මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්

*********************************************

මෙරට කොරෝනා මරණ ගැන අනාවරණයක්

(27.08.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කොරෝනා දත්ත වාර්තා කරන ‘අවර් වල්ර්ඩ් ඩේටා’ වෙබ් අඩවියට අනුව ජනගහණයට සාපේක්ෂව දෛනික කොවිඩ් මරණ වාර්තාවීම අතින් ශ්‍රී ලංකාව ලොව 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ ලොව රටවල් 190 ක් අතරින්.

තවත් කොරෝනා ආසාදිතයන් 2,122 ක් අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,53,191 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදනය වී සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පූර්ණ සුවය ලබා අද (27) රෝහලෙන් පිටව ගියා.

තමන් මේ වනවිට, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

මේ අතර, එන්නත් ලබා ගැනිමේදී තමන් පදිංචි ග්‍රාම නිළධාරි කොට්ඨාශයෙන්ම එය ලබා ගත යුතු බවට අනිවාර්යය කර නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළා.

ඒ කොළඹ අද (27) පැවැති මාධ්‍ය හමුවකදියි.

මේ අතර කොරෝනා වයිරසය අසාදනය වු හෘද රෝගියෙකුට ප්‍රථම වරට ස්ටෙන්ත් සැත්කමක් සිදු කර තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේදියි.

මේ අතර, ඩෙල්ටා වෛරස ව්‍යාප්තිය සමඟ හෘද රෝගින් වාර්තා විමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මේ අතර, පසුගියදා පැවති විරෝධතාවයකදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ නියෝජිත චමීර කොස්වත්තට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින අතර, ඊයේ (26) සිදුකළ කොරෝනා පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

මේ අතර, රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින ජනතාවක් සමඟ වයිරසය පානය කිරිමේ හැකියාවක් නොමැති බවයි.

(27.08.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 3812 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,16,182 ක් ලෙසටයි.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් 51,022 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,53,191 ක්.

ඒ අද (27) දිනයේ රෝහල්වලින් පිටව ගිය 2122 ත් සමගින්.

කොරෝනා වෛරසය ආසාදිත මරණ 8157 ක් ද ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙනවා ෴

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් අතරින් රෝහල් ගත විය යුත්තේ කුමන තත්ත්වයක පසුවන මව්වරුන් ද යන්න පිළිබඳව ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැහැදිළි කිරීමක් කළා ෴

+++++++++++++++++++

(27.08.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 214 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළ මෙම මරණ 214 ත් සමගින් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 8371 ක් ලෙසටයි.

ඊයේ (26) තහවුරු කරනු ලැබූ මරණ අතරට කාන්තාවන් 94 ක් සහ පිරිමි පුද්ගලයන් 120 ක් අයත්.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව වාර්තා කළ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙයයි.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5 ක් වනවා.

ඒ පිරිමි පුද්ගලයන් 3 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) වශයෙන්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 34 ක් සහ කාන්තාවන් 24 ක් මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 83 ක් සහ කාන්තාවන් 68 ක් මෙම මරණ 214 අතර වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 749 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (27) දිනයේදී මෙරටින් හමුවූ ආසාදිතයන් ගණන 4561 ක් ෴

++++++++++++++++++

(27.08.2021 – 22:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මියගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා පිරිසක් මේවන විට මෙරට මියගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ආණ්ඩුව මෙම මරණ සුළුකොට තකමින් සිටින බවයි.

කොරෝනා ඇතත් නැතත් දෛනිකව 200 ඉක්මවා පුද්ගලයින් මියයන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අඳබාල ප්‍රකාශ සිදුකරමින් කොවිඩ් මරණ සාමාන්‍යකරණයට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ආණ්ඩුවේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ මිනිස් ජීවිත ලන්සුවට තබා ඇති තරම යැයිද එම නිවේදනයේ සඳහන්.

රට වසා දැමීමෙන් පසු ජන ජීවිතය සුරක්ෂිත කරන බවට ප්‍රකාශ කළ ආණ්ඩුව මේවන විට ජනතාවට උහුලාගත නොහැකි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

වී කිලෝ 5 ක් අලෙවි කළද අද පවතින අධික මිලට සීනි කිලෝග්‍රෑමයක් හෝ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ මෑතකදී ඇතිවූ බරපතළම උද්ධමනයට මෙරට ජනතාව මුහුණදෙමින් සිටින බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය පනවා රට වසා දමා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළද එය කෙතරම් අසාර්ථකද යන්න මේවන විට පෙනීයමින් තිබෙන බවත් පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරන ලෙසත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද අදහස් පළ කළා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(27.08.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

සීනි මිල අඩු කළ නොහැකි බව ආනයනකරුවන් පවසනවා.

ඔවුන් පවසන්නේ මේ මොහොතේ තමන් සතුව පවතින්නේ සති දෙකකට හෝ තුනකට (2-3) ප්‍රමාණවත් සීනි තොග පමණක් බවයි.

යම් හෙයකින් ආනයනය සඳහා රජය අවසර ලබා නොදුනහොත් රට තුල සීනි හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

මෙරට සීනි මිල පිළිබඳව මේ වනවිට ඇතිව තිබෙන්නේ දැඩි සංවාදයක්. සති කිහිපයක් තුල සීනි කිලෝවක් රුපියල් 100 කට වැඩි මිලකින් ඉහළ යාම ඊට හේතුවයි.

මෙම තත්ත්වය මත සීනි යොදා ගනිමින් සිදුකරන ආහාර නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ද සංවාදයක් මතුව තිබෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ තේ කෝප්පයක මිල රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.

මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් රටතුල නිෂ්පාදනය කරනු ලබන්නේ දුඹුරු සීනි ලෙස සියයට 20 ක ප්‍රතිශතයක් පමණයි.

ඉතිරි සියල්ල බ්‍රසීලයෙන් හෝ ඉන්දියාවෙන් ආනයනය කෙරෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 (00.25) ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළ අතර එහිදී ද දැඩි සංවාදයක් ඇතිවුණා.

කෙසේ වෙතත්, පසුව වෙළඳපොල තුල සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 ත් 110 අතර මිලක් දක්වා පහත ගියා. අද (27) වනවිට සීනි කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 210 කට ආසන්න මිලකටයි.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ මෙරටට ආනයනය කළ සීනි තොගයක් වරායේ රඳවා ඇති බවයි.

එය සතොස හරහා ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා පවසන්නේ සති 3 කින් පවතින සීනි තොග අවසන් වන බවයි.

එසේම, පාරිභෝගික සේවා අධිකාරිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදි වී ගබඩා තුල ඊයේ (26) සිදුකල වැටලීමත් සමග දිස්ත්‍රික්කය තුල සහල් ප්‍රවාහනය සදහා වාරණ පනවා ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයිනගේ සංගමය පවසනවා.

සහල් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකිරිම සදහා අවශ්‍ය වී තොග මෝල් වෙත නොලැබෙන බවයි ඔවුන් සදහන් කළේ.

මේ හේතුවෙන් ඉදිරියේදී වෙළඳපොළ තුල සහල් හිඟයක් නිර්මාණය විය හැකි බවයි එම සංගමයේ සභාපති ඩබ්.ඩී.කේ.මුදිත් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.

******************************************

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට හානි වන ඉදිකිරීමක් සිදුවී නැහැ – වාරිමාර්ගයෙන් සහතිකයක්

(27.08.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව පිහිටි ප්‍රදේශයේ ගල් ඉවත් කර නව ‘කායික සුවතා ඇවිදින මං තීරුවක්’ ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය අද (27) එම ස්ථානයට පැමිණ විරෝධතාවයක නිරත වුණා.

මාර්ගය අවහිර කරමින් විරෝධතා පළ කළ පිරිස කියා සිටියේ බලධාරීන් එම ස්ථානයට පැමිණෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවටයි.

පරාක්‍රම සමුද්‍රය භාර පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන වාරි ඉංජිනේරුවරයා, දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ද එම ස්ථානයට පැමිණි අතර එහිදී ඇති වුනේ උණුසුම් තත්ත්වයක්.

කෙසේ වෙතත් ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බවට එම ස්ථානයට පැමිණි බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමග පිරිස විසිර ගියා.

කිලෝමීටර 1 යි මීටර 750 ක දිගකින් යුත් මෙම ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 35 ක පමණ මුදලක් වැය වන බව සඳහන්.

++++++++

පරාක්‍රම සමුද්‍රය වනසන ‘වාරි මාර්ග’ සහ ‘නාගරික සංවර්ධන’ බූරුවන් ජනතාව විසින් බැඳ දැමිය යුතුයි ! – ජාතික සංවිධාන නියෝජිතයන්

(27.08.2021 – 15:30 +0530 – lankaleadnews.com)

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයට හානි සිදුවන ආකාරයට පරාක්‍රම සමුද්‍රය පමණක් නොව ඕනෑම වැවක වැදගත්ම කොටසක් වන්නේ වැවේ රලපනාවයි. එසේ වුවද පරාක්‍රම සමුද්‍රයේ රල පනාව කඩා බිඳ දමා ඇවිදින මං තීරුවක් හැදීමට යාම පිළිබඳව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා :

“මේ ආණ්ඩුවේ බොහෝ නායකයින් සහ උසස් නිළධාරින් වැඩ කරන්නේ දෙවියන්ගේ හාල් කැවිලා වගේ. මේ දුෂ්කර අවස්ථාවේදී රුපියල් මිලියන 34 ක් වැය කර වැව් බැම්මට හානි කර නීති විරෝධී ක්‍රියාවකට උපදෙස් දෙන එකාට දෙවියන්ගේ හාල් කැවිලා. එහෙමත් නැතිනම් ඌ පුත්තලම් බූරුවෙකු විය යුතුයි.

නාගරික සංවර්ධන අධිකාරිය මහජනයාගේ බදු මුදලින් පිස්සු කෙලිනවා. රුපියල් මිලියන 200 ක් වැය කරලා නගර අලංකරණ ව්‍යාපෘති දියත් කරනවාද – මේ දුෂ්කර මොහොතේ – මොලේ කළඳක් හෝ හෘදය සාක්ෂියක් තියෙනවානම්. වැවට හානි කිරීම වාරි ආඥා පනතේ යටතේ මෙන්ම පුරා විද්‍යා ආඥා පනත යටතේත් බරපතල වරදක්. ඒ නිසා මේ බූරුවන් වහා අත් අඩංගුවට ගත යුතුයි.”

******************************************

(27.08.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ මාමණ්ඩියට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් අධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළා.

මෝසමක් මගින් ඔහුගේ නීතිඥවරයා මෙම ඉල්ලීම සිදුකර තිබුණේ සැකකරු කොරෝනා ආසාදනය වී ඇති බව පවසමින්.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රැදවියකුට කොරෝනා ආසාදනය වූ පමණින් ඇප ලබා දීම සිදුකළ නොහැකි බව පැවසූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

එසේම, අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර අධීකාරීවරයාට ද අධිකරණය දැනුම් දුන්නා ෴

******************************************

Stare at the cross, there is no green…

Your brain is lying to you.
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *