කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ?

*********************************************

කොරෝනා වසංගතය; හතර වන කාර්මික විප්ලවයේ නූතන යටත් විජිත වහල්කරණයේ මෙවලමක්ද ? – වෛද්‍ය සුමිත් වන්නිආරච්චි විසින්

(23.08.2021 – lankaleadnews.com)

(පළමු කොටස)

අප නව යටත්විජිතකරණය නම් ප්‍රපංචය අවබෝධ කරගන්නා මොහොත වන විටත් එය කල් ඉකුත් වූ ප්‍රපංචයක් බවට පත්ව හමාරය. නමුත් එම තත්වය අප ප්‍රත්‍යක්ෂ කරගන්නේද තවත් බොහෝ කාලයක් ගත වීමෙන් පසුව වීම හාස්‍යයට කාරණයකි. කෙසේ වුවද අප නව යටත්විජිතකරණය අවබෝධ කරගෙන එයට විරුද්ධව ක්‍රියාත්මකවීමේදී අප විසින් භාවිතා කරන මෙවලම් ද නූතන යටත් විජිත වහල්කරණයේ උපාංගම බව වටහා ගන්නා විට නූතන යටත් විජිත වහල් කරණයේ ප්‍රාග්ධන හිමිකාරත්වය විසින් තවත් වටයකින් අපව වහල්කරණයේ ඉම දක්වා රැගෙන ගොස් අවසානය. අප ඒ බව වටහා ගන්නා මොහොත වන විට, අපට තවදුරටත් සටන් කිරීමට භූමියක්, දේශයක්, පරිසරයක්, ජනතාවක් හෝ අවකාශයක් ඉතිරිව ඇත්තේ නැත. ඒ වන විට අපට ඉතිරි වන්නේ නූතන කෘතීම බුද්ධියෙත්, රොබෝ තාක්ෂණයේ සහ 5G සහ 6G සංනිවේදන තාක්ෂණය මගින් වට කොට ඇති සිර ගෙදරක සිරකරුවන් බවට පත්වූ කෘතීම බුද්ධිය හා නව තාක්ෂණයේ ප්‍රාග්ධන අයිතිකරුවන් විසින් ජානමය වශයෙන් විකෘති කරන ලද ලෝකවාසී ජනතාවකි. එලෙසම එම කෘතීම බුද්ධිය හා නව තාක්ෂණයේ ප්‍රාග්ධන අයිතිකරුවන් ඉහත කී ලෝක වාසී සාමාන්‍යය ජනතාව, ඔවුන්ට රිසි සේ පාලනය කළ හැකි ‘පාලිත ලෝකවාසී සත්ව කොට්ඨාශයක්’ බවට පත් කරමින් සිටින බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

එන්නත් සහ රෝග පාලනය

1796 දී එඩ්වඩ් ජෙනර් විසින් වසූරිය සඳහා එන්නතක් සොයා ගැනීමේ සිට අද වන තෙක් බෝවන රෝග සදහා එන්නත් මගින් ප්‍රතිකාර කර ලෝකවාසී ජනතාව එම රෝග වලින් මුදවා ගෙන ඇත. එදා සිට අද දක්වා මෙම එන්නත් නිපදවන තාක්ෂණය දිනෙන් දින දියුණු විය. එන්නත් මගින් මිනිසාගේ බෝවන රෝගයන් හට විරුද්ධව ප්‍රතිශක්තිය උත්පාදනය කර දුන්නද යම් ප්‍රමාණයක සංකූලතා ඇතිවීම එම තාක්ෂණයටම ආවේනික වූ ඌනතාවයකි.

ලෝකය තුළ ආයුධ වෙළඳාමටත් වඩා බටහිර ඖෂධ නිෂ්පාදනය සහ වෙළඳාම ලාභදායී යන මතය ලොව පුරා ප්‍රචලිත මතයකි. එම නිසා බොහෝ දැවැන්ත බහු ජාතික සමාගම් ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර අතර ඖෂධ නිෂ්පාදනය සඳහාද නිරන්තරයෙන් ආයෝජනය කිරීම දක්නට ලැබේ.

එම නිසා ඖෂධ නිෂ්පාදනය යනු සැබෑ මිනිස් අවශ්‍යතාවයට වඩා ලාභය අරමුණුකරගෙනම සිදු කරණ නිෂ්පාදන අංශයේ ව්‍යාපාරයක් බව විද්වතුන් හඳුනාගෙන දැනට දශක හතකටත් (7) වඩා ගත වී ඇත්තේය.

ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයේ මුල් යුගයේ දී එන්නත් නිපදවීම බහුජාතික සමාගම් වලට විශාල ලාභය ගෙන දුන්නක් නොවිණි. මන්ද යත් රෝග නිවාරණය කළ යුත්තේ රෝගයක් නැති අවස්ථාවකදී වීමත්, ඒ සඳහා ඒ ඒ රටවල සෞඛ්‍ය පරිපාලනය මගින් ගන්නා තීන්දු තීරණ බලපාන බැවින් වෙළෙඳපොළ ප්‍රචාරණය තුලින් රිසි සේ හැසිරවිය හැකි විශාල වෙළඳ පොලක් සාදා ගැනීමට අපහසුවීමයි. එලෙසම එන්නත් නිපදවීමට අධික මුදලක් සහ දීර්ඝ කාලයක් ගතවන වියදම්කාරී ක්‍රියාවලියක් වීමද තීරණාත්මක විය. සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කර නිසි ක්‍රමවේදයට අනුව අනුමත කිරීමට අවම වශයෙන් වර්ෂ 10 ක පමණ කාලයක් ගත වන්නේ ය. එම නිසා මෑතක් වනතුරු ජාතික රාජ්‍යයන්ගේ මුදල් මත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලුම අනුව අඩු ලාභාංශ මත එන්නත් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා කළ යුතු විවිධ ක්‍රමවේද සහ පර්යේෂණ උපයෝගී කර ගනු ලැබිණි. එලෙස එන්නත් නිෂ්පාදනය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට බහු ජාතික සමාගම් නිරන්තර උත්සාහයක යෙදුණහ.

ලාභදායී එන්නත් වෙළඳපොළක් සඳහා සංක්‍රමණය

එන්නත් නිපදවීමේ ක්‍රියාවලිය කර්මාන්තයක් බවටත් එම කර්මාන්තය ලාභදායි ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා එම ව්‍යාපාරයේ කළ යුතුවූ ක්ෂණික ක්‍රියා මාර්ග හතරක් හඳුනා ගැනුණි. ඒවා නම්,

  1. එන්නත් ලාභදායී ලෙස නිපදවීමට නම් සම්ප්‍රදායික ක්‍රමවේදයන් ගෙන් තොර ඉතා ඉක්මනින් සහ පහසුවෙන් එන්නත් නිපදවන තාක්ෂණයක් භාවිතා කිරීම.
  2. එම තාක්ෂණය භාවිතා කොට දැනට එන්නතක් නිෂ්පාදනය කොට භාවිතය සඳහා යන කාලය අඩු කිරීම සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නීති ලිහිල් කිරීම.
  3. කෙටි කාලයක් තුල මහා පරිමාණ වශයෙන් එන්නත් නිපදවීමට හැකි වීම සහ ඒ සඳහා විශේෂයෙන්ම නිර්මිත වෙළඳ පොලක් සකසා තිබීම.
  4. එන්නත විවාදයකින් තොරව ලබා ගැනීම සඳහා ලෝකයේ සියළුම රාජ්‍යයන්, එම රාජ්‍යවල දේශපාලන නායකයන්, ඉහළ රාජ්‍යය නිලධාරින් සහ සමස්ත ලෝකවාසි ජනතාව ඒ දෙසට යොමු කිරීම සඳහා වෙළඳ ප්‍රවර්ධනයක් ඇති කිරීම.

යන ප්‍රධාන කාරණා හතරයි.

ඉහත සඳහන් කරුණු සාක්ෂාත් කර ගත හොත් එන්නත් යනු ලොව අංක එකේ ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කර ගත හැක. මේ සඳහා එන්නත් නිපදවන සමාගම් සමඟ එකතුවූ නව ලොව අංක එකේ ධනවතා වන බිල් ගේට්ස් මහතාගේ නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස 2006 සිට සැලසුම් කොට ආරම්භ කළ එන්නත් නිපදවීමේ ව්‍යාපෘතිය අද වන විට මල් පල දරා ඇත. Bill Gates විසින් ආරම්භ කරන ලද Bill and Melinda Gates Foundation නැමැති අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය මගින් එන්නත් පිලිබඳ විවිධ අත්හදා බැලීම් සදහා ඩොලර් බිලියන ගණන් තුන් වන ලෝකයේ රටවල් තුල වියදම් කළේය. එතැන් පටන් වෛද්‍යවරයකු නොවන බිල් ගේට්ස් වෛද්‍යවරයකු මෙන් තමාගේ මතවාදය ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ සහ ලෝකයේ අනෙකුත් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර තුල තම මුදල් බලය යොදවාගෙන අධිපතීත්වය දරණු ලබයි. බිල් ගේට්ස් ලෝක සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කැපී පෙනෙමින් ලෝකවාසී, බෝවන රෝග වලින් පෙලෙන දුප්පත් ජනතාව බේරා ගන්නා සාන්තුවරයෙකු සහ තරුවක් ලෙස කැපී පෙනුණේ ය. එහෙත් ඔහු විසින් කරණ ලද්දේ දුප්පත් රටවල ජනතාව පර්යේෂණාගාර මීයන් සේ බිල්ලට ගෙන රිසි සේ ඔහුගේ අනාගත එන්නත් වෙළඳාම සඳහා පර්යේෂණ කිරීම පමණි.

2006 වර්ෂයේ ආරම්භ කරන ලද ඔහුගේ Bill and Melinda Gates Foundation යන රාජ්‍ය නොවන සංවිධානය එතෙක් ලෝකය ප්‍රභල ලෙස නොදැන සිටි ගැබ් ගෙල පිලිකා සාදන වෛරසය (Human Papilloma Virus- HPV) සඳහා මහා පරිමාණ වශයෙන් එන්නත් ලබාදීමේ හැකියාව පරීක්ෂාවට ලක් කළේය . ඔවුන් විසින් කල පර්යේෂණයන්ගෙන් සොයාගත් වාර්තාවක් බවට පවසමින් නව ලෝකය තුල පියයුරු පිළිකා අභිබවා වෛරසයක් මගින් පතුරුවන ගැබ් ගෙල පිළිකා පැතිරීමේ සීඝ්‍රතාවය මත අංක එකට පැමිණ ඇති බවත් එහි ව්‍යාප්තිය පාලනය කල හැකි එකම මග එය වැළැක්වීමට නිපදවන එන්නතක් මගින් පමණක් බවට ප්‍රචාරය කෙරිණි.

ඉන් පසු ඒ සඳහා නිපදවූ එන්නතක් ඇති බවත් ඒවා දුප්පත් රටවල බහුතර ජනතාවට නොමිලේ දෙන බවට පවසමින් ඉන්දියාව, පේරු සහ අප්‍රිකානු රටවල සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන්ගේ සහයෝගය මත එම රටවල එන්නත්කරණය ආරම්භ කළේය. 2006 දී ඇමෙරිකානු FDA ආයතනය විසින් මෙම එන්නත සහතික කරණ ලදී. ඉන්දියාව තුල මෙම එන්නත නොමිලේ ලබාදීමට Bill and Melinda Gates Foundation ඉදිරිපත් වූ අතර 2009 දී ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේදී ප්‍රථමයෙන් එන්නත්කරණය ආරම්භ කරන ලදී. ඉන් පසු එන්නත් ලබා ගත් දැරිවියන් හත් දෙනෙකු (7) මරණයට පත්වීම මත ඇති වූ ජනතා විරෝධය හමුවේ කරන ලද පරීක්ෂණයක් මගින් එම මරණ එන්නත් නිසා නොව වෙනත් බාහිර කරුණු මත ඇති වූ මරණ ලෙස සලකා කටයුතු කිරීමට ගුජරාට බලධාරීන් උත්සාහ කරණු ලැබීය. එහෙත් නැවත ඉන්දියානු ‘Parliamentary Standing Committee on Health and Family Welfare’ මගින් කරන ලද පරීක්ෂණයක් මගින් එය එන්නත් මගින් ඇති වූ සංකූලතා මත ඇති වූ මරණ බවට තහවුරු විය. ඊට අමතරව තවත් දැරිවියන් අසූවකට (80) වඩා මෙම එන්නත ගැනීමෙන් පසු මරණයට පත්වීම නිරාවරණය වූ පසු එන්නතේ භයානකත්වය තහවුරු විය. එලෙසම ඉන්දියානු සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ඇති කළ ප්‍රමිතීන් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම මත මෙම එන්නත්කරණය එතෙකින් ඉන්දියාව තුල ක්‍රියාත්මක වීම ඇන හිටියේය. ඊට සමගාමීව බොහෝ රටවල් මෙම එන්නත භාවිතය නැවැත්විය.

ශ්‍රී ලංකාව තුළ ද HPV එන්නත අනිවාර්ය කිරීමට 2017 දී සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන් සහ එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සාහ ගත්තේය.

ලෝක ජනගහනයෙන් 50% වන ස්ත්‍රීන් හට මෙම රෝගය වැළඳීමේ භීතිය පතුරමින් නිර්මාණය කිරීමට උත්සාහ කළ එන්නත් වෙළෙඳපොළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිදු වන්නට වැළලී ගියේය. නමුත් බෝවන රෝග විස්සක් (20) මත Bill and Melinda Gates Foundation මගින් කරන පර්යේෂණ තවදුරටත් ඉදිරියට ගෙන ගියහ.

එහිදී කුරුලු උණ, සූකර උණ, SARS, MERS වැනි රෝග පිළිබඳව භීතිය ක්‍රම ක්‍රමයෙන් ලෝක ජනමාධ්‍ය සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළින් ඉස්මතු කර පෙන්වීමෙන්, ‘සමස්ත ලෝක ජනතාවම විනාශ මුඛය අබියස’ යන භීතිකාවක් ලෝකය තුළ තහවුරු කිරීමට ඔවුන් සමත්විය.

2010 සහ 2011 වර්ෂවල දී ඇති කරන ලද කුරුලු උණ භීතියත්, එයින් බේරීම සඳහා යයි ඔවුන් විසින් නිර්දේශිත Tamiflu නැමැති ඖෂධය හදිසි ආපදා මිලදී ගැනීම් ලෙස ලෝකයේ සියලුම රටවල් විසින් මිලදී ගන්නා ලදී. මෙම ඖෂධය කුරුලු උණ සඳහා කොහෙත්ම පර්යේෂණ කර නොමැති බවත් එය හුදු වෙළෙඳ ප්‍රචාරණයක් බවත්, අවසානයේ එම ඖෂධය කුරුලු උණ සඳහා ප්‍රතිඵල ගෙන නොදෙන ඊනියා ඖෂධයක් ලෙස අනාවරණය විය. එහෙත් ලෝකය එය තේරුම් ගන්නා විට එම ඖෂධ නිෂ්පාදන සමාගම ඩොලර් බිලියන 19 ක ආදායමක් උපයා තිබුණි.

මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ද රුපියල් මිලියන 70 ක Tamiflu ඖෂධය ගබඩා කර තබා ගත් අතර පසුව කල් ඉකුත් වූ ඖෂධ ලෙස විනාශ කර දමන ලදී .

කෘතීම වසංගත භීතිය හා ඒ හා බැදුණු එන්නත් වෙළෙඳ පොල ගැන ඉහතින් දක්වන ලද උදාහරණ දෙක (2) වුවද මෙවැනි වෙලඳ පොලවල් නිර්මාණය කිරීම සඳහා ලෝක බලවතුන්ගේ සහ ලෝක ජාත්‍යන්තර ආයතනවල සෙවණ යටතේ ක්‍රියා කරන ලෝක ප්‍රාග්ධන හිමිකරුවන් ක්‍රියා කරණ ආකාරය වටහා ගත හැක. බොරුව, සත්‍ය ලෙස පෙන්වා නැත්ත ඇත්ත කර මරණ බිය ඇති කරමින්, ලෝකයේ මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් දිනෙන් දින ඔවුන්ගේ අපේක්ෂා සඵල කර ගනිමින් සිටිති.

(දෙවන කොටස) (25.08.2021)

ලෝකයම සොලවා එහි ගමන නැවතූ ඊනියා කොරෝනා වසංගතය

අද දවසේ මුහුණ දෙන කොරෝනා වසංගතයේ ආරම්භය, පැතිරීම සහ ලෝක තත්ත්වය ගැන සැලකීමේ දී එහි විද්‍යාත්මක පසුබිමට වඩා ආර්ථික සහ දේශපාලන පසුබිම සහ ඉතිහාසය, මරණ බියෙන් ඔබ්බට ගොස් සලකා බලනු වටී.

2003 පෙබරවාරි මස චීනයෙන් හමු වූ නව කොරෝනා වෛරසය මගින් පැතිරෙන රෝගය SARS ලෙස හඳුන්වන ලදී .

කොරෝනා ගැන සාමාන්‍ය ජනතාව නොදැන සිටිය ද, ලෝකය තුළ වෛරස විද්‍යාඥයින්, වසංගතවේදීන් සහ එයට අදාළ අනෙකුත් පුද්ගලයන් හා ආයතන ඒ බව හොඳින් දැන සිටියේ ය.

මිනිසාට බෝවන වෛරස රෝග තුළ කොරෝනා වෛරසය වැදගත් ස්ථානයක් නොගත්තද, ලොව පුරා ඇති රසායනාගාර සහ එන්නත් නිපදවන සමාගම් කොරෝනා පිළිබඳව නිරන්තර පර්යේෂණවල යෙදුණහ. එහිදී කොරෝනා වෛරස වර්ග හඳුනා ගැනීමත්, එම වෛරසවල ව්‍යුහය හඳුනා ගැනීම සහ වෙන් කර ගැනීම තුළින් සහ එහි ජානමය ලක්ෂණ සහ ජාන වින්‍යාසය ඇතුළු කරුණු සඳහා පේටන්ට් බලපත් ලබා ගනිමින් ඒවා ඉතා අධික මුදලට එන්නත් නිපදවන සමාගම් වල ඉදිරි ප්‍රයෝජන සඳහා විකුණනු ලැබීම මෙම එන්නත් ක්ෂේත්‍රයේ සුලබ කරුණකි.

බිල් ගේට්ස් මහතා කොරෝනා වෛරස ප්‍රභේද සඳහා පේටන්ට් තමා සතු කර ගැනීමට සමත් වන්නේ 2012 දී පමණ ඈත කාලයක සිටය.

භයානක ලෙස පැතිරෙන කොරෝනා වසංගතයක් ලෝකය තුළ ඇතිවේ යැයි බිල් ගේට්ස් මහතා පුරෝකථනය කරන්නේ 2015 දී ඔහු විසින් කරන ලද ‘Ted Talk’ දේශනයක දී ය . එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා 2015 සිටම පෙර සූදානම් විය යුතු බවට ඔහු විසින් තවදුරටත් අවධාරණය කරන ලදී .

රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසාය ප්‍රචලිත කිරීම සඳහා 1970 දශකයේ දී ආරම්භ කරන ලද World Economy Forum නැමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් 2016 දී එහි සභාපති Klaus Schwab විසින් ඉදිරිපත් කරන ලද දේශනයේ සාරාංශයට අනුව, අද ලෝකය ‘හතරවන කාර්මික විප්ලවයට’ මුහුණ දෙමින් සිටිනා බවත් ඒ සඳහා ලෝක ආර්ථිකය නැවත සැකසීම කළ යුතු බවත් අවධාරණය කරන ලදී. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, සුපිරි තොරතුරු තාක්ෂණය, ජාන ඉන්ජිනේරු තාක්ෂණය, රියදුරු රහිත වාහන, මොළයට බද්ධ කළ පරිපථ චිප මගින් ක්‍රියා කරන බුද්ධිය දියුණු කල මිනිසුන් පාලනය කරන ලෝකයක් වසර 2025, 2030 වන විට දැක ගත හැකි බවට ඔහු පුරෝකථනය කරන ලදී. එය නොවලැක්විය හැකි බවත්, ඒ සඳහා මුහුණ දීමට ලෝක ආර්ථිකය මුළුමනින් (Economic Reset) වෙනස් කර නැවත ස්ථාන ගත කළ යුතු බවත් පවසන ලදී .

සැලසුම් සහගතව කොරෝනා වසංගතය පතුරවා සමස්ත ලෝක ජනතාවම අසරණ කොට, හව්හරණක් නැති කොට, භීතිය වපුරා තහවුරු නොකල ‘ජාන තරල නික්ෂේපණ’ එන්නත් ලෙස හුවා දක්වමින් බලහත්කාරයෙන් එන්නත් කරණය සදහා සමස්ත ලෝකයම දක්කමින් බිල් ගේට්ස් ලා අද මේ පිටිය සකසන්නේ Klaus Schwab ගේ ‘Economic Reset’ සඳහා නොවන්නේද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ බිල්ගේට්ස් මහතාගේ බලපෑම ඉතා ඉහළය. පසුගිය දස වසර තුළ දී Bill and Melinda Gates Foundation මගින් එහි සමස්ත අයවැයෙන් සියයට 9% සිට 13% (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික අයවැය සාමාන්‍ය වශයෙන් ඩොලර් බිලියන 5.5 කි) දක්වා අතිවිශාල ප්‍රමාණයක් ප්‍රදානයන් වශයෙන් ලබා දී ඇත. එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගේ පත් වීමේ සිට එහි සමස්ත කාර්යාලය සඳහා බිල්ගේට්ස් මහතාගේ බලපෑම ඉතා ඉහළ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

2019 World Economic Forum වැඩසටහන තුළ Event 201, නමින් ලෝක වසංගත රෝග පිළිබඳ සෞඛ්‍ය පුරෝකථනයක් කරන ලදී.

Event 201, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සමඟ ‘බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම’ මගින් ඩොලර් මිලියන 50 ක බරපැන දරමින් 2019 ඔක්තෝබර් මස 18 වෙනි දින නිව්යෝක් නගරයේ දී පවත්වන ලදී. එහිදී ලෝක පරිමාණ Corona Virus වසංගතයක් ඇතිවන ආකාරයත් එහි පල විපාක සහ එම වසංගතය පාලනය කරන ආකාරය ගැන (Computer Simulation) පරිගණක පරිලෝකනයක් මඟින් පෙන්වා දෙන ලදී .

එහිදී කොරෝනා වෛරසය පැතිරෙන ආකාරය සහ ලෝක පරිමානයේ ව්‍යාප්ත වීම තුල ඇතිවන භයානක ප්‍රතිඵල ලෙස, එන්නතක් නොමැති වීම හේතු කොට ගෙන පලමු මාස 18 තුලදී මිලියන 65 ක ජනතාවක් මියයන බවත්, පසුව සාර්ථක එන්නතක් සොයාගත් පසු ඒ ජනතාවගෙන් සියයට 80% – 90% ක ප්‍රමාණයක් එන්නත් කරන තෙක් මෙම රෝගය ලොව පුරා රැළි නගමින් ව්‍යාප්ත වෙන ආකාරයත් ඉන් පසු එය එන්නතේ පිහිටෙන් මර්දනය වී කලින් කලට එළිදකින, දරුවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස පවතින ආකාරයත් ලොමු දැහැ ගැන්වෙන ආකාරයෙන් පෙන්වා දෙන ලදී.

කොරෝනා වසංගතයේ මරණ ප්‍රමාණය වෙනස් වුවද මාස 18 ක් පසු කරන අද දවසේ, මෙහි තක්කඩි ලෙස භීතිය පතුරවමින් නිත්‍ය වෙළෙඳ පොලක් සකසා ගැනීම සදහා කල පුරෝකථනයක කොතරම් සමාන කම් දක්වයි ද යන්න සහ මේ පසුබිම තුළ එම පුරෝකථනය අහඹු සිදුවීමක් නොවන බව ළදරුවකුට පවා තේරුම් ගත හැකි කරුණකි.

බිල්ගේට්ස් ගේ මෙම පුරෝකථනය කර මසක් ගතවන තැන පළමු වන කොරෝනා ලක්ෂණ ඇති රෝගියෙකු 2019 නොවැම්බර් 17 දින චීනයේ දී හමුවන අතර 2019 දෙසැම්බර් අග විට චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ එක සමාන රෝග ලක්ෂණ සහිත අලුත් රෝගයක ලක්ෂණ පෙන්වූ රෝගීන් සමූහය තුල කරණ ලද පර්යේෂණයේදී චීන විද්‍යාඥයන් විසින් පළමු වරට එය නව කොරොනා ප්‍රභේදයක් ලෙස සොයා ගනු ලැබිනි.

Event 201 සමුළුව තුළ දී ලෝක පරිමාණ වසංගතයක දී ලෝකය මුහුණ දෙන ආර්ථික සමාජ සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කළහ. ඒ සඳහා මුහුණ දීමට ඉදිරිපත් කළ යෝජනාවලට අනුව,

  1. විශ්වාසදායී මහා සමාගම්
  2. ජාතික රාජ්‍යය
  3. ජාත්‍යන්තර සංවිධානවල වගකීම සහ ඒවායේ ව්‍යුහයන් වෙනස් විය යුතු ආකාරය, සම්බන්ධව කතා කළහ .

එහිදී ඉදිරිපත්වූ යෝජනා වශයෙන්,

  1. ලෝක පරිමාණයෙන් එන්නත් කාර්යක්ෂමව නිපදවීමට සහ බෙදාහැරීමට අවශ්‍ය අවකාශය සැකසීම.
  2. මහා සමාගම් සතු තාක්ෂණය සහ මූල්‍ය ශක්තිය උපයෝගී කොට ගෙන ඔවුන්ට එන්නත් නිපදවීම හා බෙදා හැරීමට ජාතික රාජ්‍යයන්ගේ සෞඛ්‍යය නීති නීතිරීති ලිහිල් කිරීම.
  3. එන්නත්කරණය අනිවාර්ය කිරීම.
  4. මහා පරිමාණයෙන් එන්නත් නිපදවීම මගින් නිකුත් කරන එන්නත් රිසි සේ ලෝකය පුරා බෙදාහැරීමේ ජාලයක් ඇති කිරීම සහ ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන සහ ජාතික රාජ්‍ය මගින් පහසුකම් සැලසීම, වැනි ක්‍රියා කාරකම් ඉදිරිපත් විය.

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක එන්නත් නිෂ්පාදකයන්ගේ සහ ආයෝජකයන්ගේ මෙන්ම බිල් ගේට්ස් වැනි එන්නත් ‘ප්‍රවර්ධන – ආයෝජකයන්’ ගේ අවශ්‍යතාවයට අනුව නියෝග නිකුත් කරන රූකඩ ආයතනයක් බවට පත්වී ඇත. අප රටේ සෞඛ්‍ය ආයතන සහ බලධාරීන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පදයට නටන, එන්නත් සමාගම් වල රූකඩ වෙළද ප්‍රවර්දකයින් (Sales Rep) පමණක් වනවා මිස රටට අවශ්‍ය දේශීය (Domestic) ස්වාධීන ක්‍රමවේදයකට විද්‍යාත්මකව මෙම වසංගතයට මුහුණ දීමට ක්‍රියා නොකිරීමෙන් බිල් ගේස්ට්ලාගේ එන්නත් අනිවාර්ය කරණය (Mandatory Vaccination) දක්වා රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් රට සහ එහි ජනතාව අගාදයකට ඇද දමමින් සිටී.

අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලපෑම මත සමස්ත ලෝකයේ ම සෞඛ්‍යය පිළිබඳ ඇතිකරගෙන ඇති ප්‍රතිපත්ති ප්‍රමිතීන් සහ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් එන්නත් නිෂ්පාදකයන්ගේ අවශ්‍යතාව ඉටු කරමින් සිටී.

විවිධ රටවල ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එම රටවල ව්‍යවස්ථාව මගින් වගන්ති පනවා තහවුරු කර ඇත. එහෙත් අද වන විට දැන හෝ නොදැන සමාගම් වල අවශ්‍යතාවය සඳහා තම උත්තරීතර ව්‍යවස්ථාවන් පවා උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීමට ජාතික රාජ්‍යයන් පත්වී ඇත. වර්ෂ 2011 සැප්තැම්බර් මස 11 දින නිව්යෝක් හි ලෝක වෙළෙඳ මධ්‍යයස්ථානයට පහර දීමට දඬුවම් ලෙස ඉරාකයට පහර දීමට තම රටේ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ආදර්ශය සැපයූ ඇමෙරිකාව මේ අවස්ථාවේ දී ද තම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ ජනතාවගේ අයිතිවාසිකම් දෙවැනි කොට එන්නත් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පෙරට පැමිණ ඇත.

උදාහරණ වශයෙන්,

  1. එන්නත් සහ ඖෂධ මගින් ඇතිවන සංකූලතා හා අතුරු ආබාධ වලට එරෙහිව නීතියේ පිහිට පැතීමට ජනතාවට නීතිමය ප්‍රතිපාදන බොහෝ රටවල ව්‍යවස්ථාව මගින් ලබා දී තිබේ. එහෙත් එන්නත් නිෂ්පාදකයන්ගේ අවශ්‍යතාවය මත ජනතාවට තිබූ මෙම නීතිමය සරණ ඇමරිකානු රාජ්‍ය විසින් නීති සංශෝධනයක් මගින් කොරෝනා වසංගතය තුල ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙය උදාහරණයක් කොට ගෙන ඊනියා වසංගතයට මුවා වී සෙසු රටවල් ද ඇමරිකානු ජනතා ද්‍රෝහී ක්‍රියාවලිය අනුගමනය කරමින් සිටී.
  2. නිසි ලෙස පර්යේෂණයට ලක් නොකළ නව තාක්ෂණය උපයෝගි කරගෙන ජීව රසායනිකව නිපදවූ ජීව නික්ෂේපනයක් හදිසි ආපදාවක දී භාවිතාවට පමණි යන ලේබලය යටතේ එන්නතක් ලෙස ලබාදීම.
  3. වසංගතයට විකල්ප ප්‍රතිකාර කොපමණ තිබුණද එම ප්‍රතිකාර ජාත්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව යටපත් කිරීමට මාධ්‍ය මඟින් කටයුතු කිරීම.
  4. වැරදි සංඛ්‍යාලේඛන මගින් මරණ භීතිය තීව්‍ර කරමින් ජනතාව බලෙන් එන්නත් කරණය ට තල්ලු කිරීම.
  5. විකල්ප ප්‍රතිකාර හඳුන්වා දෙන විද්‍යාඥයන් සහ මෙම ක්‍රියාවලියේ අඩුපාඩු පෙන්වා දෙන වසංගතවේදීන් සහ වෛරසවේදීන්ගේ හඬ මර්දනය කිරිම සහ යටපත් කිරීම.
  6. මෙම ලෝක පරිමාණ ජාවාරමට විරුද්ධ වන රාජ්‍ය නායකයින් සහ විද්‍යාඥයින් අකල් මරණයන් මගින් ඉවත් කිරීම, දක්වා මෙම එන්නත් වෙළදාම ම්ලේච්ඡ වීම.

(මේ වන විටත් කොරෝනා එන්නත් සදහා විරුද්ධ වූ රාජ්‍ය නායකයන් පස් දෙනෙකු (5) අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී ඇත. එයට අමතරව හයිටි රාජ්‍ය නායකයා වෙඩි තබා ඝාතනය කරන ලදී. හයිටි රාජ්‍ය නායකයා ඝාතනය කර සතියක් තුල කොරෝනා එන්නත් තොගයක් ඇමරිකානු රාජ්‍ය නායකයා විසින් එරටට යවන ලදී.)

අවසානයේ බිලියන 7.4 ක ලෝක ජනතාව අනිවාර්යයෙන් එන්නත්කරණය කිරීමට ලක් කිරීමෙන් පසු වාර්ෂික එන්නත්කරණය මගින් ලොව අංක එකේ ආදායම් ලබන ව්‍යාපාරයක් බවට එන්නත් නිපදවීම පරිවර්තනය කෙරෙණු ඇත. ලෝකයේ සියලුම ජාතික රාජ්‍යයන්වලට ඉහලින් මහා සමාගම් තබා ගැනීමට කටයුතු කිරීමෙන් පසු මහා සමාගම් සහ ජාත්‍යයන්තර රාජ්‍යය නොවන සංවිධාන වලට අවශ්‍යය ලෙස ‘ආර්ථිකය නැවත සැකසීම’ (Economic Reset) මගින් විශ්වයම එක යායට සූරා කෑමට සැලසුම් කළ ‘නව ලෝක පෙළ ගැස්ම’ (New World Order) නම් යාන්ත්‍රණය සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීමේ වැඩ පිළිවෙලට අප වැනි දුර්වල ජාතික රාජ්‍යයන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත් වනු ඇත. මෙම මහා චණ්ඩ මාරුතයට මුහුණ දිය හැක්කේ, මෙය වටහා ගත් කොටසකට සහ ඔවුන් විසින් සොයා ගන්නා ‘ස්වාධීන සහ ස්වයංපෝෂිත දේශීය ක්‍රමවේදයක්’ තුලින් පමණි.

තවදුරටත් ඔබ ස්ව කැමැත්තෙන් විලංගු දමා ගෙන වහලෙක් වී ජීවත් වනවාද නැතහොත් එයට විරුද්ධව සටන් කරනවාද යන්න මත ලෝකයේ හෙට දවස තීරණය වනු ඇත. තීරණය ඔබට බාරයි !

වෛද්‍ය සුමිත් වන්නිආරච්චි

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *