ඩෙල්ටා සමග එන හෘදයාබාධ මාරයා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ගෙන් අනතුරු ඇඟවීමක්

ඩෙල්ටා සමග එන හෘදයාබාධ මාරයා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ගෙන් අනතුරු ඇඟවීමක්

*********************************************

ඩෙල්ටා සමග එන හෘදයාබාධ මාරයා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ගෙන් අනතුරු ඇඟවීමක්

(27.08.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ් ඩෙල්ටා වෛරසය වැළඳුනහොත් කිසිදු පූර්ව ලක්ෂණයක් නො පෙන්වා ම හෘදයාබාධ ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.

වෛද්‍යවරයා කියා සිටින්නේ මෙය අතිශයින් බරපතල තත්ත්වයක් බවයි.

පසුගිය සති කිහිපය තුළ දී එලෙස හඳුනාගත් රෝගීන් විස්සකට (20) වැඩි සංඛ්‍යාවක් සඳහා හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මේ අවදානම හේතුවෙන් යම් අයෙකුට හෘදයාබාධයක මූලික ලක්ෂණ පෙන්නුම් කළහොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීම වඩාත් නුවණැති ක්‍රියාවක් බවයි, විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් පළමු (1) සහ දෙවැනි (2) රැලිවල දී එවැනි රෝගීන් දක්නට නො ලැබුණු බව කී වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසන්නේ තුන්වැනි (3) රැල්ලේ දී මතු වූ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.

මෙලෙස හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහෝ දෙනෙකු අඩුවයස්වල පසුවන්නන් බව කී වෛද්‍යවරයා ඔවුන් හෘදයාබාධවලට හේතුවන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියා වැනි රෝග නොමැති අය බවත් කියා සිටියා ෴

+++++++++++++++++++

(27.08.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන 2 ක් හෙට (28) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යි.

කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමඟ අගෝස්තු මාසයේ දී දිවයිනට සැපයූ සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 7 දක්වා ඉහළ යන බවයි.

එමෙන්ම, මේ දක්වා ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සයිනොෆාම් කොරෝනා එන්නත් ප්‍රමාණය ද එහි දී මිලියන 18 දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++

(27.08.2021 – 09:13 +0530 – hirunews.lk/sinhala)

2021 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙතෙක් අයදුම් නො කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා, අයදුම් කිරීමේ කාලසීමාව සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කර ඇති බව, විභාග කොමසාරිස් සඳහන් කරනවා ෴

+++++++++++++++++

කොවිඩ් ආසාදිතව සුවවී නිවසට ගිය පුද්ගලයා පසුදා මියයයි

(26.08.2021 – 19:43 +0530 – sinhala.adaderana.lk)

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15 ක සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 195 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් වාර්තා තහවුරු කරයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඉකුත් 24 වනදා නිවසට ගිය පුද්ගලයෙක් අද (26) පෙරවරුවේ මරණයට පත්වී තිබුණි.

මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයාට අද (26) පෙරවරුවේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.

බණ්ඩාරවෙල කේෂන් වතුයායේ කොවිඩ් ආසාදිත පවුලක් නිරෝධායනයට යොමුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට පුද්ගලයෙකු, මරණීය තර්ජනය කළ පුවතක් වාර්තා විය.

නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදෙන ආහාර මල්ල ලබාදීම ප්‍රමාද වූ බවට චෝදනාකරමින් එම පුද්ගලයා දුරකථනයෙන් තර්ජනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

බණ්ඩාරවෙල පොලීසිය අද (26) එහි ගොස් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට පැමිණි ප්‍රදේශවාසීන්ට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසාද නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසීය.

හොරණ නගරසභා ආදාහනාගාරයට අද (26) කොවිඩ් මෘතදේහ 13 ක් රැගෙන ආවේය.

නමුත් එහි ධාරිතාව ප්‍රමාණවත් නොවීමෙන් ඉන් 5 ක් එම ප්‍රදේශයේ සෙසු ආදාහනාගාර වෙත රැගෙනයෑමට සිදුවිය.

ආදාහනාගාර ක්‍රියාකරු උපුල් පෙරේරා මහතා සඳහන් කළේ,

“කරගන්න බැරි තරමට ආදාහන එනවා. අද තරුණ කෙනෙකුත් ආවා. අපේ කන් පිරිලා අඳෝනාවලින්. ඇයි දෙයියනේ කියන දේ අහන්න බැරි. අපිට ගෙදර ගිහිල්ලත් නින්ද යන්නේ නෑ .”

+++++++++++++++++++

(27.08.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය දුරකතනය ඔස්සේ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත් මොහොතේ ඔහු කියා සිටියේ මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි.

තවත් සුළු වේලාවකින් රෝහලෙන් බැහැර ව සිය නිවස වෙත යන බවත් ඔහු පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කොරෝනා වයිරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ම ස්තූති කිරීමටත් අමතක කළේ නැහැ.

එමෙන්ම, තමන් අසාධ්‍ය තත්ත්වයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ව්‍යාජ ඡායාරූප පවා උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින්ට අනුකම්පා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

හිරු ප්‍රවෘත්ති සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අනතුරු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ ෴

+++++++++++++++++++++

(27.08.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ස්ථාන රැසක ම අද (27) දිනයේත් කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුවෙනවා :

+ [ 01. එන්නත්කරන මධ්‍යස්ථාන ]

+ [ 02. එන්නත්කරන මධ්‍යස්ථාන ]

+++++++++++++++++++++

(27.08.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රට ලොක් ඩවුන් කිරීම නිසා රජයට අහිමි වන සුරාබදු ආදායම රුපියල් බිලියන 6 ක් පමණ වන බව ඇස්තමේන්තු කර තිබෙනවා.

අවම වශයෙන් වැඩකරන දිනයක දී සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදෙන බදු ආදායම රුපියල් මිලියන 600 ක්.

එමෙන්ම, පොදු ප්‍රවාහන කටයුතු සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව, නවතා දැමීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 100 කට ආසන්න පාඩුවකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 80 ක පමණ පාඩුවකුත් සිදුවන බවට යි ගණන් බලා ඇත්තේ.

මේ අතර, බස් සංගම් පවසන්නේ පවතින වසංගත තත්ත්වය හමුවේ යළිත් රට වසා දැමීම නිසා සමස්ත පෞද්ගලික බස් කර්මාන්තයට රුපියල් කෝටි 1600 ක පමණ පාඩුවක් සිදුවන බවයි.

මෙම තත්ත්වය මත ලීසිං ආපසු ගෙවීමේ සහන තවදුරටත් ලබාදෙන්නැ යි බස් සංගම් විසින් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. මේ දිනවල ඒ පිළිබඳව සලකා බලමින් සිටින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා ෴

+++++++++++++++++

(27.08.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 7000 සිට 8000 පසුකර යාමට ගත වී ඇත්තේ දින 5 ක පමණ කාලයක්.

කොරෝනා මරණ 209 ක් ඊයේ (26) දිනයේ දී වාර්තා කෙරුණු අතර, එය මෙරටින් දිනක දී වාර්තා වූ වැඩි ම මරණ සංඛ්‍යාව යි.

මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 8157 ක් වාර්තා වනවා.

එසේ ම ඊයේ (26) දීනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 4602 කු වාර්තා වූ අතර, ඉන් පස් දෙනෙකු (5) විදේශ ගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,12,370 දක්වා ඉහළ යනවා.

මේ අතර, සිය 19 වන ඡන්ම දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක (10,00,000) වෛද්‍ය උපකරණ තොගයක් කොරෝනා ප්‍රතිකාර වෙනුවෙන් ලබා දීමට කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයකු ඊයේ (26) කටයුතු කර තිබෙනවා.

ඉදිරියේ දී ‘ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ’ හඳුන්වාදීම සඳහා සැලසුම් කර ඇති බවත් ලොව රටවල් රැසක එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

එසේ ම, සංචරණ සීමා පැනවීම තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නො හැකි අතර, ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේ දී එය ඔප්පු කර ඇති බවයි, සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (26) පැවති සාකච්චාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (27) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වසංගතය පාලනය කිරීමට විසදුම, රට වසා දැමීම පමණක් ම නො වන බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 59,621 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 626 ක් ගත වූ පැය 24 දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ ෴

++++++++++++++++++

ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත

(26.08.2021 – 18:10 +0530 – sinhala.adaderana.lk)

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416 ක මුදලක් අය කරගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසන්නේ අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන පුද්ගලයින් රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ඔහු ගමන් කරන රට අනුව අදාළ එන්නත ලබාදීමට පියවර ගන්නා බවය.

“ගාස්තු අය කිරීමකින් තොරව ලියාපදිංචියක් ලබාදෙන්න බෑ අපිට. රැකියා සඳහා යන බව තහවුරු කරන්නේ නැතුව අපිට මේ අයව යොමු කරන්නත් බෑ එන්නත් වැඩපිළිවෙලට.”

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(27.08.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී රුපියල් ලක්ෂ විස්සකට (20) අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථ අසුනක හිස තබන කොටසේ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53 යි මිලි ග්‍රෑම් 510 ක් මෙලෙස සොයා ගැනුණා.

මීට අමතර ව මෙම වැටලීමේ දී රුපියල් ලක්ෂ පහකට (5) වැඩි වටිනාකමින් යුත් තීරු බදු නො ගෙවා ආනයනය කරන ලද විදෙස් රටක නිෂ්පාදිත සිගරට් තොගයක් ද අත්අඩංගුවට ගත්තා.

ඊයෙ (26) සවස 03:30 ට පමණ සිදු කෙරුණු මෙම වැටලීමේ දී අදාළ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරු මීට මසකට පමණ පෙර ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි අයෙකු බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒම පසුපස මේ වන විට ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ දැයි යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා (2) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දුන් අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඔවුන් විසින් සිදු කරනු ඇති ෴

******************************************

(27.08.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

සීනි මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ පාරිභෝගික ජනතාව අසීරුතාවට පත් ව තිබෙනවා.

සතියක පමණ කාලසීමාවක් තුළ දී සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් ඇති අතර, කිලෝවක වෙළඳපොළ මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 210 ක් ලෙසයි.

මෙම තත්ත්වය තුළ සීනි මිල අඩුකිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළත් තවමත් එය වෙළඳපොළ තුළ යථාර්ථයක් වී නැහැ.

මේ අතර, ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය මත තේ කෝප්පයක මිල රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවීමට සිදුවන බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 වනදා සීනි කිලෝවක් මත පැන වූ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කළා.

ඒ පිළිබඳ දැඩි සංවාදයක් ඇති වූ අතර, බදු සහනය ජනතාවට ලබා නො දී ව්‍යාපාරිකයන් විසින් ලබා ගත් බවට යි විවිධ පාර්ශව චෝදනා කළේ.

එමෙන්ම, ඊට සති කිහිපයකට ඉහත දී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ප්‍රමාණවත් සීනි තොග රට තුළ පවතින බවයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පවතින නීතිවල ද අඩුපාඩුවක් පවතින බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා සිටියා.

මේ අතර, එළවළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

බෝංචි, කැරට්, ගෝවා, කිලෝවක් රුපියල් 220 ත් 280 ත් අතර මිලකට අලෙවි වනවා.

එමෙන්ම, අල සහ පරිප්පු මිල ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවන්ට අනුව, ජූලි මස අවසානයේ මෙරට උද්ධමන සියයට 6.8 දක්වා ඉහළ ම අගය සලකුණු කර තිබෙනවා ෴

******************************************

කළුබෝවිල රෝහලට නව වාට්ටු සංකීර්ණයක්

(26.08.2021 – 19:17 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දිනවල නේවාසික කොවිඩ් ආසාදිතයන් වැඩිවීමේ අර්බුදයකට මුහුණ දී තිබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ධාරිතාව වැඩිකිරීම සඳහා ඉදිකළ නව වාට්ටු සංකීර්ණය අද (26) රෝහල් බලධාරීන් වෙත භාරදීම සිදුකෙරුණි.

ඒ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙනි.

මහල් 8 කින් යුත් නව ගොඩනැගිල්ලේ 4 , 5 සහ 6 යන මහල්වල යුද හමුදාවේ දායකත්වයෙන් එම වාට්ටු ඉදිකර ඇති අතර රෝගීන් 250 දෙනෙකුට එහි ප්‍රතිකාර ලබාදිය හැකිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *