වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්

*********************************************

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට සී.අයි.ඩී.යෙන් කැඳවීමක්

(30.08.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා.

සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට වෛද්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව හෙට (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත දන්වා ඇත්තේ ෴

+++++++++

ජයරුවන් බන්ඩාර රහස් පොලිසියට කැඳවයි !

(31.08.2021 – 06:21 +0530 – lankaleadnews.com)

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පැවසීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.

වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතාගේ ප්‍රකාශයට ප්‍රති උත්තර බඳිමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කර සිටියේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

ඒ අනුව දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් වෙත ලබා දීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය රජය වැය කරණු ලබයි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා විසින් සංස්ථාවේ සභාපතිධුරයට පත් කරණු ලැබුවේය ෴

+++++++++

++++++++++

වෛද්‍ය ජයරුවන්ගේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

(31.08.2021 – 19:57 +0530 – sinhala.adaderana.lk)

මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (31) ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එහිදී සඳහන් කළේ එම ඖෂධය මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවය.

“තයිරොක්සින් ඖෂධය රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරලා එළිදැක්වූවට උත්සවයක් තියලා, අප තාම ඒක වෙළෙඳපොළට නිකුත් කරේ නෑ. සැප්තැම්බර් මාසයේ වෙළෙඳපොළට නිකුත් කරන්න තමයි අපි සැලසුම් කරලා තිබුණේ. හැබැයි මේ ප්‍රකාශය සිදුකරපු පුද්ගලයා මොකක්ද කිව්වේ. මේ තයිරොක්සින් ඖෂධය බීලා ඒ රෝගීන් කියනවාලු ඒකෙ ප්‍රතිඵලයක් නෑ කියලා. අමූලික බොරුවක්.”

මේ අතර යූ ටියුබ් සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරතිබූ කරුණුවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවා තිබුනත් අද (31) දින ඔහු නොපැමිණ තම නීතීඥයන් පමණක් ඉදිරිපත් කර තිබුණි.

+++++++++++++++++++

(30.08.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කරන ලද කොවිඩ් අසාදිත මරණ 216 ක් අද (30) දිනයේ වාර්තා වනවා.

අද (30) වාර්තා වූ මෙම මරණ 216 දැක්වෙන්නේ මේ දක්වා දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 8991 ක් දක්වා ඉහළ ගියා.

අද (30) දිනයේ වාර්තා කළ මෙම මරණ අතර පිරිමින් 115 ක් සහ කාන්තාවන් 101 ක් වනවා ෴

අද (30) දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 974 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (30) දිනයේදී මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 4,562 ක් දක්වා ඉහළ ගියා. වසංගත රෝග විද්‍යා ඒකකයට සදහන් කළේ මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,36,081 ක් බවයි ෴

++++++++++++++++++++

(30.08.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කාලයේ දී දෛනික ආදායම් අහිමිවූවන්ට රුපියල් 2000 දීමනාව ලබාදීමට වඩා වැදගත් වන්නේ ඔවුන්ට සිය ජීවනෝපාය සිදුකර ගැනීමට අවස්ථාව ලබාදීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ එම අමාත්‍යාංශයේ අද (30) පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++

අනාගතයේදී සිදුවන ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් ලෙස සලකා කටයුතු කිරීමෙන් කොවිඩ්-19 වෛරස උවදුරෙන් ගැලවිය හැකියි – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර

(30.08.2021 – 12:10 +0530 – lankaleadnews.com)

නිදහස සොයන ස්වදේශිකයෝ සභ්‍යයත්ව සංකථන අංක 13 වැඩසටහනට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර මහතා පවසා සිටියේ, රුසියානු ජනාධිපති වැලැදීමීර් පුටින්ට උපදෙස් දෙන ලියොනිච් රොෂාල් නැමැති වෛද්‍යය විශේෂඥයා පවසන්නේ, මෙය අනාගතයේදී සිදුවන ජෛව අවි ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරණ ලෙස පැවසූ බවයි.

ඒ අනුව මෙම කොවිඩ්-19 වෛරසයත් ජෛව අවි ප්‍රහාරයක් ලෙස සැලකීමට ඕනෑ තරම් කරුණු ඇති බවත් පවසන එතුමා, ලියොනිච් රොෂාල් වෛද්‍යය විශේෂඥයාගේ අනතුරු ඇඟවීමට අනුව කටයුතු කිරීම මගින් අපටද මෙම උවදුරෙන් ගැලවීමට අවස්ථාවක් පාදා ගත හැකි බව පවසයි.

අපේ රටේ කොවිඩ් පාලනයේ දී උපාය මාර්ගික වැරදි 10 ක් ඇති බව වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කරනු ලැබූවා.

+++++++++++++++++

(31.08.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස යොදා ගැනීමට එම එන්නත් මාත්‍රා 15,000 ක් දිවයිනට ගෙන්වා තිබෙනවා. කිලෝ ග්රැම් 178 ක් බරැති එම එන්නත් තොගය රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ප්‍රථමයෙන් ගෙනවිත් තිබුණා ෴

++++++++++++++++++

(31.08.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 498 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 42 ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 62,085 ක්.

මේ අතර ඊයේ (30) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13 ක දී පුද්ගලයින් 1792 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහි දී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 814 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(30.08.2021 – 21:56 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අවශ්‍ය හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වී, සහල්, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්කරන වෙළඳපොළ අක්‍රමිකතා වැළැක්වීම එහි අරමුණයි.

ඒ අනුව රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබාදීමට බලය ලත් නිලධාරීන් කටයුතු කිරීමටත් රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අය කර ගැනීමටත් හැකිවන පරිදි මෙය ක්‍රියාත්මකයි.

වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත්කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.

******************************************

(31.08.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනු කමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් පන්දහසක (5000) මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේදී ගනු ලබන තීරණය ලිඛිතව තමන් වෙත ලබාදෙන තුරු සිය වෘත්තිය ක්‍රියාමාර්ග නතර නොකරන බවයි.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය ආරම්භ කර අදට (31) දින 50 ක් ගතවනවා.

මොවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කෙරුණු අතර, එම අනු කමිටුව අවස්ථා කිහිපයකදී වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ යෝජනා ලබාගත්තා.

පසුව අනු කමිටුව සකස් කළ විසඳුම් යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ඊයේ (30) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී ගැනීමටයි නියමිත වූයේ.

ඒ අනුව රුපියල් පන්දහසේ (5000) දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද වාර්තාවුණා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ නිත්‍යානුකූලව අත්සන් කර ලිඛිතව තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදුනහොත් පමණක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවයි.

මේ අතර, ගුරුවරුන් 400 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවත්, ගුරුවරුන් 25 දෙනෙකු පමණ කොරෝනා හේතුවෙන් මිය ගිය බවටත් පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ෴

******************************************

(31.08.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය විසින් අද (30) දින සිදු කරන ලද වැටලීමකට අනුව, හෙරෝයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

බේරුවල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි බව මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සඳහන් කළා ෴

******************************************

ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා පිටවෙයි

(31.08.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානය තුළ සිටි අවසන් ඇමරිකානු සෙබළුන් ද එරටින් ඉවත් ව තිබෙනවා.

ඒ අනුව වසර විස්සක (20) කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ පැවති ඇමරිකානු හමුදා මෙහෙයුම් අවසන් වනු ඇති.

තලේබාන් සටන්කාමීන් එරට පාලන බලය අල්ලාගැනීමෙන් පසු ව එරට සිටි සරණාගතයින් එක්ලක්ෂ විසි දහසක් (1,20,000) පමණ පසුගිය සති කිහිපයේ විශේෂ ගුවන් යානා මගින් ඇමරිකාව ඉවත් කරනු ලැබුවා.

පසුගිය විසි වසර පුරා පැවති මෙහෙයුම්වල දී ඇමරිකානු සෙබළුන් 2,400 ක් මියගොස් තිබෙනවා ෴

******************************************

(31.08.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස මුද්‍රණය කල මුදල් නෝට්ටු 602 ක් සමග පුද්ගලයින් තිදෙනකු (3) විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ යි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

ඊයේ (30) දිනයේ සීදුව සහ වීරගුල පොලිස් වසමේ ඒකල, පන්සල පාර, සීදුව, ලියනගේ මුල්ල ප්‍රදේශයේ දී සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමෙන් ඒකල පන්සල පාර ශාන්ත ආනා ස්ටෝස් ඉදිරිපිට මාර්ගයේ දී සැකකරුවන් අත් අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.

යතුරු පැදියෙන් පැමිණි සැකකරුවන් දෙදෙනා (2), පොලිසිය විසින් පරික්‍ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී රු. 500 වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 60 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී රු. 500 වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 542 ක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදා ගන්නා ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ද තිබූ බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙත්ති කුමාර හත්තැල්ලගේ සුදර්ශන ෆොන්සේකා(21), පහමුන වත්තේගෙදර ශාන්ත ජයසුන්දර (45), වර්ණකුල ආරච්චිගේ සංජීව (43) යන අය යි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *