ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

*********************************************

ඇඳිරි නීති කාලය තුල සියලු එන්නත් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

(20.08.2021 – 23:26 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් එන්නත් කිරීම ඇතුලු දිවයිනේ ක්‍රියාත්මක සියලුම එන්නත් වැඩසටහන් නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුල ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා පවසනවා.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙලෙස නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් මස 01 වනදාට පෙර ඔවුන් එන්නත්කරණය කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ප්‍රාදේශීය ලේකම්, පළාත්පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත මේ මස 23 වනදාට පෙර වාර්තා කළ යුතු වනවා.

එමෙන්ම 1906 ක්‍ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම්ද සළසා දී තිබෙනවා.

එම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++

(21.08.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගත වූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 55,842 ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 12 ක දී බස්නාහිරින් පළාතෙන් පිට වූ වාහන 735 ක් හා පුද්ගලයින් 1,261 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එමෙන්ම, තවත් වාහන 787 ක් සහ පුද්ගලයින් 1,437 ක් බස්නාහිර පළාතට ඇතුළු වීමේ දී පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි දී පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ගමන් කිරීමට පැමිණි වාහන 191 ක් සහ පුද්ගලයින් 471 ක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++

(21.08.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මරණ සහ දෛනික ආසාදිතයින් වාර්තා වීම යළිත් වාර්තාගත අගයකට පැමිණ තිබෙනවා.

ඊයේ (20) මෙරටින් නව මරණ 195 ක් වාර්තා වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3839 ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ (20) නිකුත් කෙරුණු වාර්තාවට අනුව මෙරට නව මරණ 195 ක් සමඟ සමස්තය 6985 දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිසගෙන් 151 ක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30 ත්, 59 ත් අතර පුද්ගලයින් 43 දෙනෙකු කොරෝනා ආසාදිත ව මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, මෙරටින් ඊයේ (20) ආසාදිතයින් 3839 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 377,004 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 3835 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට 04 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා ෴

++++++++++++++++++

(21.08.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මේ වන විට නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුළු දිවයිනට ම බල පැවැත්වෙන පරිදි ඊයේ (20) රාත්‍රී 10 සිට නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබූ අතර එය මේ මස 30 වන දා අලුයම 4 ට අවසන් වීමට නියමිත යි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන ලබන 30 වන දා දක්වා පොදු ප්‍රවාහන කටයුතු සිදු නො කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන කටයුතු අවශ්‍ය නම්, ආයතන ප්‍රධානියාගේ දැනුම්දීම මත එම ආයතනවලට පමණක් ශ්‍රී ලංගම බස් රථ ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ කාලය තුළ පෑලියගොඩ මැනිං වෙළදපොළ වෙත රැගෙන එන එළවළු තොග බෙදා හැරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බවට මැනිං පොදු වෙළදපළ හා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමය චෝදනා කරනවා.

එසේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ ලේකම් ජී.එස්. එලමිනාදන් මහතා ප්‍රකාශ කළේ කොළඹ, පිටකොටුව ආශ්‍රිත ව තොග වෙළදසැල් මෙම කාලසීමාව තුළ වසා දැමීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඒ අනුව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) එම සංගමයේ සාමාජිකයින් හමුවීම සඳහා පිටකොටුවට පැමිණීමට ද නියමිත වනවා.

මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 186 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

(21.08.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන අලාකා සිං ප්‍රකාශ කළා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ ඊයේ (20) පැවති හමුවකදි යි.

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකු හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අදහස් දක්වා ඇති අතර, යුරෝපා සංගමය සමග සාකච්ඡා කර ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

එසේ ම අවශ්‍යතාව මත කොරෝනා පරීක්ෂණ කට්ටල ලබාදීමට ද පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණ ක්‍රියාවලියට කෙලෙස බලපානු ඇත්දැ යි මාධ්‍යවේදීන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ශල්‍ය ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ගෙන් විමසා සිටියා.

ඒ, ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදි යි ෴

+++++++++++++++++

(21.08.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ලොව ප්‍රථම වරට ඉන්දියාව කොරෝනා වයිරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙනවා.

එරට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම එන්නත මාත්‍රා 03 කින් ලබාදීමට නියමිත අතර, පුද්ගලයන් 28,000 ක් යොදාගෙන සායනික පරීක්ෂණ සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටියේ.

ඉන් සියයට 66 කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නො තිබීම විශේෂත්වයක්.

එන්නත නිෂ්පාදිත ‘කැඩිලා හෙල්ත්කෙයාර්’ සමාගම ප්‍රකාශ කළේ, පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා මිලියන 120 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි ෴

++++++++++++++++++++

(21.08.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි පවුල් සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලබන සඳුදා (23) සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම කටයුතු ආරම්භ කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියා සිටියේ.

මීට පෙර රට අගුළු දමා ඇති කාලසීමාවේදී මසක කාලයක් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලැබුවා.

රුපියල් 2000 ක දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එම්.එම්. චිත්‍රානන්ද මහතා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ වන විටත් දැනුම් දී තිබෙනවා ෴

++++++++++++++++

(21.08.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ගැණුම්කරුවන් නො පැමිණීම හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළදපොළේ එළවළු තොග ගොඩගැසී ඇති බව මැනිං පොදු වෙළදපළ හා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සංගමය පවසනවා.

මේ වනවිට එළවළු කිලෝ ලක්ෂ 15 ක් පමණ මැනිං වෙළඳපොළ තුළ ගොඩගැසී ඇති බවයි එහි භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා සදහන් කළේ ෴

+++++++++++++++++++

(21.08.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ දිවයිනේ සියලුම බලපත්‍රලාභී බැංකුවල තෝරාගත් ශාඛා මහජනතාව සඳහා විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++++

(21.08.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 221,546 දෙනෙකුට ඊයේ (20) එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 13,356 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 72,985 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 6,203 කට සහ දෙවන (2) මාත්‍රාව 311 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 69,210 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාව 59,256 කට ලබාදී තිබෙනවා.

මේ අතර අද (21) දිනයේදී ද මධ්‍යස්ථාන කිහිපයක දී කොවිඩ් මර්ධන එන්නත් කිරීම් කටයුතු සිදුකරනු ලබනවා.

+++++++++++++++++++

(21.08.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හේතුවෙන් ඖෂධ ලබාගැනීමේ අපහසුතාව මත නිදන්ගත ස්නායු රෝග සහිත පුද්ගලයින් ඖෂධ භාවිතයෙන් ඉවත් නො විය යුතු බව ස්නායු රෝග විශේෂඥවරුන් අවධාරණය කරනවා.

විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, වසංගත තත්ත්වය පැවතිය ද ස්නායු රෝගීන් කුමන ආකාරයකින් හෝ අඛණ්ඩ ව ඖෂධ ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි ෴

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(21.08.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් අද (21) සහ හෙට (22) යන දිනයන්හි දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම, ඌව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ ෴

******************************************

(21.08.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ වර්ග, අක්ෂි කාච, වෛද්‍ය උපකරණ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (20) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව ඖෂධ වර්ග 60 ක්, අක්ෂි කාච වර්ග 38 ක් සහ වෛද්‍ය උපකරණ 04 ක මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල සියයට 9 කින් පමණ ඉහළ යන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

පෙරේදා (19) නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ඖෂධ 60 කට සහ අක්ෂි කාච 27 කට මෙන්ම වෛද්‍ය උපකරණ 2 කට උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය, වේදනානාශක ඇතුලු රෝග රැසකට මෙන්ම කොරෝනා ආසාදිතයන්ට ලබාදෙන ඖෂධ කිහිපයකද මිල ඉහළ යන බවයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා කියා සිටියේ ෴

******************************************

(21.08.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල් තුළ ඖෂධ නීතිගත සංස්ථාව විසින් බෙදා හරිනු ලබන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 169 ක් පමණ හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර, ඖෂධ හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (19) දිනයේදී නිකුත් කළ නිවේදනයට ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බවට විපක්ෂ නායකවරයා අදාළ නිවේදනයෙන් පෙන්වා දුන්න ද මේ පිළිබදව ජාතික පුවත්පත් දෙකක් විසින් පසුගිය 19 වන දා වාර්තා කර තිබූ බවයි.

එහෙත් අදාළ මාධ්‍යවේදියා කරුණු සොයා බැලීමකින් තොරව ඖෂධ 40 ක ලැයිස්තුවක් පුවත්පතේ පළ කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා වෙත යැවූ ලිපියේ දක්වා තිබෙනවා.

ඔහු එමගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ පුවත්පතක පළ වූ පමණින් කරුණු විමසා බැලීමකින් තොරව පුනරුච්චාරණය කිරීම විපක්ෂ නායක ධුරය වැනි වගකිව යුතු තනතුරක් දරන අයෙකුට සුදුසු නොවන බවයි ෴

******************************************

(21.08.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානය තුළ පවතින වැව් සිදී යාම නිසා වන සතුන් දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, යාල වනජීවි කාර්යාලය බවුසර් යොදා ගනිමින් වන සතුන්ට අවශ්‍ය පානීය ජලය ලබාදීමට ද පියවර ගෙන ඇත්තේ.

මෙලෙස වැව් සිදී යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසර දෙකක (2) පමණ කාලයක් තිස්සේ යාල වනෝද්‍යානයට නිසි පරිදි වර්ෂාව නොලැබීමයි.

එසේම යාල වනෝද්‍යානය හරහා ගලා බසින මැණික් ගඟේ ජල මට්ටම ද විශාල ලෙස පහළ ගොස් තිබෙනවා.

යාල වනෝද්‍යානය සතුව ජල බවුසර් 03 ක් පැවතිය ද ඉන් දෙකක්ම (2) මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ප්‍රමාණවත් තරම් ජලය යාල වනෝද්‍යානයේ සතුන් වෙනුවෙන් ලබාදීමට නම් අමතර බවුසර් දෙකක් (2) අවශ්‍ය බවයි වනජීවි නිලධාරීන් සදහන් කළේ.

******************************************

(21.08.2021 – 08:48 +0530 – hirunews.lk/sinhala)

මාළිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා සුවිශේෂී වූ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

දුරකතන අංක 070 521 1211 අමතා මෙම ඒකකය හා සම්බන්ධ විය හැකියි.

වකුගඩු රෝගියෙකුට රෝහල් ගතවීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සහ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සූදානම් කර තිබෙනවා ෴

******************************************

(21.08.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය සමයේ වතුකරයේ වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි මත්පැන් බෝතල් තොගයක් සමඟ, සැකකරුවන් පස් දෙනෙකු (5) පොලිස් අත්අඩංගුවට පත් ව තිබෙනවා.

ඇදිරි නීතිය සමයේ බලපත්‍රයක් නොමැති ව වතු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිමට සූදානම් වූ පිරිසකුයි බගවන්තලාව පොලිසිය විසින් (20) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී, රජයේ අනුමත මත්පැන් බෝතල් 124 ක් සහ බියර් ටින් 48 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *