සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

*********************************************

සායනික ඔක්සිජන් රැගෙන පැමිණි ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකා නාවික හමුදාධිපති නිරික්‍ෂණය කරයි

(23.08.2021 – news.navy.lk)

සායනික ඔක්සිජන් රැගෙන කොළඹ වරායට සේන්දු වු ඉන්දීය නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘ශක්ති’ නෞකාවන්හි නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2021 අගෝස්තු 23) පෙරවරුවේ සහභාගී විය. එහිදී සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව ඉන්දියානු නාවික හමුදා ශක්ති නෞකාවේ නැව් මුළුවට සහ ඉන්දියානු නාවික හමුදාව වෙත ද, ඉතා කෙටි දැනුම් දීමකදී ‍නෞකාව සූදානම් කොට මෙම ජාතික කාර්යය සඳහා කැපවුණු ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නැව්මුළුවට ද සිය කෘතඥතාවය ඵලකීරිමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

කොවිඩ්-19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්‍ෂමව ඉටු කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතාගෙන් සෘජුවම සිදුකරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට සායනික ඔක්සිජන් ටොන් 100 ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු මස 22 පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව, කොළඹ වරාය පරිශ්‍රයේදී අද (2021 අගෝස්තු 23) පෙරවරුවේ ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවෙහි නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරතවු නාවික හමුදාධිපති, එම නෞකාවේ නැව් මුළුව හමුවී ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් සිදු කරන ලද ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා, සායනික ඔක්සිජන් තොග මෙරටට කඩිනමින් රැගෙන ඒම සඳහා ඉන්දියානු නාවික හමුදාවෙන් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව වෙත සිය කෘතඥතාවය ඵලකිරීමට කටයුතු කරන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා ද සහභාගී විය.

එමෙන්ම, 2021 අගෝස්තු 20 වන දින ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට සායනික ඔක්සිජන් ටොන් 40 ක පමණ ප්‍රමාණයක් රැගෙන 2021 අගෝස්තු 22 වන දින කොළඹ වරායට සේන්දු වූ ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ ද නිරීක්‍ෂණ චාරිකාවරයක නිරත වූ නාවික හමුදාධිපති නෞකාවේ අණදෙන නිලධාරී ප්‍රමුඛ නැව් මුළුව වෙත සිය ප්‍රශංසාව ඵලකිරීමට මෙහිදී කටයුතු කරන ලදී.

තවද, රට තුළ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී කලාපීය නාවික හමුදාවන් මඟින් අවශ්‍ය සහයෝගය ලබා ගනිමින් සහ නාවික හමුදාවේ සම්පත් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව යොදවා අවශ්‍ය දායකත්වය ලබා දීමට නාවික හමුදාව ඉදිරියටත් සූදානමින් සිටියි.

++++++++++++++++++

(23.08.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් අමාත්‍යවරුන් සියල්ලන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අග්‍රමාත්‍යවරයා යෝජනාව ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම මොහොතේ රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අතර කෝවිඩ් මර්දන එන්නත් ගෙන ඒම සඳහා ද අති විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් කැබිනට් මණ්ඩලය සියල්ලට ප්‍රථම ආදර්ශයක් ගෙන එමින් මෙම කටයුත්ත සිදු කළ යුතු බවත් අග්‍රාමත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සියල්ලගේ අගෝස්තු මස වැටුප කෝවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරෙනු ඇති ෴

++++++++++++++++++

(23.08.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 3,223 දෙනෙකු අද (23) දිනයේ මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර අද (23) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 344,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

++++++++++++++++

(23.08.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

රට හමුවේ කුමන අභියෝග, බාධක පැමිණියත් අත්හැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (23) පස්වරුවේ පැවති දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේල ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා වෙත එහිදී පිළිගනවනු ලැබුවා.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් සංදේශය පිළිගන්වමින් කොවිඩ් වසංගතය හමුවේ වුව ද ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවත්වීමට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය පිරිනැමුවා ෴

++++++++++++++++

සාමුහික වගකීම ගැන සාගරයා ගෙන් යළි ප්‍රහාරයක්

(23.08.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයේදී ඍජුව අදහස් ප්‍රකාශ නොකර, පසුව ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර මාධ්‍ය වෙත ප්‍රසිද්ධ කරන ආණ්ඩුවේ සන්ධානගත දේශපාලන පක්ෂ වලට එරෙහිව පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++

(23.08.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගයෙන් ආරක්ෂා විමට නම්, ගන්නා ඖෂධ වලට අමතරව දෛනිකව පෝෂදායි ආහාර වේලක් ලබා ගැනිම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා කියා සිටියේ වයිසරය ආසාදිත වු පුද්ගලයන් ද සමබර ආහාර වේලක් ලබා ගැනිම අනිවාර්ය බවයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින පිරිස් සඳහා ආයුර්වේද ඖෂධ ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයකදීම අද (23) ආරම්භ වුණා.

මේ අතර, විශේෂ ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබන අසාද්‍ය තත්ත්වයේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යවන ඔක්සිජන් උණුසුම් කර ලබාදෙන උපකරණයක් ගුවන් හමුදාව විසින් නිපදවා ඇති අතර එය නාගොඩ රෝහල වෙත භාර දුන්නා.

එසේම, ගර්භණී කාලය සති 26 ඉක්මවූ මව්වරුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා කොළඹ අද (23) පැවැති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 2,222 ක් සුවය ලබා රෝහල් වලින් අද (23) පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ මුලු ආසාදිතයන් සංඛ්‍යාව 3,44,381 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අද (23) පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 3223 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදි ඔවුන් චෝදනා කළේ කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නිර්වින්ද ඖෂධවල හිඟයක් පවතින බවයි.

කොරෝනා දත්ත වාර්තා කිරිමේදි ඇති වු ගැටළුකාරී තත්ත්වයන් මීට පසු ඇති නොවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන වාට්ටු සංඛ්‍යාව 18 දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය සඳහන් කළේ.

එසේම, කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි වී තිබෙනවා ෴

(23.08.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ඊයේ (22) මිය ගිය පුද්ගල මරණ 194 ක් අද (23) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 194 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගියා.

අද (23) දිනයේ වාර්තා වූ මරණ අතරට කාන්තා මරණ 103 ක් සහ පිරිමි පුද්ගලයින්ගේ මරණ 91 ක් වාර්තා වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 1130 ක් අද (23) දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද (23) දිනයේ දී මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4353 ක් ෴

+++++++++++++++++

(23.08.2021 – 22:21 +0530 – hirunews.lk/sinhala)

සිය ජීවිත දෙවැනි තැනට දමමින් කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට මෙරට සෞඛ්‍ය අංශ සාමාජිකයින් සිදුකරන කැපකිරීම අතිමහත්.

එලෙස කැපකිරීම් කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෙක් සිය රාජකාරිය අවසන් වී තමන් ඇඳ සිටි සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලය ඉවත්කර අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

+++++++++++++++++

ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූපයක් සමාජ මාධ්‍යට මුදාහැරි පුද්ගලයෙක් අත්අඩංගුවට

(23.08.2021 – 22:34 +0530 – hirunews.lk/sinhala)

කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසදිතව මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවත් ‘මළ මිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද’ යනුවෙන් සඳහන් කර විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයෙකු අද (23) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සැකකරු අද (23) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක (100,000) ශරීර ඇප මත මුදා හැර පසුව 2021.12.16 වන දින යළි අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කර තිබෙනවා.

අදාල සැකකරුට එරෙහිව නිරෝධායන පනත යටතේ ද, ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද, පරිගණක අපරාධ පනත යටතේ ද චෝදනා ගොනු කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++

ජනාධිපතිට සිංහල වෙද්දු එක්ක කතා කරන්න ලැජජද? කෝ පත් වෙද්දි කරනව කියපු දේවල් (23.08.2021)

https://www.youtube.com/watch?v=mVv3YK-igxI

++++++++++++++++++

කොවිඩ් මාරයා විසින් බිලිගත් පළමු ගිලන්රථ රියදුරා

(23.08.2021 – 13:22 +0530 – sinhala.adaderana.lk)

රත්නපුර ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ ගිලන්රථ රියදුරෙක් ද කොවිඩ් ආසාදිතව ඊයේ (22) මියගොස් තිබුණි.

වසර 20 ක කාලයක් ගිලන් වූ ජනතාව වෙනුවෙන් සේවය කළ 57 හැවිරිදි බී.ඒ. අමරජීව මහතා නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොවිඩ් ආසාදිතව මියගිය පළමු ගිලන් රථ රියදුරා වන්නේද ඔහුය.

මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ඊයේ පස්වරුව වනවිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ රැසක් තැන්පත් කර තිබුණි.

කොවිඩ් ආසාදිතව එම රෝහලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් රෝහලට ඇතුළත් කරගන්නා තෙක් ඔවුන්ට පැය ගණනාවක් රැඳීසිටීමට ද සිදුවී තිබේ.

මේ අතර රත්නපුර සිරිමාවෝ බණ්ඩාරනායක ආයුර්වේද මහ රෝහලේ ප්‍රජා සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය සුසන්ත ජයවික්‍රම මහතා පවසන්නේ කොවිඩ් රෝගය සඳහා ආයුර්වේද සහ බටහිර මිශ්‍ර වෛද්‍ය ප්‍රතිකාර ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවය.

++++++++++++++++++

+++++++++++++++++++++

++++++++++++++++++

+++++++++++++++++

++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *