ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

*********************************************

ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

(05.09.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක ‘ඌරුවරිගේ වන්නිලඇත්තන්’ගේ බිරිඳ වන ‘ඌරුවරිගේ හීන් මැණිකා’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොරෝනා වයිරසය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඇය 64 වන වියේ පසු වුනා.

ඇය එක් (1) දියණියක් හා පුතුන් අටදෙනෙකු (8) දැයට බිහිකල මාතාවක්.

පසුගියදා ආදිවාසී ගම්මානයේ සිදු කරනු ලැබූ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරික්ෂාවකදී ආදිවාසී ගම්මානයේ කොරෝනා ආසාදිතයන් 44 ක් සෞඛ්‍ය අංශ විසින් හදුනාගනු ලැබු අතර ඒ අතරට ආදිවාසී නායකගේ බිරිඳ ‘හීන් මැණිකා’ සහ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද ඇතුලත් වුනා.

දිර්ඝ කලක සිට වකුගඩු අක්‍රිය වීමෙන් පීඩා විදි ඇයට ශ්‍යල්‍යකර්මයක් මගින් වකුගඩුවක් බද්ධ කිරිමෙන් අනතුරුව සුවපත්ව වසර ගණනාවක් යහපත් සෞඛ්‍ය තත්වයෙනුයි පසුවුනේ.

පසුගියදා කොවිඩ් ආසාදිත බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගැනීමෙන් අනතුරුව, අගෝස්තු 25 දින මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය දෙවනදා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා තිබුණා.

සත්වයන් හට මහත් කරුණාවක් දැක් වූ හීන් මැණිකා සතුන් වෙනුවෙන්තම මුළුතැන් ගෙයි වෙනම ආහාර පිළියෙල කිරීමට ද කටයුතු කළා.

එමෙන්ම විවිධ වු පිඩාවන්ට ලක්වු සතුන් නිවසට රැගෙන විත් ඇති දැඩි කිරිමේ ආශාවක් හා පුරුද්දක් දැක් වූ කාන්තාවක් වන ආදිවාසී නායක බිරිඳ චාම් ගති ගුණයෙන් පිරි, ආගම දහමට ඉතා ලැදි කාන්තාවක්.

ඇයගේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති අතර, එය බොහෝවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කෙරෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

(05.09.2021 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය ආදිවාසී නායකයාගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව හෙට (06) මහියංගනය පොදු සුසානභූමියේ ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

පේරාදෙණිය රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (04) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

පසුව අද (05) දින ආදීවාසී නායකයා පේරාදෙනිය රෝහලට ගොස් දේහය හඳුනා ගැනීමට ද කටයුතු කර තිබුණා.

පිරිමි දරුවන් 5 දෙනෙකුගේ සහ ගැහැණු දරුවන් 3 දෙනෙකුගේ මෑණියන් වූ ඌරුවරිගේ හීන්මැණිකා මිය යන විට 68 වන වියේ පසුවුණා.

++++++++++++++++++

(05.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආශ්‍රිතයෙකු වුවත් නැතත් කුඩා දරුවන්ට උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්ය බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක මහ පරිමාණයෙන් මත්පැන් සාදයක් පැවැත්වූ ස්ථානයක් වැටලීමට කුරුණෑගල පොලිසිය ඊයේ (04) රාත්‍රියේ සමත්වී තිබෙනවා.

කුරුණෑගල – වැහැර ප්‍රදේශයේ අවන්හලක අදාළ මත්පැන් සාදය පවත්වා ඇති අතර, පොලිසිය එහි පැමිණෙන අවස්ථාවේදී එම ස්ථානයේ විස්සකට (20) ආසන්න පිරිසක් සිට ඇති බවටයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් එහිදි ඔවුන් පලාගොස් ඇති අතර, පුද්ගලයින් පස්දෙනෙකු (5) පමණක් පොලිසිය අත්අඩංගුවට ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා තැබීම නිසා සුළු මැණික් ව්‍යාපාරිකයින් මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවට පත්ව ඇති බවට වාර්තාවනවා.

විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින් මෙලෙස ආර්ථික අපහසුතාවට පත්ව ඇති අතර, ඔවුන් ඒ සඳහා රජයෙන් කිසියම් සහනයක්ද අපේක්ෂා කරනවා.

ඒ අනුව සුළු මැණික් ව්‍යාපාරිකයින් සඳහා රුපියල් 25,000 ක පොලී රහිත ණයක් ලබාදීමට සුදුසු බවට තමන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වෙත දැනුම්දුන් බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

+++++++++++++++++

(05.09.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,80,062 කට ඊයේ (04) කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 25,147 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1,17,038 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 2774 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 651 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 171 දෙනෙකුට ලබාදී ඇති අතර, ඊයේ (04) එහි දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 6628 ක්.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 21,671 කට සහ දෙවන (2) මාත්‍රාව 1476 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ පුද්ගලයින් 4506 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

+++++++++++++++

(05.09.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 20 ඉක්ම වූ පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙනවා ෴

++++++++++++++++

(05.09.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

එන්නත් දෙකම (2) ලබාගත් සහ දින 14 ක නිරෝධායනය අවසන් කළ විදේශීය සංචාරකයින් සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට හැකිවන පරිදි, නීති ලිහිල් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය සතියේ ඊට අදාළ චක්‍රලේඛය පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව එන්නත් දෙකම (2) ලබාගත් සහ නිරෝධායනය අවසන් කළ සංචාරකයෙකුට නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් සංචාරක බුබුළ මඟහැර සංචාරය කිරීමේ හැකියාව පවතින අතර නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී ද එලෙස ගමන් කිරීමේ හැකියාව පවතින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, පසුගිය මාසය තුළ සංචාරකයින් 5040 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

එලෙස වැඩි පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාව, ජර්මනිය, එංගලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(05.09.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

මහව කඩවලේ වැව ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර මහව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ ෴

******************************************

(05.09.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

දැනට ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් වෙත සන්දේශයක් භාරදුන්නා.

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන්ට අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නාහිමිවරුන් බැහැදැකීමට අවස්ථාව හිමි නොවූ අතර, එහිදී ඔවුන්ගේ සන්දේශ විහාරස්ථානයේ ආරක්ෂක අංශ වෙත ඊයේ (04) ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම ගුරු විදුහල්පති වෘත්තිය සංගම් ගැටඹේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන් බැහැදැක තම ඉල්ලීම් ඇතුළත් සංදේශය භාරදුන්නා.

එහිදි උන්වහන්සේ සඳහන් කළේ ගුරුවරුන්ගේ මෙම ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් බැවින් බලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි ෴

******************************************

(05.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉතිහාසයේ පළමු වතාවට නිෂ්පාදනය කළ පළමු (1) සේලයින් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් ඒකකය වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) සේලයින් බෝතල් 40,000 ක් මෙලෙස සපයා ඇත්තේ ඖෂධ සැපයුම් ඒකකය ඇණවුම් කළ මිලියන 2.1 ක සේලයින් තොගයට අදාළවයි ෴

******************************************

(05.09.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 3100 කට අධික මත්කුඩු කිලෝග්‍රෑම් 336 ක් සමඟ දකුණු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශීය බහුදින ධීවර යාත්‍රාවේ සිටි විදේශිකයෙකුට කොරෝනා අසාදනය වී තිබෙනවා.

මෙහි සිටි පාකිස්ථාන ජාතිකයින් හතරදෙනෙකු (4) සහ බලුකිස්ථාන ජාතිකයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන් කොළඹට රැගෙන ඒමෙන් පසු සිදුකළ කොරෝනා පරීක්ෂාවේදියි ඉන් එක් අයෙකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ.

පොලීසිය, නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව කාලයක් තිස්සේ සිදුකරන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට කිලෝමීටර 1,370 ක් පමණ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ තිබී මෙම බහුදින යාත්‍රාව ඊයේ (04) අත්අඩංගුවට ගැනුනා.

පසුගිය 30 වනදා මාලදිවයිනට ආසන්න ගැඹුරු මුහුදේ දී ද මිලියන 2,321 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 290 ක් සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනුලැබුවේ මෙරට පුද්ගලයින් පස්දෙනෙකු (5) ද සමගයි.

ඊයේ (04) දකුණු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව මගින් මෙරට පුද්ගලයින් සිටි යාත්‍රාවට මත්කුඩු ලබාදී ඇති බවට පොලිසිය සැක කරන නමුත් ඊයේ (04) අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයින් ඇතුලු විදේශිකයින්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කර ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීමටයි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සූදානම් වන්නේ ෴

******************************************

(05.09.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සීමා කර තිබියදීත් යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ ඊයේ (04) පැවති අවමංගල්‍යය උත්සවයකට පුද්ගලයින් 600 ක් පමණ සහභාගි වී තිබෙනවා.

පසුව ඒ පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමග පොලීසිය පැමිණ අදාල පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ පිරිස මෙලෙස සහභාගි වී ඇත්තේ පසුගිය 02 වන දා අකුණු සැර වැදී මිය ගිය බස් රථ රියදුරෙකුගේ අවමංගල්‍ය උත්සවයකට බවයි පොලීසිය සදහන් කළේ.

මෙම රියදුරා සමග සේවය කළ සහෝදර සේවකයන් සහ ගම්වාසීන් එක්ව මෙම අවමංගල්‍ය පෙරහැර සංවිධාන කර තිබූ බව සඳහන්.

සංචරණ සීමා නොතකා පැවති මෙම අවමංගල්‍යයට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

(05.09.2021 – 10:29 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා සදහන් කළේ දැනට ඉවත් කර ඇති ගල් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කරන බවයි පරාක්‍රම සමුද්‍රය භාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

******************************************

(05.09.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරයේ පවතින රථ වාහන තදබදයට පිළියමක් ලෙස වැඩ ආරම්භ කළ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට, විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම මහනුවර නගරය ආසන්නයේ හඳුනා ගත් තවත් මාර්ග 18 ක් පුළුල් කර සංවර්ධනය කිරීමට ද මේ වන විටත් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ෴

From am.lk

******************************************

(05.09.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බේරුවල නගර සභා බල ප්‍රදේශයේ කැලි කසළ එකතු කරන ට්‍රැක්ටර් රථ සඳහා නගර සභාව විසින් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් කසළ එකතු කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් කසළ එකතු කරන ට්‍රැක්ටර් රථ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාල් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දින කිහිපයක සිට ට්‍රැක්ටර් රථ ධාවනය සඳහා ඉන්ධන නොලැබුණු බවටයි රියදුරන් චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බේරුවල නගර සභාවේ සභාපති අල්හජ් සහීර් මොහොමඩ් ගෙන් වීමසීමක් කළ අතර ඔහු කියා සිටියේ නගර සභාවේ ලේකම්වරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් මෙම ගැටළුව මතුව ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *