රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

*********************************************

රත්මලාන ධර්මසිරිගේ මත්කුඩු විකිණූ අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

(25.08.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන, ‘රත්මලානේ ධර්මසිරි’ නමැත්තාගේ මත්කුඩු අළෙවි කළ අඹු-සැමි යුවළක්, රුපියල් ලක්ෂ 6 කට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට (1,00,000) අධික මුදල් ද සමඟ ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

මෙම සැකකාර අඹු-සැමි යුවළ සමඟ මත්කුඩු ග්‍රෑම් තිහක් (30) හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 1,05,000 ක මුදලක් ද මෙලෙස පොලිස් බාරයට ගැනුණා.

නිරෝධායන ඇඳිරි නීතිය ද කඩකරමින් පුද්ගලයකු හෙරොයින් මත්කුඩු රැගෙන මාකන්දන සුදර්ශන මාවතේ සැරිසරන බවට කැස්බෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද පරීක්ෂාවේ දී ඔහු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් දහයක් (10) සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

පිළියන්දල කොළමුන්න ප්‍රදේශයේ කුලී නිවසක බිරිඳ සමඟ සිටින බවට සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව එම නිවස පරික්ෂා කිරීමේ දී නිවසේ වහලයේ සඟවා තිබූ තවත් මත්කුඩු ග්‍රෑම් 20 ක් හා ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් ද සොයා ගැනුණා.

මෙම මත්කුඩු මේ වනවිට මෙරටින් පලා ගොස් ඩුබායි හි සැඟව සිටින ‘රත්මලාන ධර්මෙ’ නැමැත්තා විව්ධ මාර්ග හරහා මෙරටට එවන ඒවා බව සැකකරුගෙන් හා සැකකාරියගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකාර අඹු-සැමි යුවළ මෙම නිවෙස මීට සතියකට ඉහත දී මාසිකව රුපියල් විසි දහස බැගින් කුලී පදනම මත ලබාගෙන ඇති බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම යුවළට මීට පෙර ද මත්කුඩු චෝදනා සම්බන්දයෙන් මහාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි.

සැකකාර අඹු-සැමි යුවළ අද (25) දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් (24) වන දින කිරිබත්ගොඩ පොලිස් වසමේ කළ වැටලීමක දී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘වලිමුණිදේවගේ චන්ද්‍රිකා ගුණවර්ධන’ නමැති 52 හැවිරිදි මෙම කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා.

අත්අඩංගුවට පත් වනවිට ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 ක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ 26 ක මුදලක් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වැඩි දුර පරීක්ෂණ සඳහා සැකකාරිනිය කිරිබත්ගොඩ පොලිසිය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

(25.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

සියලු ම විදේශ විනිමය තැන්පතු සඳහා පිරිනමන හෝ ගෙවනු ලබන වාර්ෂික සඵල පොලී අනුපාතය සියයට 5 නො ඉක්මවිය යුතු බවට ශ්‍රී ලංකා මහබැංකුව, සියලු ම වානිජ බැංකු වෙත දැනුම් දී තිබෙනවා.

විශේෂ විදේශ විනිමය තැන්පතු සඳහා අතිරේක පොලියක් අය කළ හැකි නමුදු, අදාළ පොලී අනුපාත සතිපතා පදනමින් මහබැංකුව වෙත යොමුකළ යුතු බවයි එමඟින් දැනුම් දී ඇත්තේ.

විදේශ විනිමය තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාත ප්‍රදර්ශනය කිරීමට ද වානිජ බැංකු මඟින් පියවර ගත යුතුයි.

මෙම නියමයන් නව විදේශ විනිමය තැන්පතු සඳහා මෙන්ම දැනට පවත්නා විදේශ විනිමය ඉතුරුම් තැන්පතු සහ කාලීන විදේශ විනිමය තැන්පතු අලුත් කිරීමේ දී බලපවත්වනු ඇති ෴

******************************************

(25.08.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

දින 3 ක් තුළ සිදුකළ මෙහෙයුම්වල දී මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කහ කිලෝ 1377 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මලු 15 ක අසුරා ඩිංගි යාත්‍රා දෙකකින් (2) මෙරටට රැගෙන ආ කහ කිලෝ 500 ක් කල්පිටිය කලපුවේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, ඊයේ (24) සහ පෙරේදා (23) දිනවල ද මන්නාරම – ආරිප්පු මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුම්වල දී කහ කිලෝ 877 ක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිංගි යාත්‍රාවක් (1) ද සමඟයි.

නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන ආ මෙම කහ තොගය වෙරළ තීරයේ දමා යන්නට ඇති බවටයි නාවික හමුදාව සැක කරන්නේ ෴

******************************************

(25.08.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී වෛද්‍යවරයෙකුට අපහාස කිරීම, මරණ තර්ජන කිරීම සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර විනිසුරු සභාවක් වෙත කරුණු දැක්වීමට තීරණය වී තිබෙනවා.

ඒ මෙම සිද්ධියට අදාළව සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මූලික විමර්ශණයේ වාර්ථාවට අනුවයි.

බන්ධනාගාර ආඥා පනතට අනුව 87/1 වගන්තිය යටතේ බන්ධනාගාරය තුලදී යම් වරදක් සිදු කළ අයෙකුට බන්ධනාගාර විනිසුරු සභාවක් ඉදිරියට පැමිණවීමට බලය පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී මෙම සිද්ධියට අදාළව ස්වාධීන තීරණයක් ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුගේ මූලිකත්වයෙන් යුත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට ඉදිරිපත් කරන බව නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(25.08.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ලාමා සත්ත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වාභාවික ම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිඛෙනවා.

ඒ ඛෙල්ජියමේ රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකදී යි.

කොවිඩ් වයිරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථක ව මුහුණදීමට ද මෙම ප්‍රතිදේහවලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේ දී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්.

මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටින බව සඳහන්.

++++++++++++++++++

(25.08.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 1,61,650 කට ඊයේ (24) දිනයේ කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 13,687 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 52,730 දෙනෙකුට ලබාදී ඇති බවයි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 5765 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 400 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එමෙන්ම මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (24) 84,168 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 255 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව ද 193 කට ලබාදී තිබෙනවා ෴

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් පරිත්‍යාග කර තිබෙනවා. එම මාත්‍රා ලබන සෙනසුරාදා (28) දිනයේදී මෙරටට ළගාවීමට නියමිත බවයි ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහන් කලේ ෴

++++++++++++++++++++

(25.08.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් තමන්ගේ මන්ත්‍රී වැටුප් දෙකක් (2) ම කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර කැබිනට් මණ්ඩලය ද සිය වැටුප් කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කියා සිටියේ කොවිඩ් ව්‍යසනය හමාර වනතුරු, සිය පාර්ලිමේන්තු වැටුප එම අරමුදලට පරිත්‍යාග කරන බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා මෙම වැටුප් ප්‍රදානයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සිය වැටුප ණය මුදලක් වෙනුවෙන් සම්පූර්ණයෙන් බැහැර වන නිසා තමන්ට එලෙස වැටුප කෝවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට හැකියාවක් නොමැති බවයි ෴

++++++++++++++++++++++

(25.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට කොවිඩ් ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ යැ යි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප ව්‍යාජ ඒවා බව, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නො වන බවයි වාර්තා වන්නේ ෴

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළකළා ෴

“දැන් මට හොඳයි.. තව දවස් තුන හතරකින් යන්න පුළුවන් කිව්වා.. මට අමාරුයි කියලා වෙන කෙනෙකුගේ ෆොටෝ එකක් දාලා.. හැබැයි හැමෝම වගේ මට හොඳ කියලා ඉක්මණින් සුව වෙන්න කියලා දාලා තිබ්බා.. ඒකට සතුටුයි… තව දවස් තුන හතරකින් හොඳටම සුව වෙලා රෝහලෙන් පිට වෙන්න පුළුවන්..”

++++++++++++++++++++++

(25.08.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

අවසන් දින 10 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1800 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ගත වූ දිනයේ (24) දී තවත් කොරෝනා මරණ 190 ක් වාර්තා වීමත් සමඟයි.

මේ අතර දෛනික ආසාදිතයින් 4000 ඉක්ම වූ දින ගණන ද 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7750 ක්.

කොරෝනා මරණ වාර්තා වූ අවසන් දින 10 දී පමණක් මරණ 1815 ක් වාර්තා වී ඇති අතර ඉන් 1399 ක් හෙවත් සියයට 77 ක ප්‍රතිශතයක් වසය අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වීම ද විශේෂත්වයක්.

මේ අතර, මීගමුව කොරෝනා මර්දන කමිටුව ඊයේ (24) පස්වරුවේ මීගමුව මහ නගර සභා ශාලාවේ දී රැස්වුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ ප්‍රධානත්වයෙන්.

ඊට සහභාගී වූ සෞඛ්‍ය නිළධාරීන් සඳහන් කළේ බොහෝ කොරෝනා ආසාදිතයින් රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත ව ඇති බවයි.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සදහා එන්නත් ලබා දීමේ කටයුතු අදත් ක්‍රියාත්මකයි.

මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු (1) සහ දෙවන (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 161,650 ක්.

ඒ අනුව, පළමු (1) මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 19,737 ක් සහ දෙවන (2) මාත්‍රාව වශයෙන් මාත්‍රා 141,913 ක් ලබා දී තිබෙනවා.

ගැබිනි මව්වරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීමේ සතිය ද අද (25) සිට ක්‍රියාත්මක වනවා.

මේ අතර, චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක් පරිත්‍යාග කර ඇති බව යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එම එන්නත් තොගය ලබන සෙනසුරාදා (28) මෙරටට ලැබීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන් සදහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ගිලන් රථ 3 ක් ප්‍රදානය කර තිබෙනවා.

රතු කුරුස සමාජ මූලස්ථානයේ දී මෙම ගිලන් රථ භාරදීම සිදුකෙරුණේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙතයි.

එසේ ම, කොරෝනා වසංගතය හමුවේ තැපැල් සේවකයින්ගේ ආරක්ෂාව උදෙසා, නිරෝධායන ඇදිරි නීතිය අවසන් වන තෙක් යළි කාර්යාල කටයුතු සීමිත රාජකාරි සදහා හෝ විවෘත නො කරන ලෙස ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් පී.සී.සී. පෙරේරා මහතා ලිපියක් යොමුකරමින් වැඩබලන තැපැල්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අසරණ රෝගීන්ගේ සායනික ඹෟෂධ බෙදීම සතියකට දිනක් (1) හෝ දින දෙකක් (2) පමණක් සිදු කිරීම පිලිබඳ තීරණයක් ගැනීම සුදුසු බවයි.

මේ අතර, කොරෝනා ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ තත්ත්වය සුව අතට පත්වෙමින් පවතිනවා.

ඒ අනුව ඔහු සාමාන්‍ය ප්‍රතිකාර සදහා අද (25) පෙරවරුවේ යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

එසේ ම, අනුරාධපුර බන්ධනාගාර අධිකාරී සෙනරත් සේනානායක මහතා කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යයේ මූලික කටයුතු පමණක් සීමා සහිත ව සිදුකර පෙරහැර කටයුතු කල් දැමීමට තීරණය කළ බව විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.

තවත් කොරෝනා ආසාදිතයින් 2,163 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 348,930 දක්වා ඉහළ ගියා ෴

දිවයිනෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (25) දිනයේ හාරලක්ෂය ඉක්මවූවා.

ඒ පසුගිය දින 4 තුල සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් තවත් 4484 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වනවිට දිවයිනෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,03,285 ක්.

එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයන් 2163 දෙනෙකු අද (25) දිනයේ සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 3,48,930 දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++

(25.08.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් දස දහසක් (10,000) වටිනා වියළි ආහාර අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු එම තීරණයට අනුව කටයුතු කරන්නැ යි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති බව සඳහන්.

පසුගිය 24 වනදා එම චක්‍රලේඛය යවා ඇත්තේ උද්ගත වී ඇති ව්‍යසනකාරි තත්ත්වය නිසා පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමුකළ පවුල්වලට සහන සැලසීම යන උදෘතය යටතේයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 2020 වසරේ නොවැම්බර් දෙවනදා (02) සහ 30 වනදා නිකුත් කර ඇති චක්‍රලේඛ පිළිබඳ ව අවධානය යොමුකර තිබෙනවා.

එමඟින් දක්වා ඇති සෞඛ්‍ය අංශ උපදෙස් මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදිය යුතු බවටයි නව චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇත්තේ ෴

++++++++++++++++++

(25.08.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළමුවනදා (01) සිට යළි ආරම්භ කරන බව නිවේදනය කළා.

කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළමුවනදා (01) සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇති.

මෙම ගුවන් ගමන් සඳහා බෝයිං 777 වර්ගයේ ගුවන් යානා යොදා ගැනීමට නියමිතයි. ඔක්තෝම්බර් මැද භාගයේ දී මාලේ සහ ඩුබායි අතර ද දෛනික ගුවන් ගමන් 4 ක් ක්‍රියාත්මක කිරීමට ද එමිරේට්ස් සූදානම් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *