කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ?

කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ?

*********************************************

කොවිඩ්-19 රෝගීන්ට බෙහෙතක් : දෙහි කොළ හපන්න දෙන්න ?

(26.08.2021 – facebook.com/ravinath.wijesekara)

සියල්ලෝම කියවත්වා !

කොවිඩ් 19 අත්දැකීම්…! “සමහරවිට” බොහෝ ගණනක් ජීවිත බේරා ගැනීමට හැකි වේවි.

අගෝස්තු 14 වෙනිදා සෙනසුරාදා උදෑසන මා අවදි වූයේ සෙම්ගෙඩි සෑදීගෙන එන විට දැනෙන උගුරේ අපහසුව හා සමාන දැනීමක් සමඟය. එදින දවස පුරා යන්තමින් දැනුණු හිස රිදීමක් හැර වෙනත් ලොකු ප්‍රශ්නයක් නොවීය. මේ වෙන විට මා දිනපතා, එක හුස්මකින් ගණන් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම ආරම්භ කර තිබිණි. උණ නැත. දිව යටින් උපකරණය තබා පරීක්ෂා කිරීමේදී පවා මගේ උෂ්ණත්වය පෙන්වන්නේ 97.2 ට අඩුවෙනි. සමහරවිට, උණ කටුවේ (Thermometer) ලෙඩක් විය හැකිය. කොහොමටත් මා කූල් කොල්ලෙකි.

සෙනසුරාදා රාත්‍රී ආහාර වේල සාදා තිබුණේ ලුණු අඩුවෙනි. කෑමෙහි කිසිම ගතියක් නැත. බඩ ගින්න නිසා බත් කටවල් කිහිපයක් අනුභව කර ඉතිරිය වීසි කර දැමුවෙමි.

ඉරිදා (අගෝස්තු 15) උදෑසන උගුරේ අපහසුව වැඩි වී ඇති බව දැනිණි. ඒ මදිවාට ඔලුවත් යන්තමින් රිදෙන්නේය. හෙම්බිරිස්සාව හැදෙන්නට එනවා වගේ දැනේ. ශරීර උෂ්ණත්වය (දිව යට) පරීක්ෂා කළෙමි. 98.1 කි. බෙල්ලේ පිටුපස කැක්කුමක් අලුතින් සෑදී තිබිණි. නිවසේ සිටින බැවින් කාමරයමට වී සිටියෙමි. දවසම ෆෑන් එකක් දමා සිටි නිසාදෝ පැයෙන් පැයට පරීක්ෂා කළත් ශරීර උෂ්ණත්වයේ සැලකිය යුතු වැඩිවීමක් නොමැත. උපරිමය තිබුණේ 98.7 ය. හවස් වෙන විට එම අගයත් අඩුවිය. මා සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධ (Losartan Potassium 50mg / Ecosprin 75mg) හැරුණු විට කොත්තමල්ලි වේල් දෙකක් පමණ මේ වන විට ලබා ගෙන තිබිණි. උදෑසන දුම් ඇල්ලුවෙමි. වෙනසක් නැත. ක්‍රමානුකූලව අපහසුතා වර්ධනය වන බව හැඟෙමින් තිබිණි. එය බොහෝ විට දවසම එකම ආසනයක වාඩි වී පරිගණකයේ එල්ලී සිටීම නිසා බව සිතුවෙමි.

කෙසේ වෙතත් නරකම දේ අපේක්ෂාවෙන් සිටි බව මෙහි සඳහන් කළ යුතුය.

නිවසේ සිටින දිනවල හවස් වෙන විට බුලත් විටක් කන්නටම සිතේ. නිවසට ආසන්න කඩෙන් ගෙන්නා ගත් බුලත් විටක් සැපීමි. බුලත් පුවක් හුණු දුම්කොළ කුරුඳු සහ කරාබුනැටි සහිත විටක් ඒදා ගත් විට එය රස සංකලනයකි. එම සුපුරුදු රසයන් විටෙහි නොතිබුණු බව මතකයට නැගේ. නිකම් ලී කැබලි සපන විට මුවට දැනෙන හැඟීමට ආසන්න මොකක්දෝ එකක් පමණක් තිබුණු බවත්, විටෙහි සුපුරුදු රසය නැති නිසා එපා වූ බවත් මතක් වුණේ පසුවදා වැඩේ හරියටම නිගමනය කිරීමෙන් පසුව ය.

සඳුදා (අගෝස්තු 16) උදෑසන දත් මදින විට දන්තාලේපයේ රස නොදැනෙන බවත්, සුවඳ කිසිසේත් නොදැනෙන බවත් (එය මින්ට් සුවඳති ලෙමන් රසැති දන්තාලේපයකි) කිසිම රසත් නැති බවත්, නිකන් මැටි වැනි යමක් මුවෙහි ඇති බවත් හැඟිනි. “නරකම දේ” මටත් ආසාදනය වී ඇති බව තේරුම් යමින් තිබිණි.

මා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා දෙකම ලැබූ අයෙක් වුවත් මාත්‍රා දෙක අතර පරතරය මාස 5 කුත් සති දෙකක් විය. වෙනත් කිසිදු පැණියක් හෝ කෙමක් කොරෝනා වැළැක්වීම පිණිස ලබා ගෙන නොමැත. විද්‍යාත්මක සාක්ෂි අනුව එන්නත් දෙකම ලබා ගත්තත් කොරෝනා ආසාදනය විය හැකිය.

මේ මොහොත වන විට උගුරේ අපහසුව යම් තරමකින් වේදනා දෙන තත්වයක් දක්වාත් නාසය සිරවූ ගතියක් දක්වාත්, කොන්ද පිටුපස වේදනාව, බෙල්ල පිටුපස වේදනාව, කකුල්වල සහ වැලමිට සන්ධිවල වේදනා සිද්ධාලේප තැවරීමට සිතෙන තරම් වර්ධනය වී තිබුණේ ය. මා මිත්‍ර, රාගම රෝහලේ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා හට දුරකතනයෙන් අමතා රෝග ලක්ෂණ පවසා සිටියෙමි. ඔහු පැවසුවේ නිවැසියන් හා මුසු නොවී හැකිතාක් තනිවම සිටින ලෙසත් හෙට වෙන තුරු ඉවසා සිට ඇන්ටිජෙන් පරීක්ෂණයක් කර ගන්නා ලෙසයි. ඇන්ටිජෙන් කර ගැනීමට ආසන්නම නගරය වරකාපොල යි. පළාත් අතර ගමනාගමනය දැඩි ලෙස සීමා කර ඇති බව රජය නිවේදනය කර තිබිණි. මා බස්නාහිර පළාතේ කොනේ ය. වරකාපොළ සබරගමු පළාතේ ය. දේශසීමා පැනීම ලේසි නැත. නිට්ටඹුවට යා යුතුය. අවම වශයෙන් ත්‍රීවීල් රථයක් කැන්දා ගත යුතුය. ඇත්ත කිව්වොත් මොන තරම් යාළු මිත්‍රයන් වුවත් මඟහරින බව සහතිකය. බොරු කියා එක්ක යාම මගේ ප්‍රතිපත්තිය නොවේ. මට රෝගය ආසාදනය වූ බව සැබෑය. නමුත් මගෙන් කිසිවෙකුටවත්, අවම වශයෙන් නිවසේ කිසිවෙකුටවත් රෝගය බෝ නොවිය යුතුය. මා මිය ගියත් මගේ ප්‍රතිපත්තිය එයයි. ප්‍රශ්න ගොඩකි. ඩොක්ටර් මොනවා කිව්වත්, මට ලෙඩේ ඇවිත් දැයි සැක හැර දැන ගැනීමේ උවමනාවක් මට තිබුණත් ඇන්ටිජෙන් එකක් හෝ පීසීආර් එකක් කර ගැනීමට යාම මා සමඟ ගමන් කරන සෙසු අයත් අවදානමක හෙළිමක් කියා හැඟීමක් ඇතිවිනි.

ගඳ සුවඳ දැනීම අඩුවීමක්ද, නැත්නම් මා හට සිදුවූ වැරදීමක්ද කියා තහවුරු කර ගැනීමේ දැඩි වුවමනාවක් ඇති විය. නිවස ඉදිරිපිට වැවී තිබෙන මදුරුතලා ගස සොලවා බැලුවෙමි. වෙනදා ගස සොලවා තත්පර ගණනික් පරිසරයම සුවඳවත් වේ. නැත. යන්තමින්වත් නොදැනේ. වත්තේ ඉහල කොටසේ යකිනාරං, දෙහි, නාරං සහ ගඳපාන වැනි, පත්‍ර පොඩිකළ විට ප්‍රබල සුවඳක් හමන ශාක තිබේ. වත්තේ ඉහලට යාමට ගල් පඩි දිගේ නගින විට වෙනදා නොතිබුණු හතියක් මහන්සියක් දැනුනත් යකිනාරං පැලය අසලට ගොස් කොළයක් පොඩිකර නාසයට හොඳටම කිට්ටු කර බැලුවෙමි. හැකිතාක් නාසයට ලංකොට ඉඹ බැලුවෙමි. කිසිදු සුවඳක් නැත. වඩා සැර සුවඳක් සහිත ගඳපාන ශාකයත් ඒ අසලම නිසා එහි කොළයක්ද පොඩිකර බැලුවෙමි. එහිත් සුවඳක් නැත. යන්තමින් මොනවාද දැනේ. නමුත් සුපුරුදු ආකර්ශණීය ටර්පන්ටයින් වැනි ආවේනික සුවඳ දැනෙන්නේ නැත. දැන් වැඩේ තහවුරුය. අතේ ෆෝන් එක තිබුණු නිසා පඩිපෙලෙහි වාඩි වුණෙමි. එතන සිට ෆේස්බුක් බලමින් කල්පනා කළේ ඉදිරි කටයුතු කර ගන්නා ආකාරයයි. ඔළුව පිස්සන් කොටුවක් වගේය.

රස දැනීම අඩුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීමේ හැඟීමක් ඇතිවිය. වාඩිවී සිටි තැනට වම් පැත්තෙන් මා විසින්ම සිටවූ පැලයක කොළ දෙකක් කඩා සරමෙහි පිස දමා සැපුවෙමි. කිසිම රසක් නැත. කඩදාසි කෑල්ලක් කෑවා හා දැනේ. ඊයේ රාත්‍රියේ සැපූ බුලත් විටෙහි රසයක් නොදැනී නිකන් ලී කෑලි සපනවා වගේ හැඟීමක් තිබුණු බවත් ජරා පුවක් යැයි සිතමින් බුලත්විටය වීසි කළ බවත් මතක් වූයේ එවිට ය. කෑම රස නොවීමට හේතුව පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වූයේ එම තිත්ත කොළයේ රසය නොදැනීම තේරුම් ගැනීමෙන් පසුව ය.

එන දේට මුහුණ දීම හැර වෙන කිරීමට දෙයක් නැත. ෆේස්බුක් එකේ දුටු හුස්ම ගැනීමට නොහැකිව වද විඳින මිනිස් මුහුණු මැවී පෙණිනි.

එසේ පැයක් පමණ සිටියාට පසුව “කොත්තමල්ලි හැදුවා.. බොන්න එන්න” යනුවෙන් මා අමතන හඬ ඇසිනි. උදේ කිසිවක්ම ආහාරයට නොගත් බවත් දැඩි කුසගින්නක් ඇති බවත් හැඟිනි. කාමරය අසලට ගොස් බලන විට කෑම ගෙනවිත් තැබීමට තැබූ බංකුව උඩ කොත්තමල්ලි, හකුරු සමඟ ‘ෆෘට් ඇන්ඩ් නට්ස්’ කේක් කෑල්ලකි. කොත්තමල්ලිවලට වඩා මට ඒ මොහොතේ අවශ්‍ය වී තිබුණේ කුසට යමක් දමා ගැනීමට ය. ඒ තරම්ම කුස ගින්නක් දැනිනි. කේක් කෑල්ල අතට ගතිමි.

අදහා ගත නොහැක. මට කේක් කෑල්ලේ සුවඳ දැනේ. මට පිස්සු නොහැදුණා පමණි. මෙරට තිබෙන ප්‍රබලම සුවඳක් තිබෙන ශාක පත්‍රවල සුවඳ නොදැනී පැයක් ගතවී නැත. සාපේක්ෂව යන්තම් සුවඳක් ඇති කේක්වල සුවඳ දැන් දැනේ. කේක් කෑල්ලේ කොළ පාට කෑල්ලක් කඩා එය රස බැලුවෙමි. සුපුරුදු රසය දැනේ. කේක් කෑල්ල ආපසු පීරිසියේ තබා හකුරු කෑල්ල ගෙන සිඹ බැලුවෙමි. හකුරුවලට ආවේනික සුවඳ දැනේ. කොත්තමල්ලි කෝප්පයේද සුවඳ දැනේ. ගත වූ විනාඩි 50 ත් පැයත් අතර මහා වෙනසක් සිදුවී තිබේ.

ආපස්සට කල්පනා කර බැලුවෙමි. අවස්ථා සම්බන්ධය ඉතාම වැදගත් ය. මා දත් මැදීමෙන් පසුව මුවට ගත්තේ ‘දෙහි කොළ දෙකක්’ පමණි. සපා දිවේ එහාට මෙහාට පෙරලමින් සිටියා මිස කෙළ ගිල්ලේ නැත. විනාඩි 5 ක් පමණ හපය කටේ තියෙන්නට ඇත. නිසැකවම මේ වෙනස ඇති කරන්නට ඇත්තේ දෙහි කොළ විසිනි.

එය බරපතල ලෙසින් සැලකිය යුතු අහඹුවකි. මා දෙහි කොළ සැපුවේ රස දැනෙන ස්නායු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ය. එම අහඹුව මගින් කොරෝනා කොවිඩ්-19 රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් තාවකාලිකව හෝ මගේ ශරීරයෙන් ඉවත්වී තිබේ. එතරම් ක්ෂණික වෙනසක්; ශරීර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් පමණක් රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණයක් ඉවත්විය නොහැකි බව දනිමි. එම නිසා, කොවිඩ්-19 රෝග ලක්ෂණය ඉවත් කළ එකම බාහිර බලපෑම විය යුත්තේ විනාඩි කිහිපයක් කටේ තබා ගත් දෙහි කොළ හපය මගින් මගේ ශරීරයට එකතු වූ රසායනිකයක බලපෑමකි.

කේක් කෑල්ල ඉතාම රසවත්වය. අවුරුදු 54 ක ජීවිතය තුළ මෙතෙක් කෑ රසවත්ම කේක් කෑල්ල එයයි. හකුරුත් සමඟ කොත්තමල්ලි දිව්‍ය පානයක් සේය. ඒ මොහොතේ සිතේ ඇති වුණු සතුට නිසා මට දැනුණු ආකාරයයි.

දෙහි කොළයේ තිබෙන යම් රසායනකයක් කොවිඩ්-19 වෛරසය විසින් මගේ ශරීරය වෙත එල්ල කළ බලපෑම යම් ප්‍රමාණයකින් මැඩ පැවැත්වීමේ මෙහෙයක් ඉටු කළ බව අවබෝධ කර ගතිමි.

කොත්තමල්ලි කෝප්පය පානය කිරීමෙන් පසුව නැවත දෙහි ගස අසලට ගොස් කොළ දෙකක් කඩා ටැප් එකට අල්ලා සෝදා සැපුවෙමි. දැන් තිත්ත සහ පැඟිරි රස මුසුව ඉතා හොඳින් දැනේ. කොළ දෙකකින් රස සුවඳ ගඳ දැනීම සාමාන්‍ය අතට පත් වුණා නම් කොළ දෙකක බලපෑම හොඳටම ප්‍රමාණවත් යැයි තීරණය කළෙමි. වරකට දෙහි කොළ දෙක බැගින් යනුවෙන් තීරණයක් ගතිමි. පරීක්ෂණයට භාජනය කරන්නේ මගේ ශරීරයයි. එයට කාගෙන්වත් තහනමක් නැත. කාටවත් තහනම් කළ නොහැකිය. උගුරේ වේදනාව, බෙල්ලේ පිටුපස වේදනාව, හන්දි කැක්කුම් සහ යන්තමින් දැනෙන හිසරදය දිනය අවසන් වෙන තුරු පැවතිනි.

රාත්‍රී නින්දට පෙර පරීක්ෂා කිරීමේ දී එක හුස්මකින් ගණන් කළ හැකි ගණන 17 සිට 25 දක්වා වර්ධනය තිබිණි.

පසුදා උදෙත් (අගෝස්තු 17) තේ පානයෙන් පසුව දෙහි කොළ දෙකක් සැපුවෙමි. ඒ වන විට අත්හදා බැලීම සඳහා බුලත් විටක් සේ සම්පූර්ණයෙන් ක්‍රීම් එකක් වෙන සේ හපමින් දිවෙන් වමට, දකුණට පෙරලමින් විනාඩි 8 ක් පමණ මුව සම්පූර්ණයෙන් කෙළවලින් පිරී යන තෙක් තබා සිටියෙමි. විනාඩි 8 කට පමණ පසුව කෙළ ගැසීමි. දිනය අවසන් වෙන විට උගුරේ අමාරුව සහ හිසරදය පැනඩෝල් පෙත්තක්වත් නොබී වේදනාවක් නොදැනෙන තරමට අඩු වී තිබිණි.

“දවසට දෙවරක්; මේරූ තද කොළ පැහැති දෙහි කොළ දෙකක්, ශාකයෙන් නෙළා ගත් සැනින්, පත්‍ර නොතලා ගලා යන වතුරෙන් සෝදා බුලත් හපයක් සේ (pulp or cream) වනතුරු තොල් වසා ගත් මුව තුළ හපා විනාඩි 8 ක් වමට දකුණට දිවෙන් පෙරලමින්… කෙළ ගිල දැමීමක් අවශ්‍ය නොවන බව” මගේ ශරීරය යොදා ගනිමින් කළ පරීක්ෂණයේ ආසන්නතම නිගමනයක් සේ සඳහන් කරමි.

නින්දට පෙර පරීක්ෂා කිරීමේදී එක හුස්මකින් ගණන් කළ හැකි ගණනෙහි සාමාන්‍ය අගය 34 ක් දක්වා වර්ධනය වී ඇති බව සතුටින් සිහි කරමි. එම පරීක්ෂාව කරන්නේ මෙසේය. ලොකු හුස්මක් ගන්න. පිටතට ඇසෙන පරිදි එකේ සිට ඉදිරියට ගණන් කර ගෙන යන්න. නැවත හුස්මක් (ආශ්වාස) නොගෙන ගණන් කළ හැකි උපරිම අගය මතක තබා ගෙන අවම වශයෙන් තුන් වතාවක් වත් පරීක්ෂාව කර එහි සාමාන්‍ය අගය ගන්න. එමගින් ඔබගේ පෙනහලුවන ශක්තිය තේරුම් ගත හැකි බව අන්තර්ජාලයේ සංසරණය වූ විශේෂඥ වෛරවරයෙකු විසින් නිකුත් කළ වීඩියෝවකින් දැන ගැනීමට ලැබිණි.

මා අනුගමනය කරනු ලැබුවේ එම වෛද්‍ය උපදේශයයි.

බදාදා (අගෝස්තු 18) උදේ අවදි වූයේ වඩාත් පහසු හැඟීමකිනි. පෙර දිනයේ පරිදිම, දෙහි කොල දෙකක් සපා විනාඩි 8 ක් පමණ මුවෙහි තබාගෙන සිටියෙමි. දෙහි කොළ සැපීමේදී පිටවන පැඟිරි ඉවතට යාම වැළැක්වීම සඳහා තොල් වසා සැපිය යුතුය. මා අනුමාන කරන්නේ දෙහි පැඟිරි මුව හරහා ස්වසන පද්ධතියට ඇතුල් වී වෛරසයට එරෙහිව ක්‍රියා කරන බවයි. නිවැසියන්ටත් ක්‍රමය කියා දී දෙහි කොළ දෙකක් සපා බලන ලෙස පැවසුවෙමි. ප්‍රතිඵලය ලෙසින් ඔවුන්ටත් ආශ්වාසයේදී වඩා පහසුවක් දැනෙන බව ප්‍රකාශ විය.

ඊලඟට මගේ මවටත් සහෝදර සහෝදරියන්ටත් අත්දැකීම පැවසුවෙමි. ඔවුන්ද අත්හදා බලා තිබුණු අතර සියලු දෙනා පැවසුවේ හුස්ම ගැනීමේ පහසුවක් ඇති කළ බවයි.

පළමුව, පරීක්ෂණය සඳහා මගේ ශරීරය යොදා ගනිමින් සහ වසක් විසක් නොමැති බව අන්තර්ජාලයෙන් සොයා ලැබීමෙන් අනතුරුව අඛණ්ඩව දින 7 ක් පමණ කාලයක් සිදුකළ එම අවිධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵලය ලෙසින් මා අනුමාන කරන්නේ දෙහි කොළ (Citrus leaves) සැපීමෙන් මුව තුළදී නිකුත් වෙන යම් රසායනයක් මගින් ස්වසන පද්ධතියේ අවහිරතා ඉවත් කර ස්වසනයට පහසුවක් ඇති කරවන බවයි. එය බොහෝ විට පැඟිරි නමින් හඳුන්වන වාශ්පශීලි සංගඨකය විය හැකිය. දෙහි කොළ මුව තුළ තබා සැපීමේදී පැඟිරි අපතේ නොයයි. එම වාෂ්පශීලි සංඝටක සියල්ල මුව හරහා ආසන්න ඉන්ද්‍රියන් වෙත ලඟා වෙනවා විය හැකිය. එමගින් වෛරසයේ බලපෑම අඩපන කරනවා ද විය හැකිය. එම නිසා දිවේ සහ නාසයේ පිහිටා ඇති රස සහ ගඳ සුවඳ දැනීමේ සංවේදන ඉන්ද්‍රියන් කෙරෙහි වූ වෛරසයේ බලපෑම ඉවත් වූවා විය හැකිය. මේවා අනුමාන පමණි.

රෝග ලක්ෂණ පහල වී අදට දින 8 කි. තනි හුස්මකින් 55 එහා අපහසුවක් නැතිව ගණන් කළ හැකිය. ආරම්භ වූ දිනයේ 17 කට එහා බැරිවිය. උගුරේ අපහසුතා සහ වේදනා, හිස කැක්කුම් හන්දි කැක්කුම් කිසිවක් නැත.

දෙහි කොළ සැපීම හුස්ම ගැනීම පහසු කරන බව නිගමනය කළ හැකිය. නමුත් මගේ පළමු නිරීක්ෂණය වූයේ නැතිවී ගිය රස සුවඳ දැනීමේ සන්වේදනය නැවත ලැබීමයි. දෙහි කොළයේ තිබෙන යම් රසායනයක් වෛරසය බිඳ දමන්නේ දැයි සොයා ගැනීම කළ යුත්තේ පහසුකම් සහිත විද්‍යාගාර තුළය.

මා හට මේ වන විට කිසිදු රෝග ලක්ෂණයක් හෝ අපහසුවක් නැතත්….

රෝග ලක්ෂණ මතුවූ පළමු දින සිට ගණන් බැලූ විට දින 14 ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 28 වෙනිදාට ය. එම දිනය තෙක් මා කාමරයෙන් එලියට යන්නේ මාස්ක් එකක් දමා ගෙන ය. මා පාවිච්චි කළ පසුව වැසිකිලිය, ජල කරාම, බිම සහ දත් මැද කෙළ ගැසූ තැන පවා ‘විම් ලික්විඩ්’ (Liquid detergent) ජලය මිශ්‍ර කර සාදා ගත් ද්‍රවනයකින් සෝදා එමි. සෞඛ්‍ය නිර්දේශය අනුව දින 14 සම්පූර්ණ වන තුරු මගෙන් වැරදීමකින්වත් තවත් කෙනෙකුට වෛරසය පැතිරීමට ඉඩක් නොතබමි. මා ආහාර ගත් බඳුන් දමන්නෙත් එලෙසින් සාදා ගත් විම් ද්‍රාවනයක් පුරවා ඇති බේසමකට ය. ඒ පිළිවෙල තව දුරටත් මා අනුගමනය කරන්නේ වෛරසය තවමත් මගේ ශරීරය තුළ තිබෙන්නේ දැයි හෝ නැතිදැයි විද්‍යාත්මකව නොදන්නා නිසාය.

වසූරියට එන්නතක් සොයා ගත්තේ අහඹු නිරීක්ෂණයක් මගිනි. ඉන්සියුලින් ද අහඹුවකි. ඒවා අහඹුවේ අවස්ථා සම්බන්ධය පිළිබඳ සැලකිලිමත්වීම නිසා ලැබුණු මානව ජයග්‍රහන බව ඔබ දන්නේ ය.

මා හට අහුඹුවෙන් ලැබුණු දැනුමක් ඔබ සැම වෙත මෙලෙසින් විවෘත සමාජ මාධ්‍යයක් හරහා ලබා දෙන්නේ ඔබගේ ජීවිතයත් මගේ ජීවිතය තරම්ම මා හට වටිනා නිසාය. එය පරීක්ෂා කර විද්‍යාත්මක හේතු සොයා ගැනීම සහ තහවුරු කර ගැනීම ඔබ ඇතුලු මානව සමාජයේ වගකීමක් වේ. මේ අහඹු අත්දැකීම, මිලියන ගණනින් ජීවිත බිලි ගන්නා වසංගතයට සාර්ථක පිළියමක් වන්නේ යැයි ඔප්පු වී වසංගතයේ ගොදුරු ලෙසින් මිය යාමට නියමිතව සිටින මිනිස් ජීවිතවලින් කොටසක් හෝ රැකෙන්නේ නම්, ඒ මිනිස් සමුහයා ජීවත් වන්නේ යැයි හැඟීයාම මා හට, අහඹුවෙන් ලැබුණු දැනුම විකුණා ලබා ගන්නා ඩොලර් බිලියන ගණනක ධනයකටත් වඩා වටිනා පරම සතුටක් සහ සන්තෘප්තියක් වනු ඇති බවත් අවසානයේදී සඳහන් කර තබමි.

ස්තූතියි
රවිනාත් විජේසේකර
2021 අගෝස්තු 23 වෙනිදා.

මේ කොළ පිටුපස මකුළු දැල් තිබේ. සමනලයන් සහ සමහර කෘමීන් ශාක පත්‍ර යටි පැත්තේ බිත්තර දමා ඇති බවත් හොඳින් බැලුවොත් දැක ගත හැකියි. සමහර අයට මකුළු දැල් ඉතාම විෂ සහිතය. ඒ අතර පරිසරයේ තිබෙන තත්වයන් අනුව අහිතකර දේවල් තැවරී තිබිය හැකියි. ඒ නිසා සෑම අවස්ථාවකදීම ශාක පත්‍ර සෝදා ගන්න.

දිනකට තුන් (3) වරක්වත්, රෝගයෙන් සම්පූර්ණයෙන් ගැලවෙන තුරු …

රවිනාත් විජේසේකර

+++++++++++

++++++++++++++++++++++

හොර Oximeter නිසා මිනිස්සු මැරෙන්න දීලා රේගුව, ඖෂධ අධිකාරියේ බලධාරින් නිදිද – Truth with Chamuditha – 26.08.2021

ව්‍යාපාරික ශ්‍රීමාල් විජේතුංග චමුදිත සමරවික්‍රම සමග

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සුද්දන්ටත් ගුවන්යානා හදන්න කියාදුන්නට පෙම්වතා හොයාගත්තෙ ලංකාවෙන් – එයාල හිතුවෙ මං ඔලිම්පික් යයි කියලා (26.08.2021)

******************************************

‘මැණිකේ මගේ හිතේ’ ගීතය Hit වුණ හැටි යොහානි පළමු වරට කියයි – On Topic with Hasitha Wijewardena (25.08.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *