කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ

කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ

*********************************************

කොවිඩ් නියුමෝනියාවට පෙර ඇති වන පෙනහලු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනේ

(23.08.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහලු සංකූලතාව පිලිබඳ ව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

කොරෝනා හේතුවෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණවල දී එම සංකූලතාව සොයාගෙන තිබෙන අතර, එම නව රෝග තත්ත්වය හඳුනා ගෙන තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින්.

මෙම නියුමෝනියා තත්ත්වයට පෙර ඇති වන පෙනහලු සංකූලතාව ‘ඇකියුට් ලිම්ෆොසිටික් ඉන්ටස්ටීෂල් නිව්මෝ නයින්ටීස්’ ලෙස හඳුන්වන බවයි ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසුවේ.

මෙය කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම නිසා සිදුවන පෙනහලු සංකූලතා ආරම්භ වන පළමු (1) අදියරේ දී දැක ගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව, පෙනහලුවේ ගර්තවල සෛල විනාශ වීම මෙම ‘නියුමෝ නයින්ටීස්’ රෝග තත්ත්වයේ දී සිදුවන බව ඔහු කියා සිටියා.

සෛල විනාශ වීමේ දී ගර්ත බිත්ති විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වී ඒවා මිය යන බවත් ඒ සමඟ ම එම සෛල ගර්ත ඇතුළට කඩා වැටීම නිසා ‘හයලයින් මෙම්බ්‍රින් ෆෝමේෂන්’ යන තත්ත්වය ඇති වන බවත් ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එය කොවිඩ්-19 වයිරසය ආසාදනය වී දින 5 ත් 7 ත් අතර කාලය තුළ දැක ගත හැකි වන බවත්, එය දින 10 ක් පමණ දක්වා වුව ද පැවතිය හැකි බවත්, ඔහු කියා සිටියා.

මෙය කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම නිසා පෙනහලු තුළ සිදුවන ආරම්භක සංකූලතාව වන අතර, මෙම වයිරසය අසාදනය වී මිය යාමට මෙය ද හේතුවක් වී තිබෙන බවයි මේ වන විට හඳුනා ගෙන ඇත්තේ.

එම සංකූලතාව ගැන ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නා තුරු එය කොවිඩ්-19 හේතුවෙන් සිදුවන මරණවලට හේතුවක් බවට හඳුනාගෙන තිබී නැහැ.

කොරෝනා වයිරස ආසාදනය නියුමෝනියා තත්ත්වයට හැරෙන්නේ මෙම සංකූලතාවෙන් පසු ව බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පැවසුවා.

වයිරස ආසාදනය වළක්වා ගැනීම දේශීය වෛද්‍ය උපදෙස් අනුව කළ හැකි නමුත්, රෝගය වැළඳීමෙන් පසු දැනට ප්‍රතිකාර කළ හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණක් බව ද ඔහු සඳහන් කළා. (*)

මේ අතර, ගත වූ දිනයේ කොවිඩ් ආසාදිතයින් 4304 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 22 ක් විදේශගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 390,000 ක් දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව දෛනික ආසාදිතයින් 4000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව එයයි.

කෙසේ වෙතත්, පසුගිය 16 වැනිදා සිට 19 වැනිදා දක්වා වාර්තා වු ආසාදිතයින් 4808 දෙනෙකු වසංගත රෝග විද්‍යා අංශය පසුගිය 21 වැනිදා අලු‍තෙන් වාර්තා කළ අතර එම ආසාදිතයින් අදාළ දිනයන් සඳහා එක් කර ඇති ආකාරය එම වෙබ් අඩවියේ දැක ගත හැකියි.

අනුව, එම දින කිහිපයේදී ම ආසාදිතයින් 4000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එක් (1) දිනකදී ආසාදිතයින් 5000 සේ සීමාව ද ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට අනුව පසුගිය 19 වැනිදා වාර්තා වී ඇති දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 5063 දක්වා ඉහළ ගොස් තිබුණා.

මේ අතර, පසුගිය 21 වැනිදා සිදු වූ කොරෝනා මරණ 183 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (22) තහවුරු කළා.

කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් වූ පළමු (1) ගිලන් රථ රියදුරා ගැන තොරතුරු ද රත්නපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණා.

එලෙස මියගොස් ඇත්තේ රත්නපුර – නිවිතිගල ප්‍රදේශයේ පදංචි 57 හැවිරිදි පුද්ගලයෙක්. වසර 20 කට අධික කාලයක් ඔහු ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 40 ක් රැගෙන අද (23) අලුයම දිවයිනට පැමිණියා.

පසුගිය 17 වනදා ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත පිටත් ව ගිය එම නෞකාව, 20 වනදා අදාළ ඔක්සිජන් තොගය රැගෙන කොළඹ වරාය බලා ගමන් ආරම්භ කළා.

මීට පෙර ද ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 40 ක් ලැබුණු අතර, ඊයේ (22) දිනයේ දී ඉන්දියාවට අයත් ‘අයි. එන්. එස්. ශක්ති’ නෞකාව මඟින් ද තවත් ඔක්සිජන් ටොන් 100 ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

එසේ ම මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 52,417 කට ඊයේ (22) දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක් අද (23) දිවයිනට ළඟා වුණා.

(*) : කොවිඩ්-19 රෝගය වළක්වාගැනීමට මෙන්ම වැළඳුනු පසු සුවකිරීමටත් දේශීය ඖෂධ භාවිතා කෙරේ. කිසිම ඖෂධයක් භාවිතා නොකර කොවිඩ්-19 රෝගීන් සුවපත්කිරීමේ අධිමානසික හැකියාවක් තමන්ට තිබෙන බව දීගොඩ කුමාර මහතා පවසයි ! – අමරසර

+++++++++++++++++++

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්ති මංජුසාවක් නොමිලේ දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව සැරසෙයි

(23.08.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට සියලු පවුල් ඒකකවලට ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක් ලබාදීමේ ජනපති තීරණයට අනුව, ඉදිරි සති දෙක (2) තුළ දී එහි පළමු (1) පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන මහතා පවසනවා.

මෙම ඖෂධ මංජුසාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ වන ‘සුව ධරනී’ ඇතුළු ඖෂධ වර්ග, ඉඟුරු කොත්තමල්ලි පානය චූර්ණයක් ලෙස ලබාදෙන කසායක් හා පෝෂණීය ආහාරයක් අන්තර්ගත වෙනවා.

රුපියල් දහසක් (1000) පමණ වටිනා මෙම ඖෂධ මංජුසාව සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදාහැරීම සඳහායි කටයුතු සූදානම් කර ඇත්තේ.

ලංකාවෙ සිටින සියලු ම පවුල් ඒකක සඳහා මෙය ලබා දීමට සැලසුම් කර ඇති අතර පවුල් ලක්ෂ 25 ක් වෙත පළමුවෙනි (1) අදියරයේ දී මෙය ලබා දෙනු ඇති.

පවුලක සංඛ්‍යාව හතර දෙනෙක් (4) යන ගණනය කිරීම් මත මෙම මංජුසාවේ සති දෙකකට (2) අවශ්‍ය ඖෂධ අන්තර්ගත කර තිබෙන බවයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන මහතා පවසන්නේ.

කොරෝනා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග යැ යි කියමින් ඇතැමුන් පැණි, ගුලි, චූර්ණ ආදී විවිධ ආයුර්වේද ඖෂධ වර්ග සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමට ක්‍රියා කිරීම තුළින් මෙරට මහජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ව යම්කිසි කුකුසක් ඇති වූ බව ආයුර්වේද කොමසාරිස්වරයා පවසා සිටියා.

නමුත් රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කොට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිතය සඳහා කිසිසේත් බිය විය යුතු නැති බවට යි ඔහු අවධාරණය කරන්නේ.

මෙම ඖෂධ මංජුසාවේ ඇති සියලු ඖෂධ, රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුවේ නිර්දේශයට අනුව නිෂ්පාදනය කළ ඒවා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයට නො ව රෝගියාට බවත් දිවයින පුරා විසිර සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්ගෙන් හා ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් හැර කිසිම සුදුසුකමක් නැති අයගෙන් උපදෙස් ලබා නො ගන්නා ලෙසටත් ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාගන්නා අයට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ‘සුව ධරණී උපදේශන සේවාව’ ද ලබා දෙන බව ඔහු පවසා සිටියා ෴

කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,222 ක් සුව වී රෝහල්වලින් පිට ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. ඒ අනුව මේ වනවිට මෙරට කොවිඩ් වෛරසය ආසාදන වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 344,381 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++

(23.08.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අද (23) පෑලියගොඩ දී විවෘත කෙරුණා.

ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලයට පළමු වටයේදී ම එන්නත් මාත්‍රා දෙක ම ලබා දී ඇති අතර, යම් හෙයකින් ඔවුන්ට රෝගය වැළඳුනහොත්, ඔවුන් අපහසුතාවට පත් නො වී ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය මධ්‍යස්ථානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුව මෙම මධ්‍යස්ථානය සකස් කර ඇති බවට යි වරාය හා නාවික අමාත්‍යාංශය සඳහන් කළේ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(23.08.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ගැබිනියක බවට ව්‍යාජ රංගනයක නිරත වෙමින් ජනතාව රැවටූ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මාදම්පේ,සෙම්බුකට්ටිය – ලියගමුව වත්තේ තවකාලිකව, පදිංචිය සඳහා යුවලක් කුලී පදනම මත පැමිණ ඇත්තේ මේ වසරේ මැයි මාසයේදීයි.

තමා ගැබිණියක් බවට එම කාන්තාව ප්‍රදේශයේ ජනතාවට පවසා තිබෙනවා.

අවට පදිංචිකරුවන් මෙම කාන්තාවට අවශ්‍ය විවිධ ආහාර පානද ලබා දී ඇත්තේ ඒ අනුවයි.

කෙසේවෙතත් මෙම කාන්තාව ප්‍රදේශයේ කිසිදු මාතෘ සායනයකට හෝ පුද්ගලික වෛද්‍යවරයෙකු හමුවී හෝ පූර්ව ප්‍රසව සායනයකට සහභාගි වී උපදෙස් සහ ඖෂධ ලබා නොගන්නා බවට ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කාන්තාව සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට එම කාන්තාවන් කටයුතු කර ඇති අතර එහිදී මෙම කාන්තාව ගැබිණියක් නොවන බවට දැනගත් ප්‍රදේශවාසීන් ඒ බව මාදම්පේ පොලීසියට දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

මාදම්පේ පොලීසියේ නිලධාරීන් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර අදාල කාන්තාව සහ ඇය සමග නිවසේ රැදී සිටි අනියම් සැමියා බව කියන පුරුෂයාව පොලීසියට කැදවාගෙන යාමට කටයුතු කළා.

මාදම්පේ පොලීසිය කරන ලද පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ සැකකාර කාන්තාව කොට්ටයක් භාවිත කරමින් ගැබිණියක් ලෙස රංගනයේ යෙදී ඇති බවයි.

තම විවාහක සැමියා මේ වන විට මහරගම රෝහලේ සේවය කරන බවත්, ඔහු වෙනත් කාන්තාවක් සමග ජීවත් වන බැවින් සැමියාව ගෙන්වා ගැනීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ රංගනයක නිරත වූ බවත් ඇය එහිදී පවසා තිබෙනවා.

******************************************

(23.08.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.

නව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී කොවිඩ් වසංගතයට එරෙහිව ඉන්දියාව ලබාදෙන සහයෝගය අගය කළ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉන්දු – ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් ඉන්දියානු රජය ලබාදෙන සහය බෙහෙවින් වැදගත් බවයි.

2016 වසරේ අවසන් වරට කැඳවනු ලැබූ ඉන්දු – ලංකා ඒකාබද්ධ කොමිසම කඩිනමින් යළි කැඳවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශවයම මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා ෴

(23.08.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වහාම සායනික ඔක්සිජන් ලබාදෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගෙන් ද ඉල්ලා තිබෙනවා.

ඒ තානාපති ෂෙන් හොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට සහ රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙලට චීනය අඛන්ඩව කැප වන බවයි තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඇමෙරිකානු තානාපතිනිය ද පසුගියදා විදේශ අමාත්‍යවරයා හමුවූ අතර, එහිදී ද එක්සත් ජනපද ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය කැඳවීම පිළිබඳ අවධානය යොමුවුණා.

එසේම, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බී මැටරි ද විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි ද විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් පරාසයක සහයෝගිතාවය පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා ද පසුගියදා නව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී ඇති අතර එහිදී ශ්‍රී ලංකාවට ලබාදෙන ජපානයේ අඛන්ඩ සහය මෙන්ම සහයෝගිතාව සම්බන්ධයෙන් ද යළි අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මොහොමඩ් සාද් කට්ටක් ද විදේශ අමාත්‍යවරයා හමුවූ අතර එහිදී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීම සඳහා පාකිස්ථාන රජයේ සහය ඉල්ලා සිටියා.

ඊට තම රජය උපරිම සහයෝගය ලබාදෙන බවටයි මහකොමසාරිස්වරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ ෴

******************************************

(23.08.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක අද (23) කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 267.66 කින් ඉහළ ගොස් 8507.72 ක් ලෙස සටහන් වුණා.

කොටස් වෙළඳපොළ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන ‘එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි’ දර්ශකය ද ඒකක 96.52 කින් ඉහළ ගොස් 3148.16 ක් ලෙස සටහන් වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොලේ අද (23) දිනයේ කොටස් මිලියන 398 කට වැඩි ප්‍රමාණයක් හුවමාරු වූ අතර මුළු පිරිවැටුම රුපියල් බිලියන 10 ඉක්මවිය ෴

******************************************

(23.08.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

‘හිෂාලිනී ජූඩ්’ දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන (5) සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා (4) ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

‘හිෂාලිනී ජූඩ්’ දැරිය පිලිස්සී මියගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදීයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *