පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

*********************************************

පැරාලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

(30.08.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ‘එෆ්.46’ කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ, මීටර 67.79 ක් දුරක් හෙල්ල විසි කරමින්.

ඔහු 2016 රියෝ පැරාලිම්පික් උළෙලේ දී ලෝකඩ පදක්කම ද දිනාගෙන තිබුණා.

35 හැවිරිදි දිනේෂ් ප්‍රියාන් අනුරාධපුරයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පළමු (1) උත්සහයේදී ම සිය හොඳ ම දුර ප්‍රමාණය වාර්තා කර තිබෙනවා.

දෙවන (2) උත්සහයේදි යි ඔහු මෙලෙස ලෝක වාර්තාවක් තබා ඇත්තේ.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ අයෙක්.

මීට අමතර ව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි සහභාගි වන හෙල්ල විසි කිරීමේ ‘එෆ්.64’ කාණ්ඩයේ අවසන් තරගය අද (30) රාත්‍රියේ පැවැත්වීමට නියමිත යි.

******************************************

(30.08.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අධිකාරියෙහි ලියාපදිංචි වී නොමැති සීනි ගබඩා සොයා තවදුරටත් විශේෂ මෙහෙයුමක් එම අධිකාරිය ආරම්භ කර තිබෙනවා.

වෙළඳපොලෙහි සීනි මිල ඉහළ යාමත් සමග සීනි ආනයනකරුවන් සහ සීනි තොග සඟවා ඇති බවට තොරතුරු වාර්තා වන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

එලෙස සඟවා තැබූ සීනි ගබඩා 4 ක් වැටලීමට පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල කටයුතු කළා. එහිදී සීනි මෙට්‍රික් ටොන් 5,400 ක් සොයාගත් අතර එම ගබඩාවලට මුද්‍රා තැබීමටයි පසුව කටයුතු කළේ.

මෙරටට සීනි ගෙන්වන ආයතන සහ පුද්ගලයින් විසින් තමන් පවත්වාගෙන යන සීනි ගබඩා සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය දැනුවත් කොට ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය කරුණක්.

එහෙත් ඇතැම් සීනි ගෙන්වන ආයතන සහ පුද්ගලයින් විසින් මේ වන විට තම ලියාපදිංචි කර ඇති සීනි ගබඩාවලින් පිට වෙනත් තැන් වල සීනි සඟවා ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ඒවා සොයා තවදුරටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙලෙස තොග සඟවා තබන වෙළදුන්ට එරෙහිව දඩ මුදලට අමතරව අධිකරණයට ඉදිරිපත් කර සිර දඩුවම් නියම කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (29) නීතිපතිවරයා හමුවී තිබෙනවා.

සීනි සහ සහල් මිල සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ දැඩි කතා බහක්.

විශේෂයෙන් සීනි කිලෝවක මිල රුපියල් 220 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර සීනි ආනයනකරුවන් මීට දින කිහිපයකට පෙර කියා සිටියේ වෙළඳපොල තුල සීනි හිඟයක් මතුවීමේ අවදානමක්ද පවතින බවයි ෴

******************************************

(30.08.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අම්පිටිය බෙහෙත් ගබඩාවක සිදු කළ වැටලීමක දී, පොලිසිය විසින් එහි තිබී මත් පෙති 1,30,000 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත් පෙතිවලට අමතර ව නීති විරෝධී බෙහෙත් පෙති 4,500 ක් ද ගබඩාවේ තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළා ෴

******************************************

(30.08.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

2021.08.29 වන දින දහවල් කාලයේ දී රඹුක්කන පොලිස් වසමේ ඇත්වටේවත්ත ප්‍රදේශයේ යදී කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවි 3 ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවි 2 ක්, අත්විලංගු 2 ක් හා සජීවී පතොරම් 22 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

ඊට අමතර ව සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 330 ක් ද සොයා ගත් බව යි කෑගල්ල පොලිසිය වාර්තා කළේ.

වයස අවුරුදු 37 ක් වන සැකකරු අත්වටේවත්ත- රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරුව අද (30) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉංදිරිපත් කිරීමට නියමිත යි.

කෑගල්ල පොලිසිය සිද්ද්දිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇති.

******************************************

(30.08.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද හා නැගෙනහිර පළාත්වල සිදුකරන ලද විමර්ශනවල දී ලියාපදිංචි නො කළ වී ගබඩා 52 ක වී මෙට්‍රික් ටොන් 8,000 ක ප්‍රමාණයකට ගත වූ සතියක කාලය තුළ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

එමෙන්ම ගත වූ දින 02 තුළ දී ගම්පහ සහ සීදුව ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩා 03 ක මෙට්‍රික් ටොන් 5,400 කට ආසන්න ප්‍රමාණයකට ද මුද්‍රා තබා ඇති බව යි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මෙම මුද්‍රා තබන ලද ගබඩා හිමිකරුවන්ට විරුද්ධ ව මෙම සතියේ දී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව මෙම ලියාපදිංචි නො කරන ලද ගබඩා හිමිකරුවන්ට රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වාත්, සමාගමක් නම් රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා මුල්‍යමය දඩයක් හෝ මාස 6 ක සිර දඩුවමක් ලබා දිය හැකියි.

(30.08.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අධිකාරිය විසින් අද (30) දින සිදු කරන ලද වැටලීමක දී, ලියාපදිංචි නො කළ සීනි ගබඩාවක් හමු වී තිබෙනවා.

වත්තල – කෙරවලපිටියේ පිහිටි මෙම සීනි ගබඩාවේ තිබී, සීනි මෙට්‍රික් ටොන් 4100 ක් හමු වූ බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

(30.08.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සීනි මෙට්‍රික් ටොන් 4096 ක් ගබඩාකර තිබූ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි ලියාපදිංචි නො කළ තොග ගබඩාවකට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (30) මුද්‍රා තැබුවා.

අදාල සීනි තොගය මීට මාස කිහිපයක සිට මෙම ගබඩාව තුළ පැවතී ඇති අතර වෙළෙඳපොළ තුල කෘතිම සීනි හිඟයක් මවාපෑමටත්, අසීමිත ලාභ ලැබීමේ අරමුණින් අධික මිලකට පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමේ අරමුණින් මෙම සීනි තොගය මෙලෙස සඟවා තැබීමට ආනයනකරු විසින් කටයුතු කර ඇති බවට අනවරණය වී තිබෙනවා.

මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ද සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය වෙත උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(30.08.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව, අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීම ලබන 03 වනදා දක්වා දීර්ඝකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා සඳහන් කළා.

එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම් දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව කැඳවිය හැකි බව ඒ මහතා පවසනවා.

එම නඩු විභාගයන් පෙරවරු 11:00 ට ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, විනිසුරුවරයාගේ අවසරයකින් තොර ව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළු විය නො හැකි බවත්, සියලු ම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴

++++++++++++++++++

(30.08.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 118,242 කට ඊයේ (29) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 8,855 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 93,715 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 1,391 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 1,460 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් හත්දෙනෙකුට (7) ලබාදී ඇති අතර, ඊයේ (29) එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 11,835 ක්.

එසේම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව එක් අයෙකුට සහ දෙවන (2) මාත්‍රාව 977 කට ලබාදී තිබෙනවා.

+++++++++++++++++

(30.08.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා ගත් නවසීලන්ත කාන්තාවක් මිය ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

වෙලිංග්ටන් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ ෆයිසර් කෝවිඩ්-19 එන්නත හා සම්බන්ධ ව එරටින් වාර්තා වූ පළමු මරණය මෙය බවයි.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන COVID-19 එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩල සමාලෝචනයෙන් පසු මෙම මරණය පිළිබඳ ව නිවේදනය කළ ද අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය, නම හෝ වයස ආදී පෞද්ගලික තොරතුරු කිසිවක් හෙළිදරව් නො කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් වගබලා ගත්තා.

කෙසේ වෙතත් අදාළ කාන්තාවගේ මරණය හෘද පේශිවල දැවිල්ලක් සමඟින් හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇතිකර එමඟින් රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කෙරෙන මයිකාඩයිටිස් නැමති සංකූලතාව නිසා ඇති වූවක් බව නවසීලන්ත වෛද්‍ය මණ්ඩලය සලකනවා.

මෙය ෆයිසර් කෝවිඩ්-19 එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙසයි සඳහන් වන්නේ ෴

+++++++++++++++

(30.08.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000 ක් හෙට (31) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට පළමු (1) මාත්‍රාව ලෙස ස්පුට්නික් වී එන්නත් 1,59,088 ක් සහ දෙවන (2) මාත්‍රාව ලෙස 25,489 ක් ලබා දී තිබෙනවා.

හෙට (31) මෙරටට ලැබීමට නියමිත මෙම එන්නත් මහනුවර දිස්ත්‍රික්කයට ලබාදීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොවිඩ්-19 අසාදනය වෙයි ෴

+++++++++++++++++

(30.08.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 72 ක් වයසැති පුද්ගලයෙකු එම වාට්ටුවෙන් පළා ගොස් සිටිය දී පොලීසිය සහ සෞඛ්‍ය අංශ එක්ව අල්ලාගෙන තිබෙනවා.

ඒ, අනුරාධපුර මහ නගර සභාව අසල අවන්හලක් සමීපයේ රැදී සිටියදි යි.

එමෙන්ම, නිරෝධායනයට ලක් කර ඇති හාලිඇල ප්‍රදේශයේ නිවසක සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ප්‍රදේශයේ දුම් පානය කරමින් සැරිසරමින් සිටි අවස්ථාවේ දී පොලීසිය මැදිහත් වී ඔහු යළිත් නිවස වෙත රැගෙන යාමේ පුවතක් ද වාර්තා වුණා.

නිවසට ම එන ආයුර්වේද ඖෂධ

(30.08.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරුණා.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනු ලැබුවා.

එහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදු කෙරෙනු බවද සඳහන්.

බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40 ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරනු ලබනවා.

ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම බස්නාහිර පළාත තුළ ආයුර්වේද ප්‍රතිකර්ම තුළින් පුද්ගල ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ආරම්භ වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් අධීක්ෂණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම්.ඒ. විකුම් චන්ද්‍රරතන මහතා කියා සිටියේ.

කොරෝනා ආසාදනය වන ස්වාමීන් වහන්සේලා සඳහා ප්‍රතිකාර කිරීමට කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ඒකකයක් විවෘත කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරුණා.

මේ අතර, පෙරුම්කායම්, දේවදාර, කුරුඳුපොතු, පාවට්ටාමුල් ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21 කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබාදුන් අතර ඒ සඳහා පේට්න් බලපත්‍රයක් ද හිමි ව ඇති බවයි රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *