සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ

*********************************************

සීනි ගන්න මහජනයා පෝලිම්වල – සීනි කන්ටේනර් 86 ක් වරායෙන් මුදාහැරේ

(30.08.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිනයේ ඇතැම් සතොස වෙළදසැල් ඉදිරිපිට අඩු මිලට සීනි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා.

සීනි කිලෝවක මිල මේ වන විට රුපියල් 220 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සීනි ආනයනකරුවන් මීට දින කිහිපයකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, වෙළඳපළ තුල සීනි හිඟයක් මතුවීමේ අවදානමක්ද පවතින බවයි.

මෙවන් පසුබිමක සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක (2) පමණ කාලයක් පුරා වරායේ සිර වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ වරායේ සිර වී තිබූ සීනි කන්ටේනර් 86 ක් අද (30) දින මුදා හැරීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වයත් සමග සතොස සහ සමුපකාර අලෙවිසැල් වලට අද (30) සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 ක මිලකට ලබාදෙන බවයි උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළේ.

වෙළදපළේ සීනි මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අවස්ථාවක සගවා තිබූ තවත් සීනි මෙට්‍රික් ටොන් 4096 ක් සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය අද (30) සමත් වුණා.

ඒ, වත්තල – කෙරවලපිටිය අංක 240 යන ස්ථානයේ ගබඩාවක ඇසුරුම් කර තිබියදීයි.

මෙම ගබඩාව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර පවත්වාගෙන ගොස් ඇති බවට හෙළි වී තිබෙනවා.

මිල ඉහළ යාමත් සමග සීනි ආනයනකරුවන් තොග සඟවා ඇති බවට වෙළඳ අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරු මතයි පාරිභෝගික අධිකාරිය මෙලෙස වැටලීම් සිදුකිරීම ආරම්භ කළේ.

ඒ අනුව පසුගියදා කළ වැටලීම්වලින්ද සීනි මෙට්‍රික් ටොන් 5,400 කට වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.

අද (30) අත්අඩංගුවට ගත් සීනි තොගය, අධික මිලකට පාරිභෝගිකයා වෙත අලෙවි කර අසීමිත ලාභ ලැබීමේ අරමුණෙන් ආනයනකරු විසින් ගබඩා කර තබා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරී පනතට පසුගිය දා සිදුකරන ලද සංශෝධන තුළ නිකුත් වූ ගැසට් නිවේදනයේ නියමයන් උල්ලංඝණය වන අයුරින් පවත්වාගෙන ගිය මෙම සීනි ගබඩාවට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ලැබුවා.

මෙලෙස තොග සඟවා තබන වෙළදුන්ට එරෙහිව දඩ මුදලට අමතරව අධිකරණයට ඉදිරිපත් කර සිර දඩුවම් නියම කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා නීතිපතිවරයා ද හමුවී තිබෙනවා.

******************************************

රෙද්දකින් වසාගෙන සිදුකළ යකඩ ආවරණ සොරකම

(30.08.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයේ දෙපස ඇති කණුවල ආවරණයට යොදා ඇති යකඩ ආවරණ සොරාගෙන යාමේ පුවතක් රාජගිරිය, නාවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 24 සහ 25 යන දින දෙකේ දී මෙම සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

නිල් පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණෙන තිදෙනෙකු (3) විසින් අවස්ථා තුනක (3) දී ඉතා සූක්ෂම අයුරින් කාණුව උඩින් දමා ඇති යකඩ ආවරණ සොරාගෙන යන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගතව තිබුණා.

******************************************

ලක්මව රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

(30.08.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ‘එෆ් 46’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්, සාජන්ට් තනතුරේ සිට බලලත් නිලධාරි 01 තනතුර දක්වා උසස්කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසිනුයි මෙම උසස්වීම පිරිනමා ඇත්තේ.

කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 35 හැවිරිදි දිනේෂ් ප්‍රියන්ත, කැකිරාව – ඉපලෝගම – කාගම – ධාතුසේන විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා, 2004 වසරේදී ආධුනික සෙබලෙකු ලෙස හමුදා සේවයට එක්වුණා.

ගජබා රෙජිමේන්තුවට නියෝජනය කරන ඔහු, 2008 වසරේ දෙසැම්බර් 16 වනදා ආබාධිත තත්වයට පත්වුණේ කිලිනොච්චි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්.

අනතුරුව යුද හමුදා පැරා මළල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් වල නිරතවූ ඔහු 2012 වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති යුද හමුදා පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර 52 ක දුරකට හෙල්ල විසි කරමින් එහි රන් පදක්කම දිනාගනු ලැබුවා.

එසේම 2017 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී එහි රිදී පදක්කමද දිනාගත් දිනේෂ් ප්‍රියන්ත 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම ද හිමිකරගනු ලැබුවා.

******************************************

(30.08.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුව ද එය නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ සමග සාකච්ඡා කරන බව පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පවසනවා.

මෙම ඉදිකිරීම භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් පසුගිය දා තාවකාලිකව නවතා දැමුණා.

කෙසේ වෙතත්, 2008 වසරේදී පරාක්‍රම සමුද්‍රයට නුදුරෙන් පිහිටි දිසාපති නිළ නිවස ඉදිරිපිට ද ඇවිදින මංතීරුවක් ඉදිකර ඇති පසුබිමක නව මංතීරුවක් ඉදිකිරීම අනවශ්‍ය බවයි ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ පවසන්නේ.

මේ අතර, මෙම ඇවිදින මංතීරුව ඉදිකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ මෙය ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්නයෙන් සහ ගොවි සංවිධාන දැනුවත් කර තිබුණේ නම් මෙවැනි ගැටළු මතු නොවී අදාළ ව්‍යාපෘතිය සිදුකිරීම හෝ නැවැත්වීමට මුලින්ම තීරණයක් ගත හැකිව තිබූ බවයි.

මෙරට වාරි තාක්ෂණයේ විශිෂ්ඨ නිර්මාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි අති විශාල ජලාශයකට කුමන ව්‍යාපෘතියක් සඳහා හෝ අත තැබීමේදී සැලකිල්ලෙන්, විද්‍යාත්මක දැනුවත්කමකින් යුතුව කිරීම, ගොවි ජනතාව සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වීම සාධාරණ බව ද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

******************************************

(30.08.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට සැක මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසූවේ මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර, ජාතික සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අදාළ දත්ත මැකීයාම සම්බන්ධයෙන් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(30.08.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ප්‍රභේදය මෙරට වැඩි වශයෙන් පැතිර යාමත් සමඟ වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

(30.08.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 5,350 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල දැක්වෙනවා.

අදාළ රෝගීන් පිරිස පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළ හඳුනාගත් අය බවයි වාර්තාවන්නේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (29) රාත්‍රියේ නිකුත් කළ දත්තවලට අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 4,26,169 ක් ලෙසටයි.

අනතුරුව අද (30) පස්වරුවේ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,31,519 ක් ලෙසට සටහන් වී තිබුණා.

ඒ අනුව නව ආසාදිතයන් 5,350 ක් වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹදී අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කොරෝනා දත්ත විකෘති වීමක් සිදුවන බවයි.

මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටියේ විදුලි සේවකයින් 2000 කට පමණ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ නිසා විදුලි සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව ඇති බවද ඔහු කියා සිටියා.

කලවාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එන්නත්කරණ වැඩසටහනද අදත් (30) ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වූ අතර, බදුල්ල උතුර ග්‍රාමසේවා වසමේ අවුරුදු 103 ක් වයසැති කාන්තාවකටද සෞඛ්‍ය අංශ අද (30) ඇයගේ නිවස වෙත ගොස් එන්නත්කරණය සිදුකළා.

මේ අතර යුද හමුදාවට එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබාදීමේ තීරණය පිළිබඳව දැඩි විරෝධය පළ කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට ලබාදුන් බවට පැතිර යන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමිනුයි එම සංගමය මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාවට ලබාදුන් බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍යය බවයි.

එසේම මහනුවර ප්‍රදේශයේ ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව නොලැබුණු ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසට කඩිනමින් එය ලබා නොදෙන්නේ නම් තෝරා ගත් කටයුතු කිහිපයකින් ඉවත් වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය මෙන්ම ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ද තීරණය කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කළේ කඩිනමින් එන්නත් ලබාදෙන ලෙසටයි.

මේ අතර, කොරෝනා වෛරසය සමාජගත වී නොමැති බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද එය මේ වන විටත් සමාජගත වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

එසේම කොරෝනා ලැම්ඩා ප්‍රභේදය ලෝකයේ බොහෝ රටවල පැතිර යාම සම්බන්ධයෙන් කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය කියා සිටියා.

මේ අතර, මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණය කොරෝනා රෝහලක් බවට පත් කිරීම අද (30) සිදුකෙරුණා.

රොටරි සමාජය ඇලුව පෞද්ගලකික අංශයේ දායකත්වයෙන් ඇඳන් 700 කින් සමන්විත මෙම ප්‍රතිකාර ඒකකය අධික්ෂණය කරනු ලබන්නේ කොළඹ ජාතික රෝහල හා සෞඛ්‍ය අමාතාංශය මගින්.

එසේම කොරෝනා ව්‍යාප්තියට විසඳුමක් ලෙස නව යන්ත්‍රයක් නිපදවීමට පිළියන්දල ප්‍රදේශයේ තරුණයෙකු සමත්වී තිබෙනවා.

කැස්සක් හෝ කිවිසුමක් ඇතිවූ විට වැකුම් මගින් එම යන්ත්‍රය ක්‍රියාත්මක වන අතර, අධිබලැති විදුලි සැපයුමක් වෛරසය මිනිත්තු කිහිපයක් ඇතුළත විනාශ කෙරෙන බවයි එහි නිර්මාණකරු ප්‍රකාශ කළේ.

මේ අතර නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 7,27,339 දෙනෙකු සඳහා මේ වන විට රුපියල් 2000 සේ දීමනාව ලබාදී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද (30) පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුනද එදිනෙදා ජීවනෝපායන් සිදුකරන ජනතාවට අවස්ථාවක් සළසා දිය යුතු බවයි.

++++++++++++++++++

(30.08.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කලවාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් පිරිසක් මේ වන විටත් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, එන්නත්කරණ වැඩසටහනද අද (30) දිනයේත් ප්‍රදේශ කිහිපයක දියත් වූ අතර, බදුල්ල උතුර ග්‍රාමසේවා වසමේ වයස අවුරුදු 103 ක් වූ කාන්තාවකට ද සෞඛ්‍ය අංශ අද (30) ඇයගේ නිවස වෙත ගොස් එන්නත්කරණය සිදුකළා ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 3,588 දෙනෙකු අද (30) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,35,107 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකයට සදහන් කළේ ෴

++++++++++++++++++

(30.08.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මාරයා සමඟ සටන් වදිමින් අසරණ රෝගීන්ගේ හුස්ම වෙනුවෙන් තම දිවිය කැපකළ තවත් සුව විරුවෙකු කොවිඩ් මාරයාටම ගොදුරු වු සෝචනීය පුවතක් වාර්තා වනවා.

ඒ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයෙන්.

මිනුවන්ගොඩ – යටියන සමඟි මාවතේ පදිංචිව සිටි ඉන්ද්‍රා අමරසිංහ හෙද සොයුරිය වයස අවුරුදු 56 ක දෙදරු මවක්.

කොවිඩ් පළමු රැල්ලේ පටන්ම මිනුවන්ගොඩ මුලික රෝහලේ සේවයේ යෙදෙමින් කොවිඩ් වසංගතයට එරෙහිව සටන් වැදි සුව විරුවන් අතර මෙම හෙද සොයුරිය පෙරමුණ ගෙන තිබුනා.

ඒ එම රෝහලේ කොවිඩ් වාට්ටු අංක 04 හි ප්‍රධාන හෙද නිලධාරිනියගේ භූමිකාවට පණපොවමින්.

++++++++++++++++

(30.08.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කරන ලද කොවිඩ් අසාදිත මරණ 216 ක් අද (30) දිනයේ වාර්තා වනවා.

අද (30) වාර්තා වූ මෙම මරණ 216 දැක්වෙන්නේ මේ දක්වා දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 8991 ක් දක්වා ඉහළ ගියා.

අද (30) දිනයේ වාර්තා කළ මෙම මරණ අතර පිරිමින් 115 ක් සහ කාන්තාවන් 101 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *