවකවත් නොදන්නා පුස් මිනිහෙක් කියලා මේ කතාවෙන් හොඳින්ම වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අන්තවාදී තත්වයට පත්වීමට මේ විදේශීය ත්‍රස්ත සංවිධානවල බලපෑම තිබෙනවා යැයි කියන මුලික කරුණාවත් අප්පුහාමි දැනගෙන නොසිට අපිට ඇගිල්ල දිගුකිරීම ඉතාමත් හාත්ස්‍ය ජනකයි. 1990 දශකයේ ශ්‍රී ලංකාවේ ‘ජමාතේ ඉස්ලාම්’ සංවිධනාය ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට තම සාමාජිකයන් යැවූ බවට ජීවමාන සාක්ෂිය ලෙස ‘ජමාතේ ඉස්ලාම් නදීර් මවුලවි’ අදටත් ජීවත්ව සිටින බව අප්පුහමිලා දැනගෙන නොසිට මේ අඳ බොළඳ ප්‍රකශ කිරීම ගැන පුදුම වන්නට ද කාරණයක් නැත.

ඒ කියන ‘ජමාතේ ඉස්ලාම්’ නායකයා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තහම ඔහුව බේරාගන්න වැඩකලෙත් යහපාලන අප්පුහාමිගේ පක්ෂයේ සගයෝ කියන එක දන්නේ නැත්නම් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘මුජුබර් රහුමාන්’ හම්බවෙලා ඒක අහගන්න. ඒ වගේම අත්අඩංගුවට ගත් ‘හජ්ජුල් අක්බාර්’ නිදහස් කරලා යවන තත්වයට ආරක්ෂක අංශවලට බලපෑම් කලේ කවුද යන්නත් අහලා බලන්න.

අප්පුහාමි දන්නේ නැතිවුනාට අපි අවුරුදු ගානක් තිස්සේ ආරක්ෂක අංශවලට මෙන්ම බුද්ධි අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දී තිබෙනවා. අප්පුහාමිලාගේ ආණ්ඩුව තිබුන යහපාලනය කාලේ බුද්ධි අංශ විනශ කරනකොට අප්පුහාමි නිදාගෙන ද හිටියේ? බුද්ධි අංශ සුනු විසුනු කරද්දී අපි බැරිම තැන අධිකරණයෙන් ඉල්ලීම් කරා බුද්ධි අංශවලට මෙහෙම කරන්න එපා, ජාතික ආරක්ෂාව විනාශ කරන්න එපා කියලා.. එහෙම කරද්දී අපිව අල්ලලා අවුරුදු 6 කට හිරේ දැම්මා. බුද්ධි අංශ විනාශ කරලා පාස්කු ප්‍රහාරයට පාර කපලා දුන්නේ අප්පුහාමිගේ යහපාලන නායකයන් කියලා මතක් කර දිය යුතුමයි.

‘තබ්ලිග්’ මතධාරී ‘තලේබාන් සංවිධානය’ ගැන කතාකරද්දී අප්පුහාමි අපිට ඇඟිල්ල දිගු කරන්නේ ඉතුරුවෙලා ඉන්න අන්තවාදීන්ගේ කොන්ත්‍රාත් තවමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ලවා ඉෂ්ඨ කරගන්නා නිසාදැයි අපි අනිවාර්යයෙන්ම ප්‍රශ්න කල යුතුයි.

මේ අප්පුහාමි ඉස්ලාම් අන්තවාදය ගැන නොදැන මට ඇඟිල්ල දිගුකර සිදුකල ප්‍රකාශයට අපි අනුකම්පා කළා කියමුකෝ. නමුත් මේ දේශපලනයේ ඉන්න, මන්ත්‍රී කෙනෙක් වෙච්ච අප්පුහාමි දේශපාලනයත් දන්නේ නෑ නේ.

අප්පුහාමි මීළඟට කියනවා,

• ඥානසාර හිමියනේ මේ රටේ ජාතිවාදය ගොඩනගන්න හදන්න එපා තවදුරටත්.
• මින් පස්සේ ජාතිය ආගම පාවිච්චි කරලා කිසි කෙනෙකුට දේශපාලනය කරන්න බෑ.
• ඥානසාර හිමියන් කට වහගෙන හිටියා; පුත්තලමේ තරාදිය කියලා එක පක්ෂයක් නිර්මාණය කරලා සම්පුර්ණ මුස්ලිම් නියෝජිතයෝ විතරක් එහෙම නැත්නම් අපේක්ෂකයෝ විතරක් ඉදිරිපත් කරලා සිංහලයන්ට චන්දෙ දෙන්න එපා කියලා වැඩසටහනක් කරලා මන්ත්‍රීධුරයක් අරගෙන මන්ත්‍රී කෙනෙක් ආවා. ඒ මන්ත්‍රී ජාතිවාදී විදිහට ආවේ කියලා අපි ඇඟිල්ල දිග් කරනවා. ඒ මන්ත්‍රී අද ඉන්නේ කොහෙද පොහොට්ටුවේ මේ ආණ්ඩුව අස්සේ සංවිධායකයෙක් විදිහට ඉන්නේ. එතකොට ඒ පක්ෂේ නිර්මාණය කරලා තියෙන්නේ පොහොට්ටුවමයි. එවැනි කටයුතු කලේ මේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා.

මේකෙන් පස්සේ අප්පුහාමිගේ සදාදරණිය නායකයා සජිත් ප්‍රේමදාස කියයි ‘නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි’ කියලා. මොකද ඔය කියන ‘තරාදිය’ ලකුණෙන් පුත්තලමේ තරඟ කල සන්ධානය හැදුවේ ‘පුතානෝ’ ජනාධිපති කරන්න ‘අගසව්වන්’ වගේ දෙපැත්තෙන් හිටගෙන කටයුතු කරපු ‘රවුෆ් හකීම්’ සහ ‘රිෂාඩ් බදුර්දීන්’ දෙන්නයි. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්න පෙර අප්පුහාමිට තිබ්බා ජාතිවාදය අවුස්සලා මේ සන්ධානය හදපු හැටි සිය නායකයා වන සජිත් ප්‍රේමදාසගෙන් අහ ගන්න. එහෙම නොකර අප්පුහාමි ‘හරකෙක් වගේ තප්පුලපු’ නිසා මේ සන්ධානයට මූලික වුන ඉතිහාසය මම කියලා දෙන්නම්.

ඔය කියන ‘තරාදිය’ ලකුණෙන් තරඟ කල පක්ෂයේ නම තමයි ‘මුස්ලිම් ජාතික සන්ධානය’ කියන්නේ. මේ පක්ෂය ‘මුස්ලිම් ජාතික සන්ධානය’ වෙන්න පෙර නම තමයි ‘ශ්‍රී ලංකා මුස්ලිම් කච්චි’ කියන්නේ. 1990 දශකයේ ‘අශ්රොෆ්’ ගෙන් වෙන්වුණු ‘සේගු ඉසඩීන්’ සහ ‘අබ්දුල් රසුල්’ තමයි පක්ෂය හදන්න මුලික වුන දෙන්නා.

ඊට පස්සේ මේ පක්ෂය ගත්ත කෙනා තමයි, යහපාලන හයිය අරගෙන නාවික හමුදා නිලධාරියෙකුට ‘පාර්ට්’ එක දැම්ම ‘නසීර් අහමඩ්’. ඒ කාලයේ අප්පුහමිලාගේ නායකයෝ ‘නසීර් අහමඩ්ලා’ ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කර කර හිටියේ. මම හිතන්නේ අප්පුහමි ඒ කාලේ ඉන්න ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ හෝ සජිත් ප්‍රේමදාසගේ මේස අස්සේ වෙන්න ඇති. පස්සේ ‘නසීර් අහමඩ්’ පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ එක ‘අගසව්වෙක්’ වෙන ‘රවුෆ් හකීම්’ගේ ‘ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයයෙන්’ මහා මැතිවරණයට ඉදිරිපත් වුනා. ඒ නිසා අප්පුහාමි… ‘නසීර් අහමඩ්ට’ සිද්ධ වුනා පක්ෂයෙන් අයින් වෙලා මුස්ලිම් කොන්ග්‍රසයේ සාමාජිකත්වය ගන්න. ඒ නිසා මේ ‘තරාදිය’ පක්ෂයේ ලේකම් ලෙස පත් කලේ ‘හකීම්’ගේ මස්සිනා වන ‘නයිමුල්ලා’ට පක්ෂය බාර දෙන්න ‘නසීර්’ ක්‍රියා කළා.

පස්සේ පුත්තලම් දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා අප්පුහාමි කියන විදිහට ජාතිවාදී සන්ධානයට ‘හකීම්’ සහ ‘බදුර්දීන්’ එකතුවුනා. ‘හකීම්’ පාර්ශවයෙන් අනතුරකින් මියගිය ‘ෆායිස්’ ඉදිරිපත් කළා. ‘රිෂාඩ්’ පාර්ශවයෙන් ‘අලි ශබ්රි රහීම්’ ඉදිරිපත් කළා. ඒ දෙන්නව ඉදිරිපත් කරලා ‘හකීම්’ සහ ‘රිෂාඩ්’ අප්පුහාමිලා එක්ක සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වුනා. එතකොට කවුද මේ කියන ‘තරාදිය’ ජාතිවාදී සන්ධානය හදලා තියෙන්නේ. අප්පුහාමිගේ නායකයෝ නේද?

මේවා නොදැන ඉන්න අප්පුහාමි තොත්ත බබෙක්ද? අප්පුහාමි ඔබගේ නායකයා සජිත් ප්‍රේමදාස පහුගිය ජනාධිපතිවරණයේ ලංකරගෙන හිටිය අය තමයි සැබෑ ත්‍රස්තවාදියෝ… සැබෑ අන්තවදියෝ… එදා ත්‍රස්තවාදීන්ට තඹ දුන්න යහපාලන ඇමති ‘රිෂාඩ්’ වෙනුවෙන් අදත් පෙනී ඉන්නේ ඔබගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ…

ලැජ්ජාවක් තියෙනවානම්, තමුන් මේ රටට සැබෑවටම ආදරේ කරනවානම්, අප්පුහාමි… ඔය ත්‍රස්තවාදීන්ට පහසුකම් සපයන පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙන්න.

තෙරුවන් සරණයි…!!!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
මහලේකම්
බොදු බල සේනා

******************************************

(06.09.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

සිය මව සමඟ නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය විසි පස් (25) හැවිරිදි තරුණියක් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වූ තරුණිය සොයා යුධ හමුදාව, පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව අද (06) උදැසන සිට එම රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතුයායේ පහළ කොටසේ පදිංචි ‘කට්පුගදාරණි’ නැමති 25 හැවිරිදි තරුණියක්.

ඊයේ (05) දින උදැසන 09:30 ට පමණ ඩන්සිනන් වතුයායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වූ බවත්, එම අවස්තාවේ අතුරුදන් දියණිය තමන් රක්ෂිතයේ ඉහළට ගොස් දර සොයාගෙන එනතෙක් පහළ රැඳී සිටින ලෙස තමන්ට පවසා, ඇය රක්ෂිතයේ ඉහළ කදු මුදුනට ගිය නමුත් යලිත් ඇය පහළට නො පැමිණි බව යි අතුරුදහන් වු තරුණියගේ මව වන එස්. ගමනෝවනි (58) කියා සිටියේ.

අතුරුදහන් වු දියණිය අපස්මාර රෝගයෙන් පෙලෙන අයෙකු බවත් ඉඳහිට අපස්මාර රෝගය වැළඳී මද වේලාවක් යන විට ඇයට සුව වන බවත් මව සඳහන් කරනවා.

රක්ෂිතයට පිවිසි දියණිය ඊයේ (05) දින පස්වරු 2 පමණ වන තෙක් නො පැමිණි නිසා, තමන් ඒ පිළිබඳ ව නිවසට පැමිණ අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු ඔවුන් ද අතුරුදන් වූ තරුණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව තරුණියගේ මව පැවසුවා ෴

******************************************

(06.09.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බකමූණ ප්‍රදේශයේ සිරිකඳුයාය, ගාඟේයාය, නිකපිටිය, ජයසිරිපුර යන ගම්මානවල ගොවීන් සිය ලොකු ලූනු වගාවන්ට වැළඳුණු දීලීර සහ අල කුණු වීමේ රෝග හේතුවෙන් අසීරුතාවට පත්ව සිටිනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ වගාවන්ට යෙදිය යුතු කෘෂි රසායනික නොමැති වීම හේතුවෙන් එම රෝගී තත්ත්වය පාලනය කිරීමට නො හැකි වී ඇති බව යි.

මේ නිසා වගා හානි වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(06.09.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම මූලික රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදු කරන අවස්ථාවේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, නොරොච්චෝල තාප බලාගාරයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් දෙදෙනෙකු (2) එලෙස අත්අඩංගුවට ගත් බව යි.

ඔවුන් ඊයේ (05) කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී සිය ජංගම දුරකතනයෙන් රෝගියෙකුගේ වීඩියෝවක් පටිගත කිරීමට උත්සහ කර ඇති අතර, එහි දී රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින් ඊට බාධා කිරීමත් සමඟ දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ඉන් රෝහලේ ආරක්ෂක රාජකාරීවල නිරත වෙමින් සිටි නිලධාරීන් දෙදෙනා (2) තුවාල ලබා රෝහල්ගත කර ඇති බව යි පොලිසිය ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++

(06.09.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 20 ත්, 30 ත් අතර පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ ව වූ උපදේශක කමිටුවේ ස්වාධීන නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ දී තීරණයක් ගනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බස්නාහිර පළාතේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරු 20 ත් 30 ත් අතර පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම අද (06) ආරම්භ වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (04) සිදු වූ බවට ඊයේ (05) තහවුරු කරන ලද මරණ 189 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10,140 ක් ලෙස දැක්වෙනවා.

කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ මහියංගනය ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිත බව හිරු වාර්තාකරු සඳහන් කළා.

එසේම, ඊයේ (05) දිනයේ දී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3,308 ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 4,62,767 දක්වා ඉහළ ගියා.

මේ අතර, වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට අයත් හම්බන්තොට ප්‍රදේශයේ පිරිසට ෆයිසර් එන්නත ලබාදීමට ගත් තීරණය අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිතුක් කරමින් ප්‍රකාශ කළා.

හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යෝජනා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ ලිපියට ප්‍රතිචාර ලෙස නිවේදනයක් නිකුත් කරමිනු යි එම සංගමය මේ බව ප්‍රකාශ කර තිබුණේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ, බෝවන රෝග පිළිබඳ වූ උපදේශක කමිටුවේ ස්වාධීන නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව යි.

මේ අතර අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට වගකිව නො හැකි යැයි පවසමින් ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරයෙකු කොරෝනා මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වී ඇතැ යි වාර්තා වුණා.

කොරෝනා ආසාදනය වූවන් සඳහා ‍ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටින මෙම වෛද්‍යවරයා පවසා ඇත්තේ කොරෝනා පාලනය සඳහා ගනු ලබන ඇතැම් තීරණ සාධනීය ඒවා නො වන බව යි.

මේ වනවිටත් අදාළ විශේෂඥ වෛද්‍යවරයා සිය තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 29 ත් අතර වයස්වල පසුවන අයට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (06) ආරම්භ වුණා.

ඒ අනුව සයිනොෆාම් එන්නත, එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදී ම ලබාදෙනු ඇති.

මෙම වැඩසටහන යටතේ එන්නත් ලබාදීම සිදු කරන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණ යි.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවලට අමතර ව විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී මෙම පිරිස සඳහා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එසේම කොළඹ නගර සීමාවේ වාසය කරන අදාළ වයස් කාණ්ඩවල තරුණ තරුණියන්ට එන්නත් ලබාගැනීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා.

ඊයේ (05) දිනයේ දී පුද්ගලයින් 58,994 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 25,838 දෙනෙකුට සහ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 3,136 දෙනෙකුට ලබා දී ඇති බව යි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

එසේම, ඊයේ (05) දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 20,284 දෙනෙකුට ලබා දී තිබෙනවා.

එසේම, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක (1,00,000) තොගයක් අද (06) අලුයම දිවයිනට රැගෙන ආවා.

මේ අතර පුත්තලම මූලික රෝහලේ කොරෝනා පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, නොරොච්චෝලේ තාප බලාගාරයේ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයන් දෙදෙනෙකු (2) එලෙස අත්අඩංගුවට ගත් බව යි.

ඔවුන් ඊයේ (05) කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී සිය ජංගම දුරකතනයෙන් රෝගියෙකුගේ වීඩියෝවක් පටිගත කිරීමට උත්සහ කර ඇති අතර, එහි දී රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින් ඊට බාධා කිරීමත් සමග දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ඉන් රෝහලේ ආරක්ෂක රාජකාරීවල නිරත වෙමින් සිටි නිලධාරීන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර ඇති බව යි පොලිසිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *