නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි

*********************************************

නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා දීර්ඝ කරයි

(03.09.2021 – 12:26 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වනදා අලුයම 04:00 දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

අද (03) පෙරවරුවේ පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකා රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴

+++++++++++++++++

(03.09.2021 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 2,44,463 කට ඊයේ (02) කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 24,658 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 2,07,787 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 3055 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 296 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 237 දෙනෙකුට ලබා දී ඇති අතර, ඊයේ (02) එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 270 ක්.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 7573 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 587 කට ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++++

(03.09.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ පමණක් දැනට ක්‍රියාත්මක නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

රජය විසින් ආරම්භ කළ නිවෙස්ගත ව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය යටතේ දැනට 14,000 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා ද සඳහන් කළේ නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය ඉතා සාර්ථක වී ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව කොරෝනා අධිඅවදානම් කලාපයෙන් ඉවත් වීමට නම්, දෛනික ව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 950 දක්වා අඩු කරගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර යුද හමුදාවේ නව සොයාගැනීම් රැසකට නායකත්වය ලබාදුන් බ්‍රිගේඩියර් ඩී. උදයසේන මහතා කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. කොරෝනා වෛරසයට අමතර ව ඔහුට ඩෙංගු උණ ද වැළඳී තිබූ බවට යි වාර්තා වෙන්නේ.

ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය තුළ දී ගෙවුණු පැය විසි හතර (24) තුළ පමණක් පුද්ගලයින් 258 කට සිදු කළ කොරෝනා පරීක්ෂණවල දී ඉන් 23 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියනයක් (10,00,000) පමණ වටිනා ඔක්සිජන් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා. ශික්ෂණ රෝහලට දැඩි අඩුපාඩුවක් ව පැවති මෙම ඔක්සිජන් යන්ත්‍රය 19 වන වාට්ටුව භාර වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි යි දානපතියෙකු විසින් ලබා දී ඇත්තේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පිහි ඇනුමක් සිදුකළ ශ්‍රී ලාංකිකයෙක් පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුට

(03.09.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්නයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සිදු වූ පිහි ඇනීමක් හේතුවෙන් එම වෙළඳ සංකීර්යේ සිටි 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාල ප්‍රහාරය සිදුකළ පුද්ගලයා නවසිලන්ත සන්නද්ධ පොලිස් කණ්ඩායමක වෙඩි ප්‍රහාර හමුවේ මිය ගිය අතර නවසිලන්ත අගමැතිනී ජෙසින්ඩා අර්ඩන් මහත්මිය කියා සිටියේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු බවයි.

BBC ලෝක පුවත් සේවය වාර්තා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස නවසීලන්ත අගමැතිනිය සඳහන් කළ බවයි.

අදාල අපරාධකරු මෙතෙක් හඳුනාගෙන නොමැති (?) අතර ඔහු IS සංවිධානයේ ආධාරකරුවෙකු ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෴

+ [ Sri Lankan ‘extremist’ inspired by IS killed by cops, says New Zealand’s Ardern ]

+ [ ISIS supporter shot dead by New Zealand police after shoppers stabbed in ‘terrorist attack’ ]

++++++

ඕක්ලන්ඩ් ප්‍රහාරය අයි.එස්. වැඩක්

(03.09.2021 – 13:14 +0530 – lankadeepa.lk)

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිදුවුණු පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රහාරය එල්ල කළේ ‘අයි.එස්.අයි.එස්’ ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී අදහස් ඇති මුස්ලිම් තරුණයකු බවත් ඔහු නවසීලන්තයේ පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයකු බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය‍.

ප්‍රහාරකයා 32 හැවිරිදි තරුණයකු බව පැවැසුවත් අග්‍රාමාත්‍යවරිය ප්‍රහාරකයාගේ අනන්‍යතාව මාධ්‍ය වෙත අනාවරණය කළේ නැත.

අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළ ආකාරයට නවසීලන්ත ආරක්ෂක අංශ 2016 වසරේ සිට එම තරුණයා ගැන විමසිල්ලෙන් පසුවිය. තරුණයා නවසීලන්තයේ පදිංචියට පැමිණ ඇත්තේ 2011 වසරේදී යැයි පැවැසෙයි.

ආරක්ෂක අංශ තරුණයා ගැන විමසිල්ලෙන් පසුවී ඇත්තේ ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ වීඩියෝ නැරැඹීම, ඒවා මිතුරන් අතරේ බෙදා හැරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ අයි.එස්.අයි.එස්. මතවාද ප්‍රසිද්ධියට පත් කිරීම නිසාය.

ඒ අනුව, 2016 වසරේ සිට පැය 24 පුරා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තරුණයා ගැන විමසිල්ලෙන් පසුවිය.

ආරක්ෂක අංශ තරුණයා ගැන මීට පෙර තමන් දැනුවත් කර තිබුණු බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැවැසුවාය. මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

නවසීලන්ත ආරක්ෂක අංශ එරට බිහිසුණුම අන්තවාදියකු ලෙස හඳුනා ගෙන, විමසිල්ලෙන් පසුවුණු තැනැත්තකු ලෙස මෙම තරුණයා හඳුන්වා දිය හැකි යැයි පොලිස්පති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

පිහි ප්‍රහාරය එල්ල වූයේ බටහිර ඕක්ලන්ඩ් නුවර ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයේ සිටි පිරිස් වෙතටය. ප්‍රහාරයෙන් 6 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍

පැය 24 පුරා විමසිල්ලෙන් සිටි බැවින්, තරුණයා ‘ලින්මොල්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයට යද්දී, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු පසු පසුපස ඔහුට හොරෙන් ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තරුණයා ප්‍රහාරය එල්ල කර ඇත්තේ වෙ‍ළෙඳ සංකීර්ණයේ තිබුණු පිහියකිනි. තරුණයා පහරදීම ආරම්භ කර තත්ත්පර 60 ක් ඇතුළත පොලිස් කණ්ඩායම ඔහු වට කර, ඔහුට යටත් වෙන්නැයි අණ දී තිබේ. තරුණයා යටත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පොලිසිය ඔහුට වෙඩි තැබූ බව පැවැසෙයි.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, ප්‍රහාරකයා හිටිහැටියේ ප්‍රචණ්ඩකාරී වෙමින් දකින දකින සැමට පිහියෙන් අනින්න වූ බවය. තරුණයා ප්‍රහාරය එල්ලකර ඇත්තේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ විකිණීමට තබා ඇති පිහියක් යොදාගෙන යැයි ද පැවැසෙයි.

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණත් ‘ලින්මොල්’ සුපිරි වෙළඳ සංකීර්ණයේ බොහෝ දෙනකු සිටි බව පැවැසෙයි. ඒ, වෙළෙඳ සංකීර්ණයේ ඔසුහල හරහා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවුණු බැවිනි.

(ඩේලිමේල්)

++++++++

නවසීලන්තයේ ත්‍රස්තවාදී මර්ධන ඒකක ගනනාවක් ඔහු පිළිබඳ ඇස ගසාගෙන සිට තිබෙනවා.

කෙසේ වෙතත් අද සිද්ධිය වන තුරුම ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ප්‍රශ්න කිරීමට හේතු වන කිසිදු වරදක් සිදු කර නැහැ.

මෙම ප්‍රහාරකයා ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමේ උද්දීපනය ලද්දෙකු බව දන සිටියද 6 දෙනෙකු තුවාල ලැබීමට පෙර ඔහු අත්තඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඉහත කාරනා නිසා බව නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරකයා තනිවම කටයුතු කළ පුද්ගලයකු බැවින් මෙම සිද්ධියෙන් පසු සමාජයට තවදුරටත් තර්ජන සිදු නොවන බවට බලධාරීන් විශ්වාස කරන බවත් නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ප්‍රහාරය සිදුවූ සුපිරි වෙළඳ සැල නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බවත් සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් කියාසිටියේ.

මීට පෙර 2019 වසරේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක් අසල සුදු ජාතික ප්‍රහාරකයෙකු විසින් වෙඩි තබා මුස්ලිම් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළා.

එය නවසීලන්තයේ සිදුවූ බරපතලම ත්‍රස්ත ක්‍රියාව ලෙස සැලකෙන අතර පසුව අදාළ ප්‍රහාරකයා එරට අධිකරණය මගින් ජීවිතාන්ත්‍ය දක්වා බන්ධනාගාර ගත කෙරුනා. (hirunews.lk/sinhala)

++++++++

විශේෂ පොලිස් කණ්ඩායම ඔහු පසු පසුපස ඔහුට හොරෙන් නොගියානම් …. ?

++++++++

මොන ආගමේ මොන සුද්ද පොත කියවලද ඌට පිස්සු හැදුනෙ ?

[ https://www.youtube.com/watch?v=JoPdu5EeGbg ]

******************************************

(03.09.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ජාතිකයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබුණේ, අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදි යි.

ඉන්දියාවේ චෙන්නායි සිට ඔවුන් මෙරටට පැමිණ ඇති අතර සැකකරුවන් දෙදෙනා (2) රැගෙන ආ පෞද්ගලික අත්බෑග තුළ මෙම ඖෂධ තොගය සූක්ෂම ලෙස සඟවා තිබිය දී හසු වී තිබෙනවා ෴

******************************************

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘සන්ෂයින් සුද්දා’ මරුට

(03.09.2021 – 13:53 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘හෙට්ටිහේවාගේ අමිල ප්‍රසන්න’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, මාතර – කොටවිල පොලිස් බලප්‍රදේශයේ වරකාපිටිය පාසල අසලදී ඔහුට වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අද (03) දහවල් 11:55 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර පාසල ආසන්නයේ පිහිටි කැළෑබද ප්‍රදේශයක සිට කිසියම් පුද්ගලයෙකු මොහුට වෙඩිතබා ඇති බව ද පොලිසිය පැවසීය.

ඔහු 31 හැවිරිදි ‘අමිල ප්‍රසන්න’ මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දකුණු පළාතේ සිදුවූ මත්ද්‍රව්‍ය, ජාවාරම් රැසකට මොහු සම්බන්ධ බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරුට එරෙහිව මේ වන විටත් ඩුබායි හි අධිකරණයක මෙන්ම මාතර කොටවිල අධිකරණයේදී නඩු විභාගවෙමින් තිබෙන බව වාර්තා විය.

කෙසේවෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත අදාළ ඝාතනය සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කොටවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සන්ෂයින් සුද්දා මරුට (ඡායාරූප සහිතයි)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *