ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක්

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක්

*********************************************

ගුරු – ගුරු උපදේශක සහ විදුහල්පති සේවා සංවෘත කර නොවැම්බර් 20 ට පෙර ගැසට් නිවේදනයක්

(31.08.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ගුරු-ගුරු උපදේශක සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා වශයෙන් ලබන නොවැම්බර් විස්සට (20) පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඊට අමතර ව සැප්තැම්බර් සහ ඔක්තොම්බර් යන මාසයන් සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බවයි විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබඳ ව සොයාබැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සෙසු යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරීන් සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස හයක් (6) තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව සඳහන්.

(31.08.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ගුරු, ගුරු උපදේශක සහ විදුහල්පති සේවය සංවෘත සේවා වශයෙන් මේ වසරේ නොවැම්බර් මස 20 වනදාට පෙර ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

එමෙන්ම සැප්තැම්බර් සහ ඔක්තොම්බර් යන මාසයන් සඳහා ගුරු – විදුහල්පතිවරුන්ට රුපියල් 5000 බැගින් විශේෂ දීමනාවක් ලබා දීමට ද තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (31) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

කෙසේ වෙතත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ප්‍රකාශ කළේ මෙම දීමනාව ප්‍රමාණවත් නො වන බවයි.

දැනට දින 50 ක කාලයක් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන ගැටලුව සොයා බැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පසුගියදා පත් කෙරුණා.

එම අනු කමිටුව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති 33 ක නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ඔවුන්ගේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ඒවා සැලකිල්ලට ගනිමින් ඊයේ (30) නිර්දේශ කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මෙම විසඳුම පිළිගත නො හැකි බවයි.

******************************************

(31.08.2021 – 11:03 +0530 – hirunews.lk/sinhala)

2030 වනවිට මෙරට විදුලි අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් මඟින් සපුරා ගැනීමට ඉලක්ක වී තිබෙනවා.

ඒ සඳහා සූර්‍ය බලය හා සුළං බලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවට කැබිනට් මණ්ඩලය අදහස් පළ කරනවා.

බලාපොරොත්තු වන ඉලක්කයට ළඟා වීම සඳහා දැනට මෙගාවොට් 458 ක් වන ස්ථාපිත සූර්‍ය විදුලි ධාරිතාව තවත් මෙගාවොට් 4800 කින් හා මෙගාවොට් 248 ක් වන ස්ථාපිත සුළං බලාගාර ධාරිතාව මෙගාවොට් 3500 කින් ද වැඩි කළ යුතුයි.

මෙලෙස ලබාගන්නා විදුලි බලය, ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට ලබාගත හැකි පරිදි ජාතික විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමට ද යෝජනා වූ බව සඳහන්.

හඳුනාගනු ලබන මෙගාවොට් 50 ට වැඩි ව්‍යාපෘති සඳහා මූලිකත්වය දෙමින් එම ව්‍යාපෘති මූල්‍යනය කිරීම සඳහා කැමති දේශීය විදේශීය ආයෝජකයින්ට ඒ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අභිප්‍රාය පළ කළ හැකියි.

ඒ සඳහා යෝජනා කැඳවීමට විදුලි බල අමාත්‍යවරයා ගෙනා ආ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව ද වාර්තා වෙනවා ෴

******************************************

(31.08.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීන සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1,080 ක මුදලක් පිරිනමා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදල් බවට හුවමාරු කරගත හැකි එස්.ඩී.ආර්. හෙවත් විශේෂ ආදාන හිමිකම්, ඇමරිකානු මිලියන 780 ක මුදලක් මෙලෙස ලබාදී ඇති අතර, චීන සංවර්ධන බැංකුව ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300 ක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ආදාන හිමිකම් ප්‍රමාණය මේ වනවිට මෙරටට ලැබී ඇති අතර, චීන සංවර්ධන බැංකුව පිරිනමන ණය මුදල අද (31) මෙරටට ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ අදාළ විනිමය ලැබීම හරහා මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව හා ස්ථාවරභාවය ඉහළ යනු ඇති බවයි.

ඒ අනුව තමන් සතුව තිබෙන විදේශ විනිමය භාවිත කරන ලෙස රුපියල තවදුරටත් අවප්‍රමාණ වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින ආනයන සහ අපනයනකරුවන්ගෙන් ඔහු එමඟින් ඉල්ලීමක්ද සිදුකර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 204 යි ශත 89ක් ලෙසයි ෴

******************************************

(31.08.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ මීට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදි යි.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මෙම වසරේ මාර්තු 09 වනදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී රටේ නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අදාළ ව ඔහු පසුගිය මාර්තු මස 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

පසු ව රැඳවුම් නියෝග යටතේ ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු අතර, පසුගිය 18 වනදා යි සැකකරු මුල්වරට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ෴

******************************************

(31.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් සෑම ගොවියෙකුට ම පත්‍රිකාවක් ලබා දීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කිරීම මේ වනවිට අවසන් අදියරයේ පවතින බවයි.

******************************************

(31.08.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා (4) ලබන මස හත් (07) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 03 වනදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ යි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත ඒ අතර වෙනවා.

එසේම කෝසලා හංසමාලි හැර අනෙක් තුන් (3) දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට ද පසුගියදා හඳුනා ගැනුණා.

ඔවුන් මේ වනවිට පසුවන්නේ බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක යි ෴

******************************************

(31.08.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පින්නවල අලි අනාථාගාරයේදී නිවුන් අලි උපතක් සිදුව තිබෙනවා.

සුරංගි නම් කෙණර විසිනුයි අද (31) අලුයම මෙම නිවුන් අලි පැටවුන් බිහිකර ඇත්තේ.

මෙම සත්ත්වයින් දෙදෙනාම (2) පිරිමි පැටවුන් බව හිරු වාර්තාකරු සදහන් කළා.

+++++++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(31.08.2021 – 12:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ’ මේ වනවිට ඉඩ කඩ නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කුඩා දරුවන් 200 ක් පමණ මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ යම් මොහොතක සංචරණ සීමා ඉවත් කිරීමක් සිදුකළහොත් අවශ්‍ය කරන සීමාවන් තුළ කටයුතු කිරීම සඳහා විධිමත් සැලසුම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

කොරෝනා වැලදුණු දරුවන්ට ඇති විය හැකි ‘මල්ටි සිස්ටම් ඉන්ෆැමටරි සින්ඩ්‍රෝම්’ නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ගැබිණි මව්වරුන් ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (31) මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොරෝනා ආසාදනය වී සති 3 ක පමණ කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා පූර්ණ සුවය ලබා ඊයේ (30) සිය නිවස වෙත පැමිණ තිබෙනවා.

එමෙන්ම වව්නියාව – ඕළුමඩම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සයකට සහභාගි වූ පුද්ගලයින් 28 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

එමෙන්ම, මාවනැල්ල රෝහලෙන් පළා ආ කොරෝනා ආසාදිතයෙකු සිය නිවසට පැමිණීමෙන් පසු එහිදී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. කෙසේ වෙතත් හදිසි මරණ පරීක්ෂකවරයාගේ වාර්තාවේ සදහන් වී ඇත්තේ එය සාමාන්‍ය මරණයක් ලෙසයි.

ග්‍රාම නිලධාරීවරුන් 500 කට අධික සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බවත් ඉන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා.

ඒ පිළිබදව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද දැනුවත් කරමින් ලිපියක් යොමු කිරීමටයි එම සංගමය පියවර ගෙන ඇත්තේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමක් සිදුකළහොත් ඊට විධිමත් අයුරින් මුහුණදීම සදහා සියළු දෙනා ක්‍රියා කළ යුතු බවයි.

වැඩිහිටි දීමනාව හා මහජන ආධාර ලබාදීම ඇතුළු කටයුතු සඳහා හෙට (01) සහ අනිද්දා (02) දිවයිනේ සියළු තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමට පියවර ගෙන තිබෙනවා ෴

+++++++++++++++++

(31.08.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) තොග වෙළඳාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එසේම, වෙළඳ ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ සහායකයින් සඳහා මෙන්ම ප්‍රවාහන පහසුකම් සඳහා ද අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරගනිමින් අවසර පත්‍ර ලබාදීමට කටයුතු කළ යුතු බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය විසින් සියලු ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරවරුන්ට දැනුම් දී ඇත්තේ ෴

+++++++++++++++++++

(31.08.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

දොඩන්දූව – රෝහණ බාලිකා විද්‍යාලයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහනේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදුන් පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සිදු කළ දැනුම් දීමකට අනුව අද (31) දින ඔහු ගාල්ල පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පසුගිය 27 වන දා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් දොඩන්දූව රෝහණ බාලිකා විද්‍යාලයේ දී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම සිදුකළා.

කෙසේ වෙතත්, එහි දී හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාවට අමතර ව රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ජනතාව එම ස්ථානයට පැමිණීමත් සමඟ කිසියම් උණුසුම් තත්ත්වයක් හට ගත් අතර, ඊට අදාළව යි මෙම පුද්ගලයා සමාජ මාධ්‍යයට සිද්ධිය පිළිබදව විවේචනාත්මකව ප්‍රකාශයක් සිදුකර තිබුණේ.

(31.08.2021 – 18:43 +0530 – sinhala.adaderana.lk)

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් දොඩන්දූව ප්‍රදේශයේ පැවැත්වූ එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබානොදී එන්නත ලබාගත් බවට ජනතාවගේ කාඩ්පත්වල සලකුණු කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය විය.

එය අනාවරණය වූයේ එම ස්ථානයේ තරුණයෙක් එම සිදුවීම මාධ්‍යට හෙළිකිරීම හේතුවෙනි.

කෙසේවෙතත් අදාළ අනාවරණය සිදුකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (31) ගාල්ල පොලිස් ස්ථානයට කැඳවීමක් කර තිබූණි.

ඒ අනුව, ඔහු නීතිඥවරුන් පිරිසක්ද සමග එහි පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

“ජනතාව වෙනුවෙන් මම කතා කළේ. ඒ සම්බන්ධව මට ඊයේ (30) සවස ගාල්ල පොලීසියෙන් දුරකථන ඇමතුමක් ආවා. මගෙන් ඇහුවා ඔයා ඉන්නේ කොහෙද කියලා. එතකොට කිව්වා ඔයාට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා. ගාල්ල පොලීසියට එන්න. ඇවිත් සාක්ෂි දෙන්න කියලා. මට යම්කිසි බියක් තියෙනවා. මම ජනතාව වෙනුවෙන් කතාකළේ. ජනතාවගේ එන්නත වෙනුවෙන් කතාකළේ. මට බියක් තියෙනවා මාව අත්අඩංගුවට ගනී කියලා.”

මේ අතර, ජාතික අක්ෂි රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකින් හා උපස්ථායකවරුන් අද (31) පැය කිහිපයක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

ඒ එම රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙළේ අක්‍රමිකතා හෙළිකිරීම නිසා ඇතැම් සේවකයින්ට ස්ථානමාරු ලබාදීමට බලධාරීන් පියවරගෙන ඇතැයි චෝදනා කරමිනි ෴

+++++++++++++++++++

(31.08.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 2164 දෙනෙකු අද (31) දිනයේදීත් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,74,156 ක්.

තවදුරටත් පුද්ගලයින් 52,934 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා.

දැනට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,36,081 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 8991 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *