ජනාධිපතිවරයාගේ සම්පූරණ සහ කෙටි ජාතිය ඇමතීම සාවධානව අසා සිටියෙමි..

ජනාධිපතිවරයාගේ සම්පූරණ සහ කෙටි ජාතිය ඇමතීම සාවධානව අසා සිටියෙමි..

*********************************************

ජනාධිපතිවරයාගේ සම්පූරණ සහ කෙටි ජාතිය ඇමතීම සාවධානව අසා සිටියෙමි..

(21.08.2021 – 08:05 +0530 – lankaleadnews.com)

මීට පෙර ජාතිය ඇමතීමේදී සිදු වූ හාස්‍යජනක ‘ඉවෙන්ට්’ සියල්ල නැතිව ඒවා නිවැරදි කර ගෙන හරවත් සහ කෙටි ජාතිය ඇමතීමක් සිදු කිරීම ගැන ඔබතුමාට කෘතඥපූර්ව ස්තූතිය නොපැකිලිව පිරිනමමි.. එසේම මේ කතාව ඔබ කල යුතුව තිබුනේ සති දෙක තුනකට පෙර බවද විශ්වාස කරමි..

එසේම ඔබතුමාගේ කතාවේ පදනමට හේතු සාධක වූ බවට හැගෙන කරුණු කිහිපයක් ගැන මගේ අදහසද ලියා තබමි..

• ඩෙල්ටා ප්‍රභේදය ලංකාවෙන් හමු වූ පසු අදාල ප්‍රදේශ /පළාත් තුල කෙටිකාලීන දැඩි සංචරණ සීමා පනවා රටම බිලි නොදී එම ව්‍යාප්තිය පාලනය කිරීමට දැනෙන පියවර නොගත්තේ කවුදැයි ඔබතුමා හඳුනාගන්නේ නම් මැනවි..

• රටේ තෙල් ඇතැයි ආණ්ඩුව පුන පුනා කීවත් ඒවා විශ්වාස නොකරන මට්ටමට රජයේ ප්‍රකාශවල විශ්වාසණීයත්වය බින්දුවට දමමින්, කොවිඩ් ව්‍යසනයට අදාලව අද දිනයේත් විහිළු සහගත සහ බලුකපුටෙකුට උවද බොරු යැයි වැටහෙන සංඛ්‍යා නිල වශයෙන් ලබා දෙන විහිළුව නතර කිරීමට පියවර ගන්නේ නම් මැනවි..

• මෙවැනි ඉතා දුෂ්කර අවස්ථාවක අවුරුදු 24 කටද වඩා පැරණි රසායනික පොහොර සහ කෘමිනාශක ප්‍රශ්ණයක් කරලියට ගෙන, ප්‍රශ්ණ මදිවාට තවමත් විසදුමක් නැති ප්‍රශ්ණ ඇති කර ගැනීමේ වගකීම පිලිගන්නේ නම් මැනවි.. කොටින්ම මෙය විප්ලව කිරීමට වේලාව නොවේ..

• සමාජයේ නියත කැලඹීමක් ඇතිවන ‘කොතලාවල පනත’ වැනි මේ මොහොතට කිසිසේත් නුසුදුසු අනවශ්‍ය ප්‍රශ්ණ මේ මොහොතේ කරලියට ගෙන තවත් නැති ප්‍රශ්ණයක් ඇති කිරීමේ වරදේ වගකීමද ඔබ බාර ගත මැනවි..

• ‘කොතලාවල පනත’ට එරෙහිව පැවති කුඩා උද්ගෝෂණ සදහා ‘දියත උයන’ අසලදී මෙන් මරි මෝඩ ප්‍රතිචාර දක්වමින් රටක් බහුලව නොදැන සිටි ස්ටාලින්ලාට ඉන්ධන සපයමින් ගෙදර සිටි උන්ද උද්ගෝෂණවලට කැදවූ ලණු දුන් උන් දැන්වත් හදුනාගන්නේ නම් මැනවි..

• එන්නත්කරණය සතුටුදායක මට්ටමෙන් ක්‍රියාත්මක වුවද එහි අග්‍රපලයට මෙහා තවමත් අප සිටින බවත්, ආණ්ඩුව මුළු වැර යොදා මෙම වසංගත තත්වය පාලනය කිරීම ප්‍රමූඛ රාජකාරිය කර ගත යුතු බවත් තේරුම් ගෙන අවස්ථාවාදීන්ට පිටිය හදන අනවශ්‍ය ප්‍රශ්ණ දැන්වත් ඇති නොකර සිටීමට නුවණ පහල වේවායි පතමි..

• ඩොලරය ව්‍යාජව පාලනය කරමින් රටට ලැබෙන ඩොලර්ද ජාත්‍යන්තර කළුකඩ වලට හරවන ආර්ථික ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කර, බැංකු පද්ධති ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි..

• තවමත් කුප්‍රකටව සිදුවන ‘කොවිඩ් ටෙස්ට් කිට්’ ජාවාරම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර බිලි ගෙන ඇති ගජමිතුරු සේවනය හැකි ඉක්මනින් අවසන් කර ජනතාව සූරාකෑමේ නින්දිත ක්‍රියාවලි නතර කිරීමට පියවර ගන්නේ නම් මැනවි..

කියන්නට තව බොහෝ කරුණු ඇතත් මෙයින් නවතිමි..

අවසාන වශයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ජෝකර්ලා සහ අවස්ථාවාදීන් වෙනුවට ඔබතුමා මේ දුෂ්කර මොහොතේ රටේ ඉහළම පුටුවේ සිටීම ගැන තවමත් සතුටු වන අතර එම සතුට තවදුරටත් රැකගැනීමේ කාර්යය ඇත්තේද ඔබතුමා අතම බව සිහිපත් කරමි..

කැපකිරීම් කිරීමට ඔබ සූදානම් නම් ඕනෑම කැපකිරීමක් කිරීමට අපද සූදානම් බව දන්වනු කැමැත්තෙමි..

ලණු දෙන්නන් හදුනාගැනීමට සහ ලණු නොකා සිටීමට ඔබට ශක්තිය ලැබේවා..

මෙයට, ඔබට පුටුව දෙන්නට හැකි පමණ අම්බානක කඩේ ගිය පුරවැසියෙක්..

Wishwa Chinthana

******************************************

කොළඹ – බදුල්ල මාර්ගයට ගල් පෙරළෙයි

(21.08.2021 – 17:31 +0530 – lankadeepa.lk)

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (21) දහවල් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ග හල්දුම්මුල්ල නගරය ආසන්නයට ගල් පර්වත ඇද වැටුණු අතර කිසිදු අනතුරක් සිදුව නොමැත.

පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා වීම නිසා මෙමගින් අනතුරක් සිදුව නැත.

ධාරානිපාත වර්ෂාව සමඟ හල්දුම්මුල්ල බෙරගල හපුතලේ ප්‍රදේශවලදී කඳු මුදුනේ සිට ගල් පෙරළීමේ අවදානමක් ඇති බව ආපදා කළමනාකරන අංශ පෙන්වා දෙයි.

******************************************

පාස්කු ප්‍රහාරය කලේ කව්ද? ජනාධිපතිතුමණි සුදු ඇඳගත්ත මිනිස්සු කරපු වැඩේ හින්දා අපිට කලු ඇඳගෙන යුක්තිය ඉල්ලන්න වෙලා (21.08.2021)

@@@@@ කොවිඩ් පුවත් @@@@@

යුද හමුදාව ගෙයින් ගෙට ගොස් එන්නත්කරණයේ

(21.08.2021 – 17:15 +0530 – lankadeepa.lk)

කැස්බෑවේ ග්‍රාම සේවා වසම් 20 සේ වයස අවුරුදු 60 ට වැඩි වයෝවෘද්ධ සහ ආබාධිත පුද්ගලයන් සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය ගෙයින්ගෙට ගොස් එන්නත්කරණය අද (21) දින සිදු කළේය.

වෛද්‍ය බළකාය සහ කැස්බෑව පොලිසියේ නිලධාරීන් මගින් මඩපාත පදිංචි වයෝවෘද්ධ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගොස් එම එන්නත්කරණය සිදු කළේය. ආබාධිත කාන්තාවක් යුද හමුදා වෛද්‍ය බළකායට සිය ආචාරය පුද කළාය.

++++++++++++++++++++

ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

(21.08.2021 – 17:15 +0530 – lankadeepa.lk)

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදී සියලුම සතොස අලෙවිසල් සමුපකාර අලෙවිසල් සහ ‘කිව් ෂොප්’ විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර රුපියල් දෙදහස් හයසියයක් (2600) වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් බඩු මල්ල 1998 දුරකථන අංකය අමතා නිවසටම ගෙන්වාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි සතියේදී ඒ සඳහා ප්‍රවාහන ගාස්තුවක්ද අය නොකෙරේ ෴

++++++++++++++++++++++

එතෙර සිට එන අයට නීති අලුත් වෙයි

(21.08.2021 – 07:16 +0530 – lankadeepa.lk)

විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

එම රෙගුලාසි 19 වැනි දා සිට බලපැවැත්වෙන ලෙස නිකුත් කර ඇති නව උපදෙස් මාලාවට අනුව විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සෑම පුද්ගලයකුම ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්විය යුතු වේ.

අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් නිරෝධායනය වීමට සැලසුම් කරන හෝටලයේ හෝ ස්ථානයේ රැඳී සිටිය යුතු වේ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයකු නොවන්නේ නම් දින 14 ක් නිරෝධායනය වීම අවශ්‍ය නොවන බව නව උපදෙස් මාලාවේ දැක්වෙන බව එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවී පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති අයකු නම් දින 14 ක කාලයක් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව උපදෙස් මාලාවේ සදහන් වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියේය ෴

තවත් කොරෝනා ආසාදිතයින් 2,785 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට කොරෝනා අසාදිතව ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 384,597 ක් වනවා ෴

++++++++++++++++++++

(21.08.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යාමත් සමඟ රෝහල් තුළ වැඩිම ඔක්සිජන් පරිභෝජනය ඊයේ (20) වාර්තාවී තිබෙනවා.

ඔක්සිජන් ටොන් 108 ක් එලෙස ලබාදී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝහල් වෙත ඔක්සිජන් සපයන මෙරට පෞද්ගලික සමාගම් දෙකෙහි සංචිතද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

මේ අතර ඉන්දියාවෙන් ඇණවුම් කළ පළමු ඔක්සිජන් තොගය රැගත් නෞකාව අද (21) උදෑසන කොළඹ වරාය වෙත ළඟාවුණා.

එම ටැංකියේ ටොන් 40 ක් අඩංගු වූ අතර, තවත් ටොන් 140 ක් රැගත් ඉන්දීය නෞකාවක් හෙට (22) දිවයිනට පැමිණීමට නියමිතයි.

අනතුරුව මෙරටින් පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව තවත් ඔක්සිජන් ටොන් 100 ක් රැගෙන කොළඹ වරාය වෙත ළඟාවනු ඇති.

මේ අතර වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීනයෙන් ඉල්ලා තිබෙනවා.

එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව චීන තානාපති චී ෂෙන්හොන්ග් ඊයේ (20) විදේශ අමාත්‍යවරයා හමුවීමට පැමිණි අවස්ථාවේයි ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ.

කෙසේ වෙතත් ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ කොරෝනා රෝගීන් ඉහළ යාම හමුවේ ඔක්සිජන් තවදුරටත් විදේශ රටවලින් ගෙන්වීමට සිදුවනු ඇති බවයි.

දැනටමත් රුපියල් මිලියන 58 ක මුදලක් ඒ සඳහා වැයවී ඇති බව ලේකම්වරයා සඳහන් කළා ෴

++++++++++++++++++

(21.08.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14 කට එහා නොයන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රුපියල් 2000 සේ දීමනාව ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මහනුවරදී අද (21) මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සෞඛ්‍ය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද (21) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකට අභියෝගයක් එල්ල කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *