සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ්

සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ්

*********************************************

සිතුල්පව්වේ නිධන් සිද්ධියට ‘සොත්ති රණා’ ඇතුළු හත් (7) දෙනා රිමාන්ඩ්

(04.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියේ පිහිටි ‘පුංචි සිතුල්පව්ව චෛත්‍යය ගර්භය’ට හානි කර, එහි තිබූ නිධන් වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හත්දෙනා (7) ම මේ මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලි ගුණසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (02) සැකකරුවන් පස් දෙනෙකු (5) අත් අඩංගුවට ගත් අතර, දෙදෙනෙකු (2) ඊට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් අතර ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවෙකු වන ‘අලුත් පටබැදිගේ තුෂාර ජයලත්’ හෙවත් ‘සොත්ති රණා’ ද වනවා.

මෙහි ප්‍රධාන සැකකරු ලෙසට චෝදනා එල්ල වී ඇත්තේ මොහුට යි.

අත් අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිස්සමහාරාම අවට පදිංචිකරුවන්.

යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් පුංචි සිතුල්පව්ව චෛත්‍යය ගර්භයට හානි කර තිබුණේ ඉකුත් 31 වනදා රාත්‍රියේ යි.

මේ අතර විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (03) එම ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබුවා.

******************************************

(04.09.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම යෝධවැව – සඳගිරිගම ප්‍රදේශයට මායිම්ව උකුස්සන් සහ සුනඛයින් අසාමාන්‍ය ලෙස මියගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

මේ වනවිට සුනඛයින් විස්සත් විසි පහත් (20-25) අතර සංඛ්‍යාවක් මියගොස් ඇති බවට යි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක් වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සඳහන් කළේ.

******************************************

(04.09.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක ව කතාබහට ලක් වූ පහන්තුඩාව සිද්ධියට සම්බන්ධ යැයි සමාජ මාධ්‍යය තුළ හුවමාරු වූ යුවළගේ ඡායාරූපය, ව්‍යාජ එකක් බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

එම ඡායාරූපයේ සිටින යුවළ සමඟ ‘හිරු’ කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ එම සිද්ධියෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත් වූ බව යි.

නැවත කිසි කෙනෙකුට මෙවැනි අසාධාරණයක් සිදු නො කරන ලෙසට ද සමාජ මාධ්‍යය භාවිත කරන්නන්ගෙන් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

******************************************

(04.09.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල – කොටා පාර, රොඩ්නි පෙදෙසෙහි නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ වාහන 05 ක පැති කණ්ණාඩි සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් අද (04) අලුයම නිවාස සංකීර්ණය අසළ නවතා තිබූ වාහන 05 ක දෙපසෙහිම පැති කණ්ණාඩි ගලවාගෙන පළා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස පැති කණ්ණාඩි ගලවා ඇත්තේ ඉතා අධික මිල ගණන් වල වාහනවල බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(04.09.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලකට කඩා වැදී එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධයකින් පහර දීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

‘මොහොමඩ් සම්සුදීන් ආදිල්’ ලෙස හඳුන්වන මොහුගේ මුල් පදිංචිය කාත්තන්කුඩි කබරඩි ප්‍රදේශයයි.

1989 වසරේ ඉපිද ඇති මොහුගේ පියා විදුහල්පතිවරයෙකු බවට යි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ආදිල්ගේ පියා අවසන් වරට 2008 වසරේ විදුහල්පති සේවයෙන් විශ්‍රාම යන විට මාළිඟාවත්ත ප්‍රදේශයේ පාසලක සේවය කර තිබෙනවා.

හතර දෙනෙකු (4) ගෙන් යුත් පවුලේ බාලය වන මොහුට සහෝදරයන් දෙදෙනෙකු (2) සහ සහෝදරියක් (1) වෙනවා.

සහෝදරයන් දෙදෙනා (2) කටාර් සහ සෞදි ආරාබියේ පදිංචිව සිටින බව යි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම සහෝදරිය කැනඩාවේ ජීවත් වෙනවා.

කාත්තන්කුඩි ප්‍රදේශයේ මුල් පදිංචියෙන් පසු මොහු මොරටුව ප්‍රදේශයට පැමිණ ඇති අතර, පසුව කොලොන්නාව ප්‍රදේශයේ නිවසක් මිල දී ගෙන තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම නිවස කුලී පදනම මත ලබා දී මව යළි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බව යි පොලිසිය සඳහන් කළේ.

බම්බලපිටිය ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති මොහු නවසිලන්තයට සංක්‍රමණය වී ඇත්තේ 2011 වසරේදී යි.

එහි දී මොහු සමඟ නවාතැන්ගෙන සිටි සිරියානු ජාතිකයෙකු මාර්ගයෙන් මොහු අන්තවාදී මත දරන්නෙකු බවට පත් ව ඇති බවට විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි නිව් ලින් ප්‍රදේශයේ පිහිටි ලින් මෝල් නැමති සුපිරි වෙළඳ සංකීර්ණයට ඊයේ (03) ඇතුළු වූ මෙම ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් 6 දෙනෙකුට තුවාල සිදුකර තිබුණා.

පසු ව සිද්ධිය පාලනය කිරීමට එරට පොලීසිය කටයුතු කර ඇති අතර, එහි දී සිදු කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පුද්ගලයා අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු පවතින බව යි නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් කියා සිටියේ.

මොහු සම්බන්ධයෙන් 2016 වසරේ සිට එරට ආරක්ෂක අංශ අවධානයෙන් පසු වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් අනතුරු ව අදාළ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ලක් රජය නවසීලන්තයෙන් ඉල්ලීමක් කර තිබුණා ෴

******************************************

(04.09.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා ඝාතනය සඳහා පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක් මාතර – බණ්ඩත්තර – නාදුගල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබිය දී සොයාගෙන තිබෙනවා.

එම වෑන් රථයේ අංක තහඩු නොමැති බවට යි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සන්ෂයින් සුද්දා ජීවිතක්ෂයට පත්වු ණේ මාතර – වරකපිටිය ප්‍රදේශයේ ඊයේ (03) දහවල් සිදු වූ වෙඩි තැබීමකින්.

මේ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් සන්ෂයින් සුද්දාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවට අනාවරණ වී තිබෙනවා ෴

******************************************

(04.09.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඒ පිළිබඳ ව අප කළ සොයාබැලීමක දී අනාවරණ වූයේ, වෙළඳපොළේ තිරිඟු පිටි හිඟයක් ද මේ වනවිට පවතින බව යි.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සැඟවීම සහ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීමේ අරමුණින් හදිසි නීති රෙගුලාසි පැනවීමත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සොයා තවදුරටත් වැටලීම් සිදුකරනවා.

මේ වනවිට වැටලීම්වලින් සීනි මෙට්‍රික් ටොන් 32,597 ක් සහ වී මෙට්‍රික් ටොන් 643.5 ක් සොයාගෙන ඇති බව යි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

මේ අතර වවුනියාව – කෝවිල්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී නියමිත මිලට වඩා වැඩි මිලකට සහල් සහ පාන් පිටි අලෙවි කළ වෙළඳසැලක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එහි දී අනාවරණ වූයේ ඇසුරුමේ සඳහන් කර ඇති මිල වෙනුවට වෙනත් මිලක් යොදා ඒවා අලෙවි කර ඇති බවටයි.

******************************************

(04.09.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ආනයනික ලොකු ලූනු සදහා නැවත බදු පනවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වනු නෙලන කාලය ආරම්භ වී ඇති බැවින් මෙලෙස බදු පැනවීමක් සිදුකරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

ලොකුලූනු කිලෝවක් සදහා පනවා ඇති ශත 25 ක් වන ආනයන බදු හේතුවෙන් ලූනු කිලෝවක මිල පවතින්නේ රුපියල් 60 ත්, 80 ත් අතරයි.

ඒ හේතුවෙන් මෙරට ලොකුලූනු ගොවීන්ගේ නිෂ්පාදන අඩු මුදලට අලෙවි වීම වළක්වා ගැනීම සදහා ආනයනික බද්ද ඉහළ දමන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගෙන් ඉල්ලා ඇත්තේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(04.09.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමේ දී මාස දෙකක් (2) සඳහා රුපියල් පන්දහස (5000) බැගින් දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ, ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගැන්වීමේ දී වැයවන වියදම් පියවීමේ අරමුණින් බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් දරුවන් සඳහා එන්නත්කරණය සිදුකිරීම තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව යි ෴

+++++++++++++++++

(04.09.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන නොවැම්බර් 4 වන දා සිට රුසියානු ‘එරොෆ්ලොට්’ ගුවන් සමාගම, ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සහ මෙරට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර ඊයේ (03) රුසියාවේ දී පැවති සාකච්ඡාවකදි යි මෙම තීරණය ගෙන ඇත්තේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව මෙම සාකච්ඡා පැවැත් වුණා.

රුසියානු එයාෆ්ලොට් ගුවන් සමාගම පෙරේදා (02) සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණ ද පවතින තත්ත්වයත් සමඟ එය දින නියමයක් නොමැති ව මීට පෙර කල් දමා තිබුණා ෴

+++++++++++++++++

(04.09.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ජනගහනයට සාපේක්ෂ ව ලොව වැඩි ම එන්නත් සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා.

‘අවර් වර්ල්ඩ්’ ආයතනය විසින් අදාළ දත්ත, වාර්තා කර ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය දැක්වෙන්නේ සියයට 13 ක් ලෙසට යි.

එහි දෙවන (2) ස්ථානය ඉක්වදෝරයට හිමි ව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.5 ක්.

පිළිවෙළින් 3, 4, 5 යන ස්ථානවල පසුවන්නේ බෲනායි, නවසීලන්තය සහ කියුබාව යි.

‘අවර් වර්ල්ඩ්’ ආයතනයේ ප්‍රධානියා මේ පිළිබද ව දීර්ඝ සටහනක් තබමින් දක්වා ඇති අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ද එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරන බව දක්වා තිබුණා ෴

++++++++++++++++++

(04.09.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම – ගල්බොක්ක එන්නත් මධ්‍යස්ථානයේ පසුගිය 01 වන දා පැවති එන්නත්කරණ වැඩසටහනේ දී පැමිණි පිරිස් විසුරුවා හැරීමට කටයුතු කිරීමේ දී අදාළ පිරිසට හිරිහැර කළ බවට චෝදනා එල්ල වූ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් මතු වූයේ පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් එන්නත් නො තිබීම හේතුවෙන්.

පොලිසිය මැදිහත් වී එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ අවස්ථාවේ දී ජනතාවට හිරිහැර සිදු කළ බවට වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ල වූණා.

ඒ අනුව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත් ව ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත කර ඇති බව යි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ ෴

+++++++++++++++++

(04.09.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් පමණට වඩා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

මේ අතර, පසුගිය දින කිහිපයේ සිට වයස අවුරුදු 30 ට අඩු මරණවල සැළකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ගෙවුණු දින හතරේ (4) පමණක් මෙරටින් වාර්තා වූ වයස අවුරුදු 30 ට අඩු මරණ සංඛ්‍යාව 15 ක්.

ඊයේ (03) වාර්තා වූ මරණ 202 න් වයස අවුරුදු 30 ට අඩු මරණ පහක් (5) ද වාර්තා වුණා.

එමෙන්ම, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් හැකිතාක් විවේකීව කටයුතු කළ යුතු බව යි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් අනිද්දා (06) සිට නිවසට ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව යි ඔහු කියා සිටියේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ආර්ථික මධ්‍යස්ථාන හෙට (05) සහ අනිද්දා (06) දිනවල ද විවෘත ව පවතිනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *