එක් (1) මාත්‍රාවක්වත් හෝ ලබා නො ගත් 60 ට වැඩි පුද්ගලයින්ට 24 වනදා සිට එන්නත්

එක් (1) මාත්‍රාවක්වත් හෝ ලබා නො ගත් 60 ට වැඩි පුද්ගලයින්ට 24 වනදා සිට එන්නත්

*********************************************

එක් (1) මාත්‍රාවක්වත් හෝ ලබා නො ගත් 60 ට වැඩි පුද්ගලයින්ට 24 වනදා සිට එන්නත්

(21.08.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් එන්නත්කරණයට ලක් කිරීම මේ මස 24 වනදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ සමඟ යුද හමුදාව විසින් මෙය සිදු කෙරෙන අතර, අදාළ වයස් කාණ්ඩයේ එලෙස එක් (1) මාත්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සකසා ප්‍රදේශීය ලේකම්වරුන් භාරයේ තබාගන්නා ලෙසයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ.

මේ අතර, එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ (20) එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 13,356 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 72,985 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 6,203 කට සහ දෙවන (2) මාත්‍රාව 311 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 69,210 ක් වන අතර, ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 59,256 කට ඊයේ (20) ලබාදී තිබෙනවා.

එමෙන්ම, යුද හමුදාව විසින් සයිනොෆාම් එන්නතේ පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලබාදීම අද (21) දිනයේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මකයි.

කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ මෙන්ම සුගතදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම අද (21) සිදු කෙරෙනවා ෴

+++++++++++++++++++

(21.08.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් ඖෂධ ලබා ගැනීමට නො හැකි රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ නිවසට ගෙනවිත් දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මෙය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ තැපැල් දෙපාර්තමේන්තුව එක් ව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසල ජාලය හරහා ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව එක් එක් ප්‍රදේශයන් සඳහා වෙන්කර ඇති පහත දැක්වෙන දුරකතන අංකවලට ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් ඖෂධ වට්ටෝරුව යොමුකර එම ඖෂධ නිවසට ම ගෙන්වා ගත හැකි වනවා.

( https://www.spc.lk )

++++++++++++++++++

(21.08.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඊයේ (20) රාත්‍රි 10 නිරෝධායන ඇදිරි නීතිය පැනවීමත් සමග මේ වන විට සෑම නගරයක්ම පාහේ පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

මේ අතර, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් විසින් එළවළු තොග රැගෙන ආවත් ඒවා මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් දක්නට ලැබුණේ නැහැ.

ගැණුම්කරුවන් නොපැමිණීම හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළදපළේ එළවළු තොග කිලෝ ලක්ෂ 15 ක් පමණ ගොඩගැසී ඇති බව මැනිං පොදු වෙළදපළ හා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා සදහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ වන විට ගොවීන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිය ද ගැනුම්කරුවන්ගෙන් සියයට 90 ක් පමණ පැමිණ නොමැති බව වෙළදුන් පවසනවා.

කටුගස්තොට, මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයට ද අද (21) විශාල වශයෙන් එළවළු තොග ලැබී තිබුණ ද ගැනුම්කරුවන් පැමිණ සිටියේ නැහැ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතු ද අද (21) සාමාන්‍ය පරිදි සිදුකෙරුණු අතර එහි තොග මිල ගණන්වල අඩුවක් දක්නට ලැබුණා.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය අද (21) දහවල් 12 ට වසා දැමුණා.

අද (21) දිනයේ එම ආර්ථික මධ්‍යස්ථානය සදහා එළවළු තොග පැමිණ නොමැති අතර ඊයේ (20) දින පැමිණ ඉතිරි වූ එළවළු අද (21) දිනයේ විකුණු බවයි වෙළදුන් සදහන් කළේ.

කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානය අද (21) දිනයේ වසා දමා තිබුණා.

මේ අතර, වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පිටකොටුව තොග වෙළදසැල් නිරීක්ෂණය කිරීම සඳහා අද (21) පෙරවරුවේ පැමිණියා.

එහිදී අමාත්‍යවරයා පිටකොටුව ප්‍රදේශයේ නාට්ටාමිවරුන් සමඟ කතාබහක ද නිරත වුණා.

+++++++++++++++++++++

(21.08.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලසීමාව තුල පවත්වාගෙන යා හැකි තවත් සේවාවන් 9 ක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

++++++++++++++++++++

(21.08.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2,580 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 323,390 ක් ලෙසටයි.

තවදුරටත් පුද්ගලයින් 51,437 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබනවා ෴

+++++++++++++++++++

(21.08.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇදිරි නීතිය පවතින දින 10 ක කාලසීමාව තුලදී කර්මාන්ත අමාත්‍යංශයේ සේවාලාභීන්ට බාධාවකින් තොරව තම සේවා ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත ලියාපදිංචිය, කර්මාන්තපුරවල සේවාවන් පවත්වාගෙන යාම, ඇඳිරි නීති බලපත්‍ර වලට අදාළ කටයුතු හා වාහන එකලස් කිරීමට අදාල නිර්දේශයන් සහ අනුමැතිය ලබා ගැනීම ඇතුළු සේවා සඳහා අමාත්‍යාංශය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එසේම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ද අදාළ සේවා ලබා ගත හැකියි.

+++++++++++++++++

(21.08.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා මෙරටට අවශ්‍ය ඔක්සිජන් සපුරාගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීන තානාපති චී ෂෙන්හොන්ග් ගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, ඊයේ (20) චීන තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා ෴

ඉන්දියාවේ සිට සායනික ඔක්සිජන් මෙට්‍රික් ටොන් 40 රැගත් ශ්‍රි ලංකා සහ ඉන්දීය ‍නාවික හමුදාවන්ට අයත් ‘ශක්ති’ නෞකාවන් දෙක (2) මෙරටට පැමිණ තිබෙනවා ෴

+++++++++++++++++

(21.08.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාකිස්තාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහමද් සාක් කත්තක් අද (21) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොරෝනා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ඊට පාකිස්තානයේ නිෂ්පාදිත වෙන්ටිලේටර් 75 ක්, ශ්වසන ආධාරක යන්ත්‍ර 150 ක් අයත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(21.08.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වී තිබෙනවා.

ඒ, වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා වර්ජනයේ නිරත වෘත්තීය සමිති සහ අනෙක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමඟ පසුගිය දා කළ සාකච්ඡාවලින් අනතුරුව යි.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවති සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද එක්වුණා ෴

******************************************

(21.08.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් කතෝලික සභාව අද (21) දිවයින පුරා කළු කොඩි ඔසවමින් නිහඬ හර්තාල් ව්‍යාපාරයක නිරත වනවා.

ප්‍රහාරයට වසර දෙකකුත් (02), මාස 04 ක් ගත වී ඇති නමුත් ඊට වගකිව යුත්තන්ට මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබදව සෑහීමකට පත් නොවන බවයි කතෝලික සභාව ප්‍රකාශ කළේ.

අද (21) පෙරවරු 08:45 ට බොහෝ දේවස්ථානවල සීනු නාද කරමින් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කෙරුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා.

******************************************

(21.08.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

ප්‍රදේශ වාසීන් පැවසුවේ එක දිගට මිනිත්තු පහක (5) පමණ කාලයක් මෙම අයිස් වැස්ස පතිත වූ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *