නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම

*********************************************

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග යාචකයින්ගේ ඉරණම

(22.08.2021 – 19:35 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ආහාර හා මුදල් නොලැබීම හේතුවෙන් මීරිගම නගරයේ වෙසෙන යාචකයින් රැසක් මේ වනවිට පීඩාවට පත්වී සිටී.

ඔවුන් මීට පෙර විල්වත්ත ප්‍රදේශයේ තාවකාලික ස්ථානයක ජීවත් වූ අතර, එයද ඉවත් කිරීම හේතුවෙන් ගස් සහ කඩපිල් අසල ජීවත්වීමට ඔවුන්ට සිදුවී තිබේ.

එහි සිටි ඇතැමුන් සඳහන් කළේ දින දෙකකින් (2) ආහාර නොලැබුණු බවය.

එමෙන්ම නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග අවිස්සාවේල්ල නගරයේ ජීවත්වන යාචකයින්ටද මෙලෙස කුසගින්නේ කල් ගෙවීමට සිදුවී තිබේ.

එසේම සීතාවක පොදු වැසිකිලි පද්ධතිය ද වසාදැමීම හේතුවෙන් ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සිදුකර ගැනීමේ අසීරුතාවයකට මුහුණ පාන්නට සිදුවී ඇත.

+++++++++++++++++

(23.08.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී තවත් පුද්ගලයින් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුලු සංඛ්‍යාව 56,796 ක්.

මීට අමතරව ඊයේ (22) දිනයේදී බස්නාහිර පළාත තුළට වෙනත් පළාත්වලින් ඇතුලුවන සහ පිටවන ස්ථානවල ස්ථාපිත මාර්ග බාධක 13 කදී පුද්ගලයින් 1,509 ක් සහ ඔවුන් පැමිණි වාහන 757 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය සදහන් කලා ෴

++++++++++++++++

එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් අතුරුදහන් !

(22.08.2021 – 12:05 +0530 – lankaleadnews.com)

කොවිඩ් එන්නත් ලක්ෂ 20 කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක – පහක (4-5) කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 – 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය ෴

+++++++++++++++++

ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් ලක්‍ෂ එක හමාරයි (1½) – කළු කඩේ ඔක්සිජන් විකිණීම ඇරඹෙයි

(22.08.2021 – 11:17 +0530 – lankaleadnews.com)

ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් කිලෝග්‍රෑම් 47 ක් අඩංගු සිලින්ඩරයක් රුපියල් ලක්ෂ එකහමාරක (1½) මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ මෙසේ අලෙවි කිරීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

දැනට මෙරට අවසර ඇති සමාගම් වලට පමණක් එවන් සිලින්ඩරයක් විකිණීමට මිල නියම කර ඇත්තේ රුපියල් 80,000 ක මිලකටයි.

නමුත් කොරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යාම මත සමාජ මාධ්‍ය ඔස්සේ නීති විරෝධී ආකාරයෙන් මෙම වෙළදාමේ යෙදෙන බවට තොරතුරු ලැබී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ ලියාපදිංචි නොවූ කිසිවකුට ඔක්සිජන් විකිණීම සඳහා මෙරට නීතිමය අවසරයක් නැති බවයි ෴

++++++++++++++++++++

(23.08.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණා.

එහි ව්‍යාපාරික සංගමය සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් අනුව වෙළෙඳ සංකීර්ණයේ කටයුතු සිදුකෙරෙන බවයි.

මේ අතර දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අගෝස්තු 24 සහ 25 දිනවල තොග වෙළෙඳාම සඳහා විවෘත ව තබන බවට රජය විසින් ඊයේ (22) නිවේදනය කරනු ලැබුවා ෴

++++++++++++++++++

(23.08.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වයිරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

@@@ කොවිඩ් නොබැඳි පුවත් @@@

(23.08.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමකින් තොර ව පැවති මිලට ම අලෙවි කරන බව පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු ගාමිණී කන්දෙගෙදර මහතා මේ බව කියා සිටියේ නිකවැරටියේ දී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් මීට පෙර පාන් මිල අද (23) සිට රුපියල් පහකින් (5) ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඊට අමතර ව අනෙකුත් සියලු ම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් සහ කේක් කිලෝවක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කර තිබුණා ෴

******************************************

(23.08.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (22) පොහෝ දින සිදු කළ හදිසි වැටලීමක දී කුඩාඔය අලුත්ගම වැව් රක්ෂිතයේ සිට මුව මස් කිලෝග්‍රෑම් තිස් හයක් (36) ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් පොහෝ දින අලෙවි කිරීමේ අරමුණින් මෙම මස් තොගය ප්‍රවාහනයකර ඇති බවට අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු කුඩාඔය ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයකු බව යි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මස් තොගය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ අතර, ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ඇති ෴

******************************************

(23.08.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් හා පාලන චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා තර්ජනය කළ වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට සිදුකළ පැමිණිල්ලකට අනුව, මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

අදාළ වෛද්‍යවරයා බොරැල්ල පොලීසියට ද සිදුකළ පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කළා.

ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (22) කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම වූ ස්ථානය පරීක්ෂා කර තිබෙනවා.

වෛද්‍යවරයා විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ඖෂධ ශාලාව තුළ පසුගිය 15 වැනිදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවයි.

එහිදී රිෂාඩ් බදියුදීන්, වෛද්‍යවරයා වෙත පැමිණ ඇත්තේ කොරෝනා අවදානම තුළ රෝගීන් කැඳවන ක්‍රමයට පරිබාහිරවයි. ඒ අනුව වෛද්‍යවරයා විසින් මන්ත්‍රීවරයාව දැනුවත් කිරීමත් සමග උරණ වූ මන්ත්‍රීවරයා බැණ වැදී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ ෴

******************************************

(23.08.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ යතුරු පැදි අනතුරු ගණනාවක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරු අතරෙන් බොහොමයක් සිදු වී ඇත්තේ යතුරුපැදිකරුවන්ට ඔවුන්ගේ යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නො හැකිව වීමෙනු යි.

ඊයේ (22) සවස් කාලයේ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ යතුරු පැදි අනතුරුකින් තිස් එක් (31) හැවිරිදි යුධ හමුදා සෙබලෙකු මිය ගොස් තිඛෙනවා.

එමෙන්ම, කළුතර පයාගල ප්‍රදේශයේ දී සිදු වූ තවත් යතුරුපැදි පැදි අනතුරකින් 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත්තේ අනතුරෙන් පසු ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යි.

මේ අතර ඊයේ (22) උදෑසන අලව්ව ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක් වූයේ යතුරුපැදිකරුට එය පාලනය කරගත නො හැකි වීමෙන්.

එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු රෝහල් ගත කෙරුණා.

එහි දී බරපතල තුවාල ලබා සිටි 50 හැවිරිදි පසුපැදිකරු මියගිය බවට යි පොලිස් වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර ඊයේ (22) දහවල් කාලයේ කිලිනොච්චි නගර මධ්‍යයේ සිදු වූ තවත් යතුරු පැදි අනතුරකින් මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර, ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කිලිනොච්චි රෝහලට ඇතුළත් කෙරුණා.

එහි දී පසුපැදිකරු මියගිය බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ෴

******************************************

(23.08.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජූලි මාසය තුල මෙරට අපනයනයන් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා.

ඒ මාස 4 කට පසු ප්‍රථම වතාවටයි.

ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කළ දත්ත වලට අනුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 1099.41 ක භාණ්ඩ අපනයනය කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.33 ක වර්ධනයක්.

එමෙන්ම, 2019 වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 13 ක පමණ වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා සඳහන් කළේ ලොව පුරා වසංගත රෝග තත්ත්වයක් පැවතුණ ද මෙරට අපනයනයන් කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බවයි ෴

******************************************

(23.08.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ අඹගස්දෝව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ ව පොලිසියට වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 36 ක් වන කන්දේඇළ ගොඩකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාවගේ සිරුර, ඝාතනයෙන් පසු වළ දමා තිබිය දී හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුගේ අනාවරණය මත මෙම මළ සිරුර වළ දමා තිබූ ස්ථානය සොයා ගෙන ඇති අතර, මේ වනවිටත් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනවා.

කන්දෙඇළ ගොඩකුඹුර ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 33 ක් වන සැකකරු හා මිය ගිය කාන්තාව අතර පැවති අනියම් සම්බන්ධයක් පැවත අති බවටත් වාර්තා වනවා.

මේ දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය 2021.08.23 වන දින සිදු කිරීමට නියමිත ව ඇති අතර, සැකකරු අද දින (23) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ අඹගස්දෝව පොලිසිය යි ෴

******************************************

(23.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ අදානි සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරිම් මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට සූදානම් බව හින්දු පුවත්පත වාර්තා කළා.

ඇප්සෙස් හෙවත් අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම ඒ සඳහා මෙරට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්වන බවයි එමගින් වැඩිදුරටත් සඳහන් කළේ.

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අදානි සමූහයට ලබාදීම සඳහා දේශීය හවුල්කරුවන් එක් කර ගැනීම කොන්දේසියක් බව සඳහන්.

බටහිර පර්යන්තය ඉදිකර, පවත්වාගෙන යමින් වසර 35 ක් තුළ හුවමාරු කිරීමේ ගිවිසුමට අදානි සමාගම නොවැම්බරයේ දී අත්සන් තබනු ඇති බවයි හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.

ඒ සඳහා ඉන්දියාවේ විශාලතම පෞද්ගලික වරාය සහ ප්‍රවාහන සේවා ජාලය වන අදානි සමූහයට අයත් ඇප්සෙස් සමාගම වෙත ලක් රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙතින් අභිලාෂ ලිපිය පසුගිය මාර්තු මාසයේ දී ලැබී තිබෙනවා.

මීටර් 1400 ක් දිගැති මීටර් 20 ක් ගැඹුරු ලෙස ඉදිකෙරෙන බටහිර පර්යන්තය, බහාලුම් ඒකක මිලියන 3.5 ක ධාරිතාවක් සහිත වන අතර, එමඟින් අති විශාල බහාලුම් නෞකා හැසිරවීමට ද හැකිවනු ඇති.

ඒ අනුව, එය කලාපයේ ප්‍රධාන පෙළේ නෞකා භාණ්ඩ ප්‍රතිඅපනයන පර්යන්තයක් බව ද පත්වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මීට පෙර ඉන්දියාවේ සහයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණ ද වරාය සේවක විරෝධතාව හේතුවෙන් එය පසු ව අත්හැර දැමුණා.

ඒ අනුව, එය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක යි ෴

******************************************

(23.08.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ දී මෙරටට ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් තොගයක් වෙළෙඳපොළට මුදා හැරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

පාකිස්ථානයේ සිට මෙලෙස ආනයන කර ඇත්තේ බාස්මතී සහල් තොගයක් වන අතර, බහාලුම් 100 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ වරායේ ගුදම්වල පවතින බවයි වාර්තා වන්නේ.

මෙම සහල් සාම්පල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ තවත් රසායනාගාර කිහිපයක් වෙත යොමුකරනු ලැබුවා.

එහි දී අනාවරණය වී ඇත්තේ, කෘමි සතුන් බහුල මෙම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි.

ඒ අනුව, අදාළ සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය රේගු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ ආනයනකරුවකු මෙලෙස රැගෙන ආ බහාලුම් 9 ක් තිබූ ගුදමකට රේගු නිලධාරින් පසුගියදා මුද්‍රා තැබීමට කටයුතු කරනු ලැබුවේ ඒ අනුව යි.

කෙසේ වෙතත්, ආරංචි මාර්ග ප්‍රකාශ කළේ දැනට වරායේ පවතින මෙම සහල් තොගය දූමායනය කර වෙළඳපලට නිකුත් කිරීමට සැලසුමක් පවතින බවයි ෴

******************************************

(23.08.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයයේ අවසානය සනිටුහන් කරන දහවල් පෙරහර අද (23) පස්වරු 01:45 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වීමට නියමිත යි.

පෙරහැර ගෙවැදීම පස්වරු 03:27 ට සිදුවනු ඇති.

ඉන්පසු දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක ව අවසන් කළ බවට වන සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ගැටඹේ දිය කපනා තොටේ දී අද (23) අලුයම චාරිත්‍රානුකූල ව දියකැපීමේ කටයුතු සිදු කෙරුණා.

ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව ඊයේ (22) රාත්‍රීයේ විථි සංචාරය කළා.

මෙවර අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමි ව තිබුණේ ‘නැදුන්ගමුවේ රාජා’ හස්ති රාජයාට යි.

දළදා මාළිගාවේ පෙරහැර හා සතර මහා දේවාල පෙරහැර පෙරටු කරගත් අවසන් රන්දෝලි පෙරහැර විචිත්‍රවත් නර්තනාංග රැසකින් සමන්විත වු අතර, පෙරහැර සඳහා දළදා මාළිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් 25 ක් සමඟ අලි ඇතුන් 70 ක් පමණ එක් ව සිටියා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිඟා පරිශ්‍රයට පැමිණ දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *