මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම

*********************************************

මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් කෙහෙළිය කළ ඉල්ලීම

(25.08.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළ හැකි බැවින්, එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, මෙරට ඖෂධ කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24) ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය සමග පැවති සාකච්ඡාවකදි යි.

ඖෂධ සඳහා නිසි මිලදී ගැනීමේ සහතිකයක් ලබාදීමට හැකි අතර, එමඟින් කලාපීය රටවලට පහසුවෙන් ම ඖෂධ අපනයනය ද කළ හැකි බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

මෙරටට ආනයනය කරන ඖෂධ අත්‍යාවශ්‍ය ප්‍රදේශ කරා කඩිනමින් බෙදාහැරීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔහු කියා සිටියේ ක්ෂේත්‍රයේ පවතින තාක්ෂණික හා පරිගණක ගැටලු කඩිනමින් විසඳා ගනිමින් එම පද්ධති නිසි ලෙස යාවත්කාලීන කිරීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම ඖෂධ සඳහා ගැසට් නිවේදනයක් මඟින් මිල පාලනයක් ගෙන එනු ලැබූව ද ඉදිරියේ දී මිල ක්‍රමවේදයක් සකස් විය යුතු බව ඖෂධ කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට යෝජනා කළා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියේ දී මුදල් ගෙවීම් සඳහා වන ක්‍රමවේදය නිසි වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක විය යුතු බවයි ෴

******************************************

(25.08.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සිල්වා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ තවත් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ එක් ව, එප්පාවල පොස්පේට් නිධිය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එහි පළමු (1) අදියර යටතේ එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

භූ විද්‍යාඥයන් පවසන ආකාරයට එප්පාවල පොස්පේට් නිධියේ පොස්පේට් මෙට්ට්‍රික් ටොන් මිලියන 60 කට අධික සංචිතයක් පවතිනවා.

මේ වනවිට මෙරටට අවශ්‍ය ත්‍රිත්ව පොස්පේට් මෙට්‍රික් ටොන් 125,000 ක් පමණ වාර්ෂික ව ආනයනය කරන අතර , ඒ සඳහා රුපියල් මිලියන 18,000 ක මුදලක් වැය කරන බවයි කෘෂිකර්ම ආමාත්‍යාංශය සඳහන් කළේ.

මේ ඊට විසඳුමක් ලෙස ආරම්භ කිරීමට නියමිත එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ නව ව්‍යාපෘතිය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සිල්වා මහතා හිරු ප්‍රවෘත්තී අංශයට වැඩිදුරටත් අදහස් පළ කළා ෴

******************************************

(25.08.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් නොවිසදුණු තම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන නව ක්‍රියාමාර්ග පිළිබඳ ව අද (25) රැස් වී තීරණය කර ප්‍රකාශයට පත් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහෙත් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීන්දුව එළඹෙන සතියේ දැනුම් දෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබුණේ.

වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (25) 45 වන දිනටත් ක්‍රියාත්මකයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ තම ඉල්ලීම්වලින් පසු බැසීමට වෘත්තීය සමිති කිසිවිටකත් සූදානමක් නොමැති බවයි ෴

******************************************

(25.08.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර විදේශ සබදතා වැඩිදියුණු කිරීම පිළිබඳ ව සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ‘සන්තුෂ් වුන්ජින් ජියොන්ග්’ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (24) විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්ථාවේදි යි.

ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතුවල දී ශ්‍රී ලංකාවට සහාය වීම සදහා සිය රට කැපවීමෙන් සිටින බව දකුණු කොරියානු තානාපතිවරයා එහි දී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙරට කොරියානු භාෂා අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

එහි දී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ දකුණු කොරියාව , ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන හැඟීම අගය කරන බවයි ෴

******************************************

(25.08.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන පනස් හයදහසක (56,000) වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (25) පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 16,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක බිල්පත් මෙන්ම දින 364 කකින් කල් පිරෙන රුපියල් මිලියන 20,500 ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(25.08.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගත වූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414 ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ (24) දිනය තුළ වාහන 458 ක් සහ පුද්ගලයන් 735 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා ෴

+++++++++++++++++++

(25.08.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කණ්ඩායමක් විසින් සිදු කළ පරිසර හිතකාමී නව මුහුණු ආවරණයේ නිෂ්පාදන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.

මෙම නව මුහුණු ආවරණය නිෂ්පාදනය කර ඇත්තේ වසර 10 ක් පුරා සිදුකල පර්යේෂණවලින් අනතුරුවයි.

එක් (1) දිනක් පමණක් භාවිතා කිරීමට නිර්දේශ කර ඇති කෘත්‍රීම අමුද්‍රව්‍යවලින් සකසන ලද සාමාන්‍ය මුහුණු ආවරණ දිනපතා බැහැර කිරීමෙන් පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනීමේ විකල්පයක් ලෙස මෙම නව මුහුණු ආවරණය හඳුන්වා දී තිබෙනවා.

එය සකසා ඇත්තේ ස්වාභාවික කපු රෙදි භාවිතයෙන්.

පරිසරයට බැහැර කළ පසු මෙම මුහුණු ආවරණය දිරාපත් වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම පරිසර හිතකාමී නව මුහුණු ආවරණය ජාත්‍යන්තර මට්ටමින් භාවිතයට අවසර ලබා ගැනීම සඳහා අදාළ ජාත්‍යන්තර ආයතන වෙත යොමු කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++

(25.08.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (24) දිනයේ දී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 4446 ක් හමු වූ අතර, කොරෝනා මරණ 190 ක් වාර්තා වුණා.

තවත් කොරෝනා මරණ 190 ක් ඊයේ (24) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියා.

ඊයේ (24) තහවුරු කළ මිය ගිය පිරිස අතරින් 113 දෙනෙකු පිරිමි පුද්ගලයින්.

එසේම, මිය ගිය 190 දෙනාගෙන් 150 දෙනෙකු ම වයස අවුරුදු 60 ට වැඩි කාණ්ඩයේ පසුවනවා.

ඊයේ (24) තවත් කොරෝනා ආසාදිතයින් 4446 ක් හඳුනා ගැනුණු බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 19 දෙනෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,98,801 දක්වා ඉහළ ගියා.

තවත් කොරෝනා ආසාදිතයන් 2,386 ක් ඊයේ (24) සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,46,767 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

පසුගියදා මතුගම – යටදොළ ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීම මත අත්අඩංගුවට ගෙන පොලිසිය රැගෙන එමින් සිටිය දී මිය ගිය බව කියන 40 හැවිරිදි සැකකරු කොරෝනා ආසාදනය වීමත් සමඟ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ මෘත ශරීරයට සිදු කළ කොරෝනා පරීක්ෂණවල වාර්තා නිකුත් වීමත් සමඟයි.

මේ අතර, දිවයිනේ සියලු ම ආර්ථික මධ්‍යස්ථානය අදත් (25) විවෘත කර තබන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දුන්නේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන ලබන සෙනසුරාදා (28) සහ ඉරිදා (29) දින ද විවෘත ව තැබෙන බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න මහතා කියා සිටියා.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන් අද (25) දිනයේදී ද ක්‍රියාවට නැංවෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි සියලු ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ අවුරුදු 60 ට වැඩි සියලු පූජ්‍ය පක්ෂය ද එන්නත් කෙරෙනවා.

ඒ අනුව එන්නත් මෙතෙක් ලබා ගෙන නොමැති ස්වාමීන් වහන්සේ, සිල්මෑණිවරුන් මෙන්ම හින්දු, මුස්ලිම් හා කතෝලික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ වෙත බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය දැනුම් දෙන්නේ, තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙසට යි ෴

++++++++++++++++++++

කූඨ ලේඛණ සකස් කළ 03 දෙනෙකු බොරැල්ලේ දී අත්අඩංගුවට

(25.08.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලේඛණ සකස් කිරීම හා අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් 03 දෙනෙකු බොරැල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ රබර් මුද්‍රා සහ ව්‍යාජ ලේඛණ රැසක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

29, 30 සහ 46 වියැති සැකකරුවන් අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය යි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

++++++++++++++++

(25.08.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන යටතේ, අද (25) දින එන්නත්කරණය සිදු කරන ස්ථාන :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *