පරිභෝජනයට නුසුදුසු සහල් වෙලඳපොළට නිකුත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව
*********************************************
පරිභෝජනයට නුසුදුසු සහල් වෙලඳපොළට නිකුත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා රේගුව
(24.08.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)
රේගු භාරයේ රඳවා ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු කරන ලද සහල් තොගය දුමායනය කර වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුමක් පවතින බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව රේගුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කියා සිටියේ එම සහල් තොගය වෙලඳපොළට නිකුත් කිරීමට කිසිදු සූදානමක් නො මැති බවයි.
ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් රේගුව මඟින් සිදුකරන එම විමර්ශනවලට එරෙහි ව අදාළ සහල් ආනයනකරුවන් විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ මෙම බාස්මති සහල් තොගය පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කර ඇත්තේ 2019 වසරේදි යී.
එවකට බාස්මතී සහල් ආනයනය සඳහා රජය මඟින් ලබා දී තිබූ සහනයකට යටත් ව බාස්මති නො වන පාරිභෝජනයට නුසුදුසු සහල් වර්ග ද ඒ සමඟ මුසු කොට මෙරටට ආනයනය කිරීමට අදාළ ආනයනකරුවන් විසින් කටයුතු කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මෙම සහල් බහාලුම් 100 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගුදම්වල පවතින අතර එහි සාම්පල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ තවත් රසායනාගාර කිහිපයක් වෙත යොමුකර තිබුණා.
එහිදී තහවුරු වී තිබුණේ කෘමි සතුන් බහුල වීම ඇතුළු කරුණු කිහිපයක් මත එම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට යි.
ඒ අනුව, අදාළ සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ද රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා ෴
******************************************
(24.08.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)
විවිධ අවස්ථාවන්හි දී කාලීන ව වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විනිසුරුවරුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වන බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්න කිරීමක් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින්.
අදාළ සම්මන්ත්‍රණය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වූවක් නො වන අතර, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය විසින් එම සම්මන්ත්‍රණය පවත්වා ඇති බවයි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.
කොරෝනා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛ, එම තත්ත්වය මත අධිකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම, නිරෝධායන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හා මහජන පීඩා පිළිබඳ නෛතික විශ්ලේෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබෙනවා.
සම්මන්ත්‍රණය සඳහා යවනු ලැබූ කැඳවීම් ලිපියට අදාළ ආකෘතිය ද මීට දස (10) වසරකට පෙර සිට ම භාවිත කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල සහ කාර්යභාරයන්ට පරිබාහිර කිසිදු කාර්යයකට මැදිහත් නො වන බව ද එමඟින් අවධාරණය කර තිබෙනවා.
මේ පිළිබඳ ව ඉදිරි දිනක දී අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී වැඩිදුර කරුණු දැක්වීම් සිදුකරනු ඇතැයි ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වුණා ෴
******************************************
(24.08.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවා ඇති පසුබිමක දේශීය වශයෙන් නව නිර්මාණකරුවන් ගොඩනැගෙන නිපැයුම් දිරිමත් කිරීම අතිශය වැදගත්.
මහනුවර – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි නව නිපැයුම් පිළිබඳ පර්යේෂකයෙකු වසර 6 ක් පුරා පර්යේෂණ හා සැලසුම් සිදු කරමින් එලෙස නිර්මාණය කල මෝටර් රථයක් මේ වන විට අනුමැති අවසර සඳහා යොමු කර තිබෙනවා.
ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතයි.
ආනයනික ‘පෙට්‍රල් එන්ජිමක් සහිත මෝටර් රථවලට’ බොහෝ දුරට සමාන මෙම දේශීය මෝටර් රථය, සාමාන්‍ය මෝටර් රථයක අන්තර්ගත සියලු අංගෝපාංගවලින් සමන්විත වනවා.
එය දේශීය අමුද්‍රව්‍ය රැසක් භාවිතා කරමින් සාමාන්‍ය ගරාජයක් තුළ නිෂ්පාදනය කිරීම ද විශේෂත්වයක්.
******************************************
(24.08.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය, බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකුගෙන් සිද්ධියට අදාළ ව ඊයේ (23) පැය 4 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එසේ ම, තම විමර්ශනවලට අදාළ ව මේ වන විටත් සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ ව කොළඹ අපරාධ කොට්ඨාසය, ඊයේ (23) අධිකරණයට ද කරුණු වාර්තා කළා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයා තර්ජනාත්මක ව බැන වදින අවස්ථාවේ වෛද්‍යවරයා සමඟ සිටි තවත් රැඳවියෙකු සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණය ඉදිරියට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට යි.
ඊට අවසර ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, සාක්ෂිකාර රැඳවියා හෙට (25) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා ෴
******************************************
සේරුවාවිල විහාරස්ථානයෙන් පූජ්‍ය කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්
(24.08.2021 – colombotoday.com)
තමන් වහන්සේ විහාරාධිපති ධූරය දරන සේරුවාවිල මංගල රජමහා විහාරයට නාඳුනන පිරිසක් කඩා වැදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන පාලන බලය ඔවුන් අතට ගෙන ඇතැයි විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ සඳහන් කර ඇති බවට අද (24) මව්බිම පුවත්පත වාර්තා කර ඇති පුවත අසත්‍ය පුවතක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය.
එවැනි ප්‍රකාශයක් පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියෝ මව්බිම පුවත්පතට සිදු කර නොමැති බවත් Youtube චැනලයක් සඳහා ලබා දුන් සාකච්ඡාවකදී සිදුවූ පැරණි සිද්ධියක් පිළිබඳව උන්වහන්සේ විස්තර කර ඇති අතර එය අලුත ඇතිවූ සිද්ධියක් ලෙස පටලවාගෙන මෙම වාර්තා කිරීම සිදුකර ඇත. එය උපුටාගෙන තවත් වෙබ් අඩවි බොහොමයක් මෙම වැරදි පුවත වාර්තා කර ඇත.
අමරපුර සංඝ සභාව සහ උත්තරීතර මහා නායක හිමියන් විසින් සේරුවාවිල විහාරාධිපති ධුරයට සඳහා පූජ්‍ය කොටපොළ අමරකිත්ති හිමියන්ව පත්කිරීමෙන් අනතුරුව උන්වහන්සේ සේරුවාවිල භාරකාරත්වය ලබා ගැනීමට තවමත් වැඩම කර නැත. ඒ ශාසන නීතියට සහ මහනායක හිමියන් ඇතුළු සංඝ සභාවට අභියෝග කරමින් කිරිබත්ගොඩ ඥානානන්දයාගේ අසපු වාසින් සේරුවාවිල බලහත්කාරයෙන් රැදී සිටීම හේතුවෙනි ෴
******************************************
(24.08.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)
රටක විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා යොදාගත හැකි, විශේෂ ආදාන හිමිකම් බිලියන 650 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙන් කරයි. ශ්‍රී ලංකාව එමගින් ඩො:මි: 816 ක් පමණ ලබා ගැනීමට සුදුසුකම් ලබයි ෴
******************************************
(24.08.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)
රජයේ ආයතන සතු වාහන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස යොමු කර තිබෙනවා.
එම වාර්තාවට අනුව රජයේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යාපාර, පලාත් සභා, සහ පළාත් පාලන ආයතන සතුව ඇති වාහන සංඛ්‍යාව 82,194 ක්.
ඒ අතුරෙන් වාහන 76,661 ධාවන තත්වයේ පවතින අතර වාහන 5,533 ඇත්තේ ගර්භිත තත්වයේයි.
එමෙන්ම ම රාජ්‍ය ආයතනවල ජේෂ්ඨ නිලධාරින් 8,500 ක ට පමණ මාසික දීමනාවක් ලබා දී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් පිණිස යොදා ගැනීමටත් රජයේ අනුමැතියය ලබා දී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.
ඒ අනුව අග්‍රාමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සැලකිල්ලට ගෙන දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අළුත්වැඩියා කළ හැකි වාහන වහාම අලුත් වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටත් එලෙස අළුත්වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් නොපමාව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴
@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@
(24.08.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1 ක් අද (24) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අලුයම 05:09 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
එමෙන්ම, තවත් මාත්‍රා මිලියන 2 ක් මේ මස අග දී දිවයිනට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
අද (24) ලැබුණු සයිනොෆාම් මාත්‍රා තොගයත් සමඟ ශ්‍රී ලංකාවට හිමි වී ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 15.7 දක්වා ඉහළ යනු ඇති ෴
++++++++++++++++++++
(24.08.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)
මෙරට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (23) දිනයේ ද හාරදහසේ (4000) සීමාව ඉක්මවා ගියා.
ඊයේ (23) අලුතින් ආසාදිතයන් 4353 ක් වාර්තා වූ අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 394,355 ක් ලෙසයි.
එමෙන්ම තවත් කොරෝනා මරණ 194 ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) තහවුරු කළා.
ඉන් 91 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 103 දෙනෙකු කාන්තාවන්.
මෙම 194 දෙනාගෙන් 145 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වනවා.
49 දෙනෙකු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නන් බවට යි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල්වලින් ඊයේ (23) පිටව ගියා.
ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 344,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියනයක් අද (24) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
චීනයේ බිජිං නුවර සිට එන්නත් තොගය රැගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානය අද (24) අලුයම 05:09 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වූ බවට යි හිරු ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2 ක් මේ මස අග දී මෙරටට ලැබීමට නියමිත බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.
එමෙන්ම, කොරෝනා වෛරසයට එරෙහි ඉහළ ම ප්‍රතිචාරයක් දක්වන ‘ෆයිසර් – බයෝඑන්ටෙක්’ කොරෝනා එන්නත සඳහා ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ පුර්ණ අනුමැතිය හිමි වී තිබෙනවා.
එෆ්.ඩී.ඒ. හෙවත් ඇමරිකානු ඖෂධ නියාමනය එහි හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේ පසුගිය දෙසැම්බරයේදි යි.
එමඟින් , පුර්ණ අනුමැතිය ලබා දුන් පළමු (1) කොරෝනා එන්නත ද ‘ෆයිසර් – බයෝඑන්ටෙක්’ එන්නත යි.
මේ අතර පසුගිය සිකුරාදා රාත්‍රී 10 සිට මුළු දිවයිනට ම ක්‍රියාත්මක වන පරිදි පැන වූ නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා (30) අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි ෴
++++++++++++++++++++
(24.08.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)
නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 639 ක් ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 57,435 ක්.
මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ (23) දිනය තුළ වාහන 1,369 ක් සහ පුද්ගලයන් 2,284 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා ෴
අද (24) සහ හෙට (25) දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බවට, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. තොග වෙළඳාම සඳහා පමණක් මෙලෙස ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කෙරෙනු ඇති ෴
+++++++++++++++++++
(24.08.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)
නිර්වින්දනය කළ යුතු සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක බරපතළ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.
බදුල්ල පළාත් මහ රෝහලේ මෙම ඖෂධ හිඟයක් පවතින බවට කළ සොයාබැලීමක දී දිවයිනේ සෙසු රෝහල්වල සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ ද එම ඖෂධ වර්ග හිඟ බවට අනාවරණ වූ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් පාලිත රාජපක්ෂ මහතා අනාවරණ කළේ.
කොවිඩ් ආසාදිත ව බරපතළ තත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ද අදාළ ඖෂධ වර්ග අත්‍යාවශ්‍ය බැවින් ඒවා හිඟවීම හරහා කොවිඩ් ආසාදිතයින් බරපතළ අවදානමකට ලක්වන බව ද වෛද්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා ෴
කොවිඩ් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් ලීටර් ලක්ෂ 03 ක් බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි ෴
++++++++++++++++++
(24.08.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ, තරමක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කොමසාරිස් ජනරාල්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි.
පෙරේදා (22) දිනයේ දී හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පසු වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට ඔක්සිජන් ලබාදීම ද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනවිට ඔහුට තවදුරටත් එලෙස ස්වසනාධාරක ලබාදීම සිදු කළ යුතු නැති බවට යි වාර්තා වන්නේ ෴
++++++++++++++++++
(24.08.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)
මේ වනවිට දිනපතා ඉහළ යන කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා මෙරට ආයුර්වේද රෝහල් පද්ධතිය භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.
කෝවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය කප්පල්තුරෙයිහි පිහිටි ආයුර්වේද මූලික රෝහල ද රුපියල් මිලියන දහයකට (10) වඩා වැඩි වියදමක් දරමින් නවීකරණය කෙරුණේ ඒ අනුවයි.
කෙසේ වෙතත් මෙලෙස සූදානම් කෙරුණු ආයුර්වේද රෝහල වෙත මෙතෙක් කිසිදු කොරෝනා රෝගීයෙකු යොමු කර නොමැති බවයි එම ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ මහාදේවන් නිරංජන් මහතා පවසන්නේ.
නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල කොරෝනා වෛරසයට ගොදුරු වන ආසාදිතයින් පහසුවෙන් මෙම රෝහලට යොමු කර ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දිය හැකි බව ඔහු පවසනවා.
මෙම කටයුත්තට සංවර්ධනය කෙරුණු ත්‍රීකුණාමලය කප්පල්තුරෙයි පිහිටි ආයුර්වේද මූලික රෝහල ද මේ වන විට සියලු පහසුකම් සපුරා ඇති අතර, රෝගීන්ගේ හා ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා විශාල වියදමක් දරමින් ආරක්ෂිත වැටක් හා සී.සී.ටී.වී. (cctv) කැමරා පද්ධතියක් ද ස්ථාපිත කර තිබෙනවා.
මෙම රෝහල තුළ නේවාසික ව රෝගීන් 50 කට ප්‍රතිකාර ලබා දීම සදහා පහසුකම් සලසා ඇති අතර, රෝහල් බලධාරීන් කියා සිටින්නේ, ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට කැමැත්තක් දක්වන කෝවිඩ් රෝගීන් තම රෝහලට යොමු කරවන ලෙසයි ෴
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴