මංගල සමරවීර ඇත්තටම මියයයි

මංගල සමරවීර ඇත්තටම මියයයි

*********************************************

මංගල සමරවීර ඇත්තටම මියයයි

(24.08.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

= හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ =

කොරෝනා ආසාදිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද (24) උදෑසන අභාවප්‍රාප්ත වුණා.

මියයන විට 65 වන වියේ පසු වූ ඔහු, කොරෝනා ආසාදිත ව රෝහල් ගත කෙරුණේ පසුගිය 13 වනදායි.

එහි දී අසාධ්‍ය තත්ත්වයට පත් වූ හිටපු අමාත්‍යවරයාට ඔක්සිජන් ප්‍රතිකාර ලබාදීම සිදුකෙරුණා.

ශ්‍රී ලංකා දේශපාලනයේ රජුන් තැනූ දේශපාලනඥයෙකු ලෙස ප්‍රකට මංගල පින්සිරි සමරවීර 1956 වසරේ අප්‍රේල් 21 වනදා මාතර දී උපත ලැබූ අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

1983 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1989 වසරේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙනවා.

ඔහු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහකාර ලේකම් ධුරය ද හොබවනු ලැබුවා.

විවිධ රජයන් යටතේ විදේශ, මුදල්, වරාය සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුර හෙබ වූ ඔහු අවසන් වරට පැවති මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ඉදිරිපත් කළත් පසුව මැතිවරණ තරග බිමෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා.

පසුව විවේකී ව කාලය ගත කරමින් සිටි ඔහු කොරෝනා රෝගයට ගොදුරු වීම හේතුවෙන්, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා ෴

Part 1 (24-05-2020)
Part 2 (24-05-2020)

+++++++++++++++++++

(24.08.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබා දීමේ පද්ධතිය හෙවත් ‘ඔන්ලයින් වීසා’ ක්‍රමය යටතේ මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට එකවර දින 180 ක වීසා බලපත්‍රයක් ලබා දීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමක දී තීරණය කෙරුණා.

ඒ අනුව පහත සඳහන් පරිදි වීසා ගාස්තු අය කරමින් එකී සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල එකඟතාව හිමි වී තිබෙනවා.

ඒ අනුව සාර්ක් රටවල සංචාරකයින් සඳහා අමෙරිකානු ඩොලර් 70 කුත් සාර්ක් නො වන සංචාරකයින් සඳහා අමෙරිකානු ඩොලර් 85 කුත් අය කිරීමට යි තීරණය වී ඇත්තේ.

එමෙන්ම සිංගප්පූරුව, මාලදිවයින, සීෂෙල්ස් යන රටවල සංචාරකයින් සඳහා අමෙරිකානු ඩොලර් 50 ක් අය කිරීමටත් තීරණය කෙරුණා ෴

++++++++++++++++++

(24.08.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, නයිජිරියාව, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල ගමන් බලපත්‍ර දරන්නන්ට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම සඳහා කොන්දේසි සහිත අවසරයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, පසුගිය දින 14 තුළ එම රටවල රැදී නො සිටි පුද්ගලයින්ට ඩුබායි, සාජා ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමනාන්ත වෙත පැමිණිය හැකිවනු ඇති.

ඒ සඳහා අදාළ පුද්ගලයින් තුන්වන රටක දින 14 ක් නිරෝධායනයට ලක් විය යුතු බවට යි සංචාරක නියෝජිතයින් උපුටා දක්වමින් ‘කාලීජ් ටයිම්ස්’ පුවත්පත සඳහන් කළේ.

අදාළ රට එක්සත් අරාබි එමිර් රාජ්‍යය සංචාර සඳහා අනුමත කළ රටක් විය යුතුයි.

මාලදිවයින සහ උස්බෙකිස්ථානය ඒ සඳහා සංචාරකයන් අතර ජනප්‍රිය රටවල් බව සඳහන්.

ඕමානය මේ වනවිට සංචාර තහනම් ඉවත් කර ඇති නිසා ඕමානයේ මස්කට් නුවර ද නිරෝධායන ගමනාන්තයක් ලෙස යොදා ගත හැකි වනවා ෴

+++++++++++++++++

(24.08.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක අරමුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතරින් ඇමරිකානු ඩොලර් මිලියන 37.5 ක්, ණය මුදලක් ලෙස ලැබෙන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 12.5 ක මුදලක් ලැබෙන්නේ ප්‍රදානයක් ලෙසට යි.

මෙම මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් මේ වනවිටත් පවතින කෝවිඩ්-19 ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ලබාදී තිබෙනවා.

මීට අමතර ව ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත්තේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැඩිවන රෝගීන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස තවත් ඇමරිකානු ඩොලර් මිලියන 125 ක අතිරේක මූල්‍යකරණ පහසුකමක් ලබාදීමට යි.

මෙලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලැබෙන මුදල රුපියල් බිලියන 34 කට අධිකයි.

මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා ෴

+++++++++++++++++++

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ළමා ඖෂධ කිසිවක් දරුවන්ට දෙන්න එපා – ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා

(24.08.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ් වෛරසයේ අධි ව්‍යාප්තියත් සමඟ ළමයින් එම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානම වැඩි වී ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එබැවින් රෝග ලක්ෂණ පෙන්වන මුල් අවස්ථාවේදී ම දරුවන් පළපුරුදු වෛද්‍යවරයකු වෙත යොමුකර, ඔහුගේ උපදෙස් අනුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීම වඩාත් ඥාණාන්විත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද (24) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ළමා රෝහල තුළ කිසිදු ඔක්සිජන් හිඟයක් නැති බවයි.

එමෙන්ම, දරුවන් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ වැඩකටයුතු ද ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කෙරෙන ඖෂධ කිසිදු අවස්ථාවක දරුවන්ට ලබාදීම සුදුසු ක්‍රියාවක් නො වන බවට ඔහු අවධාරණය කරනවා.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ, වෛද්‍යවරයකුගේ නිසි උපදේශයකින් තොර ව කිසිදු අවස්තාවක දරුවන්ට ඖෂධ ලබාදීම සිදු නො කළ යුතු බවට යි.

ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ ‘කළු දිලීර රෝගය’ ව්‍යාප්ත වීමට මෙම අනවශ්‍ය ඖෂධ ලබාදීම ප්‍රධාන හේතුවක් වූ බවයි.

එමෙන්ම දරුවන්ට අනවශ්‍ය ලෙස විටමින් ලබා දීම ද නො කරන ලෙස උපදෙස් දෙන විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ රෝගී දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට කිසිසේත් බිය විය යුතු නැති බවයි.

කෙසේ වෙතත් පවතින අධික තදබදය නිසා ප්‍රතිකාර අත්‍යවශ්‍ය දරුවන් පමණක් එලෙස රෝහලට ඇතුළත් කරන ලෙසත් ඔහු වැඩි වැඩිදුරටත් ඉල්ලා සිටියා ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 2,386 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 346,767 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

බලාගන්න අය කොවිඩ් හැදී රෝහලේ – සුරතලුන් දින 7 ක් නිවසේ කුසගින්නේ

(23.08.2021 – gossiplankanews.com)

මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක් තුළ දින හතක් (7) පමණ නිරාහාරව විලාප නගමින් සිටි සුනඛයන් දාහතක් (17), බළලුන් විසිදෙනෙකු (29) සහ ඉබ්බෙකු (1) පොලීසිය මැදිහත්වී අදාළ නිවසින් පිටතට ගෙන ආහාරපාන ලබා දී සත්කාර කිරීමේ ආදර්ශවත් පුවතක් නිකිණි පොහොය යෙදුණු ඊයේ (22 දා) මත්තෙගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ වර්ග අඩි 350 ක් පමණ කුඩා නිවසක් තුළ මෙසේ සතුන් සිර වී නිරාහාරව සිට ඇති. අතර, එම නිවසේ සතුන් හදාවඩා ගත් කාන්තාවන් දෙදෙනාට (2) කෝවිඩ් ආසාදනය වී මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම නිසා සතුන් මෙසේ නිරාහාරව සිට ඇති බව වාර්තා වේ.

මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන එක් කාන්තාවක අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව ද පැවසේ. මෙසේ සතුන් නිරාහාරව දින ගණනාවක් විලාප නගමින් නිවසක් තුළ සිරවී සිටින බවට සත්වවේදිනියක වන මනෝජා වීරක්කොඩි මහත්මියට ලද තොරතුරක් අනුව ඇය ආසාදිත කාන්තාවන්ගේ ඥාතියකුගෙන් සතුන්ට ආහාරපාන ලබා දී සත්කාර කිරීමට අවසර ඉල්ලා ඇතැයි පැවසේ. එහෙත් ඊට අවසර ලබා දිය නොහැකි බවට ඥාතීන් පැවසීම නිසා ඒ පිළිබඳ මත්තෙගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සත්වවේදීනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.

ඒ අනුව මත්තෙගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කොට අදාළ නිවසේ යතුර ගෙන්වාගෙන පොලීසිය මැදිහත් වී දොරගුළු විවෘත කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබා දීමට පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාව වනවිට නිවස තුළ සුනඛයන් දාහතක් (17), බළලුන් විස්සක් (20), එක් (1) ඉබ්බෙකු සිටි අතර බළලුන් දෙදෙනෙකු (2) මිය ගොස් සිටි බවද සත්වවේදීනී මනෝජා වීරක්කොඩි මහත්මිය පැවසුවාය.

මේ අතර ඉතා අපිරිසිදු තත්වයේ තිබු නිවස සම්පූර්ණයෙන්ම සෝදා පිරිසුදු කොට සිරවී සිටි සතුන්ට ආහාර පාන ලබා දී සත්කාර කිරීමට පැමිණ සිටි පිරිසට පියවර ගත්තා. ඒ අනුව රෝගී කාන්තාවන් දෙදෙනා (2) සුව වී නිවසට පැමිණෙන තෙක් දිනපතා නිවෙස පිරිසුදු කොට සතුන්ට ආහාරපාන ලබා දීමට ඥාතීන්ගේ කැමැත්ත මත සත්වවේදිනි මනෝජා වීරක්කොඩි මහත්මිය ඇතුළු පිරිසට පොලීසිය අවසර ලබා දුන්නේය. මත්තෙගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න, සත්වවේදිනී මනෝජා වීරක්කොඩි, අර්ජුන වික්‍රමසිංහ, සූ.විජේකුලසූරිය, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(මත්තේගොඩ – ශාන්ත කුමාර කුලරත්න)

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(24.08.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

රට වසා දැමීමට කටයුතු කරන්නැයි පවසමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයන් පසුගිය දා ලිපියක් නිකුත් කරීම තුලින් සන්ධාන දේශපාලන නිරෝගීභාවයට කිසිදු බාධාවක් මතු නොවන බව රජය පවසනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබාදෙමින්.

මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

******************************************

(24.08.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මෙගාවොට් 120 ක් විදුලි උත්පාදන හැකියාවකින් යුත් සමනල වැව විදුලි බලාගාර ව්‍යාපෘතියේ දිගු කලක් තිස්සේ පවතින ජල කාන්දුවට පිළියම් යෙදීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

1986 වසරේ දී ආරම්භ කරන ලද සමනල වැව ජලාශයේ ජලය පිරවීමේ කටයුතු සිදුකෙරුණේ 1992 වසරේදි යි.

මෙම ජලය පිරවීමේ දී හඳුනාගත් විශාල ජල කාන්දුවක් හේතුවෙන් සමනල වැව ජලාශයේ පූර්ණ ධාරිතාවෙන් ජලය පිරවීමේ කටයුතු සිදු කෙරුනේ නැහැ.

මේ හේතුවෙන් සමනල වැව විදුලි බලාගාරයේ වාර්ෂික විදුලි ජනන හැකියාවෙන් ගිගාවොට් පැය 70 ක් පමණ අපතේ යනවා.

සමනල වැව විදුලි බලාගාරය වාර්ෂිකව ගිගාවොට් ධාරිතාව පැය 450 ක්.

ජල කාන්දුව සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවල දී ජලාශයේ දකුණු ඉවුර ප්‍රදේශයෙහි අධික ලෙස දිරාපත් වීමට ලක් වූ සිදුරු සහිත හුණුගල් ස්ථරයක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

ජලාශයේ වතුර සම්පූර්ණයෙන් ඉවත් කර මෙම කාන්දුව සඳහා දීර්ඝකාලීන පිළියමක් යෙදීමට යි විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මේ අනුව ජල කාන්දුව සිදුවන ස්ථානයට සුදුසු අමුද්‍රව්‍ය යොදා මුද්‍රා තැබීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා ෴

******************************************

(24.08.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

යාපනයට කි:මී: 610 ක් දුරින් බෙංගාල බොක්ක ආශ්‍රිතව මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක් සිදුව ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

+++++++

(2021-08-24 12:35:52 +0530 , 14.440°N 82.991°E , Magnitude : 5.1 mb , Depth : 10.0 km) (From : earthquake.usgs.gov)

******************************************

(24.08.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය 14 වන පටුමඟ ආසන්න මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් අද (24) උදෑසන සොයා ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

අද (24) උදෑසන පොලීසියට ලද තොරතුරක් අනුවයි මෙම මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.

මෙසේ සොයා ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ හෝටලයක, පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක්.

ඔහු දෙදරු පියෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති ෴

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *