එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්

*********************************************

එන්නත්කරණය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනාවක්

(29.08.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

‘කොරෝනා එන්නත් ඕනෑම ප්‍රදේශයකින් ලබා ගත හැකි’ බවට ඇතැම් පිරිස් ප්‍රකාශ සිදු කරන්නනේ කොට්ඨාශ මට්ටමින් එන්නත් ලබා දිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කමක් නොමැති විම හේතුවෙන් බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් චෝදනා කරනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොට්ඨාශ මට්ටමින් එන්නත් ලබා දිය යුතු පිරිස් සංඛ්‍යාව අනුව එන්නත් සිමිතව ලබා දෙන බැවින් වෙනත් කිසිදු අයෙකුට එන්නත් ලබා දිම හැකියාවක් නොමැති බවයි.

මේ අතර මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය එක් පසෙකින් ධෛර්යයවන්ත කරන අතර තවත් අතකින් ජාත්‍යන්තර සංවිධාන හා විවිධ රටවල් මෙරටට එන්නත් ලබාදීමේදී එය ප්‍රමුඛ අවධානයකට ගනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම ලෝක ප්‍රසාදය හමුවේ යම් යම් දේශපාලන කණ්ඩායම් ඉතා පහත් අයුරින් විවිධ අරමුණු ඔස්සේ එන්නත්කරණ වැඩපිළිවෙළ අප්‍රසාදයට ලක් කිරීමට ක්‍රියා කරන්නේ දැයි සැකයක් මතුවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

පසුගිය දිනවල විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණු සිද්ධීන් පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇතැයිද, ඒ පිළිබඳව තොරතුරු රැසක් ලැබෙමින් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

හික්කඩුව ප්‍රදේශයේදි ‘කාඩ්පතෙහි එන්නත් කළ බවට සලකුණු කර එන්නත් ලබා නොදුන්’ බවට චෝදනා එල්ල වු සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශණයක් සිදු කළ බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙසට තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ද ලබා දි ඇති බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මාතර ප්‍රදේශයේ සිදුවන එන්නත්කරණය සම්බන්ධයෙන් ද මාතර මහ නගර සභාවේ නගරාධිපති රංජිත් යසරත්න මහතා චෝදනාවක් එල්ල කළා.

මේ අතර හිඟු‍රක්ගොඩ පුලතිසි තාරුකා මණ්ඩපයේදී ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන අතරතුර අද (29) පෙරවරුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ රාජ්‍ය සේවකයින් සඳහා එන්නත් ලබාදීම සිදු වූ එම මධ්‍යස්ථානයට ප්‍රදේශවාසීන් පිරිසක්ද පැමිණ සිටීමත් සමඟයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එන්නත් ලබා දිමේදි ඇති වු ගැටළුකාර් තත්ත්වයන් හේතුවෙන් ෆයිසර් එන්නතකරණ වැඩසටහන යුධ හමුදා අධික්ෂණය යටතේ සිදු කෙරෙන බවයි යූධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර මෙරට පැතිර යන්නේ ‘සුපර් ඩෙල්ටා’ වයිරස් ප්‍රභේදයක් දැයි දැයි සොයන පරික්ෂණ වාර්තාව සතියකින් නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරික්ෂණ කණ්ඩායම පවසනවා.

ගතවූ සතියක කාලය තුල කොරෝනා ආසාදිත මරණ 1,217 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව එම සතියේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 27,000 ඉක්මවනු ලැබුවා.

අද (29) දිනයේ මේ වනවිට ආසාදිතයින් 3698 දෙනෙකු වාර්තා වි ඇති බව යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා. ඒ අනුව, ගෙවුනු සතියේ සහ අද (29) දිනයේදි වාර්තා වු මුළු අසාදිතයන් 30 දහසේ සිමාව ඉක්ම වනවා.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී තවත් හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කල 56 හැවිරිදි හෙදියක්.

මේ වන විට කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර දඹාන ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායකයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ගම්මානය අවට 44 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුණා.

කෙසේ වෙතත් රටම කොරෝනා වසංගතයට ගොදුරුව ඇති මොහොතක එය ආශිර්වාදයක් කරගනිමින් කූට ලෙස නිසි ප්‍රමිතියකින් තොර ‘ඔක්සිමීටර්’ මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවට ‘හිරු සී.අයී.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම ප්‍රතිමිතියෙන් තොර ඔක්සිමීටර් පාර්භෝගිකයින්ට අලෙවි කරන පිරිසක් සොයා වැටලීමක් දියත් කළා.

මහරගම, බත්තරමුල්ල, තලාහේන, මාලඹේ ආදී ඖෂධ අලෙවිසැල් ඉලක්ක කර සිදුකළ මෙම වැටලීමේදී ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් 1500 ක් පමණ සොයාගැනීමට හැකිවුණා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීමකින් තොරව හොර රහසේ රැගෙනවිත් ඇති මෙම ඔක්සි මීටර් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි.

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අද (29) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 4,612 ක් වනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 426,169 ක් ෴

+++++++++++++++++

(29.08.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් මරණ 192 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 8,775 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මරණ අතර පිරිමින් 109 ක් සහ කාන්තාවන් 83 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින් 25 ක් සහ කාන්තාවන් 11 ක් මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 84 ක් සහ කාන්තාවන් 72 ක් මෙම මරණ 192 ට අයත්.

++++++++++++++++

(29.08.2021 – 21:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතයෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටියදී තවත් පිරිසක් එය තම මඩිය තරකර ගැනීමේ අවස්ථාවක් බවට පත්කරගෙන තිබෙනවා.

අද (29) ‘හිරු CIA’ අනාවරණය කොවිඩ්-19 වසංගතයට මුවාවී සිදුකළ කූට ව්‍යාපාරයක් පිළිබඳවයි.

දැනට පැතිරෙමින් තිබෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ඇති අවදානමක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ රෝග ලක්ෂණ නොමැතිව පවා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු විය හැකි වීමයි.

ඒ, සමග බොහෝදෙනෙකු තම ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කරගැනීම සඳහා ‘පල්ස් ඔක්සිමීටර්’ ලබා ගැනීමට උත්සුක වුණා.

නිවසේ සිට, සරළව තම සිරුරේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කර ගැනීමට අවස්ථාව හිමිවීම ඊට හේතුවයි.

වෛද්‍ය මතය අනුව නීරෝගී පුද්ගලයෙකු නම් ශරීරයේ ඔක්සිජන් සාන්ද්‍රණ අගය 96% ට වැඩි විය යුතුයි.

එම අගය ඊට වඩා පහළ අගයක් ගන්නේනම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුවනවා.

කෙසේ වෙතත් නිවැරදි ප්‍රතිඵලයක් ලබාගැනීමටනම් ‘ඔක්සිමීටරය’ නිසි ප්‍රමිතියෙන් යුතුවීම මෙහිදී ඉතා වැදගත්.

කෙසේ වෙතත් රටම කොරෝනා වසංගතයට ගොදුරුව ඇති මොහොතක එය ආශිර්වාදයක් කරගනිමින් කූට ලෙස නිසි ප්‍රමිතියකින් තොර ‘ඔක්සිමීටර්’ මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බව ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වුණා.

+++++++++++++++++

BIG FOCUS : කොවිඩ් ආසාදිතයින් සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම (29.08.2021)

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(29.08.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

වරක් භාවිත කර ඉවතකරන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07 ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෙට (30) අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ යටතේ ප්ලාස්ටික්වලින් සකස්කරන ලද බීම බට, හැඳි, බීම කොප්ප, ගෑරැප්පු, පිහි, ඉදිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා යනාදිය ඇතුලත්.

ඉකුත් මාර්තු මස 31 වන දින සිට ‘සැෂේ’ පැකට් ඇතුළු එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන පහක් (5) තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

එමෙන්ම අගොස්තු මස පළමුවැනි දින (01) සිට දිරාපත් නොවන ලන්ච්ෂීට් ද තහනම් කෙරුණා.

වාර්ෂිකව මෙරට තුළ පොලිතීන් බෑග් කෝටි 200 ඉක්මවන ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

******************************************

(29.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන, කොරෝනා ආසාදිතව මිය ගිය ‘මොහොමඩ් නියාස් නව්ෆර්’ හෙවත් ‍‘පොට්ට නව්ෆර්’ගේ මලසිරුර පිළිබඳ අවසන් කටයුතු කොරෝනා දේහ මිහිදන් කරන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේ සිදු කිරීමට නියමිතයි.

මලසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) පස්වරුවේ සිදු කල බවයි බන්ධනාගර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ අළුත්කඩේ උපත ලබන ‘මොහොමඩ් නියාස් නව්ෆර්’ හෙවත් ‘පොට්ට නව්ෆර්’ ගේ ළමා කාලය දැඩි ආර්ථික දුෂ්කරතා මැද ගෙවුනු බවයි වාර්තා වන්නේ.

තරුණ වියට එළඹෙද්දී අච්චාරු කරත්තයක් සිය ව්‍යාපාරය කරගත් ඔහු, කෙටි කලකින් හෙරොයින් වෙළඳාමත් ආරම්භ කරනවා.

ඉතා ඉක්මනින් ‘නව්ෆර්’ කොළඹ අළුත්කඩේ ප්‍රදේශයේ ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට පත්වන අතර එම මුදල් ආයෝජනය කර එම ප්‍රදේශයේම ලැගුම්හලක් සහ උත්සව ශාලා දෙකක් (2) මිලදී ගත් බව සඳහන්.

ලැගුම්හලට පැමිණි ඉන්දියානු සහ පකිස්ථානු සංචාරකයන් මාර්ගයෙන්ද ඔහු රහසිගතව හෙරොයින් ජාවාරම සිදුකළ බවයි පොලිස් වාර්තා වල දැක්වෙන්නේ.

1990 වර්ෂයේ මැද භාගය වන විට හෙරොයින් ජාවාරමට බැඳුණු පාතාලයත් ‘නවුෆර්’ට එකතු වුණා. කොළඹ කොච්චිකඩේ ප්‍රදේශය සිය අණසකට යටත් කරගෙන සිටි ‘නඩරාජා විජේපාලන්’ නැමැති පාතාල සාමාජිකයා සමග ‘නවුෆර්’ ගැටෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කල්ලිය තැබූ වෙඩි පහරකින් නවුෆර්ගේ දකුණු ඇහැ ඔහුට අහිමිවනවා.

එතැන් සිටයි ‘නවුෆර්’, ‘පොට්ට නවුෆර්’ ලෙස අපරාධ ලෝකය තුල හැඳින්වීමට පටන් ගත්තේ.

1996 වර්ෂය පමණ වන විට කොළඹ නගරයේ ක්‍රියාත්මක වූ පාතාල කල්ලි, දෙකට බෙදුන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.

දමිළ කණ්ඩායමට නායකත්වය දුන්නේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය සිය අණසකට යටත් කරගෙන හිටපු ‘ඉසගමුත්තු සුදාකරන්’ නොහොත් ‘සුදා’. මුස්ලිම් කණ්ඩායමට නායකත්වය දුන්නේ මාලිගාවත්තේ ‘අයුබ්ඛාන්’ සහ ‘කුඩුනූර්’. සූක්ෂම අයෙකු වන ‘නවුෆර්’ වඩාත් බලවත් දමිළ පාතාල කණ්ඩායමට සම්බන්ධ වීමත් විශේෂත්වයක්.

අලු‍ත්කඩේ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගේ නායකයකු ලෙස සැලතූ ‘මොහිදීන් හජ්ජියාර්’ ද ‘නවුෆර්’ අතින් ඝාතනය වුණා.

පිටකොටුවේ වෙළද සංකීර්ණයක්ද ඔහු විසින් මිලදී ගත් බව සඳහන්.

‘නවුෆර්’ සම්බන්ධ මත්ද්‍රව්‍ය නඩුවක් සරත් අඹේපිටිය විනිසුරුවරයා ඉදිරියේ විභාග වුණා.

ඔහු දිගින් දිගටම ‘නවුෆර්’ට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් හිටි අතර නවුෆර් නීතිඥ සහාය ලබාගෙන අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගත්තා.

මහාධිකරණ විනිසුරු අඹේපිටිය ඉදිරියේ නඩුව විභාග වුවහොත් මරණීය දණ්ඩනය ඒකාන්ත බව දැව සිටි ‘නවුපර්’ විනිසුරුවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා බොරැල්ලෙ සරණ පාරෙදී වෙඩි තබා ඝාතනය කළා.

අලු‍ත් කඩේ ඉතා සුඛෝපභෝගී නිවසක සිටි ඔහුගේ ප්‍රධාන විසිත්ත කාමරයේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) ඡායාරූප එල්ලා තිබූ බවත් වාර්තා වනවා.

ඉතා දිළිඳු පුද්ගලයකු ලෙස සිය ජීවිතය ආරම්භ කර කෙටි කලකදී මහා ධනයක් එක්රැස් කළ ‘පොට්ට නවුෆර්’ අවසානයේ සැඳෑ සමය අඳුරු සිර මැදිරියක ගත කර කොරෝනාවට බිලිවී සොබා දහමේ නීතියට යටත් වුණා ෴

******************************************

= රට වටා හිරු (29.08.2021) =

******************************************

(29.08.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර ජේලර්වරයෙකුගේ යතුරුපැදියේ මත්කුඩු සඟවා ඔහුව පොලීසියට හසු කළ පුද්ගලයෙකු පිළිබඳව ත්‍රිකුණාමලයෙන් වාර්තා වෙයි.

ඒ අනුව ත්‍රිකුණාමලය පොලීසිය විසින් අද (29) එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට මුහුණ දී ඇත්තේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ ජේලර්වරයෙකි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකු අදාළ ජේලර්වරයා සමග ඇතිකර ගත් ආරවුලකට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

******************************************

(29.08.2021 – 16:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් කාර්යසාධක බළකාය මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කඩාවැටීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රට තුළ ඇති අවශ්‍යතාවල ප්‍රමුඛතා ආණ්ඩුව හඳුනාගෙන නොමැති බවය.

අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මේ ප්‍රශ්නයට ආණ්ඩුවේ තියෙන ප්‍රමුඛතාව දැන් අපිට පේනවා. ජිම් 500 ක් හදන්න තියෙන උනන්දුව මේ ප්‍රශ්නයට නෑ. අනවශ්‍ය දේවල්වලට මුදල් වියදම් කරනවා. ගුරුවරුන්ගේ අරගලයෙදි ආණ්ඩුවට මුදල් නෑ. අධ්‍යාපන පද්ධතිය බරපතළ අර්බුදයක තියෙන්නේ.”

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා සිදුකරනු ලබන වර්ජනයට හෙටට (30) දින 50 ක් ගතවන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පවසයි.

එහි සභාපති පරාක්‍රම වීරසිංහ සඳහන් කළේ, හෙට (30) දින රජයෙන් සාධනීය පිළිතුරක් බලාපොරොත්තු වන බවය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සංවේදීව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *