කොරෝනා ආසාදිතයින් ගැන මාධ්‍යයට කී දොස්තරට කොරෝනා වාට්ටුවකට මාරුවක්

කොරෝනා ආසාදිතයින් ගැන මාධ්‍යයට කී දොස්තරට කොරෝනා වාට්ටුවකට මාරුවක්

*********************************************

කොරෝනා ආසාදිතයින් ගැන මාධ්‍යයට කී දොස්තරට කොරෝනා වාට්ටුවකට මාරුවක්

(20.08.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුරා සිටින කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් කිසිවෙකු නිසි අවධානයක් යොමු නො කළ බව පවසමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කරාපිටිය රෝහලේ උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාව කොවිඩ් වාට්ටුවකට අනුයුක්ත කර තිබෙනවා.

ඔහුගේ සේවය ඇගයීම පිණිස මෙම අනුයුක්ත කිරීම සිදුකළ බවයි, එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.ඒ.එම්. ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ වෛද්‍යවරයාව කරාපිටිය රෝහලේ වාට්ටු අංක 36 වෙත මෙම සේවා අනුයුක්ත කිරීම සිදුකර ඇති බව සඳහන්.

මෙම මස 18 වනදා සිට සති හතරක (4) කාලයකට මෙම සේවා අනුයුක්තය සිදු කළ බවයි, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++

https://www.youtube.com/watch?v=LrSNAN5dvpk
17.08.2021

++++++++++++++++++

(20.08.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස මර්දන එන්නත් දෙක ම (2) ලබාගත් පුද්ගලයින් වෙතින් එම වයිරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65% කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයේ නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර මහතා පවසන්නේ, එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකල හැකි බවයි.

එමෙන්ම එම ට්විටර් පණිවිඩයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් දක්වා තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට (2) පසු ව බවයි ආචාර්ය ජීවන්දර මහතා පවසන්නේ.

නමුත් මීට පෙර කොරෝනා වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට (½) අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.

එමෙන්ම මීට පෙර ආසාදනය වූවෙකු දින තුනත් හතරත් (3-4) අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර නව සොයාගැනීම් අනුව හෙළි වී ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින පහ හමාරේ (5½) සිට හය (6) දක්වා දිගු වී ඇති බවයි.

ඩෙල්ටා වයිරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු (1) වෛරසයට වඩා සිව් (4) ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් (2) බවත් ආචාර්ය ජීවන්දර මහතා සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.

මේ අනුව ඔහු අවධාරණය කරන්නේ රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි ෴

+++++++++++++++++

(20.08.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියකින් ඇමතිවරයාට දැනුම් දී ඇත්තේ, එම ක්‍රියාව ජනාධිපතිවරයාගේ ද ප්‍රශංසාවට ලක් වූ බව යි ෴

++++++++++++++++++

(20.08.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

විද්වතුන් නිර්දේශ කළ විගස සෞඛ්‍ය අංශයේ සාමාජිකයින්ට තුන්වන (3) මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර සෞඛ්‍ය අංශයේ සාමාජිකයින්ට එන්නතේ (3) තුන්වන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ඊයේ (19) පැවති සාකච්ඡාවකදි යි.

පවතින කොරෝනා වෛරස තත්ත්වයත් සමඟ සෞඛ්‍ය සේවකයින් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමේ අවදානම සැළකිල්ලට ගෙන තුන්වන (3) මාත්‍රාවක් ලබාදිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 05 කට පමණ පසු තුන්වන (3) මාත්‍රාව ලබාදීම සඳහා අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) පුද්ගලයින් 213,737 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 27,371 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 107,930 දෙනෙකුට ලබා දී ඇති බවයි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 2,519 කට සහ දෙවන (2) මාත්‍රාව 511 කට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 480 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 71,314 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,392 කට ඊයේ (19) ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 2,205 කට ලබාදී තිබෙනවා ෴

++++++++++++++++++

(20.08.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කඩිනමින් රට වසා දමන ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත ලිපියක් භාරදුන්නා.

කෙසේ වෙතත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ රට වසා තිබෙන කාලසීමාවේ දී සෞඛ්‍ය, ආරක්ෂක නිලධාරීන් හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කළ යුතු බවයි.

කෙසේ වෙතත් වසා තබන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75 ක් රාජ්‍ය හා පෞද්ගලික සේවක වැටුපෙන් සියයට 50 ක්, සුළු කම්කරුවෙකුගේ වැටුපෙන් සියයට 30 ක් පරිත්‍යාග කිරීමට යෝජනා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද ප්‍රකාශ කළේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය සේවකයින් තම වැටුපෙන් කොටසක් කොවිඩ් අරමුදලට ලබාදීමට පියවර ගන්නේ නම් එය වත්මන් කොරෝනා ව්‍යාප්තියත් සමඟ සුදුසු වන බවයි.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය මාසික මන්ත්‍රී වැටුපෙන් අඩක් කොරෝනා අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප කොවිඩ් අරමුදලට බැර කිරීම පිළිබඳ ව ජනාධිපති ලේකම් විසින් අමාත්‍යවරයාට ප්‍රශංසා කොට ලිපියක් ද යොමු කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

මේ අතර තමන් ද මන්ත්‍රී වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සඳහන් කළා ෴

++++++++++++++++++

(20.08.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්වය මත රට වසන ලෙස අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් කළ ඉල්ලීම අද (20) පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ජනාධිපතිවරයා සාධනීයව භාරගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි.

ජනාධිපති කාර්යාලයේ දී අද (20) පෙරවරුවේ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීම පැවැත්වුණා.

+++++++++++++++++

(20.08.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් සිදුකළ සාම්පල පරීක්ෂාවලදී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශය මගින් නිකුත් කළ වාර්තාවකට අනුවයි මෙලෙස ඩෙල්ටා ආසාදිතයන් ඉහළ ගොස් ඇති බවට සඳහන් වුණේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් බොහෝ පිරිස් සමාජය තුළ සිටිය හැකි බවටයි ෴

++++++++++++++++++++

(20.08.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක (2) තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතවූවන් බවත්, ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

මේ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් විකෘති කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න චෝදනා කළා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 11,573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එය සදහන් වී ඇත්තේ රෝගීන් 8908 ක් බැවින් දත්තවල පරස්පරතා පවතින බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එමෙන්ම හැටන් – දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකු (4) ඇතුලුව 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානය සඳහා යොමුකර ඇති අතර, ඒ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනි ව විශාල පිරිසක් සහභාගි කරගනිමින් බගවන්තලාව – ආරියපුර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් නතර කිරීමට සෞඛ්‍ය බලධාරින් අද (20) උදෑසන කටයුතු කරනු ලැබුවා.

ඒ සඳහා 100 කට ආසන්න පිරිසක් එක් ව සිට ඇති බවට යි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම විවාහ මංගල උත්සවය සඳහා අවසර ලබාගෙන ඇතත්, ඒ අනුව අවසර හිමි වී ඇත්තේ දෙපාර්ශවයේ සීමිත ඥාතීන් පිරිසක් සඳහා පමණයි.

+++++++++++

@@@ කොවිඩ් නොවන පුවත් @@@

(20.08.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ආක්‍රමණික ශාක ව්‍යාප්තවීම හේතුවෙන් අභයභූමිවල පවතින ආහාර හිඟය නිසා වනඅලි ගම් වැදීමේ තත්ත්වයක් පැන නැගී තිබෙනවා.

එම ගැටලුවට විසඳුමක් ලෙස අභය භූමි තුළ ව්‍යාප්ත ව පවතින ආක්‍රමණික ශාක ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැ යි වාර්තා වෙනවා.

ඒ අනුව දැනට අභයභූමිවල බහුල වශයෙන් පැතිර යන ගඳපාන ශාකය ලබන මාසයේ දී ගලවා ඉවත් කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

ආක්‍රමණික ශාක අනෙකුත් ශාකවල වර්ධනයට බාධාවක් වී තිබෙනවා ෴

******************************************

(20.08.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටී දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කොටගල සිට හැටන් නගරය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටී මොහු ජීවිතක්ෂයට පත් වී ඇති බවට හැටන් පොලිසිය පැවසුවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන්-කුඩාගම ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් විජේවීරන් නමැති 42 හැවිරිදි අයෙක්.

අනතුර සිදු වී ඇත්තේ ඊයේ (19) රාත්‍රි 07:30 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් -කුඩාගම ප්‍රදේශයේ දී.

මරණකරු තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනිම සඳහා අනතුර සිදු වූ ස්ථානයේ පිහිටි වෙළඳසැලට යාමට මාර්ගය හරහා මාරු විමේ දී කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරු ව කොටගල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුර සිදුවීමත් සමඟ ත්‍රිරෝද රථයේ රියදුරා පලාගොස් හැටන් පොලිසියට භාර වී ඇති අතර, ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතුව වී ඇති බවයි, අනතුර පිළිබඳ ව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ රියදුරා අද (20) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

(20.08.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇති ජාතික අභයභූමිවල ජීවත්වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟවීම නිසා ඔවුන් ගම් වැදීම කාලයක පටන් උද්ගතව තිබෙන නොවිසඳුණු ගැටළුවක්.

ජාලාශවල ජල පරිමාව උපරිම මට්ටමට තබා ගැනීමට උත්සාහ කිරීම පොළොන්නරු කලාපයේ වන අලි ගම්වැදීමට හේතුවක් ලෙස හදුනාගෙන ඇති පුවතක් මේ අතර වාර්තා වුණා.

වසර 04 ක පමණ කාලයක සිට මොරගහකන්ද ජලාශයේ ජලය නිරන්තව මුදා හැරීමෙන් ජල මට්ටම් උපරිම තලයක තබා ගැනීමට කටයුතු කිරීම වන අලින්ගේ හැසිරීම් රටාව වෙනස් වීමට සෘජුව බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනූව අලින්ගේ ආහාර පිණිස ඇති ශාක විනාශ වෙමින් ආහාර හිඟයක් මතුව ඇති අතර එය අලින්ගේ දෛනික වෙනස්වීමට බලපා තිබෙනවා.

******************************************

(20.08.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

යාපනය – තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් කෝටි පහකට (5,00,00,000) අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 168 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එසේ ම ඒවා ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *