සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට

සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට

*********************************************

සතොස සහ සමුපකාර මගින් හෙට (30) සිට දුඹුරු සීනී රුපියල් 130 ට

(29.08.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් හෙට (30) සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 ක මිලකට ලබා ගැනිමට හැකි බව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

******************************************

(29.08.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

මාකොළ උතුර ප්‍රදේශයේ නිවසක නාන කාමරයක සඟවා තිබු මත්කුඩු සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්යය බලාකය සිදුකළ වැටලිමකදීයි. මෙහිදී නිවසේ නාන කාමරය තුළ සුක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 40 ක් සොයා ගෙන තිබුණා.

අවුරුදු 19 ක තරුණයෙක් සහ අවුරුදු 42 කාන්තාවක් මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

මොවුන් සුඛෝපභෝගි මෝටර් රථයකින් හෙරොයින් බෙදා හැර ඇති අතර, වැඩිදුර පරික්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මේ අතර, හෙරොයින් ජාවාරමේ නිරත තවත් පුද්ගලයෙකු මොරටුව අඟුලාන දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

******************************************

(29.08.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

අද (29) පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

******************************************

(29.08.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මව් සෙනෙහසටත්, පිය සෙනෙහසටත් වඩා දරුවෙකුට වටිනා වෙනත් සම්පතක් නැහැ.

නමුත් දිවයිනටම පනවා ඇති නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේදී බස් නැවතුමක සිටින අසරණ මවක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන්.

හිසට සෙවනක් නොමැතිව පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ බස්නැවතුම්පොළක සිටින මවක් පිළිබඳ ඒ අවට ප්‍රදේශයේ සිටින ජනතාවගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ රට තුළ පවතින ඇඳිරි නීති කාලසීමාවේදීත් මෙම වයෝවෘද මව මෙම ස්ථානයේ කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව රැඳී සිටින බවයි.

******************************************

(29.08.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත ගිණි අවි 5 ක්, උණ්ඩ 22 ක් සහ විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක් (1) සමගින් සැකකරුවෙකු රඹුක්කන ප්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම ගිණි අවි නිවසක සඟවා තිබියදී සොයා ගෙන ඇත්තේ.

37 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති අතර ඊට එරෙහිව අධිකරණයේ නඩුවක්ද පවතින බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(29.08.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

අනියම් සැමියා සමග අම්පේගම ප්‍රදේශයේ හෝටල් කාමරයකට ගොස් සිටියදි මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.ජී.බි. පෙරේරා මහතා මළ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා රජයේ රස පරික්ෂකට යවා වාර්තාව ලැබෙන තෙක් අද (29) විවෘත තින්දුවක් ප්‍රකාශයට පත් කළා.

මෙසේ මියගොස් ඇත්තේ අම්පෙගම ගුරුසිංහගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක කාන්තාවක්.

මෙම කාන්තාවගේ සැමියා කුරුඳු තැලිම සඳහා ඌරුබොක්ක ප්‍රදේශයකට ගොස් සිටියදි ඇය අනියම් සැමියා සමග 28 වනදින අම්පේගම ප්‍රදේශයේ හෝටලයට ගොස් ඇති බවත් ඒහිදි හදිසියේම අසනිපවිම නිසා අනියම් සැමියා විසින්ම කරාපිටිය රෝහල වෙත ගෙනැවිත් ඇති බවත් එසේ ගෙනඑන විටත් ඇය මියගොස් සිට බවත් පොලිසිය පවසනවා.

මුලික පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ ඇය හෘද රෝගියෙකු වන අතර දිර්ග කාලයක් තිස්සේ ඒ සඳහා ඖෂධ භාවිතා කරන බවයි.

එහෙත් ඇයගේ විවාහක සැමියා පවසා ඇත්තේ මරණය සැක සහිත බවයි.

පසුව ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් කරාපිටිය රෝහලට ගොස් මුලික පරික්ෂණ පැවැත්විමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව පශ්චාත් මරණ පරික්ෂණය පවැත්වු කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.ජී.බි.පෙරෙරා මහතා මෙසේ විවෘත තින්දුවක් ප්‍රකාශයට පත් කළා.

බද්දේගම පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

සීනි සැගවූ ගබඩා 04 කට මුද්‍රා – දුඹුරු සිනී 130 ට සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින්

(29.08.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

වී සහ සීනි තොග සගවා තැබූ ගබඩා 56 ක් පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කර තිබූ වී ගබඩා 52 ක් මෙහිදී වැටලූ අතර එහි තිබී හමුවූ වී තොග ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100 ක්.

මේ අතර සීනි ගබඩා 4 ක් වැටලූ අතර සීනි මෙට්‍රික් ටොන් 5,400 ක් එහිදී හමුවී තිබුණා.

මෙලෙස තොග සඟවා තබන වෙළදුන්ට එරෙහිව දඩ මුදලට අමතරව අධිකරණයට ඉදිරිපත් කර සිර දඩුවම් නියම කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා අද (29) නීතිපතිවරයා හමුවී තිබෙනවා.

සීනි සහ සහල් මිල සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ දැඩි කතා බහක්. විශේෂයෙන් සීනි කිලෝවක මිල රුපියල් 220 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර සීනි ආනයන කරුවන් මීට දින කිහිපයකට පෙර හිරු ප්‍රවෘත්තී වෙත සඳහන් කළේ, වෙළඳපොල තුල හිඟයක් මතුවීමේ අවදානමක්ද පවතින බවයි.

මෙරට මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000 ක් වන අතර දැනට ආනයනකරුවන් සිව් (4) දෙනෙකු සතුව ඇත්තේ ඊට අඩු සීනි තොග ප්‍රමාණයක් බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රජය ප්‍රකාශ කලේ වරායේ ගුදම් වල නිදහස් නොකල සීනි තොග පවතින අතර ඒවා සතොස හරහා නිදහස් කිරීමට සූදානම් බවයි.

එවන් පසුබිමක , සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් එළඹෙන බදාදා සිට දුඹුරු සීනි කිලෝවක් රුපියල් 130 ක මිලකට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කහ පැහැති ගෑස් සිලින්ඩරයක වර්ණය වංචා සහගත ලෙස වෙනස් කර ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතවරයාට ලබා දී ගෑස් සහිත සිලින්ඩරයක් ලබා ගැනීමේ පුවතක් හැටන් දික් ඔය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පසුගිය 27 වනදා කාන්තාවක් විසින් මෙලෙස ගෑස් සිලින්ඩරය වංචා සහගත ලෙස ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගෑස් අලෙවි නියෝජිතයා විසින් පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

+++++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(29.08.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

තවදුරටත් රට වසා දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් මෙරට මිලියන 4.5 ක් පමණ වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිවන් තවදුරටත් පීඩාවට පත්වන බවයි.

ඉන් මෙරට සාර්ව ආර්ථික මූලධර්මවලට දැඩි බලපෑමක්ද එල්ල වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැවතුනද අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.

ඒ අනුව දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පමණක් අද (29) දිනයේත් විවෘතව කෙරුණා.

+++++++++++++++++++++

(29.08.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2204 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,57,598 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 4,21,557 ක් හමුවී ඇති අතර ඉන් 55,376 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 8583 ක් ෴

+++++++++++++++++++++

(29.08.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයක පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල එන්නත්කරණ මධ්‍යස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් පිළිබදව අවධානය යොමුකර ඇති බවයි.

ඒ පිළිබද තොරතුරු රැසක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවළිය පිළිබද ජාත්‍යන්තරයේද ඉහළ පැසසුමට ලක්ව ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

එවැනි තත්වයක් තුළ එන්නත්කරණ ක්‍රියාවළිය අප්‍රසාදයට ලක්කිරීමේ අරමුණකින් යම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන්නේදැයි සැක මතුවන බවයි අමාත්‍යවරයා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++++++++++++

(29.08.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී තවත් හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කල 56 හැවිරිදි හෙදියක්. මේ වන විට කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුනා.

මේ අතර සිංගප්පූරුව ලොව කොරෝනා එන්නත්කරණය අතින් මුල් තැනට පැමිණ තිබෙනවා. ඒ, මිලියන 5.7 ක් වූ එරට ජනගහනයෙන් සියයට 80 කට පූර්ණ කොරෝනා එන්නත්කරණය ලබා දීමෙන්. එරට එන්නත්කරණය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්.

ජනගහනයෙන් සියයට 70 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නත් ලබා දී ඇති අනෙකුත් රටවල් අතරට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීරය, උරැගුවේ සහ චිලී දේශයද ඇතුලත්.

(29.08.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ එන්නත්කරණය ලැබූ සියලුම රටවල සංචාරකයන් සඳහා වීසා බලපත් නිකුත් කිරීම හෙට (30) සිට ආරම්භ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළා.

ඒ කොරෝනා වසංගතය නිසා කල් දමන ලද එක්ස්පෝ-2020 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ඩුබායිහි ආරම්භ වීමට මාසයක් තිබියදීයි.

එමෙන්ම එක්සත් අරාබි එමීරයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාවද මේ වන විට දහසකට අඩුවෙන් වාර්තා වීම මෙම පියවරට තවත් හේතුවක්.

එමීරයේ නිල ප්‍රවෘත්තී සේවය සඳහන් කළේ මෙලෙස සියලු රටවල සංචාරකයන් සඳහා තම රට විවෘත කිරීමෙන් ආර්ථිකයේ තිරසර ප්‍රකෘතිමත් වීමක් සහ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.

නව තීරණය එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලින් සංචාර තහනම් පැනවූ රටවල් සඳහාද අදාළ වනවා. ශ්‍රී ලංකාවද එම සංචාර තහනම පැනවූ රටවලට අයත් වුණා.

නව තීරණය අනුව ශ්‍රී ලාංකිකයන්ටද එක්සත් අරාබි එමීරයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත් ලබා ගැනීමට හැකි වනු ඇති.

එලෙස එමීරයේ සංචාර සඳහා වීසා බලපත් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමත කරන ලද ඇස්ට්‍රාසෙනිකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා, ෆයිසර් – බයොඑන්ටෙක්, සයිනොෆාම් හෝ සිනොවැක් එන්නත් මගින් පූර්ණ කොරෝනා එන්නත්කරණය ලබා සිටිය යුතුයි.

මේ අතර ඕස්ට්‍රේලියාවෙන් ගත වු පැය 24 තුළ, ගෝලීය වසංගතය ආරම්භ වු දා පටන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව, එනම් ආසාදිතයන් 1323 දෙනෙකු වාර්තා වි තිබෙනවා.

මේ නිසා රට නැවත විවෘත කිරිම යළි සංවාදයට බඳුන් වි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඕස්ට්‍රේලියාවේ මෙලෙස කොරෝනා ආසාදනය ඉහළ යාමට හේතු වී ඇත්තේ වැඩි සම්ප්‍රේශණ හැකියාවක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයයි.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එලෙස වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වයස අවුරුදු 16 වැඩි පිරිසෙන් සියයට 70 ක් එන්නත් කළ පසු ආසාදිත සංඛ්‍යාව නොතකා ප්‍රාන්තය විවෘත කිරිමට අදහස් කරන බවයි.

මේ අතර, නව ආසාදිතයන් 92 දෙනෙකු වාර්තා වු මෙල්බර්න් නුවර නිරෝධායන සීමාවන් තවදුරටත් දිර්ඝ කිරිමට තිරණය කර තිබෙනවා.

මෙරටින් කොවිඩ් අසාදිත තවත් පුද්ගලයින් 3698 දෙනෙකු අද (29) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 425,255 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *