රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක්

රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක්

*********************************************

රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට තර්ජනයක්

(22.08.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාඩ් බදියුදීන් විසින් කොළඹ මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට සිදුකරන ලද තර්ජනයක් පිළිබඳව අදාළ වෛද්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

******************************************

(22.08.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (22) පස්වරු 06:44 ට යෙදෙන සුභ මොහොතින් විථි සංචාරය ආරම්භ කෙරුණා.

ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව ජන සහභාගීත්වයෙන් තොරවයි.

දළදා කරඬුව වැඩම කරවීමේ වාසනාව මෙවර ද හිමිව ඇත්තේ නැදුන්ගමුවේ රාජාටයි.

හෙට (23) අලුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දවල් පෙරහරින් මෙවර සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

මෙවර මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරේ සජීවී අත්දැකීම අද (22) රාත්‍රී 10:30 ට ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

******************************************

(22.08.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ගණුදෙනු සඳහා බැංකු විසින් සියයට 6.5 සිට සියයට හත (7) දක්වා ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් අදාළ බැංකු සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙය රජයේ ප්‍රතිපත්තිය නොව ඩොලරයේ අගය වෙනස්වීම මත බැංකු විසින් ගාස්තු ඉහළ දමා ඇති බවයි.

මෙමඟින් ‘ඊබේ’, ‘නෙට් ෆ්ලික්ස්’ වැනි සේවාවන් ලබාගැනීමේදී පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත්ව ඇති නිසා මුදල් අමාත්‍යවරයාගේ දැනුම්දීම මත රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනටමත් බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි අයවැයේදී මාර්ගගත වේදිකාවන්, ඊ-වානිජ්‍යය වේදිකා හෝ ඩිජිටල් ව්‍යාපාර සඳහා සහන ලබාදීමට දැනටමත් රජය තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ ෴

******************************************

රාජකාරී වේලාව තුළ මත්පැන් සාදයක් පැවැත් වූ නිලධාරීන්ට ස්ථාන මාරු

(22.08.2021 – 21:59 +0530 – hirunews.lk/sinhala)

රාජකාරී වේලාව තුළ තම නිල රථය අවභාවිත කරමින් ඒ තුළ මත්පැන් සාදයක් පැවැත් වු වයඹ පළාත් පරිවාස කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගියදා හෙළි කළා.

අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වනතුරු අදාල නිලධාරීන් ස්ථාන මාරු කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියෝග කර තිබෙනවා.

කුඩා දරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට බැඳී සිටීන වයඹ පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් රාජකාරී වේලාවේදී කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිතය අසල නිල රථය තුල මත්පැන් සාදයක් පැවැත්වු අයුරු අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා රටට හෙළි කලේ පසුගිය 18 වැනිදායි.

පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ නිල රථයෙන් ගොස් මත්පැන් මිල දී ගෙන මෙම සාදය පැවැත් වු අයුරු ද අප රට හමුවේ හෙළිදරව් කළා.

අප මේ පිළිබඳව හෙළිකිරීමත් සමග වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් වයඹ පළාත් ප්‍රධාන ලේකම්,ආණ්ඩුකාර ලේකම් ඇතුළු තිදෙනෙකු (3) ගෙන් යුතු කමිටුවක් පත් කර මේ පිළිබද විමර්ශනයක් ආරම්භ කළා.

******************************************

(23.08.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද (23) අලුයම ගැටඹේ තොටේ දී සිදු කෙරුණා.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (22) පස්වරුවේ වීථි සංචාරය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයට අනුව ජන සහභාගීත්වයෙන් තොරව යි.

දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරු ව දවල් පෙරහැරින් මෙවර සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනවා.

අනතුරු ව පෙරහැර සාර්ථක ව අවසන් කළ බවට වන සන්දේශය දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත යි ෴

@@@@ කොවිඩ් සබැඳි පුවත් @@@@

(22.08.2021 – 19:36 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රුපියල් 2,000 ක දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් අද (22) නිකුත් කරනු ලැබුවා.

රජයේ කිසිදු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමිවූ පවුල් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බවයි එම කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදී ඇති අතර, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් දීමනාව ප්‍රතිලාභීන්ට ලබාදිය යුතු වනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්, ඇන්ටන් පෙරේරා විසින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව දීමනාව අදාළ ප්‍රතිලාභියා විසින් ලබාගත් බවට සහතිකයක් ද ගත යුතු වනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාළ දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සඳහා රුපියල් 2000ක දීමනාව ලබා දීමට රුපියල් මිලියන 467ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවයි.

ඒ සඳහා පුද්ගලයින් 250,000 ක් සුදුසුකම් ලබා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා ෴

++++++++++++++++++

(22.08.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

අද දින (22) වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (21) තහවුරු කළ කොරෝනා මරණ ගණන 183 ක්.

ඒ අනුව කොරෝන අසාදිතව මෙරට මිය ගිය මුළු සංඛ්‍යාව 7,366 ක් වනවා.

එලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 107 ක් සහ කාන්තාවන් 76 ක්.

එම මරණ 183 අතුරින් 60 ට වැඩි පිරිමි සහ කාන්තාවන් 136 දෙනෙකු වාර්තා වනවා.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් (10,00,000) අනිද්දා (24) ලැබෙන අතර තවත් මාත්‍රා මිලියන 2 (20,00,000) ක් මේ මස අගදී දිවයිනට ලැබීමට නියමිතයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 1,172 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. මෙරටින් අද (22) දිනයේ දී වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 4,282 ක් වනවා. මෙය දැක්වෙන්නේ දිනක් තුල දී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අනුව මෙතෙක් මෙරටින් හමු වූ මුළු ආසාදිතයින් ගණන 390,000 ක් වනවා ෴

++++++++++++++++++++

කොරෝනා වැළඳුණු මව්වරුන් රකින සුව විරුවෝ

(22.08.2021 – 22:50 +0530 – hirunews.lk/sinhala)

දස (10) මසක් කුස තුළ හොවා දරුවෙකු මෙලොවට බිහිකිරීමට ආරණීය මව්වරුන් දරන්නේ අප්‍රමාණ වෙහෙසක්.

ඒ වගකීම මේ වනවිට තව තවත් දැඩි වී ඇත්තේ මාරාන්තික කොවිඩ් වෛරසය හේතුවෙන්.

එම අභියෝගය ජය ගැනීම මව්වරුන් තරමට ම කැපවෙන තවත් පිරිසක් පිළිබඳව යි මේ සටහන.

+++++++++++

19-08-2021

(23.08.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතිය සිදුකිරීම සඳහා බොහෝ රෝහල්වල වෙන ම වාට්ටු වෙන් කර ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් දරු ප්‍රසූතියකට සූදානම් වීමේ දී අනවශ්‍ය බියක් ඇති කර නො ගන්නා ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

මේ වනවිට ගැබිනි මව්වරුන් 3,800 කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, 850 ක් පමණ තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව සඳහන්.

එසේ ම නිවෙස්වල ද ගැබිනි මව්වරුන් පිරිසක් නිරෝධායනට ලක් කර සිටින බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියා සිටියේ ෴

+++++++++++++++++++++

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් හෙට (24) දිවයිනට – ෆයිසර් එන්නත් මාත්‍රා 80,000 කුත් එයි

(23.08.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක් (1) හෙට (24) මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් (2) මේ මස අවසානයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

මේ වනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98 ක් මෙරට ජනතාවට ලබාදී ඇති බවද චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

එමෙන්ම ශ්‍රි ලංකාවේ එන්නත් කරන වැඩසටහන සඳහා ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 80,000 ක් පමණ අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙන එනු ලැබුවා.

මෙම එන්නත් තොගය මුළින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට දෝහා – කටාර් වෙත රැගෙනවිත් තිබු අතර, එතැන් සිට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

මේ අතර ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23) අලුයම දිවයිනට පැමිණියා.

අදාළ නෞකාවේ ඔක්සිජන් ටොන් 40 ක් පමණ ප්‍රමාණයක් රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මීට පෙර ද ඉන්දියාවෙන් ඔක්සිජන් ටොන් 40 ක් ලැබුණු අතර, ඊයේ (22) දිනයේදී ඉන්දියාවට අයත් ‘ශක්ති’ නෞකාව මගින් ද තවත් ඔක්සිජන් ටොන් 100 ක් මෙරටට රැගෙන එනු ලැබුවා.

එම නෞකාව නාවික හමුදාව විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරුණු අතර, නෞකාවෙන් රැගෙන ආ ඔක්සිජන් අඩංගු බහලුම් පහ (5) ගොඩබෑමෙන් පසු හිස් බහලුම්ද රැගෙන ඉන්දීය ‘ශක්ති’ නෞකාව හෙට (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා ෴

++++++++++++++++++++

(23.08.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පළමු වරට දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (22) හාරදහසේ (4000) සීමාව ඉක්මවා ගියා.

ඊයේ (22) අලුතින් ආසාදිතයින් හාරදහස් දෙසිය අසූ දෙදෙනෙකු (4282) සොයාගැනුණු අතර, ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 390,000 ක් ලෙස යි.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 183 ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කළා.

ඉන් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර, 76 දෙනෙකු කාන්තාවන්.

මෙම 183 දෙනාගෙන් 136 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වනවා.

45 දෙනෙකු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නන් වන අතර, වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙකු (2) ද මෙම පිරිස අතර සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර කොරෝනා රෝගය සම්බන්ධයෙන් දත්ත වෙනස්වීම වෛරස තත්ත්වය පාලනය කිරීමට අහිතකර අයුරින් බලපාන බව දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා කියා සිටියා.

ඒ කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක් වූ එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේ දත්ත ගැටලුව මේ වනතෙක් විසඳී නොමැති බවයි ෴

+++++++++++++++++++

(23.08.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට රුපියල් 2,000 ක දීමනාව අදින් (23) ඇරඹෙන සතියේ දී ලබාදීමට නියමිත යි.

ඊට අදාළ චක්‍රලේඛය, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඊයේ (22) නිකුත් කිරීමට ද පියවර ගත්තා.

රජයේ කිසිදු දීමනාවක් නො ලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, රාජ්‍ය සේවකයින්, විශ්‍රාමිකයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නො ලබන බවයි එම කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාළ දීමනාව ලබාදීම සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාමලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.

මේ අතර නිරෝධායන ඇදිරි නීතිය කාලසීමාව තුළ හෙට (24) සහ අනිද්දා (25) සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳම සඳහා පමණක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ.

එසේ ම අද (23) දිනයේ දී සීමිත මූල්‍ය ගණුදෙනු සඳහා තෝරාගත් වාණිජ බැංකු ශාඛා විවෘත කර තැබෙන බවට එම බැංකු සමාගම් නිවේදනය කර තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *