දේශීය ඖෂධ නිවෙස් වලටම බෙදන ලෙස ජනපතිගෙන් දේශීය වෛද්‍යය ඇමතිට උපදෙස් !

දේශීය ඖෂධ නිවෙස් වලටම බෙදන ලෙස ජනපතිගෙන් දේශීය වෛද්‍යය ඇමතිට උපදෙස් !

*********************************************

දේශීය ඖෂධ නිවෙස් වලටම බෙදන ලෙස ජනපතිගෙන් දේශීය වෛද්‍යය ඇමතිට උපදෙස් !

(21.08.2021 – 10:35 +0530 – lankaleadnews.com)

හෙළ වෙදකමෙන්

දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලසීමාවේදී දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලටම ගොස් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මේ අයුරින් දේශීය ඖෂධ වර්ග නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවටද ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ ෴

++++++++++++++++++

(21.08.2021 – 12:35 +0530 – hirunews.lk/sinhala)

මුලු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ඊයේ (29) රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ එම කාලය තුළ ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක අංශ, කෘෂිකර්ම, අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම් සේවාවන් සඳහා මෙම කාලසීමාව තුළ අවසර ලබා දී තිබෙනවා.

පවතින කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඊයේ (20) රාත්‍රී 10 සිට ලබන 30 වැනි සඳුදා අලුයම 04:00 දක්වා මුලු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (20) නිවේදනය කළා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ එම කාලය තුළ ආයෝජන මණ්ඩලයට අයත් ඇඟළුම් කර්මාන්ත ශාලා මෙන්ම අපනයන කර්මාන්තවල නිරතවන පුද්ගලයින්ට ද සිය රැකියා සඳහා යාමට කිසිදු බාධාවක් නොමැති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව අනුව මෙම කාලසීමාව තුළ සෞඛ්‍ය සේවකයින්ට සිය රාජකාරී සඳහා යාමට බාධාවක් නැහැ.

සාමාන්‍ය සායන නො පැවැත්වෙන නමුත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය නිවාස චාරිකා සිදුකළ හැකියි.

මීට අමතර ව පොලිසිය, ග්‍රාම නිලධාරී මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩලය සහිත ව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා හැකි වනවා.

සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘත ව තැබෙන අතර මාර්ගගත බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

විදුලිය – ජලය – විදුලි සංදේශ – ඉන්ධන පිරවුම්හල් ඇතුළු උපයෝගිතා සේවා පවත්වාගෙන යාමට ද බාධාවක් නැහැ.

ගොවිතැන, පශු සම්පත් මසුන් ඇල්ලීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිස්ත්‍රික් මායිම් නො ඉක්මවා යමින් දුරස්ථභාවය රඳවාගනිමින් සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්ට අවසර හිමිවන අතර සිල්ලර භාණ්ඩ මෙන්ම බේකරි නිෂ්පාදන බෙදා හැරීම සඳහා ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක කළ හැකියි.

ප්‍රවාහන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අවසර ලත් අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ ඩිලිවරි සේවාවන් සඳහා පමණයි.

කොවිඩ් නො වන මරණයක දී අවමංගල්‍ය කටයුතු පවුලේ සමීපත ම ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් පැය 24 ක් ඇතුළත අවසන් කළ යුතුයි.

වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට සෞඛ්‍ය හේතුවක් මත මිස කිසිදු හේතුවකට නිවසින් බැහැරට නො යන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිකිරීම් ස්ථානවල දෛනික වැටුප් ලබන කම්කරුවන්ට නිශ්චිත වැඩකටයුතු සඳහා අවසර ලබා දී තිබෙනවා.

මේ අතර සියලු ආගමික රැස්වීම්ල සාමාජීය රැස්වීම්ල ආපනශාලාල හෝටල් සති පොළ, උපකාරක පංති ආදිය මෙම නිරෝධායන ඇඳිරි නීතිය කාල සීමාව තුළ තහනම්.

++++++++++++++++++

(21.08.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙකක (2) කාලසීමාවේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැ යි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඊයේ (20) අලුතින් ආසාදිතයින් 3839 දෙනෙකු සොයා ගැනුණු අතර, පෙරේදා (19) සිදු වූ කොවිඩ් මරණ 195 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) වාර්තා කළා.

මෙය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙරට දිනක් තුළ වාර්තා කළ වැඩි ම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද වනවා.

පවතින තත්ත්වය මත ඉදිරියේ දී තවදුරටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.

මේ අතර, දුම් පානය කරන්නන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොරෝනා තත්ත්වය පැවතිය ද ස්නායු රෝගීන් කුමන ආකාරයකින් හෝ අඛණ්ඩ ව ඖෂධ ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා අවධාරණය කරනවා.

@@@ කොවිඩ් නොවන පුවත් @@@

ඇමති බන්දුලට එක්කෝ දෙයියන්ගේ හාල් කැවිලා; නැත්නම් වී ගොවියා විනාශම කර දමා ඡන්ද ලක්ෂ හතලිහක් (40) පොදු ජන එක්සත් පෙරමුණට අහිමි කරණ දේශද්‍රෝහි කුමන්ත්‍රණයේ ගොදුරක් ! – ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බන්ඩාර

(21.08.2021 – 12:18 +0530 – lankaleadnews.com)

ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා වැඩිමිලට හාල් විකුණුවහොත් උපරිම දඩ මුදල රුපියල් කෝටිය (1,00,00,000) දක්වා වැඩි කර ඇති බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය.

එහිදී අප සමඟ අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ :

“වී කිලෝ එකකට (1) රුපියල් 60 ක් වත් අඩුම තරමේ ගෙවන්නේ නැති නම් වී ගොවියාට පැවැත්මක් නැහැ. ඒ වගේම එම මුදල ගොවියාට ගෙවනවා නම් කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියාට සිල්ලර සහල් වෙළෙන්දට සාධාරණ ලාභයක් තබාගෙන සහල් විකිනීමට සිදුවෙනවා. හාල් කිලෝ එක (1) රුපියල් 110 ට මිලදී ගන්නා පාරිභෝගිකායාට වේලකට වැඩි පුර වැය වන්නේ රුපියල් 1.50 ටත් වඩා අඩු මුදලක්. මේ සොච්චම් මුදල වැඩිපුර ගෙව්වාට පාරිභෝගිකයා වඳ වී යන සත්වයෙක් බවට පත් වන්නේ නැහැ. ඒ වෙනුවට වී ගොවියා තම වෘත්තීය තුළ සුරක්ෂිත වෙනවා. ඒ වගේම රටේ ආහාර සුරක්ෂිතතාවය සුරැකෙනවා.

වී ගොවියා, කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියා, හාල් වෙළෙන්දා එකවර විනාශ මුඛයට යන මෙවැනි ඔලමොට්ටල තීන්දු ගන්න බන්දුල ගුණවර්ධන ඇමති තුමාට ‘දෙවියන්ගේ හාල් කැවිලා’ වෙන්න ඕන. එහෙම නැතිනම් 1960 දශකයේ අපෙ රටේ වී ගොවිතැන ඇතුළු සමස්ත කෘෂි කර්මාන්තයම වල පල්ලට යැවීමට ඇරඹි ‘හරිත විප්ලවය’ නම් මානව විරෝධී දේශ ද්‍රෝහී කුමන්ත්‍රණයේ මෙන්ම ඡන්ද ලක්ෂ 40 ක් පමණ ආණ්ඩුවට අහිමි කරණ කුමන්ත්‍රණයේ ප්‍රමුඛතම ගොදුර වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා විය හැකියි.

මෙවැනි ඔලමොට්ටල තීන්දු ගන්නා තෙක් බලා හිඳින කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන්ද අපට ඇත්තේ බරපතල ගැටළුවක්. පාන් ගෙඩියට රුපියල් 5 ක් සහ කිඹුලා බනිස් එකකට රුපියල් 10 ක් ලෙස මිල වැඩි කරද්දී පූස් පැටියෙකු මෙන් සිටින වෙළෙඳ ඇමතිවරයා වී ගොවියාගෙන්, කුඩා සහ මධ්‍යයම පරිමාණ සහල් මෝල් හිමියාගෙන් සහ සහල් වෙළෙන්දන්ගෙන් එලව-එලවා දඩ එකතු කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙසයි අප නම් සලකන්නේ.”

+++++++++

******************************************

ඒ ගේට්ටුව මම ආයෙත් අරිනවා – ජැක්සන් ඇන්තනි (14.08.2021)

******************************************

හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචියට නව නීතිරීති මාලාවක්

(21.08.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

හීලෑ අලින්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය සැලසීම සඳහා ගැසට් පත්‍රයක් මඟින් අලියකුගේ අයිතිය හෝ භාරකාරත්වය දරන සෑම අයෙකුට ම නව නීති රීති මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

එම නීති රීති ඇතුළත් නව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින්.

ඒ අනුව මද කිපීම හෝ වෙනත් හේතුවක් මත අලියෙකු ඇත්ගොව්වාගේ විධානයන්ට අවනත නො වී ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන අවස්ථාවල අලියාගෙන් සිදුවිය හැකි ජීවිත හා දේපළ හානි වළක්වාගැනීම සඳහා අලියා පාලනය කිරීමට සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට අනුකූලව අවම බලය යොදාගෙන සාධාරණ පියවර ගැනීම කළ යුතු වනවා.

එසේ ම ඒ සඳහා අනවශ්‍ය පරිදි අලියා වේදනාවට සහ පීඩාවට පත්වන ආකාරයෙන් හිතා මතා හෝ අයුක්ති සහගත ව යම් හානිකර ඖෂධයක් හෝ ද්‍රව්‍යයක් යොදා නො ගත යුතුයි.

නිර්වින්දන ඖෂධ අවශ්‍ය වන්නේ නම්, එය පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා දිය යුතු වනවා.

පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සඳහා අලින් යොදා ගැනීමේදී ද පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් මෙන්ම අලින් ප්‍රවාහනය කිරීමේ දී අනුගමනය කළ යුතු නීතිරීති මාලාවක් ද අදාළ ගැසට් නිවේදනයේ ඇතුළත්.

අලියාට හානිවන අයුරින් අධික තාපය, විදුලිය, විදුලි පහන් හෝ නිර්වින්දන ඖෂධ සාම්ප්‍රදායික සංස්කෘතික කටයුතුවල දී යොදාගැනීම සිදු නො කළ යුතු වනවා.

එසේ ම සාම්ප්‍රදායික වෙඩි මුර හැර රතිඤ්ඤා දැල්වීම ද සිදු නො කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

පැය 12 කට වඩා වැඩි කාලයක් අඛණ්ඩ ව අලියෙකු ප්‍රවාහනය නො කළ යුතු අතර, පැයට කිලෝමීටර 30 නො ඉක්මවන වේගයකින් රථය පැදවිය යුතුයි.

එසේ ම අලියෙකු බැඳ තැබීම සඳහා පුරුක් සහිත දම්වැල් යොදාගනිමින් සාම්ප්‍රදායික ක්‍රමවේදවලට අනුව සකස් කරන බැමි යොදාගත යුතු වන අතර, නයිලෝන් කඹ හෝ උල් සහ තියුණු ධාර සහිත දම්වැල් භාවිත නො කළ යුතු වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *